දියණිය ඉදිරිපිට ඝාතනය වූ මවකගේ ෙ€දවාචකය
නෙරංජලාගේ මරුවා නීරෝද?

කදාන තොටුපොළ පාරේ වූ සුවිසල් නිවසක පදිංචිව සිටි නෙරංජලා විඡේසූරිය සිය දියණිය ඉදිරිපිටදීම සාහසිකයන් පිරිසක්‌ විසින් ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තා වූයේ ඉකුත් වසරේ නොවැම්බර් 20 වැනිදාය.

මෙම සිදුවීම ක¹න ප්‍රදේශයේ ජනතාව පමණක්‌ නොව මුළු ශ්‍රී ලංකාවාසීන්ම දැඩි කම්පනයට පත් කළ සිදුවීමක්‌ විය.

මහපොළොව නුහුලන මේ අපරාධය පිළිබඳ සුලමුල සොයා බලා ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ කාර්යය පැවරුනේ කොළඹ අපරාධ කොට්‌ඨාශය වෙතය.

වැළලීගිය අපරාද ගොඩගැනීමේ මනා පළපුරුද්දක්‌ ඇති සහකාර පොලිස්‌ අධිකාරි එච්. සමුද්‍රජීව මහතා නෙරංජලා ඝාතනයේ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළේය.

එහෙත් වැඩි දවසක්‌ මේ පරීක්‍ෂණ කටයුතු කරගෙන යැමට ඉඩ ලැබුණේ නැත. මැතිවරණ රාජකාරි සඳහා සමුද්‍රජී මහතාට අම්පාරට යැමට සිදුවිය. මේ හදිසි මාරුව නිසා නෙරංජලා ඝාතනයේ සුලමුල සෙවීමේ කටයුතු ටිකෙන් ටික දියාරු වන්නට විය.

විශේෂ රාජකාරිය නිම කර සමුද්‍රජීව මහතා පෑලියගොඩ අපරාධ කොට්‌ඨාශයේ රාජකාරි නැවත භාර ගත්තේ මීට මාසයකට පමණ උඩදීය. බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එච්. එස්‌. දයානන්ද මහතා සහකාර පොලිස්‌ අධිකාරි සමුද්‍රජීව මහතා කැඳෙව්වේය.

"සමුද්‍රජීව ක¹නෙ මර්ඩර් එක ගැන හොයන්න පටන් ගත්ත. මේකෙ සැකකාරයො අල්ලගන්න අපි ප්‍රමාද වුණා වැඩියි."

නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ නියෝග මත සමුද්‍රජීව මහතා නෙරංජලා ඝාතනයේ පරීක්‍ෂණ නැවත ආරම්භ කළේය.

පරීක්‍ෂණ කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස තරුණ පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ තාරක සුබෝධ මහතා යොදා ගැනීමට සමුද්‍රජීව මහතා තීරණය කළේය.

මිනිමැරුම සිදුවී මාස හයකට ආසන්න කාලයක්‌ ගතවී තිබුණ ද වැදගත් සාක්‍ෂි කිසිවක්‌ ඒ වන විටත් පොලිසිය වෙත ලැබී තිබුණේ නැත. නෙරංජලා ඝාතනය වීමට හේතුවිය හැකි කාරණා සියල්ල ගොනුකර ගැනීමට පොලිසිය මුලින්ම පියවර ගත්තේය. තරුණයන් විදේශ රැකියා සඳහා පිටත්කර යෑවීමේ ව්‍යාපාරයක්‌ නෙරංජලා විසින් කරගෙන ගොස්‌ තිබිණි. මුදල් ගෙවා රට රස්‌සාවකට යැමට නොහැකි වූ පුද්ගලයකු මෙම ඝාතනය කළේ දැයි සැකයක්‌ මතුවී තිබිණි. එහෙත් එය ඔප්පුකර ගැනීමට කිසිදු සාක්‍ෂියක්‌ නොවීය.

