ආරෝග්‍යා පරමා ලාබා
ආරෝග්‍යශාලා නොමැත ලාබා !

ආරෝග්‍යා පරමාලාභා යන සත්‍යතාවය බෞද්ධයන් පමණක්‌ නොව අන්‍ය ආගමිකයෝ ද ඉත සිතින් විශ්වාස කරති. පරම හෝ හොඳම ලාභය නම් නිරෝගීකම බව ඉන් අදහස්‌ කෙරේ. රජෙක්‌ වුණත් ලෙඩෙක්‌ වුනොත් එතැන බොහෝ ගැටලු ඇති විය හැකිය. පරම ලාභ ලැබිය හැකි වන්නේ නිරෝගීව සිටීමට වඩා පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක්‌ පිහිටුවා ගැනීමෙන් දැයි සිතා සමහරු රෝගීන්ට ඖෂධ හා සේවය විකුණනු වස්‌ පෞද්ගලික ආරෝග්‍ය ශාලා ව්‍යාපාර පටන් ගනිති. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක්‌ හා අමාත්‍යවරු කීපදෙනෙක්‌ යටතේ සෞඛ්‍ය අමාත්‍යංංශයක්‌ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක්‌ ඇති අප රටේ රජය මගින් පාලනය වන ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාල ඉතා විශාල ප්‍රමාණයක්‌ නගර වලත් ඈත ගම්දනව්වලත් දකින්නට ඇත. එසේම මුදල් අයකරමින් රෝගීන්ට සේවය සපයන පෞද්ගලික රෝහල් ද රාශියක්‌ ඕනෑම නගරයක දකින්නට තිබේ. මෙවැනි තැන්වල ඇති සැබෑ තත්ත්වය අද අපේ රටේ සාමාන්‍ය මනුෂ්‍යයාට එතරම් අලුත් හෝ නොදන්නා කරුණු නොවුනත් වසර කීපයක්‌ තිස්‌සේ ඒවායේ ගැවසෙමින් සොයාගත් සමහර අලුත් කරුණු පාඨකයා හමුවේ තැබීම කාටත් ප්‍රයෝජනවත් යෑයි සිතමි.

රජයේ රෝහල්වලින් බෙහෙත් ගැනීමට එන ජනයාට එහි සේවකයන් සලකන අන්දමත්, සමහර පෞද්ගලික රෝහල්වල දකින්නට ලැබෙන දැරිය නොහැකි මිල ගණන් සහ රෝගීන්ට සැලකීමේදී ඇතිවන දුර්වල තත්ත්වයන් පිළිබඳ කරුණු සොයා ලියන ලෙස මෙයට වසර එකහමාරකට පමණ පෙර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් එස්‌. එම්. එස්‌. එකක්‌ මගින් මා දිරිමත් කළ අයුරු මට මතකය. එය ඉත සිතින් සතුටින් බාර ගත් මම ඒ ගැන කරුණු සෙව්වෙමි.

