ඉන්ට නැෂනල් රිපෝටර්

"ලංකාව පළාත් සභා නමයකට බෙදල තියෙනවා" බුෂ් කීවේය.

"ලංකාව දිස්‌ත්‍රික්‌ක විසිහයකට බෙදලා තියෙනවා" පුටින් කීවේය.

"ලංකාව මැතිවරණ බල ප්‍රදේශ එකසිය අනූහයකට බෙදලා තියෙනවා" බුෂ් කීවේය.

"ලංකාව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට බෙදලා තියෙනවා" පුටින් කීවේය.

"ලංකාව ග්‍රාමසේවක කොට්‌ඨාසවලට බෙදලා තියෙනවා" බුෂ් කීවේය.

"ලංකාව ගිරුවාපත්තුව ආදී පත්තුවලට බෙදලා තියෙනවා" පුටින් කීවේය.

"ලංකාව සියනෑ කෝරළේ වගේ කෝරළවලට බෙදලා තියෙනවා" බුෂ් කීවේය.

"මේ දිස්‌ත්‍රික්‌, පළාත්, කෝරළ ආදී බෙදීම් එසේම පවතිනවා වෙනස්‌ වෙන්නේ නෑ" පුටින් කීවේය.

"ඒත් එයට අමතරව තවත් බෙදීම් වර්ගයක්‌ නිරන්තරව ඇති වෙමින් පවතිනවා" බුෂ් කීවේය.

"දෙමළ ජනතාව පිල්ලෙයාන්, කරුණා, දේවානන්ද, මනෝ ගනේෂන්, ද්‍රවිඩ ජාතික සංවිධානේ වශයෙන් කොටස්‌ පහකට විතර බෙදිලා තියෙනවා" පුටින් කීවේය.

"සිංහල ජනතාව සන්ධානේ, යූඇන්පී, ඡේවීපී, ජානිපේ, කොමියුනිස්‌ට්‌, හෙළ උරුමේ, නවසසප ආදී වශයෙන් පක්‌ෂ

රැසකට බෙදිලා තියෙනවා" බුෂ් කීවේය.

"මේ පක්‌ෂත් පිල් කීපයකට බෙදිලා තියෙනවා" පුටින් කීවේය.

"යූඇන්පී ය රනිල් පිල, සජිත් පිල, රවී පිල, දයාසිරි පිල, කාටවත් නැති පිල, මොනර පිල ආදී වශයෙන් කොටස්‌ කීපයකට බෙදිලා තියෙනවා" බුෂ් කීවේය.

"ඡේ.වී.පී. එක දෙකට කැඩිලා ජානිපේ බිහිවුණා. ජානිපෙනුත් ඊට පස්‌සේ නන්දන බෙදිලා ගියා. දැනටත් ඡේවීපී එක ඇතුළෙත් බිමල්, අනුර කියලා බෙදීමක්‌ තියෙනවා කියලා ආරංචිය" පුටින් කීවේය.

"ආණ්‌ඩුව ඇතුළේ තියෙන බෙදීම් ගැන මං වුණත් කියන්න යන්නේ නෑ" බුෂ් කීවේය.

"ආණ්‌ඩුව ඇතුළෙත් විවිධ බෙදීම් තියෙන බව නං මටත් ආරංචියි. ඒත් මං වුණත් ඒවා ගැන වැඩි උනන්දුවක්‌ නෑ" පුටින් කීවේය.

"එදා මහින්දට විරුද්ධව ජනරාල් සරත්, රනිල් හා අනුර එක්‌වුණා" බුෂ් කීවේය.

"අද සජිත්ගේ නායකත්ව

කැරැල්ලෙන් බේරෙන්න රනිල්, මහින්ද මහත්තයාත් එක්‌ක එක්‌වෙලා" පුටින් කීවේය.

"ඔව්. යූඇන්පී එකේ ව්‍යවස්‌ථා සංශෝධනය වළක්‌වන්න රනිල් දැන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනේ කරන්න එක්‌වෙලා" බුෂ් කීවේය.