නෙරංජලා හොර රහසේම පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාව ගැන ද පොලිසිය සොයා බැලුවේය. එය ද අවසානයේ සැකයක්‌ පමණක්‌ විය. ඇය විවිධ පාතාල සාමාජිකයන් ද ඇසුරු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබිණි. නෙරංජලාගේ මුල් කසාදයේ සැමියා පිළිබඳව ද පොලිසිය සොයා බැලූහ. එහෙත් මේ ඝාතනයට ඒ කිසිවක්‌ සම්බන්ධ නැති බව පොලිසිය තහවුරු කරගත්තේය. අවසානයේදී පොලිසිය එක්‌ සැක කටයුතු පාර්ශ්වයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භ කළේය.

"සර් නෙරංජලාගෙ පවුලෙ ප්‍රශ්න ගොඩක්‌ තිබුණා. දේපොළවලට ඒ අය නිතරම ගැටුම් ඇතිකර ගත්තා...

පොලිස්‌ පරීක්‍ෂක සුබෝධ සිය පරීක්‍ෂණයේ ප්‍රගතිය සහකාර පොලිස්‌ අධිකාරිවරයාට ඉදිරිපත් කළේය.

නෙරංජලාගේ සැමියා ආනන්දය. ඔහු ඉතාලියේ පදිංචිව සිටියේය. ආනන්දගේ බාලම සොහොයුරා වූයේ නීරෝය. නීරෝ සිය බිරිඳ සහ දරුවන් සමග පදිංචිව සිටියේ ඕස්‌ටේ්‍රලියාවේය.

නීරෝ නෙරංජලා අතර වසර ගණනක සිට විශාල ආරවුලක්‌ පැවති බව පොලිසිය හෙළිකර ගත්තේය. සංගීත භාණ්‌ඩ තොගයක්‌ අලෙවි කිරීමට යැමේදී ඇතිවූ ආරවුලක්‌ මොවුන් දෙදෙනා අතර ගැටුමට හේතුපාදක වී තිබිණි. එහෙත් නෙරංජලාගේ ඝාතනය සඳහා නීරෝගේ සම්බන්ධයක්‌ ඇත්දැයි සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය.

සර්... නීරෝ පුතා අන්තිමට ලංකාවට ආවෙ පහුගිය මැයි මාසෙ. එයා පවුලත් එක්‌ක ඇවිත් මාසයක්‌ ඉඳලා ආපහු ගියා...

නීරෝගේ මවුපියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු හෙළිදරව් විය. නීරෝගේ ආරවුල හැරෙන්නට නෙරංජලා මරා දැමීමට තරම් හේතු වූ කිසිදු සැකකටයුතු කරුණක්‌ සොයා ගැනීමට පොලිසියට නොහැකි විය.

"මේ මිනීමැරුම වෙනකොට නීරෝ ලංකාවෙ හිටියද කියලා හොයන්න ඕනෙ. ඒක අපේ පරීක්‍ෂණයට හොඳ මාර්ගයක්‌ වෙනවා.

සමුද්‍රජීව මහතාගේ උපදෙස්‌ මත පොලිසිය කටුනායක ගුවන්තොටු පොලෙන් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමට කටයුතු කළහ. පොලිසියේ ප්‍රයත්නය සාර්ථක විය. නෙරංජලා, ඝාතනය කිරීමට දින දෙකකට උඩදී එනම් 2009 වර්ෂයේ නොවැම්බර් 18 වැනිදා නීරෝ ශ්‍රී ලංකාවට පැමිණි බව පොලිසිය සොයා ගත්තේය.

මේ මිනීමැරුම පිටිපස්‌සෙ නීරෝ ඉන්නවා. අපි මිනිහා ගැන හොයන්න පටන් ගන්න ඕනෙ.

සමුද්‍රජීව මහතා සිය නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. නීරෝ ශ්‍රී ලංකාවට පැමිණි බව ඔහුගේ දෙමවුපියන් පවා දැන සිටියේ නැත. නීරෝ ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්‌ථාවලදී භාවිත කළ ජංගම දුරකථනයක අංකය සොයාගත් පොලිසිය එහි තිබූ සැකකටයුතු අංක කීපයක්‌ ඔස්‌සේ සිය පරීක්‍ෂණ ක්‍රියාත්මක කළහ.

අන්තිමේදී නීරෝ ළඟින්ම ඇසුරු කළ ඔහුගේ කල්‍යාණ මිතුරා ටෝනි බව හඳුනා ගැනීමට පොලිසියට හැකි විය. පොලිස්‌ පරීක්‍ෂක සුබෝධ ඇතුළු නිලධාරීන් ටෝනි පසුපස පන්නන්නට පටන් ගත්හ.

