ලෝක කුසලානය නැරැඹීම මරණයට හේතුවකි

නැගෙනහිර අප්‍රිකානු රටක්‌ වන උගන්ඩාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවේ 1962 ඔක්‌තෝබර් මස 09 වැනිදාය. අතීතයේ බුගන්ඩා රාජධානියේ දකුණු කොටසට මෙම රාජ්‍යයේ වැඩි ප්‍රදේශයක්‌ අයත් වූ නිසා එයට උගන්ඩාව කියා නම් තැබිණි. උගන්ඩාවට වසර 2300 ක තරම් ඈතට දිවෙන ඉතිහාසයක්‌ ඇත. බන්ටු භාෂාව කතා කරන වැසියෝ මීට අවුරුදු 1700-2300 ත් අතර කාලයකදී දකුණු දිග උගන්ඩාවේ පදිංචි වී ඇත. උගන්ඩාව වඩාත් ලොව ප්‍රකට වූයේ ඉඩි අමීන් නිසාය. ඉඩි අමීන්ගේ වසර අටක පාලන කාලයේදී එරට වැසියන් තුන්ලක්‍ෂයක්‌ ඝාතනය විය. 2002 සංගණනයට අනුව උගන්ඩා වැසියන්ගෙන් 84% ක්‌ම ක්‍රිස්‌තියානි ආගම අදහන්නෝ වෙති. 42% ක්‌ රෝමානු කතෝලිකයන් වන අතර 35% ක්‌ එංගලන්ත සභාව අදහති. උගන්ඩාවේ වෙසෙන මුස්‌ලිම් ආගමිකයන්ගේ ප්‍රමාණය 12% ක්‌ පමණ වේ.

මුස්‌ලිම් ආගමිකයන් සුළුතරයක්‌ සිටින උගන්ඩාව ඉකුත් ඉරිදා බෝම්බ ප්‍රහාර දෙකකින් කම්පනය විය. සෝමාලි මුස්‌ලිම් අන්තවාදී සංවිධානයක්‌ වන "අල් ශබාබ්" විසින් එල්ල කරන ලද මේ ප්‍රහාරවලට ගොදුරු වූයේ උගන්ඩාවේ අගනුවර එනම් කම්පාලා නුවර අවන්හල් දෙකක පාපන්දු ලෝක කුසලාන අවසන් තරග නරඹමින් සිටි දේශීය විදේශීය පිරිසකි. මේ ප්‍රහාරවලින් 74 ක්‌ මියගිය අතර ඒ පිරිසට ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු ද අයත් විය. "අශෝකා ඉන්ටර්නැෂනල්" නම් ආයතනයේ වෙළෙඳ කළමනාකරුවකු ලෙස සේවය කළ ඔහුගේ සිරුර කම්පාලා නුවර මුලාගෝ රෝහලේ තිබියදී හඳුනා ගන්නා ලදී. රාමරාජා ක්‍රිෂ්ණරාජා නම් ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට එවන්නේ ද නැත්නම් උගන්ඩාවේම අවසන් කටයුතු සිදු කරන්නේ ද යන්න මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නොතිබිණි.

"අල් ශබාබ්" යනු "තරුණයෝ" යන අර්ථය දෙන අරාබි වචනයකි. මේ ප්‍රහාරය පිළිබඳ වගකීම ඔවුන් විසින් දැනටමත් භාරගෙන ඇති අතර මේ ප්‍රහාරය නිසා පෙන්ටගනය ද සසල වී ඇත. එම නිසාම මෙහි පරීක්‍ෂණ සඳහා සහාය වීමට එෆ්.බී.අයි. කණ්‌ඩායමක්‌ දැනටමත් උගන්ඩාව බලා යෑවීමට ඔබාමා පාලනය කටයුතු කර ඇත. කම්පාලා ප්‍රහාරයට ඇමරිකානුවන් ද බිලි වී ඇති බව අප අමතක කළ යුතු නැහැ.

