බෑන් කී මූන්ට නෙමෙයි ප්‍රභාකරන්ට එරෙහිවවත්
ප්‍රධාන දේශපාලන පක්‌ෂ එකමුතු වුණේ නෑ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය ජී. එච්. පීරිස්‌

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් හා අපේ රට අතර ඇති වී තිබෙන ගැටුම පිළිබඳවත්, අපේ රට එයට දක්‌වන ප්‍රතිචාර පිළිබඳවත් මේ දිනවල විවිධ කතාබහ අසන්නට ලැබේ.

ශ්‍රී ලංකාව ගැන සොයා බලන්නට පත්කළ මේ කමිටුව මහ ලේකම්ගේ හිතුවක්‌කාර වැඩක්‌ද?
මෙබඳු විදෙස්‌ අත පෙවීමකට අප දැක්‌විය යුත්තේ කෙබඳු ප්‍රතිචාරයක්‌ද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය ජී. එච්. පීරිස්‌ කරන විග්‍රහයකි මේ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධාන මහ ලේකම් සහ ශ්‍රී ලංකාව අතර හටගෙන ඇති ගැටුම ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

ජගත් සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ සිදු වන්නට ඇතැයි සිතන යුද්ධ අපරාධ පිළිබඳ ඔහුට උපදෙස්‌ දීම සඳහා ඔහු විසින් ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත්කිරීම මෙම ගැටුමේ හරයයි. ඊට අදාළ ප්‍රකාශවලින් කියෑවෙන්නෙ එම කමිටු සාමාජිකයන් වෙත පැවරී ඇති කාර්යයට එම චෝදනා ගැන ජාත්‍යන්තර තලයේ පුළුල් පරීක්‌ෂණයක්‌ පැවැත්වීම ඇතුළත් වන බවයි.

එවැනි පරීක්‌ෂණ කමිටුවක්‌ පත්කිරීම ජගත් සංවිධාන ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්‌. මහ ලේකම්ට හෝ එම කාර්ය මණ්‌ඩලයේ කිසිවෙකුට තම වගකීම් ඉටු කිරීමේදී කිසිදු රාජ්‍යයකින් හෝ වෙනත් බාහිර මූලාශ්‍රයකින් හෝ උපදෙස්‌ ඉල්ලීමට හෝ ලබා ගැනීමට නොහැකි බව එම ප්‍රඥප්තියේ 100 වන ඡේදයෙන් අවධාරණය කෙරෙනව. කමිටු සාමාජිකයන් තිදෙනාම ජගත් සංවිධානයට අයත් නොවන නිසා කිසිම විවාදයකින් තොරව පිළිගත යුතු මූලික කරුණ වන්නේ බෑන් කී මූන්, නෛතික බලයකින් තොරව හිතුමතේ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ මූලික සිද්ධාන්තයක්‌ සාහසික ලෙස කඩා දමා ඇති බවයි.

ප්‍රඥප්තියෙන් පමණක්‌ නොව 1948 විශ්ව මානව හිමිකම් ප්‍රකාශය, 1966 වසරේ මානව හිමිකම් ගිවිසුම් යුගල, 1970 රාජ්‍ය අතර සුහද සම්බන්ධතාවක්‌ පිළිබඳ ගිවිසුම, 1993 "වියානා ප්‍රකාශය" යනාදී සෑම ජගත් සංවිධාන ගිවිසුමකින්ම පුන පුනා අවධාරණය කෙරෙන්නේ කවර හේතුවක්‌ නිසාවත් එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයේ අනුමැතියකින් තොරව ජගත් සංවිධානයේ කිසිම නිලධාරියෙකුට හෝ ආයතනයකට සාමාජික රාජ්‍යයක අභ්‍යන්තර කටයුතු වෙත අත පෙවිය නොහැකිය යන මූලධර්මයයි. යම් රාජ්‍යයක විශාල වශයෙන් දරුණු සාපරාධී ක්‍රියා සිදු වේ නම් මහ ලේකම්ට කළ හැක්‌කේ ඒ බව ආරක්‌ෂක මණ්‌ඩලයට සහ මානව හිමිකම් කොමිසමට වාර්තා කිරීම පමණයි.