අන්තිමේදී ටෝනි ජාඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයකු වූ ටෝනි පෑලියගොඩ අපරාධ කොට්‌ඨාශය වෙත ගෙනැවිත් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

නෙරංජලා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ සුලමුල හෙළිවන්නට පටන් ගත්තේ එතැන් සිටය. පොලිසියේ සැකය තහවුරු විය. මේ මහා අපරාධයේ ප්‍රධානියා වූයේ නීරෝය. ටෝනිගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඝාතනයට පැමිණි තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

ඉන් දෙදෙනකු හමුදා සෙබළුන්ය. ඔවුන් දෙදෙනා ද යුද හමුදාවේ එක්‌තරා බලඇණියක පාපන්දු ක්‍රීඩකයන්ය. මෙම ඝාතනයට සාහසිකයන් පැමිණි වෑන් රථයේ රියදුරුද පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ වන විට නීරෝ සිටියේ ඔස්‌ටේ්‍රලියාවේය. ඝාතනයට පැමිණි තවත් ප්‍රධාන පෙළේ සැකකරුවකු වන දිමුතු ද විදේශ රැකියාවක්‌ සඳහා පිටව ගොස්‌ සිටියේය.

නෙරංජලාගේ කෲර ඝාතනය සඳහා සියලුම පිඹුරුපත් සකස්‌ව ඇත්තේ ඕස්‌ටේ්‍රලියාවේදීය. දුරකතන මාර්ග ඔස්‌සේ ටෝනි සමග සියලු දේ සැලසුම් කර ගත් නීරෝ ඉතාම සැලසුම් සහගත අන්දමින් තම අභිප්‍රාය ඉෂ්ඨ කර ගත්තේය. නෙරංජලා විඡේසූරියට ආනන්ද මුණගැසුනේ ඉතාලියේදීය. ඒ වන විට නෙරංජලා විවාහක කාන්තාවක්‌ වූවාය. එහෙත් ආනන්දගේ හමුවීම අවසානයේදී විවාහයකින් කෙලවර විය. වසර කීපයක්‌ ඉතාලියේ එකට ගත කළ ආනන්ද නෙරංජලා යුවළ ශ්‍රී ලංකාවට ආවේ මීට වසර දහයකට පමණ උඩදීය. ආනන්දගේ මහ ගෙවල් තිබුණේ ක¹න තොටුපොළ පාරේය. ඒ වන විට නෙරංජලා ගැබිණියක වූවාය.

"ඔයා ආපහු ඉතාලි යන්න ඕනෙ නැහැ. දරුවා ලැබුණම ලංකාවෙ ඉන්න. මම ඔයාට ඉන්න වෙනම ගෙයක්‌ හදලා දෙන්නම්"

ආනන්ද සිය ආදර බිරිඳ වෙනුවෙන් සුවිසල් මන්දිරයක්‌ ඉදිකළේය. තරමක්‌ සැරපරුෂ කාන්තාවක වූ නෙරංජලා ආනන්දගේ මවුපියන් ගැන තැකීමක්‌ කළේ නැත. ඔවුන් සමග එකට විසීමට ඇය ප්‍රිය කළේ නැත. ආනන්ද ආපසු ඉතාලිය බලා පිටත්ව ගියේ තවත් වසර කීපයක්‌ මුදල් හරිහම්බ කිරීමේ අරමුණ ඇතිවය.

ආනන්ද ගිය පසු නෙරංජලා සිය දියණිය ද සමග සුවිසල් නිවසේ පදිංචි වූවාය. මේ නිවසට යාබදව පිහිටි ආනන්දගේ මහ ගෙදර ඔහුගේ මවුපියන් පදිංචිව සිටියහ.