මනුෂ්‍යයන් බොහෝ දෙනෙක්‌ අද පුරුදුව සිටින්නේ කුඩා හෝ අසනීපයක්‌ ශාරීරික අපහසුතාවක්‌ ඇති වූ විට වෛද්‍යවරයෙක්‌ සොයා රෝහලක්‌ වෙත ඩිස්‌පැන්සරියක්‌ වෙත දිව යැමටයි. තමාට ඇති අසනීපයකට ඉක්‌මණින් පිළියම් කර ගැනීම ඉතාම හොඳය. නමුත් අද සමහරුන් මෙසේ වෛද්‍යවරුන් සොයා යැමත්, අහවල් තැන්වලින් ප්‍රතිකාර ගත්තා යි කියන්නටත් මට මේ මේ ලෙඩ තියෙනවා යෑයි කියන්නටත් බොහෝ කැමතිය. එය සමහරුන්ට විලාසිතාවකි. මේ බව හොඳින් අධ්‍යයනය කිරීමෙන් දෝ කොහේද සමහර ව්‍යාපාරිකයෝ ලෙඩ සුව කිරීම දෙවැනි තැනට දමා මුදල් ඉපයීම වස්‌ පෞද්ගලික රෝහල් චැනල් සේවා වැනි දේ ආරම්භ කරති. අප කුඩා කාලයේ මුළු ලංකාවටම තිබුණේ මෙවැනි පෞද්ගලික රෝහල් අතළොස්‌සකි. යහමින් මුදල් හදල් ඇති අය ඈත එපිට ගම්වලින් පවා කොළඹට පැමිණ මෙවැනි රෝහල්වලින් ප්‍රතිකාර ගත්හ. කොල්ලුපිටියේ හා හෝර්ට්‌න් පෙදෙසේ එදා තිබුණු ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් විය. නමුත් අද එකී නොකී විවිධ නම්වලින් සැදුනු රෝහල් වාට්‌ටු, ඩිස්‌පැන්සරි වැනි දැ රට පුරා සුලභය. ආණ්‌ඩුවේ රෝහල වන කොළඹ මහ ඉස්‌පිරිතාලේ ද ගෙවන වාට්‌ටු කියා දෙයක්‌ එදා තිබුණි. අදටත් එය ඇත. නගරයේ සිටි ධනවත් වෙළෙඳ ප්‍රජාව අසනීපයක්‌ වුනු කල හෝ ඇඟට පතට විවේකයක්‌ ගැනීමට අවශ්‍ය වූ විට මෙම ගෙවන වාට්‌ටුවට පැමිණ නේවාසික වෙති. මෙයට මර්චන්ට්‌ස්‌ වෝඩ් පැරජය්බඑs උaරා කියා අදටත් ආමන්ත්‍රණය කරති. සමහරු නම් හිතන්නේ මේ මර්චන්ට්‌ස්‌ වාට්‌ටුව කියා කියන්නේ හිරගෙදරට සම්බන්ධ හයිෆයි සිරකුටියක්‌ කියාය. එයට හේතුව වරදක්‌ කර හෝ සැකපිට යම් ධනවතෙක්‌ ප්‍රභූවරයෙක්‌ දේශපාලනඥයෙක්‌ වැනි අයෙක්‌ සිරගත හෝ රිමාන්ඩ් වූ කල හිරගෙදර රඳවා නොගෙන මෙම ආණ්‌ඩුවේ මර්චන්ට්‌ස්‌ වෝඩ් එකට ගෙනෙන නිසා ය.

එන්නකො ලොක්‌ක අතෙන්ට. ඕනි ලෙඩකට බෙහෙත් ගන්න ඉස්‌පිරිතාල එහෙනේ තියෙන්නේ. හරියට ලොරියට පාට්‌ස්‌ එකක්‌ ගන්න පංචිකාවත්තේ යනව වගේ. එහෙම නැත්තං බඩු මුට්‌ටුවක්‌ හදාගන්න හෙට්‌ටි වීදියට යනව වගේ එක එක ජාතියෙ ඉස්‌පිරිතාල තියෙන්නෙ එහෙනේ. ලෙඩ්ඩු වගේම දොස්‌තරලත් බලන්න ඕනිනං අන්න නියම තැන. හැබැයි සල්ලි මල්ලක්‌ අරන් එන්න ඕනී හරිද?"