ඉතින් මෙතැන ඇත්තේ මතභේදයකට තුඩුදිය හැකි සදාචාරමය ප්‍රශ්නයක්‌ නොවේ. නීති කඩ කිරීමක්‌. බෑන් කී මූන් මෙම දඩබ්බර ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ ඉතා සරල ලෙස වාර්තාගතව ඇති නීති රීති අවබෝධ කර ගැනීමට නුපුළුවන් නිසා නොවේ. ඊට සැබෑ හේතුව විය හැක්‌කේ එක්‌කෝ ඔහු බලසම්පන්න රාජ්‍යවලට අවනත වී ඔවුන්ගේ රූකඩයක්‌ බවට පත්ව සිටීම. නොඑසේ නම්, එම බලවතුන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට ඔහුට ඇති අවශ්‍යතාව යන කරුණුයි.

මෙවැනි නිගමනයකට එළැඹීමට අපට හේතු සාධක රාශියක්‌ තිබෙනවා. ඔහු ලොව උත්කර්ෂවත් තනතුරක්‌ ලබා ගැනීම "ජෝර්ඡ් බුෂ් - ටෝනි බ්ලෙයාර් සමයේ" නිෂ්පාදිතයෙක්‌. බෑන් කී මූන් එතරම් මානව හිතවාදී ප්‍රතිපත්ති රුකඩ චරිතයක්‌ බව පෙනෙන්නේ නැහැ. බටහිර බලවතුන් කොතරම් දරුණු යුද්ධ අපරාධ කළත් වැඩි සද්දයක්‌ නොකර සිටීම ඔහුගේ පිළිවෙතයි. එම රටවල මානව හිමිකම් ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ඇති අය සතුටු කිරීමට දෝ වරින් වර බොස්‌නියාවේ හෝ සෝමාලියාවේ හෝ සූඩානයේ සමූල ඝාතන පිළිබඳ ප්‍රකාශ නිකුත් කරනවා. දෙපිටකාට්‌ටු පිළිවෙත් ජගත් සංවිධානයේ බලධාරීන්ගේ චර්යාවේ අලුත් දෙයක්‌ නොවේ. කෙසේ වෙතත් මෙතැනදී අපේ මතකයට විශේෂයෙන් නැඟෙන කරුණක්‌ වන්නේ බෑන් කී මූන් දෙවන පස්‌ වසරේ නිල කාලය ආශ්‍රිත ඡන්දය යෙදී තිබෙන්නේ ලබන වසරට. ඒ ඡන්දය දිනා ගන්නට නම් අනිවාර්ය වන්නේ ඔහු විසින් ලොව බලවතුන්ගේ සහයෝගය තමන් වෙත ලබා ගැනීමයි.

කෙසේ වෙතත් අප රට දැනට මුහුණ දෙමින් සිටින මෙම අර්බුදයේ දී අභියෝගය බෑන් කී මූන් ගෙන් පමණක්‌ එල්ල වන්නක්‌ නොවේ. ඔහු පිටුපසින් ඇත්තේ ඊළාම් ව්‍යාපාරය මෙන්ම කොටි සංවිධානයේ බෙදුම්වාදී අරගලය බොහෝ දුරට අනුමත කරමින්

ශ්‍රී ලංකා රජයේ යුදමය ප්‍රයත්න අත්හැර දැමීමට බල කරමින් සිටී. අවසාන මොහොතේ පවා කොහේ හෝ කොටි නායකත්වය බේරා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික වෑයම් දැරූ ඇතැම් බටහිර බලවතුන් බව රහසක්‌ නොවේ. එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය හා නෝර්වේ යන රටවල විදේශ කටයුතු භාර ඇමැති මට්‌ටමේ නිලධාරීන්, ඒවායේ රාජ්‍ය සේවාවන්හි යෙදී ඇති සමහර බලවතුන්, යුරෝපා හවුලේ නායකයෝ, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ලා ඇතුළු ඔවුන්ගේ නියෝජිතයෝ මෙම

ශ්‍රී ලංකා විරෝධී පෙරමුණ ගෙන සිටින බව පෙනෙන්ට තිබෙනවා.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලින් එවැන්නක්‌ බලාපොරොත්තු වන්නේ තම අණසකට අවනත වීමක්‌. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව දෙස ද්වේශ සහගත ඇසින් බලන්නෙ යුද්ධය නැවැත්වීමට හා ඊළම් ව්‍යාපාරයට නව පණක්‌ දීමට ඔවුන් ගත් ප්‍රයත්නය අසාර්ථකවීම බව අපට සිතාගන්නට පුළුවන්.