කාලයක්‌ ගතවෙද්දී නෙරංජලා විවිධ ව්‍යාපාරවල නිරත වූවාය. ආනන්දගේ බාල සොහොයුරා වූ නීරෝ ද පදිංචිව සිටියේ මහ ගෙදරය. නෙරංජලාගේ ඇතැම් ක්‍රියාකලාපයන් ඔහුට රිස්‌සුවේ නැත. තම මවුපියන් නොසලකා හැරීම ගැන නීරෝ සිටියේ දැඩි වෛරයෙනි. මේ පිළිබඳ නීරෝ මෙන්ම ඔහුගේ මවුපියන් ද ආනන්දට දැනුම් දුන්හ. එහෙත් නෙරංජලාගේ ක්‍රියාකලාපය වෙනස්‌ කිරීමට ඔවුන් කිසිවකුට හැකි වුණේ නැත.

නීරෝ ඕස්‌ටේ්‍රලියාවේ රැකියාවක්‌ සඳහා පිටත්ව ගියේ 2004 වර්ෂයේදීය. වසර දෙකකට පසු ඔහු නැවත ශ්‍රී ලංකාවට ආවේ විවාහයක්‌ කරගැනීමේ අරමුණ ඇතිවය. 2006 වර්ෂයේදී විවාහ වූ නීරෝ සිය බිරිඳ ද සමග ඕස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගියේය.

මේ කාල සීමාව තුළදී නෙරංජලා තහනම් ඇසුරක්‌ ද පවත්වාගෙන ගියාය. තම ව්‍යාපාර කටයුතුවලදී සහායකයාව සිටි විනෝදන් සමග ඇය රහස්‌ සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තාය. මේ අනියම් සම්බන්ධය පිළිබඳ ආනන්දගේ දෙමවුපියන්ද දැන සිටියහ. එහෙත් කිසිවකුත් නෙරංජලාට උපදෙස්‌ දෙන්නට පැමිණියේ නැත. ආනන්ද පවා මේ සම්බන්ධය පිළිබඳ දැන සිටියේය. මේ ගැන විමසන හැම අවස්‌ථාවකදීම නෙරංජලා ආනන්දට කීවේ විනෝදන් තම ව්‍යාපාරවල සහායකයා බවයි.

කොහේදෝ සිට පැමිණ තම දේපොළ පාලනය කිරිම පිළිබඳ නීරෝ මෙන්ම ආනන්දගේ වැඩිහිටියන්ද නෙරංජලා කෙරෙහි පැවතියේ දැඩි වෛරයකි. නෙරංජලා විනාශකර දැමීමේ සැලසුම සකස්‌ කිරීමට හේතු වූ බරපතලම සිද්ධිය වාර්තා වූයේ 2009 වර්ෂය මුල් කාලසීමාවේදීය.

නෙරංජලා පදිංචිව සිටි ඉඩමත් ආනන්දගේ මවුපියන් සිටි මහගෙදරත් තිබුණේ එකම ඉඩමකය. ආනන්ද ඉදිකළ සුඛෝපභෝගී නිවසට ඇතුළුවීම සඳහා නෙරංජලා අලුතින් විශාල ගේට්‌ටුවක්‌ දැම්මාය. එම ගේට්‌ටුවෙන් මහ ගෙදරට යැමට අවසර ලැබුණේ නැත.

"කවුරුත් මේ ගේට්‌ටුව පාවිච්චි කරන්න එපා. ඔහේලට ඕනෙනම් වෙන තැනකින් ගේට්‌ටුවක්‌ දාගන්නවා.

නෙරංජලා ආනන්දගේ මවුපියන්ට ගෝරනාඩු කළාය. මහලු මවුපියෝත් මේ පිළිබඳ නීරෝට කීහ. කාත් කවුරුවත් නොමැතිව සිටින මහලු මවුපියන්ට විවිධ කෙනෙහිලිකම් කිරීම ගැන නීරෝගේ සිතේ තිබූ වෛරය උත්සන්න වූයේ මේ සිදුවීමෙන් පසුවය.

මම ඕකිව ඉතුරු කරන්නෙ නැහැ. නීරෝ නෙරංජලා මරා දැමීමට සැලසුම් සකස්‌ කිරීමට පටන් ගත්තේය.

නීරෝ සිය මිතුරා වූ ටෝනිට දුරකතනයෙන් කතා කළේය.

නෙරංජලාට වැඩක්‌ දෙන්න ඕනෙ. මම ලබන මාසෙ ලංකාවට එනවා. ඒකිව නැති කරලා දාන්න කාට හරි කන්ට්‍රෑක්‌ට්‌ එකක්‌ දෙමු. ඒ ගැන හොයල බලන්න. 2009 වර්ෂයේ මැයි මාසයේ 01 වැනිදා තමන් ශ්‍රී ලංකාවට එන බව නීරෝ සිය මිතුරාට කීවේය.