ඇත්තෙන්ම "අල් ශබාබ්" අන්තවාදී සංවිධානය ප්‍රකාශ කරන්නේ පාපන්දු ක්‍රීඩාව විශේෂයෙන් ලෝක කුසලානය නැරැඹීම සාතන්ගේ ක්‍රියාවක්‌, යක්‍ෂයාගේ වැඩක්‌ බවයි. සෝමාලියාවේ මේ අන්තවාදී කණ්‌ඩායමේ පාලනයට නතු ප්‍රදේශවල ලෝක කුසලාන තරග කෙසේ වෙතත් රූපවාහිනි නරඹන්නවත් හැකියාවක්‌ නැත. මුස්‌ලිම් මූලධර්මවාදීන් වන මොවුහු සමාන වන්නේ ඇෆ්ගනිස්‌ථානයේ පැවැති තලෙබාන් පාලනයටය.

පාපන්දු ලෝක කුසලානය පැවැති කාලයේ සෝමාලියාවේ ලෝක කුසලාන තරග නැරැඹූ වරදට පුද්ගලයන් පස්‌ දෙනකු ඝාතනය වී ඇති අතරම තවත් සිය ගණනක්‌ "අල් ශබාබ්" අන්තවාදීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. සෝමාලියානුවන් පාපන්දු ක්‍රීඩාවට මහත් ඇල්මක්‌ දක්‌වන පිරිසක්‌ වුවත් මේ ආගමික අන්තවාදය ඔවුන්ගේ ක්‍රීඩා රසිකත්වයට මහත් බාධාවක්‌ වී තිබේ. සෝමාලියාවේ පාපන්දු ක්‍රීඩා කිරීම මරණය පසුපස දිවීමක්‌ වැනිය. "අල් ශබාබ්" කණ්‌ඩායම මොගඩිෂු නුවර ප්‍රධානතම පාපන්දු ක්‍රීඩාංගණය යොදාගෙන ඇත්තේ ක්‍රීඩාව සඳහා නොව අලුතෙන් බඳවා ගන්නා ලද තරුණයන්ට යුද පුහුණුව ලබාදීම සඳහාය.

දැන් මේ අන්තවාදීහු කම්පාලා නුවරටත් පැමිණ ලෝක කුසලාන අවසන් තරගය නරඹමින් සිටි 74 දෙනකු බිලිගෙන ඇත. මේ උමතු අන්තවාදය අවසන් වන්නේ කොතැනින්ද? අල් ශබාබ් කණ්‌ඩායම ඔසාමා බින් ලාඩන්ගේ අල් ඛයිඩාවට ද සම්බන්ධ අතර කම්පාලා බෝම්බ ප්‍රහාරයෙන් පසු අල් ඛයිඩාව ද සිය සහෝදර සංවිධානයට සුබ පැතුම් එක්‌ කළ බව අල් ජසීරා රූපවාහිනිය මගින් අසන්නට ලැබිණි. කම්පාලා ප්‍රහාරයෙන් පසු මොගඩිෂු නුවර සිට ඇසොසියේටඩ් ප්‍රෙස්‌ පුවත් සේවයට අදහස්‌ දැක්‌වූ මේ මූලධර්මවාදී සංවිධානයේ ෂේක්‌ අලි මොහොමඩ් රේඡ්, "අපි අපේ සතුරන්ට එරෙහිව ලෝකයේ කොහේ වුණත් ප්‍රහාර එල්ල කරනවා" යනුවෙන් සඳහන් කර ඇත. උගන්ඩා රාජ්‍යය සාමකාමීව පැවැති රාජ්‍යයක්‌ වුවත් අල් ශබාබ් බෝම්බ ප්‍රහාර නිසා එරට ප්‍රතිරූපයට ද දරුණු හානියක්‌ සිදුව ඇත.