රාජපක්‌ෂ රජය විසින් ඉරානය, ලිබියාව, පලස්‌තීනය සහ චීනය වැනි බටහිර බලවතුන්ගේ හතුරන් සමග සමීප සම්බන්ධතාවන් ගොඩනඟා ගැනීමට ගෙන ඇති වෑයම මෙම වෛරය තවත් උත්සන්න වීමට ඉවහල් වී ඇති බවත් අපට පෙනෙනව.

බෑන් කී මූන්ගේ ක්‍රියාදාමයට එරෙහිව අප ගත යුත්තේ කෙබඳු ක්‍රියාදාමයක්‌ද?

ශ්‍රී ලංකාව හා එක්‌සත් ජාතීන්ගේ මහ ලෙක්‌ම් අතර හටගෙන ඇති ආරවුල විසඳීම සඳහා ගත යුත්තේ සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග බව අවිවාදයෙන් පිළිගත යුතුයි. එහෙත් මෙම ගැටුම නිරාකරණය කර ගැනීමේදී ශ්‍රී ලංකාව ගත යුත්තේ කුමන ස්‌ථාවරයක්‌ ද යන්න නිශ්චය කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු කීපයක්‌ තියෙනව. මෙය බෑන් කී මූන්ගේ

අත්වැරැද්දකින් සිදු වූවක්‌ නොවේ. කලක්‌ තිස්‌සේ ජගත් සංවිධානයේ ඇතැම් බලධාරීන් ශ්‍රී ලංකාව තලා පෙළා හිරිහැර කිරීමට ගත් පියවර අතුරෙන් වඩාත්ම මෑත පියවරයි. කැරලි මර්දනයේදී කොතරම් දරුණු සාපරාධී ක්‍රියා සිදු වුවත් ඉන්දියාව, චීනය හෝ එක්‌සත් ජනපදය වැනි රටවලට අදාළ එවැනි "උපදේශක කමිටු" මොනම ජගතෙක්‌ වත් පත් කරතැයි හීනෙකින් වත් හිතන්ට බැහැ. එම නිසා රාජ්‍ය මට්‌ටමේ ශ්‍රී ලංකාව මීට දැක්‌විය යුත්තේ ව්‍යාජ මිත්‍රත්වයක්‌ සහිත බැගෑපත් ප්‍රතිචාරයක්‌ නොවේ. ස්‌වාධීන රාජ්‍යයක්‌ වශයෙන්

ශ්‍රී ලංකාවේ පරම අයිතීන් අවධාරණය කෙරෙන, මහ ලේකම් වටා එක්‌රොක්‌ වී ඔහුට උපදෙස්‌ දෙමින් සිටින මානව හිමිකම් විශේෂඥයන් කෙරේ ඔහුගේ මනසෙහි කලකිරීමක්‌ ඇති කෙරෙන, ඒ වගේම ශ්‍රී ලංකාවට සිදුවී ඇති අසාධාරණය ලොවට තරයේ ප්‍රකාශයට පත් කෙරෙන ආකාරයේ ප්‍රතිචාරයකුයි ශ්‍රී ලංකා රජය දැක්‌විය යුත්තේ.