ඒ මට හමු වූ ත්‍රීවීල් රියෑදුරෙක්‌ සුපිරි පෞද්ගලික රෝහල් ගැන දුන් අර්ථකථනයයි. එය ඇත්තකි. අද ආරම්භ කර ඇති පෞද්ගලික රෝහල් බොහෝ ඇත. හිසේ අමාරුවේ සිට බයිපාස්‌ සැත්කමත්. දරුවන් නැති අයට දරුවන්ද, ඇස්‌ නොපෙනෙන අයට පෙනීමද, ෂුගර්, ගෑස්‌ ප්‍රෙෂර් කොලෙස්‌ට්‍රෝල් වැනි ඔය එකී නොකී සෑම ලෙඩකටම සුවය දෙන්නට පොරොන්දු වුන රෝහල් අද සුලභය. "මගේ කකුලෙ ලොකු දදයක්‌ තිබුණා. ඒකට මං සෑහෙන කාලයක ඉඳන් ගොඩ වෙදකං කළා. හරි ගියේ නැහැ. පස්‌සේ ආණ්‌ඩුවේ ඩිස්‌පැන්සරියට ගියා. ඒත් හරි ගියේ නැහැ. ඕපීඩී එකෙන් බේත් ගත්තා ඒත් හරි ගියේ නැහැ. ඊටත් පස්‌සේ මහ රෝහලේ චර්ම රෝග සායනයට ගියා. එතැන බෙහෙත් දෙන විශේෂඥ වෛද්‍යවරයට ගොඩක්‌ පාරක්‌ පෙන්නලා මාස කීපයක්‌ම පිට පිටම ප්‍රතිකාර කළා. ඒත් සනීප වුණේ නැහැ. අන්තිමට බැරිම තැන රටම දන්න ප්‍රයිවට්‌ චැනල් රෝහලකට ගිහින් ස්‌පෙෂලිස්‌ට්‌ කෙනෙකුට පෙන්නලා බෙහෙත් ගත්තා. දවස්‌ තුනයි දදේ සනීපවෙන්න ගත්තා. හැබැයි දරන්න බැරි ලොකු ගාණක්‌ වියදම් වුණා. දැන් කැලලක්‌වත් නැහැ. ඒත් මට ප්‍රශ්නෙ තියෙන්නේ මට ප්‍රතිකාර කරපු දොස්‌තර මහත්තයටම තමයි මම ආණ්‌ඩුවේ ක්‌ලිනික්‌ එකේදීත් කීප සැරයක්‌ දදේ පෙන්නල බේත් ගත්තේ. ඇයි එයාට ඉස්‌පිරිතාලෙදී බැරි දේ පිටදී පුළුවන් වුණේ." දදය සුව වුණත් එසේ ප්‍රශ්න කරන මගේ හිතවතාට මෙය මහා ගැටලුවක්‌ වුණත් අද පවතින ප්‍රතිකාර රටාව දන්නා අයෙකුට නම් එහි රහසක්‌ නොපෙනේ. මන්ද සියල්ල මුදලට යට වී ඇති නිසා ය.

"ඒ දොස්‌තර මහත්තයව අල්ල ගන්න ම තැන් තුනකට ගියා. මේ හතරවන තැන. අන්තිමේදී නොම්මරයක්‌ ගත්තා ඇති යංතං"

ඒ වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකදී මට හමු වූ අයෙක්‌ කී කතාවයි. ඔහු කියන පරිදි තම ලෙඩේට බෙහෙත් ගනු පිණිස එකී ප්‍රසිද්ධ වෛද්‍යවරයා හමුවීමට දවල් කාලයේ ඔහු මුලින්ම ගොස්‌ ඇත්තේ එක තැනකටය. එතැන තුණ්‌ඩු දී ඉවර නිසා දෙවන තැනට ගොස්‌ ඇත. එතැනද තුණ්‌ඩු දී අහවරය. ඉන් පසු තව තැනකට පැමිණිය ද එතැන ද අවස්‌ථාවක්‌ නොලද තැන වැල්ලවත්තේදී චාන්ස්‌ එකක්‌ ලැබුණි. චැනල් ගාස්‌තු වන රුපියල් අටසීයට සහ බෙහෙත්වලට ගිය දෙදහස්‌ තුන්සීයට අමතරව එම රෝගියා තැන් හතරට යැමට ත්‍රිරෝද රියකට රුපියල් එක්‌දහස්‌ පන්සීයක්‌ පමණ දී ඇත. අපට මෙහිදී සිතෙන්නේ අර දොස්‌තර මහතා මෙතරම් මහන්සි වී දිනකට තැන් කීපයක ලෙඩුන් බලන්නේ ඔහු කොච්චර නම් රෝගීන්ට ආදරේද කියා ය.