ඒ අනුව නීරෝ ඉකුත් වසරේ මැයි මස 01 වැනිදා සිය බිරිඳ සහ දරුවා ද සමග ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔවුන් නතර වූයේ බිරිඳගේ මහගෙදරය. ශ්‍රී ලංකාවට පැමිණි දිනයේම නීරෝ සිය මිතුරා වූ ටෝනි සොයා ගියේය. මම පොඩි තැනක්‌ සෙට්‌ කළා. අපි කෝකටත් ගිහින් කතා කරමු. ටෝනි සිය කල්‍යාණ මිතුරා වූ නීරෝ ද සමග ගම්පහ ප්‍රදේශයේ එක්‌තරා පාතාල කල්ලියක නායකයකු හමුවීමට ගියේය.

ලොක්‌කා මේ වැඩේ ලක්‍ෂ 5 න් කරන්න බැහැ. අඩුම ගානෙ ලක්‍ෂ 50 ක්‌ වත් දුන්නොත් අපි මේක ඉවරයක්‌ කරලා දානවා. පාතාල ප්‍රබලයා නීරෝට කීවේය. ලක්‍ෂ 5 කින් නෙරංජලා කම්මුතු කර දැමීමට නීරෝ සැලසුම් කළ ද පාතාල නායකයා ඒ සඳහා විශාල මුදලක්‌ ඉල්ලා සිටියේය. නීරෝ ඊට එකඟ වුණේ නැත.

මේ වැඩේ මම ම ඉවරයක්‌ කරලා දානවා. මට පිස්‌තෝලයක්‌ හොයලා දීපං... නීරෝ සිය සගයාට කීවේය. ඔවුන් පිස්‌තෝලයක්‌ සොයා ගැනීමට කීප තැනකටම ගිය ද එය නිෂ්ඵල කාර්යයක්‌ විය. මාසයක කාලයක්‌ ශ්‍රී ලංකාවේ ගත කළ නීරෝ ජුලි මස 01 වැනිදා නැවත සිය බිරිඳ සහ දරුවා ද සමග ඔස්‌ටේ්‍රලියාවට ගියේය. මේ කාල සීමාව තුළදී ඔහු කීප අවස්‌ථාවකදීම මහගෙදරට යැමට අමතක කළේ නැත. තමන්ගේ යටි හිතේ කැකෑරෙමින් තිබූ පළිගැනීමේ ෙච්තනාව දිනෙන් දින ලියලමින් තිබිණි.

නීරෝ අන්තිමේදී තීරණයක්‌ ගත්තේය. නෙරංජලා මරා දැමීමට තමන්ම යායුතු බව ඔහු තීරණය කළේය. නීරෝ ටෝනිට දුරකථනයෙන් කතා කර මේ බව දැනුම් දුන්නේය.

මම නොවැම්බර් 18 වැනිදා ලංකාවට එනවා. කිසිම කෙනකුට මේ වග කියන්න එපා. ඔය ගෑනිව ඉවරයක්‌ කරලා මම හොරෙන්ම ආපහු එනවා. උඹ ඕනෙ කරන දේවල් ටික ලෑස්‌ති කරපං.... නීරෝ සිය සැලසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ටෝනිව දැනුවත් කළේය. නීරෝගේ උපදෙස්‌ මත ටෝනි සිය මිතුරකු වූ දිමුතු ද මේ අපරාධය සඳහා සම්බන්ධ කරගත්තේය.

දිමුතුගේ මිතුරන් දෙදෙනකු යුද හමුදාවේ සිටි අතර ඔවුන් දෙදෙනා ද ඊට සම්බන්ධ කරගැනීමට කටයුතු කළහ. විශේෂත්වයක්‌ වූයේ මොවුන් තිදෙනාම පාපන්දු ක්‍රීඩකයන් වීමය.