"සරතුත් දැන් තමන්ගේම පක්‌ෂේ ලියාපදිංචි කරගෙන" පුටින් කීවේය.

"ආණ්‌ඩුවට සහාය දීපු ආචාර්යවරුත් ස්‌ට්‍රයික්‌ කරන්න හදනවා" බුෂ් කීවේය.

"වතුර බෝතලෙන් එක පාරයි වැදුණේ. රනිල් බයවෙලා ආණ්‌ඩුක්‍රමේ සංශෝධනේ කරන්න උදව් වෙන්න ආවා" පුටින් කීවේය.

"මෙගා ස්‌ටාර්වල විනිශ්චය මණ්‌ඩලයත් බෙදිලා" බුෂ් කීවේය.

"සුපර් ස්‌ටාර්වල නිවේදකයන් බෙදිලා" පුටින් කීවේය.

"හෙළ උරුමෙත් සභාපතියි පක්‌ෂෙයි බෙදුනා" බුෂ් කීවේය.

"බංකී මූන් ගැන තියෙන විරෝධයත් බෙදිලා" පුටින් කීවේය.

"අනේ බාං... බං කී... මූ... න්" බුෂ් ගිය සතියේ රොඩ්රිගෝ මහතාගෙන් ඉගෙන ගත් දෙය පැවසුවේය.

"පළාත් සභා, ප්‍රාදේශීය සභා, කෝරළ, පත්තු මදිවට තවත් බෙදීම්" පුටින් කීවේය. "බෙදීම් බෙදීම් බෙදීම්" බුෂ් කීවේය.

"බෙදීම් බෙදීම් හා නැවත බෙදීම්" පුටින් කීවේය

"දේශපාලනය කියන්නේ බෙදීම් හා එක්‌වීම්" බුෂ් කීවේය.

"දේශපාලනය කියන්නේ බෙදීම් එක්‌වීම් නැවත බෙදීම්" පුටින් කීවේය.

"දේශපාලනය කියන්නේ බෙදීම් එක්‌වීම් නැවත බෙදීම් හා නැවත එක්‌වීම්" බුෂ් කීවේය.

දේශපාලනය කියන්නේ බෙදීම්, එක්‌වීම්, නැවත බෙදීම් හා නැවත එක්‌වීම් හා නැවත බෙදීම්" පුටින් කීවේය.

"දේශපාලනය සංසාරෙට වඩා ටිකයි කොට" බුෂ් කීවේය.

"කොහොම වුණත් අපි එච්චර එහාට යන්නේ නැතිව දේශපාලනය ගැන ශාස්‌ත්‍රීය නිර්වචනයකින් මේ සමිතිය හමාර කරමු" පුටින් කීවේය. ඒ අනුව බුෂ් ශාස්‌ත්‍රීය නිර්වචනය ඉදිරිපත් කළේය.

"දේශපාලනය යනු බෙදීම් හා එක්‌වීම් වේ" ඉන්පසුව පුටින් එම නිර්වචනය අනිත් පැත්ත හැරෙව්වේය.

"දේශපාලනය යනු එක්‌වීම් හා බෙදීම් වේ" ඉන්පසුව බුෂ් මෙසේ කීවේය.

"මේ දෙකම එකට ගත්තාම නිර්වචනේ සම්පූර්ණයි"

දේශපාලනය පිළිබඳ ශාස්‌ත්‍රීය නිර්වචනයක්‌ බිහිකිරීම උදෙසා බුෂ් හා පුටින් අඛණ්‌ඩ සාකච්ඡා වටයක්‌ පැවැත්වූ ජාත්‍යන්තර ප්‍රජා සමිතිය එසේ අවසාන විය. දේශපාලනය ගැන හරිම නිර්වචනය ලොවට ඉදිරිපත් කළ ජාත්‍යන්තර ප්‍රජා සමිතිය එසේ අවසාන විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.