අපෙන් සමුගෙන ගිය හාරදාස්‌ මුදියන්සේ

පැල්මඩුල්ලේ සිට දකුණේ අම්බලන්තොටට ආ ඔහු දකුණේ සුප්‍රකට ව්‍යාපාරිකයකු පමණක්‌ නොව සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද කැපී පෙනිණි. පිටින් ඇවිත් දකුණේ සෙල්ලම් කිරීම ලේසි පහසු දෙයක්‌ නොවේ. එහෙත් ඒ හපන්කම කළ අයෙක්‌ ලෙස දකුණම ඔහුට ආදර සත්කාර කළා පමණක්‌ නොව ගරු බුහුමන් දැක්‌වීය. ඒ අන් කවරකුවත් නොව හාරදාස්‌ මුදියන්සේ මහතාය.

හාරදාස්‌ මුදියන්සේ පසුගියදා සදාකාලිකවම සමුගෙන ගියේය. නමේ විදිහටම ඔහු හාරදාස්‌වලින් නොව කෝටි ගණනින් ධනය රැස්‌ කළ ධනවතකු ද විය. ඉඩ කඩම්, යාන වාහන, ව්‍යාපාර මෙන්ම ජනතාව ද අඩුවක්‌ නැතුව උපයා සපයා ගත් හාරදාස්‌ මුදියන්සේගේ හිත දේශපාලනයට ද ඇදී ගියේය. එහෙත් ඔහුගේ දේශපාලනය වේදිකාවේ පසු පසට සීමා විය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය හඳුනාගත් ඔහු ඇයගේ විශ්වාසවන්තයකු ද විය. බණ්‌ඩාරනායක මැතිනිය ඔහුට දේශපාලනයට එන ලෙස ඉල්ලීමක්‌ ද කර ඇත. එහෙත් ඔහු පක්‍ෂයට උදව් කරමින් ශ්‍රී.ල.නි.ප. ප්‍රබලයන් ඇසුරේ ගෙවීමට වඩාත් ප්‍රිය විය.

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඔහුගේ සහෝදරයන් සමඟ ද හාරදාස්‌ මහතාට ඇසුරක්‌ තිබිණි. සිය ජීවිතයම ජනතා සේවය සඳහා කැප කළ ඔහු ඒ හැම තැනකදීම වැය කළේ පෞද්ගලික ධනයයි. ඔහු තම සමීප සේවකයන්ට ඉඩකඩම් හා කුඹුරු ද තෑගි වශයෙන් දී ඇත.

අම්බලන්තොට සාලිය සිනමාහල් හිමිකරුවා වූ ඔහු ජ.වි.පෙ. කැරැලි සමයේදී තරුණයන්ගේ විරෝධයට පවා ලක්‌ නොවූයේ ඔහු තුළ වූ මානුෂික ගුණයත් පරිත්‍යාගශීලී බවත් නිසාමය. නැති බැරි මිනිහා ගැන වැඩ කිරීමට වඩා දේශපාලනයක්‌ තමාට නැතැයි ඔහු නිතරම කීවේය. ඔහු කලක්‌ වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේද ක්‍රියාකාරීව සිටියේය. ඒ එකල ඔහු කළ රැකියාව නිසාය.

හාරදාස්‌ මුදියන්සේ මහතා අම්බලන්තොට හා කොළඹ අතර කලක්‌ ජීවත් විය. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා වෙනත් වුවමනාවන් ද නිසාය. හාරදාස්‌ මහතා විවාහ වූයේ කුසුමා සමඟය. ඔහුට දියණියන් දෙදෙනෙක්‌ හා පුතකු ද විය.

ඔහුගේ වැඩිමහල් දියණිය රේණු කලක සිට පදිංචිව සිටින්නේ ලන්ඩනයේය. ලන්ඩනයේ පදිංචිව සිටින සුජීව නිවුන්හැල්ල සමඟ ඇය විවාහ වී සිටින්නීය. සුජීව ලන්ඩනයේ අයිලන්ඩ් හා දිවයින විශේෂ වාර්තාකරු ලෙස ක්‍රියා කරන ප්‍රකට මාධ්‍යවේදියෙක්‌ ද වේ.

හාරදාස්‌ මහතාගේ ජීවිත සැඳෑව ඉතා විවේකීව ගෙවෙමින් තිබිණි. වසරකට වරක්‌ නොවරදවාම ලන්ඩනයට ගොස්‌ සිය දරුවන් බලා ඒම හාරදාස්‌ යුවලගේ සිරිතකි. වරක්‌ ඔහු බ්‍රිතාන්‍ය රජයට එරෙහිවද නඩු කීවේය. ඒ දරුවන් බැලීමට යැමට වුවමනා වීසා ලබා නොදීම නිසාය. පසුව බ්‍රිතාන්‍ය රජය ඔහුට වීසා ලබා දුන්නේ කනගාටුව ද පළ කරමින්ය.

හාරදාස්‌ යනු කිසි දිනක මුදලට බලයට යට නොවූ අයෙකි. සරල චාම් ජීවිත පැවැත්මෙන් යුතු ඔහුගේ ජීවිතය ඉතා පැහැපත් එකක්‌ විය. සමාන සුඛ දුක්‌ඛ මිතුරකු ලෙස මිතුරන් අතර ඔහු ගෞරවයට පාත්‍ර විය. පරිත්‍යාගය ඔහුගේ සංසාර පුරුද්දකි.

සියලු හොඳ හා යහපත් ලකුණු මරුවා නොදකී. වසර දෙකක්‌ පමණ රෝගී තත්ත්වයෙන් පසු වුවද ඔහු කිසි දිනක නොසැලිණි. සිය ජීවිතයේ අවසානය එළැඹ ඇති බව ඔහුට හැඟුණි. තමාගේ සියලු ධනය පවුලේ අයටත් හිතවත් අයටත් බෙදා දුන් ඔහු ඒ ගමනට සූදානමින් සිටියේය.

ඔහුගේ අවසන් මොහොතේ ඇඳ වටා බිරිඳ කුසුමා මෙන්ම දූ දරුවෝද වූහ. ලොව අනියත බව සනාථ කරමින් ඔහු සමුගත්තේය. අපි ඔහුට නිවන් සුව පතමු.


අනුර ෆොන්සේකා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.