සැලසුම් කළ පරිදි නීරෝ පසුගිය නොවැම්බර් මස 18 වැනිදා ශ්‍රී ලංකාවට ආවේය. නෙරංජලා මරා දැමීම සඳහා පැළඳගෙන යැමට මුහුණු ආවරණ සහ ජැකට්‌ටු පහක්‌ ඔස්‌ටේ්‍රලියාවේ සිට ගෙනඒමට නීරෝ කටයුතු කළේය.

නීරෝගේ උපදෙස්‌ මත ටෝනි කුලී වෑන් රථයක්‌ ද මේ ඝාතනය සඳහා සූදානම් කරගෙන සිටියේය. නීරෝ ගුවන්තොටුපළේ සිට ඒකලට ආවේ ද මේ වෑන් රථයෙන්ය. ඒකල රණසිංහ හෝම්ස්‌ හි නිවසක්‌ කුලියට ගත් නීරෝ මේ අපරාධයට සම්බන්ධ වී සිටි සියලු දෙනා එහි නතර කර ගත්තේය. නෙරංජලා මරා දැමීම සඳහා තියුණු ආයුධ භාවිත කිරීමට ඔවුන් කතිකා කරගත්හ. ඒ අනුව ජා-ඇල ප්‍රදේශයේ කම්මලකට ගිය ටෝනි විශාල මන්නා පිහි 4 ක්‌ සහ කුඩා ප්‍රමාණයේ පිහියක්‌ සාදවා ගත්තේය.

තම සැමියාගේ බාල සොහොයුරා තමන් මරා දැමීමට අර අදිමින් සිටිනා බව නෙරංජලා සිහිනයකින්වත් සිතුවේ නැත. ඇය සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු කරගෙන ගියාය.

නෙරංජලාගේ පුංචි දියණිය අධ්‍යාපනය ලැබුවේ වත්තල "ලයිසියම්" ජාත්‍යන්තර පාසලේය. උදෑසන ඇය පාසල් ගියේ ත්‍රිරෝද රථයෙන්ය. නෙරංජලා ද ඒ ත්‍රිරෝද රථයෙන්ම ගොස්‌ දියණිය පාසලට ඇරලවා ඒම පුරුද්දක්‌ කරගෙන සිටියාය.

පුංචි දියණිය පාසලට ඇතුළු කර ආපසු නිවසට එන අතරතුරදී නෙරංජලා මරා දැමීමට නීරෝ ඇතුළු කල්ලිය කථිකා කරගත්හ.

ඔවුන් නොවැම්බර් මස 19 වැනිදා උදේ වෑන් රථයෙන් පැමිණ වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක්‌ අසල රැකගෙන සිටියේ නෙරංජලා ත්‍රිරෝද රථයෙන් නිවසට යනතුරුය. එහෙත් එදින ඇය ත්‍රිරෝද රථයෙන් ආපසු ගියේ නැත.

ආයුධවලින් සන්නද්ධව පැමිණ නෙරංජලා එනතුරු පැය ගණනක්‌ වත්තල නගරයේ සැරිසරමින් සිටි නීරෝ ඇතුළු සාහසිකයන් එදින බලාපොරොත්තු සුන් වී ආපසු ගියහ. නෙරංජලා දරුවාව දාල ආපහු ගෙදර එන එක ෂුවර් නැහැ. ඒ නිසා අපි නෙරංජලාව මරන්න ඕනෙ දරුවත් එක්‌ක ගෙදරින් එළියට බහිනකොට. නීරෝ සිය සගයන්ට කීවේය. එA සැලසුම ඔවුන් ද සනාථ කළහ. නොවැම්බර් 20 වැනිදා උදෑසන මේ මහා අපරාධය සිදු කිරීමට ඔවුහු සැලසුම් කළහ.

උදේ 6.45 වෙනකොට වෑන් එක තොටුපොළ පාරට අරගෙන එන්න ඕනෙ. නීරෝ සිය සගයන්ට උපදෙස්‌ දුන්නේය. 20 වැනිදා අලුයම 4.30 ට පමණ නීරෝ සිය සගයන් වූ ටෝනි, දිමුතු සහ හමුදා සෙබළුන් දෙදෙනා ද කැටිව තොටුපොළ පාරේ පිහිටි නෙරංජලාගේ නිවස අසලට ආහ. නිවස අසල මාර්ගයේ දැල්වෙමින් තිබූ වීදි පහන් නිවා දැමූ පිරිස හෙමිහිට නෙරංජලාගේ ඉඩමට රිංගූහ. නිවස ඉදිරිපිට මුර මඩුවකි. පැය කීපයක්‌ එහි නතර වී සිටීමට ඔවුන් කල්තියාම සැලසුම් කරගෙන සිටියහ. කාලය ගත කිරීමටත් මහා අපරාධය සිදු කිරීම සඳහා සිහිය විකල් කරගැනීමටත් ඔවුන් මත්පැන් බෝතල් කීපයක්‌ම හිස්‌ කළහ.