ඔබ නඟා ඇති මෙම ප්‍රශ්නයේ පසුතලය වන්නේ බෑන් කී මූන්ට විරුද්ධව කොළඹ ජගත් සංවිධාන කාර්යාලයක්‌ අබියස ඉකුත් සතියේ විමල් වීරවංශගේ නායකත්වය යටතේ පැවැත්වූ උද්ඝෝෂණය යෑයි මම හිතනව. ඒ ගැන නොයෙක්‌ වාද විවාද පවතින බවත් මම දන්නව. එදිනෙදා කෙරෙන දේශපාලන කටයුතු වලින් පිටස්‌තරව ඉන්න අපට එම උද්ඝෝෂණය ගැන දැන ගන්නට ලැබී ඇත්තේ ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන කරුණු පමණයි. ශ්‍රී ලංකා විරෝධී බලවේග බටහිර ලෝකයේ ක්‍රියාත්මක වන ආකාරය ගැන හසළ අවබෝධක්‌ වීරවංශ සතුව ඇති එබවත් එය තේමා කොටගත් පොතක්‌ ඔහු විසින් ලියෑවී ඇති බවත් අපි දන්නව. එම කරුණු පදනම් කරගෙන මම නිගමනය කරන්නෙ වීරවංශ විසින් උද්ඝෝෂණයක සහ උපවාසයක යෙදීමෙන් අපේක්‌ෂා කරන ලද්දේ තම උපවාසය නිසා බෑන් කී මූන් කලබල වෙලා ඔහුගේ උපදේශක කමිටු තීරණය අහෝසි කිරීමක්‌ නොව එම තීරණය පිළිබඳ ජනතාව දැනුවත් කොට ඊට එරෙහිව දැවැන්ත ජනමත ප්‍රවාහයක්‌

ශ්‍රී ලංකාව තුළ නියෝජනය කිරීමයි. එවැනි ජනමත උද්ඝෝෂණයක්‌ අවශ්‍ය ද යන ප්‍රශ්නය විග්‍රහය කළ යුත්තේ ශ්‍රී ලංකාව වැනි සිඟිති රටක පෙළපාලි උද්ඝෝෂණ යනාදියෙන් ලෝක බලවතුන්ගේ ක්‍රියා කලාපය වෙනස්‌ කළ හැකිය යන විශ්වාසය සහිතව නොවේ. එවැනි ජනමතයක්‌ අවශ්‍ය වන්නේ අප රජයේ ස්‌ථාවරය සකස්‌ කිරීම සඳහා යි. මෙතැනදී මගේ මතකයට නැඟෙන්නෙ 2000 වසරේ පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ෆෙඩරල්වාදී ව්‍යවස්‌ථා කෙටුම්පත 2003 වසරේ එකල රජය සකස්‌ කළ උතුර නැගෙනහිර ස්‌වයංපාලන සැලැස්‌ම සහ 2005 වසරේ "පී-ටොම්ස්‌" යෝජනා මාලාව යනාදී දේශ විරෝධී ප්‍රතිසංස්‌කරණ ප්‍රයත්න ව්‍යර්ථ වූයේ හුදෙක්‌ විරෝධතා මහජන උද්ඝෝෂණ නිසා බව. ඒ කාලවලදී එම ප්‍රතිසංස්‌කරණවලට පුරෝගාමී වූ ඇතැමෙක්‌ අද රජයේ ප්‍රධාන පෙළේ බලධාරීන් බවට පත්ව සිටීම නිසාත්, එම දේශෙද්‍රdaහී ක්‍රියා මාර්ගවලින් රජය යහමඟට හැරවීමට දායකවූ ඇතැම් දේශප්‍රේමී බලවේග අද බෙලහීන බවට පත්ව සිටින නිසාත්, මම හිතනව විමල් වීරවංශ ගත් උපවාස පියවර ඉතා කලෝචිතයි කියා. අපි දුටුව ජනතාව දැනුවත් කිරීමේ හා ජනතා විරෝධතාවක්‌ නිර්මාණය කිරීමේ අරමුණු අතින් එය ඉතා සාර්ථක වූ බව.

ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන පක්‌ෂයක්‌ම පාහේ බෑන් කී මූන් ගේ උපදේශක කමිටු තීරණයට විරුද්ධත්වයක්‌ දක්‌වා ඇතත් ඔවුන් ඒ ගැන සාමූහිකව ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

මම හිතන්නෙ නැහැ ජගත් මහ ලේකම්ගෙ ක්‍රියා කලාපයට වත්

ශ්‍රී ලංකාව එතෙරින් ලබන නොයෙක්‌ හිරිහැරවලට වත් මෙරට සෑම දේශපාලන පක්‌ෂයක්‌ම එකහෙළා අවංකව විරුද්ධයි කියා. ශ්‍රී ලංකාවේ යුද්ධ අපරාධ සිදුවී ඇතැයි නැඟී ඇති චෝදනාවේ පවා එක්‌ මූලාශ්‍රයක්‌ වූයේ මෙහි මැතිවරණ ප්‍රචාරක වේදිකාවක්‌ බව අපට අමතක වන්නේ නැහැ. දැන් බැටළු හම් පොරවාගෙන මොන විධියේ ප්‍රකාශ කළත්, රජයේ ප්‍රතිවාදීන් හිතන්නෙ රටට ට මොන විනාශයක්‌ වුණත් ඕකුන් හැඳි ගෑවිලා යනව නම් හොඳයි කියා.