මනෝa- යනු මා හිතවත් මෙඩිකල් රෙප් වරයෙකි. මෙඩිකල් රෙප් (පැdසජ්ක රුචරුseබඒඑසඩැ) යනු ලංකාවට පිටරටින් ඖෂධ ගෙන්වන, ඒවා රට තුළ අලෙවි කරන ආයතනවල වැඩ කරන වෙළෙඳ නියෝජිතයන් ය. ඔවුන් සමහරු තම වාහනයේම ගොස්‌ ෆාමසි හෝ දොස්‌තරලා හමු වී ඕඩර් ලබා ගනිති. සමහරු යන්නේ මෝටර් සයිකල්වලය. තවත් අය බඩු තොග සමඟ වෑන් එකේ හෝ ලොරියේම යති. ටයි පටියක්‌ පැළඳ අතේ බීෆ් කේසයක්‌ නිතර ඇති මෙවැන්නෝ පෞද්ගලික රෝහල් චැනල් සේවා හෝ ගෙවන වාට්‌ටු අසල ඉතා සුලබ සත්ත්වයෝ ය. ඔවුන්ගේ රාජකාරිය වන්නේ දොස්‌තර මහතා ලවා තම කොම්පැණිය ආනයනය කරන බෙහෙත් රෝගීන්ට නිර්දේශ කරවා ගැනීමයි. රාජ්‍ය ඔසුසලේ ඉතා අඩු මිලකට ලබා ගන්නට හැකි ඖෂධයක්‌ වෙනත් නමකින් ලොකු මිලකට විකිණෙන්නේ මේ මෙඩිකල් රෙප්ලාගෙන් සමහර දොස්‌තරලා කන ජරාව නිසා ය. ටයි පටියක්‌ පැළඳ හම් බෑගයක්‌ අතින් ගත් විට පෞද්ගලික රෝහලක්‌ තුළ නිදහසේ එහෙ මෙහෙ කැරකෙන්නට හැකි බව මට තේරුණේ මහේෂ් සමඟ එසේ යන විට ය. මෙඩිකල් රෙප් කෙනෙක්‌ ලෙස සැරසී මාත් ලංකාවේ ඇති පෞද්ගලක රෝහල් බොහෝමයක සැරිසැරුවෙමි.

රජයේ සේවයෙන් විශ්‍රාම ගිය පළපුරුදු තලස්‌තෑනි හෙදියන් මෙම රෝහල්වල සිස්‌ටර්ලා හෝ මේට්‍රන්ලා ලෙස සේවය කරන බව දැක ගන්නට ලැබිණි. හෙදියෝ කියා ගන්නා තරුණියන් සහ සාත්තු සේවිකාවන් යෑයි කියන අය ද බොහෝ හමුවිය. මෙයින් බහුතරයක්‌ දෙනා ඉතා තුරුණු වියේ පසුවන්නියෝ ය. සමහරු සැබැවින්ම රූමත් ය. බොහෝ වෛද්‍ය මධ්‍යස්‌ථානවල මා දුටු තරුණ හෙදියන් සහ සාත්තු සේවිකාවන් ඇඳ සිටි නිල ඇඳුම නොහොත් සුදු ගවොම ඉතා කෙටි ඒවා විය. මෙසේ ඇඟට හිරවන, නිතඹ කලවා දෙපා කැපී පෙනෙන ලෙස හෙදි කෙල්ලෝ ගවොම් අඳින්නේ මෝස්‌තරයට ද, රෝගීන්ගේ අවධානය ගන්නට ද එසේත් නැත්නම් හදිසි අවස්‌ථාවලදී දුව පැන ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිසා පහසුවටදැයි මා නෑසුවේ මෙඩිකල් රෙප් ලෙස සැරසී සිටින මා ගැන උන් වරදවා වටහා ගනී යයි සිතුනු නිසාය.

ගාල්ල පැත්තෙ පෞද්ගලික රෝහලකදී මට මුණ ගැසුනු සුමනසිරි නම් තරුණයා පැමිණ සිටියේ තම කුඩා දරුවාගේ කණේ අමාරුවකට දොස්‌තර මහතෙක්‌ චැනල් කිරීමටයි. ඔහු රුපියල් හත්සිය පනහක්‌ දී දොස්‌තර මහතා හමුවීමට ගිය ද ඉඩ ලැබුණේ විනාඩි පහක්‌ පමණ කාලයක්‌ බව ඔහු මා සමඟ පැවසීය. එසේම මෙසේද කීවේය.

"බලන්න සර්... උදේ ඉඳන් අව්වේ කරවෙලා දූවිල්ල කාලා පාරේ තාර දාන රස්‌සාව කරල මට දවසටම හම්බුවෙන්නේ රුපියල් හත්සීයයි. ඒක මේ දොස්‌තර මහත්තයා කිසි තෙතමනයක්‌ නැතිව විනාඩි පහෙන් මගෙන් ඒ හත්සීය මංකොල්ල කෑවා. ඒ මදිවට රුපියල් දෙදහක විතර බෙහෙත් වට්‌ටෝරුවක්‌ දුන්නා. මං දැං කොහොමද ඒව ගන්නෙ. ගෙදර යන්නවත් සල්ලි නැහැ. දරුවත් බඩගින්නේ."