උදේ 7.00 වන විට හොඳ හැටි එළිය වැටී තිබිණි. සුපුරුදු පරිදි නෙරංජලා සිය දියණිය ලෑස්‌ති කරවාගෙන නිවසින් එළියට ආවේ ත්‍රිරෝද රථය බලාපොරොත්තුවෙන්ය.

නිවස ඉදිරිපිට ගේට්‌ටුව දෙසට පියවර තබද්දී ඇය එක්‌වරම තුෂ්ණීම්භූත වූවාය. මුහුණු ආවරණය කරගත් සිව් දෙනකු එක්‌වරම නෙරංජලා වෙත කඩා පැන්නාහ. බියට පත් පුංචි දියණිය විලාප නගා කෑගසන්නට වූවාය. නෙරංජලා සිහිවිකලෙන් මෙන් තම දියණිය ද ඇදගෙන නිවස දෙසට දිය යැමට උත්සාහ කළාය. එහෙත් සාහසිකයා ඇයට පෙර ක්‍රියාත්මක විය. ටෝනි තම අතේ තිබූ තියුණු මන්නා පිහියෙන් නෙරංජලාගේ පිට ප්‍රදේශයට වේගවත් පහරක්‌ එල්ල කළේය. ඒ පහරින් ඇය වීසිවී ගොස්‌ අසල තිබූ මල් පඳුරක්‌ දෙසට ඇදවැටුණාය.

"අනේ මගේ අම්මා.... එයාට මොකුත් කරන්න එපා..."

පුංචි දියණිය විලාප තබන්නට වූවාය. ඇගේ විලාප හඬට ආනන්දගේ මහලු මවුපියන් ද නිවසින් පිටතට පැමිණියේ සිදුවන්නේ කුමක්‌දැයි බැලීමටය.

හමුදා සෙබළුන් දෙදෙනා එක්‌වරම සිඟිති දියණිය බිම දිගේ ඇදගෙන නිවස පිටුපසට යැමට උත්සාහ කළහ.

පිහි පහරින් අන්දමන්ද වූ නෙරංජලා බිම ඇදවැටී දඟලන්නට වූවාය. ඒ අවස්‌ථාවේ ක්‍රියාත්මක වූයේ නීරෝය. තම සිතේ ඇවිළෙමින් තිබූ වෛරය එක්‌වරම පිට කළ නීරෝ නෙරංජලා වෙත කඩාපැන්නේය.

ඇගේ කෙස්‌ වැටියෙන් අල්ලාගත් නීරෝ දකුණු අතේ තිබුණු මන්නා පිහියෙන් ගෙල වෙන්වී යන ආකාරයෙන් පහර කීපයක්‌ එල්ල කළේය. පිහි පහරින් නෙරංජලාගේ හිස කඳෙන් වෙන් විය. වෙන්වූ හිස අසල තිබූ මල් පඳුරක්‌ යටට වීසි කර දැමූ නීරෝ වටපිට බැලුවේය.

නෙරංජලාගේ ගෙල හරහා එල්ල කළ මන්න පිහි පහරකින් නීරෝගේ වම් අතට ද බරපතල අන්දමින් තුවාල සිදුවිය. ඒ වන විට සියල්ල සිදුවී හමාරය. නෙරංජලාගේ ප්‍රාණය නිරුද්ධ වූ හිස සුන් මළ කඳ මිදුලේ වැටී තිබිණි.

නීරෝ ඇතුළු සන්නද්ධ පිරිස වහ වහා පාරට දිවගොස්‌ අසල නතර කර තිබූ වෑන් රථයට ගොඩ වූහ.

ඒ වන විට නීරෝගේ අතේ වූ තුවාලයෙන් විශාල වශයෙන් රුධිරය වහනය වෙමින් තිබිණි.

