පකිස්‌තාන් මැතිවරණයෙන් අසුනක්‌ දිනා ගන්න
හොර උපාධි සහතික දීපු මන්ත්‍රිවරුන්ට වැඩ වරදී !

මැතිවරණවලට ඉදිරිපත් වූ පකිස්‌තාන් අපේක්‍ෂකයන් අසුනක්‌ දිනා ගැනීමේ අරමුණින් කූට උපක්‍රම යොදා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍යවලින් පෙන්වා දීමෙන් පසු මෙම හොර සහතික අපචාරය උසාවි හමුවට පමුණුවනු ලැබීය. මේ ගැන අවධානය යොමු කළ ශේ්‍රෂ්ඨාධිකරණය ඡන්දෙන් තේරී පත්ව සිටින දේශපාලනඥයන් 1100 කගේ උපාධි සහතික පරීක්‍ෂා කර වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස එරට මැතිවරණ කොමසාරිස්‌ට ද නියෝගයක්‌ නිකුත් කර ඇත. පකිස්‌තාන් මැතිවරණ සුදුසුකම් විධිවිධාන යටතේ අපේක්‍ෂකයකු උපාධියක්‌ ලබා සිටිය යුතුය.

අසීමිත කාලපරිච්ඡේදයක්‌ හමුදා පාලනයට නතුව තිබී පසුව ඉන් මිදී ප්‍රජාතන්ත්‍රවාදය කරා පියනැඟීමට ප්‍රයත්න දරන රටක උද්ගත වී තිබෙන මෙම හොර සහතික මගඩියට වරදකරුවන් වන මන්ත්‍රීවරු ආසන අහිමිවීමේ තර්ජනයකට ද මුහුණ පා සිටිති.

මැතිවරණ රැස්‌වීමකදී ත්‍රස්‌ත ප්‍රහාරයකින් ඝාතනය කරනු ලැබූ අගමැතිනි බෙනාසීර් බූතෝගේ සැමියා වන වත්මන් ජනාධිපති අසිෆ් අලි සර්දාරි ද මෙම නියෝගයෙන් ආවරණය වනු ඇත. ඔහු ලන්ඩන් ව්‍යාපාරික විදුහලකින් උපාධියක්‌ ලබා සිටින බවට කියන කතාවේ ඇත්තක්‌ තිබේද යන ප්‍රශ්නයක්‌ ද මතු වී තිබේ.

මේ ව්‍යාජ සහතික ප්‍රශ්නය ඉස්‌මතු කරමින් පකිස්‌තාන් පුවත්පත් විශාල ආන්දෝලනයක්‌ ඇති කර දී තිබේ. පුවත්පත් තීරු විශාල ප්‍රමාණයක්‌ මේ හොර සහතික කතාව ජනතාව අතරට රැගෙන යාමට වෙන් විය.

මෙසේ හොර සහතික ඉදිරිපත් කළ දේශපාලකයෝ පුවත්පත් පිළිබඳව ද බෙහෙවින් කුපිත වී සිටිති.

සෑම අපේක්‍ෂකයකු ම උපාධිධාරියකු විය යුතු යන්න නීතිය පනවන ලද්දේ හිටපු හමුදා පාලක පර්වේස්‌ මුෂාරෆ් විසින් 2002 වසරේදීය. එමගින් දේශපාලකයන්ගේ ඥනයේ හා දැනුමේ අගය වැඩි කරනු ඇතැයි මුෂාරෆ් කියා සිටියේය.

එම නීතිය පසුකාලයේ අහෝසි කරනු ලැබූ නමුදු ශේ්‍රෂ්ඨාධිකරණයට මැදිහත්වීමට ඉන් බාධාවක්‌ නැත. ඉකුත් සතියේ නිකුත් කළ නියෝගයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය විධාන කර තිබෙන්නේ එම අපේක්‍ෂක සුදුසුකම් නීතිය වලංගුව පැවැති කාල සීමාවේදී තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිරික්‌සිය යුතු යෑයි පැවසීය.

නාමයෝජනා පත්‍ර සමග විශ්වවිද්‍යාල උපාධි සහතිකය ඉදිරිපත් නොකළ මන්ත්‍රීන් 35 දෙනකු මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් මන්ත්‍රීන් 138ක්‌ ඉදිරිපත් කර තිබෙන උපාධි සහතික කියවා බැලීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් උසස්‌ අධ්‍යාපන කොමිසමේ ප්‍රකාශකයෙක්‌ පැවසීය. මොවුන්ගෙන් එක්‌ අයෙක්‌ තමා වෙනුවට මිතුරකු විභාගයට පෙනී සිටීමට ඉදිරිපත් කර තිබෙන බව සොයාගෙන ඇතැයිද හෙතෙම පවසයි. ජනාධිපති සර්දාරි මේ නියෝගය ගණන් ගන්නේ නැත. ඔහු කියන්නේ "මම මැතිවරණයට ඉදිරිපත් වි ජයගත් සේ උපාධියත් අනිවාර්ය නීතිය අවලංගු කිරීමෙන් පසුවන නිසා මේක මට කිසිසේත් බලපාන්නේ නැත" යනුවෙනි. සමහර පකිස්‌තාන් නිරීක්‍ෂකයන් හා මැදිහත් මතධාරීන් පවසන්නේ අඩු අධ්‍යාපන තත්ත්වයක්‌ පවතින රටක හැමෝම උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා සිටිය යුතු යෑයි අපේක්‍ෂා කිරීම කාලෝචිත නොවන බවය. මේ අතර උර්දු බසින් පළ වෙන නවා-අයි- වත් පුවත්පතේ කර්තෘ ජවාඩ් සිද්ධීක්‌ ගේ මතය වී ඇත්තේ මෙය ද්වේශ සහගත ක්‍රියාවක්‌. තමන් අකැමැති ව්‍යාජ උපාධිධාරීන් කව්දැයි සොයාගෙන ඔවුන්ගෙන් පළිගැනීමේ වෑයමක්‌ බවය.


වසන්ත කුමාර කෙත්හේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.