රජය තුළ පවා මේ හා සම්බන්ධ මතභේද පවතින බව අපි දුටුව.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය වෙනුවෙන් එහි ලේකම් මෛත්‍රිපාල සිරිසේන මේ ගැන රූපවාහිනියෙන් කළ ප්‍රකාශය, ජාතික හෙළ උරුමය ප්‍රකාශයට පත්කළ ස්‌ථාවරය සහ වීරවංශ පාක්‌ෂිකයන් කළ ප්‍රකාශ අතර පැහැදිලි වෙනස්‌කම් තිබුණා. එක්‌ ජවිපෙ මන්ත්‍රීවරයෙක්‌ කියා තිබුණ එම උපවාසය රාජපක්‌ෂ විසින් නිෂ්පාදනය කර ඇති විකට නාට්‍යයක්‌ ය කියා. තවත් අයෙකුගේ පඬි වදන් අනුව බෑන් කී මූන් මෙවැන්නක්‌ කර ඇත්තේ රජය විසින් මෙරට මාධ්‍ය නිදහස අහෝසි කර ඇති නිසා. කොළඹ රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය නිහඬව හිටියෙ නැහැ. බෙදුම්වාදී අරගලයෙන් හොඳින් පෝෂණය වී ඇති එවැනි එක්‌ සංවිධාන ප්‍රධානියෙක්‌ අපට කියා දීල තියනව යුද අපරාධ චෝදනාවෙන් නිදහස්‌ වන්නට නම් රජය කළ යුත්තේ බලය විමධ්‍යගත කර මානව අයිතීන් මැඬලීම වහා නවතා දැමීමයි කියා. ඉකුත් ජනාධිපති තරග සමයේ සරත් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයට දැඩි සහයෝගයක්‌ දුන් තවත් එවැනි සංවිධාන ප්‍රධානියෙක්‌ අපට දී ඇති උපදේශයක සඳහන් වෙනව දැන් ඉතින් කරන්ට තියෙන්නෙ බෑන් කී මූන්ගෙ හිත රිද්දවන්නෙ නැතිව ඔහු සමග සහයෝගයෙන් ක්‍රියා කරන එකයි කියා. ටී.එන්.ඒ. පාක්‌ෂිකයො කොහොමත් යුද අපරාධ චෝදනාව අනුමත කරනව. ඉතින් මේ අනුව අපට කියන්නට තියෙන්නෙ ජනාධිපති රාජපක්‌ෂ විමල් වීරවංශගෙ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය භාර නොගැනීම සහ උපවාසය අවසන් කරවීමට ජනාධිපතිවරයා දායකවීම යනාදියෙන් පිළිබිඹු වියහැකි එකමුතුව හැරෙන්ට මේ හා සම්බන්ධව පක්‌ෂ දේශපාලන තලයේ එකඟතාවක්‌ නොපැවති බවයි. මෙබඳු අවස්‌ථාවලදී පටු වාද භේද අත්හැර දැමීමක්‌ හා ජාතික එක්‌සත් බවක්‌ අවශ්‍යයි. විශේෂයෙන් රජයේ ප්‍රධාන පෙළේ බලධාරීන්ගෙන් වීරවංශ ප්‍රයත්නයට සෘජු සහයෝගයක්‌ ලැබුණා නම් එක අතකින් එම උද්ඝෝෂණය හරහා වඩා ප්‍රබල ජාත්‍යන්තර පණිවුඩය කියවන්නට තිබුණා. අනික්‌ අතින් මුල් දිනයේ සිදුවූ කලබලය වළක්‌වන්නට තිබුණා. එහෙත් අපේ අවාසනාව වන්නේ බෑන් කී මූන්ලට විතරක්‌ නොවෙයි ප්‍රභාකරන්ට එරෙහිව වත් ප්‍රධාන දේශපාලන නායකයන් අතර එකමුතුවක්‌ නොපැවතීමයි.


සාකච්ඡා කළේ - පාලිත සේනානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.