මේ ප්‍රශ්නය ඔබට තේරුණා දැයි මට නොතේරේ. නමුත් මට තේරී හදවතට දැනුන නිසා ඔහුට උපකාරයක්‌ කරන්නට මගේ සිත පෙළඹුණි. විනාඩි පහකට රුපියල් හත්සීය බැගින් දවසට දස දාස්‌ ගණනක්‌ රෝගීන්ගෙන් උපයා ගැනීම ඒ දොස්‌තර මහතාගේ වරදක්‌ කියා අපට කිව නොහැක. නමුත් ක්‍රමයේ වරදක්‌ බව නම් සෘජුව කිව හැකිය. සමහර රෝහල් දිව්‍ය ලෝක මෙනි. ඒවායේ නැති දෙයක්‌ නැත. ආපන ශාලා, නවීන ශල්‍යාගාර, ලැබ්, ජිම්, මසා-, අන්තර්ජාල පහසුකම්, සුපිරි නේවාසික කාමර ආදී ඔය කොයිවත් ඇත. එසේම මුදල් පමණක්‌ ඉපැයීමම සඳහා අවම පහසුකම් සහිත රෝහල් ද මා නෙත ගැටුනි. පසුගිය මාසයේ එක්‌ සන්ධ්‍යාවක මා එක්‌තරා සුප්‍රසිද්ධ පෞද්ගලික චැනල් සේවා ආයතනයක වෛද්‍යවරයකු මුණ ගැසීමට විදුලි සෝපානයෙන් උඩුමහලට යද්දී මට අත්විඳින්නට වූ සිද්ධියක්‌ ගැන ද කියමින් ලිපිය අවසන් කරන්නට කැමැත්තෙමි. ඇත්තටම මරණයට ආසන්න වීම යනු කිමෙක්‌ දැයි මට හොඳින් දැනුනේ එදාය. මා සිටි සෝපානය දෙවන මහළට ආසන්න වූවා පමණි. හදිසියේම විදුලි බලය ඇන හිටිනි. සෝපානයේ සිටියේ මා පමණි. මුළු කුටියම තද අඳුරින් පිරුණි. කුමක්‌ වුණා දැයි මට සිතා ගන්නට පවා අසීරු විය. ස්‌ථානෝචිත ප්‍රඥව යන්න ක්‍රියාවට දමමින් මම කලිසම් සාක්‌කුවේ තිබූ ජංගම දුරකථනය එළියට ගෙන අන්ධයකු සේ එහි බොත්තමක්‌ එබූ නිසා මද ආලෝකයක්‌ ඇතිවුණි. සාමාන්‍යයෙන් මෙවැනි ලයිට්‌ යැම්වලට මා කීපවරක්‌ ම මෙයට පෙර ගොදුරු වී ඇතත් ඒ හැම අවස්‌ථාවකදී ම තත්පර කීපයකින් ජෙනරේටරයක්‌ ක්‍රියාත්මක වෙයි. තැන්නම් සැනින් යළි විදුලි බලය පැමිණෙයි. නමුත් මෙදා එහෙම වුණේ නැත. මා කළේ දොරට වේගයෙන් තට්‌ටු කිරීමයි. මහ හඬින් කෑ ගසමින් උදව් ඉල්ලීමයි.

නමුත් විනාඩි තුනක්‌ පමණ එසේ තහඩු දොරට තඩිබාමින් මොර දුන්නද කවුරුත් පිහිටට ආවේත් ආලෝකයක්‌ වැටුනේවත් නැත. සෝපානයට පිටින් ඇහෙන්නේ කුඩා දරුවන් හඬන සද්දයත් මිනිසුන් එහේ මෙහෙ කෑ ගසමින් දුවන සද්දයකි. ජෙනරේටරය කැඩී ඇති බව මට සිතුනි. එහෙයින් තවම ආලෝකය පැමිණ නැති බව දැනුනි. මා සිටි සෝපාන කුටිය තුළ ඔක්‌සිජන් අඩුවී හුස්‌ම ගන්නට අසීරු බවක්‌ මට දැනුනි. කෑ ගැසීම නිසා මගේ ශක්‌තිය හීන වී ගෙන යන බවත් හිස භ්‍රමණය වන්නට පටන් ගත් බවත් ඇඟ පත දාඩියෙන් නෑවී ඇති බවත් මට තේරුණි. කෑගැසීමෙන් වෙන්නේ තවත් දුර්වල වන බව මට දැනුනු අතර මා කලේ අප නිතර යන පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ දුරකථනයට ඇමතුමක්‌ දී නේවාසික තරුණයන්ට මේ සිදුවීම විස්‌තර කිරීමය.