"මේ වෙලාවේ ළඟ පාත හොස්‌පිටල් එකකට ගියොත් අපි අහුවෙන්න පුළුවන්. ඒ නිසා මම යනවා කොළඹ." නීරෝ සිය කල්‍යාණ මිතුරා වූ ටෝනි ද සමග වෙනත් වෑන් රථයකින් කළුබෝවිල රෝහල වෙත පැමිණියේය. තුවාලයේ බරපතලකම නිසා එය රජයේ රෝහලකින්ම ප්‍රතිකාර කළ යුතු විය. කළුබෝවිල රෝහලේ නතර වූ නීරෝ අතේ වූ තුවාලයට ප්‍රතිකාර ගත්තේය. පසුදා උදා වන විට මේ මහා අපරාධයෙන් මුළු රටම කම්පාවට පත්වී තිබිණි. මාධ්‍ය ඔස්‌සේ නීරෝට ද එය දැක බලාගත හැකි විය. ඔහුගේ හිතට දැඩි බියක්‌ දැනෙන්නට විය.

නීරෝ හොර රහසේම කළුබෝවිල රෝහලෙන් පිටවී ඒකල පිහිටි කුලී නිවසට ආවේය. ඒ වන විට ටෝනි ඇතුළු සගයන් සියලු දෙනා එහි නතර වී සිටියහ. "මට වැඩි දවසක්‌ මෙහෙ ඉන්න බැහැ. ලබන 22 වැනිදා රෑ මම ආපහු යනවා. උඹලට ගෙවන්න ඕනෙ ගණන් මම එහෙ ඉඳලා එවන්නම්. කරපු වැඩේට ගොඩක්‌ ස්‌තුතියි." නීරෝ සිය සගයන්ට කීවේය.

නෙරංජලා ඝාතනය කළ ටෝනි ඇතුළු සහචර පිරිස එදින නීරෝගෙන් සමුගත්හ. 22 වැනිදා රාත්‍රි නීරෝ හොර රහසේම ඔස්‌ටේ්‍රලියාව බලා යැමට පිටත් වූයේ නෙරංජලාගේ ඝාතනය සදාකාලිකවම වැළලී ගිය අපරාධයක්‌ වනු ඇතැයි සිතමිනි.

ඔස්‌ටේ්‍රලියාවට ගිය පසු ඔහු සිය සගයන්ට මුදල් එවීමට අමතක කළේ නැත. නෙරංජලා මරා දැමීමට පැමිණි හමුදා සෙබළුන් දෙදෙනාට රුපියල් පනස්‌ දහස බැගින් ද, දිමුතුට රුපියල් තිස්‌ හය දහසක්‌ ද, වෑන් රථයේ රියෑදුරාට රුපියල් තිස්‌ දහසක්‌ ද එවීමට නීරෝ කටයුතු කළේය. තම කල්‍යාණ මිතුරා වූ ටෝනිට රුපියල් ලක්‍ෂයක මුදලක්‌ එවූ නීරෝ තවත් මුදල් අවශ්‍ය නම් දැනුම් දෙන ලෙස ද කීවේය. එහෙත් මේ සාහසික අපරාධය පසුපස ලුහුබැඳ ගිය පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් එහි සුලමුල අනාවරණය කරගෙන ඝාතකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

සාහසික පිරිස පැමිණි වෑන් රථය ද පොලිස්‌ භාරයට ගත් අතර රද්දොළුගම ප්‍රදේශයේ ඇළකට වීසි කර තිබූ මන්නා පිහි කීපයක්‌ ද සොයා ගත්තේය. විදේශගතව සිටින නීරෝ සහ දිමුතු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි.

බස්‌නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එච්. එස්‌. දයානන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ගන්ගේම, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නෝර්ටන් සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි එච්. සමුද්‍රජීව මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ස්‌ථානාධිපති උපුල් සමරසිංහ, පොලිස්‌ පරීක්‍ෂක තාරක සුබෝධ, උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමරත්න, ජයරත්න, සැරයන් (6406) රාමනායක, (2953) රසික යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

(පොලිස්‌ වාර්තා ඇසුරින් සකස්‌ කරන ලදී.)


හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.