සංගීතයට සවන්දීම පවා තහනම් කර ඇති "අල් ශබාබ්" සංවිධානය කෙරෙහි ඇමරිකානු ආරක්‍ෂක අංශවල නිරන්තර අවධාන යොමුව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. විශේෂයෙන්ම ඇමරිකාවේ අධ්‍යාපනය ලැබූ සෝමාලි ජාතිකයන් රැසක්‌ ද නැවත මොගඩිෂු වෙත පැමිණ මේ සංවිධානයට සම්බන්ධ වී ඇත. ඇමරිකානුවකු වූ "අබු මන්සූර් අල් අම්රිකි" ජිහාඩ් වීඩියෝ දර්ශනයක පෙනී සිටියේය. එය මේ සෝමාලියානු අන්තවාදීන්ගේ නිර්මාණයකි. අල් ශබාබ්හි ප්‍රධාන නායකයන් දෙදෙනකු ඇමරිකානු හමුදා මෙහෙයුම් මගින් මරා දමා ඇත. 2008 දී එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඒඩන් හෂි අයිරෝ ඝාතනය වූ අතර දකුණු දිග සෝමාලියාවේ ග්‍රාමීය පෙදෙසක ඇමරිකානු කමාන්ඩෝ බළකාය සිදු කළ මෙහෙයුමකදී සාලේ අලි සාලේ තබාන් මරණයට පත් විය. සෝමාලි රජයේ ඔත්තු සේවාවලට අනුව මේ ත්‍රස්‌ත කණ්‌ඩායම සතුව 3000-7000 ත් අතර සාමාජික සංඛ්‍යාවක්‌ වේ. මේ පිරිසට ඇමරිකාවෙන්, ඉරාකයෙන්, ඇෆ්ගනිස්‌තානයෙන් හා පකිස්‌තානයෙන් පැමිණි ජිහාඩ්වරුන් ද වේ. 2007 දී හා 2008 දී ඇමරිකානුවන් විසි දෙනකු මොගඩිෂු වෙත පැමිණ මේ සංවිධානයට එක්‌වී ඇත. අබු සුබයාර් නොහොත් අහමඩ් අබ්ඩි මොහොමඩ් ගොඩානේ යනු "අල් ශබාබ්"හි නායකයාය. ඔහු මීට කලකට පෙර සන්නිවේදන සමාගමක ගණකාධිකාරිවරයකු ලෙස සේවය කර ඇත. නමුත් අද ප්‍රධාන ත්‍රස්‌තවාදී නායකයෙකි. ඔහුගේ අණසක දකුණු දිග, මධ්‍යම සෝමාලියාවේ මෙන්ම මොගඩිෂු නුවරත් පැතිර ඇත. ඔහුගේ නිල ප්‍රකාශක වන ෂේක්‌ අලි, කම්පාලා නුවර ප්‍රහාරයෙන් පසු මාධ්‍යයට සඳහන් කළේ ඉදිරියේදී උගන්ඩාවට පමණක්‌ නොව බුරුන්ඩි රාජ්‍යයටත් පහර දෙන බවයි. විශේෂයෙන්ම මේ රාජ්‍ය දෙකේම හමුදා භට පිරිස්‌ සෝමාලියානු රජය සමග මේ ත්‍රස්‌ත කණ්‌ඩායමට එරෙහි මෙහෙයුම්වල නිරතවන නිසා අන්තවාදීහු මේ රටවල් සමග දැඩි වෛරයෙන් සිටිති. කෙසේ වෙතත් ස්‌පාඤ්ඤය ජොහැනස්‌බර්ග් නුවරදී ලෝක කුසලානය දිනා ජය පැන් බොන විට තවත් පිරිසකට කම්පාලා නුවරදී අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර නිසා කෑලි කෑලිවලට කුඩුවන්නට සිදුවිය. "සාතන්ගේ ක්‍රීඩාව" කවරක්‌ වෙතත් සාතන්ගේ අනුගාමිකයෝ කම්පාලා නුවරට බෝම්බ ප්‍රහාර එල්ල කළ බව අපට පැහැදිලිය.


චතුර පමුණුව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.