සෝපානය තුළ සිග්නල් මදි නිසාත් මගේ මුවින් අපැහැදිලි වචන පිටවිය. මේ වෙලාවේදී පමුණුව පාරේ සාප්පුවේ සිටින මගේ බිරිඳ රේණුකාට මෙම සිදුවීම නොකීවේ ඇය කලබල වන බව දන්නා නිසාය. දැන් විදුලි බලය ඇන හිට මේ ගතවන්නේ හයවන විනාඩියයි. හුස්‌ම ගැනීමේ හැකියාව නැත්තටම නැති වෙන්නට ආසන්නය. මට දෙවියන් සිහිවුනි.

තව ජීවත්ව ඉන්නට මට ඇත්තේ තත්පර කීපයක්‌ දැයි මගෙන්ම මා ඇසුවෙමි. එසේ ලෙහෙසියෙන් මා නොමැරෙන බව මගේ සිත දන්නා නමුත් සිරුරට තද අමාරුවක්‌ දැනෙන්නට විය. හත්වන විනාඩියේදී මට මිතුරු සෙවණේ සිටින විනෝ-ගෙන් ඇමතුමක්‌ ලැබුණි. ඔහු අසා සිටියේ දොර කඩන්නට හෝ රෝහල් සේවකයන්ට කියනු පිණිස පිළියන්දල සිට වාහනයකින් එන්නද කියා ය. ඔවුන් එනතෙක්‌ මෙසේ සිටින්නට සිතීම විහිළුවක්‌ බව මම දනිමි. ක්‌රීං යන සද්දයක්‌ සමඟ සෝපානයේ විදුලි බල්බය දැල්වුනි. ෆෑන් එකද වැඩ කරන්නට පටන් ගත්තේය.

ඉතාම අමාරුවෙන් සෙමින් සෙමින් තහඩු දොර පළු දෙක දෙපැත්තට විවර වද්දී ළයට මහත් සහනයක්‌ ඇඟට සිසිලක්‌ ගෙන දෙන පිරිසිදු වායුවෙන් සෝපානය පිරෙන්නට විය. ජීවිතයේ ප්‍රථම වතාවට මා පපුව පිරෙන්නට හුස්‌මක්‌ ගත්තේ එදාය.

නිල් පාට ඕවරෝල් ඇඳගත් කාර්මිකයන් කීපදෙනෙක්‌ යතුරු ඉස්‌කුරුප්පු නියන් ආදිය අතින් ගෙන එහෙ මෙහෙ දුවන්නේ යමක්‌ අලුත්වැඩියා කරනු පිණිස බව මට තේරුණි. නිරුපද්‍රිතව සෝපානයෙන් එළියට ආ මාව කිසිවෙක්‌ දැක්‌කේවත් ගණන් ගත්තේවත් නැත. මද වේලාවකින් මුළු රෝහලම යළි යථා තත්ත්වයට පත්විණි.

මාතෘකාවට කිසිසේත් ම අදාළ නැති වුවත්, මා මෙම සිදුවීමට තැනක්‌ දෙන්නේ මට ඇති වූ මරණය ගැන හැඟීම කියන්නට නොව සෙනඟ ගැවසෙන මෙවන් රෝහල්වල විදුලි සෝපානයට ක්‍රියාකරුවෙකුගේ සේවය ලබා දිය යුතු බවත් විදුලිය ඇන හිටින අවස්‌ථාවලදී විකල්පයක්‌ ලෙස ඇති විදුලි උත්පාදන යන්ත්‍රය හරිහැටි ක්‍රියා කරනවා දැයි නිතර සොයා බලන්නටත් අවශ්‍ය බව කියන්නට ය. මා වෙනුවට එදා හෘද රෝගියෙක්‌ සෝපානයේ සිටියා නම්.....


මිත්‍ර ශ්‍රී කරුණානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.