කතරගම දෙවියන් පිදීමට යන හින්දු බැතිමතුන්ගේ පාදයාත්‍රාව
‍"හරෝ-හරා.....හරෝ-හරා" "හරෝ-හරා.....හරෝ-හරා"

කුමන ජාතික වනෝද්‍යානය දෙවනත් කරමින් ඇසෙන ඒ හඬින් වාතලය ගිගුම් දෙයි. දහස්‌ ගණනක්‌ හින්දු බැතිමතුන්, බැතිමතියන්, හට්‌ටි මුට්‌ටි, හැළි වළං ඇතුළු සෙසු අඩුම කුඩුම හිස දරා ගෙන "හරෝහරා" යි කෑ ගසා හඬ නඟමින් උතුරුකරේ දුර ඈත සිටත්, නැගෙනහිර ත්‍රිකුණාමලය, මඩකලපුව දෙදිසාවේ සිටත්, කිලෝමීටර් සිය ගණනක්‌ ගෙවා, පා ගමනින් පානම් පත්තුවේ, ඔකඳ දේවාලයට ත්, අනතුරුව අලි කොටි ඈ වග වළසුන් අරක්‌ ගත්, කුමන හා යාල මහ කැලෑ මැදින්, ඉදිරියට ඇදෙන්නේ කතරගම මහ දෙවොලේ වැඩ වාසය කරනා කඳසුරිඳුන් වැඳ පුදා ගන්නටයි. උන්වහන්සේට පුද සත්කාර කරන්නටයි. කතරගම ඇසළ මහ පෙරහැරට එක්‌වන්නටයි.

ඉතා බැති සිතින් කතරගම දෙවිඳුන්ට බාරහාර වීමටත්, බාරහාර ඔප්පු කිරීමටත්, මේ සා දුර බැහැරක්‌ ගෙවා, ඔකඳට ත්, එතනින් කුමන හරහා යාලට පිවිස කතරගමටත්, ඊට පසුව කතරගම මහා දේවාලයටත් ළඟාවෙන, ඔවුන් තුළ ඇති විශ්වාසය හා ඇදහිල්ල කෙතරම් බලසම්පන්න ද යන්න අපට හැඟෙන්නේ මේ මිනිසුන් දහදිය පෙරාගෙන, සියලු දුක්‌ කරදර විඳ ගනිමින් දවස්‌ ගණනාවක්‌ පුරා කිසිදු කිල්ලකට හසු නොවීමට කරනා පේවිල්ල දිහා, බලනා විටයි. ඔවුහු මස්‌ මාළුවලින් වැළකී, හුදෙක්‌ නිර්මාංශයෙන් ම, ඒ දින කිහිපය යෑපෙති. එනිසාම දෝ ස්‌වකීය රාජධානියේ ජීවත් වන, රුදුරු අලි, කොටි වග වලස්‌සු, ඔවුනට කිසිදු ආකාරයෙක හිංසාවක්‌ නොකර මේ සැදැහැතියන් ගමන් ගන්නා මාර්ගයෙන් ඈත් මෑත් වී මහ කැලයේ දුරකට වී බලා හිඳිති.

මේ මහා මිනිස්‌ කන්දරාවේ සියලු ආරක්‍ෂක රැකවරණ සැලසීමේ, මහා භාරදූර කාර්යය පැවරෙන්නේ වනජීවී නිලධාරීන්ටයි.

"අපි මේ පාදයාත්‍රාවෙ එන අය අපේ ජාතික වනෝද්‍යානයට පිවිසෙන විට ගණනයකට ලක්‌ කරනවා. ඔවුන් හැම දෙනාම ටෝකනයක්‌ නිකුත් කරනවා. ඒ ටෝකනය කුඹුක්‌කන් ඔයෙන් එගොඩ වෙන්නට කලින් ආපසු ලබා ගන්නට, අපේ නිලධාරීන් පිරිසක්‌ යොදවලයි තියෙන්නේ. ඔවුන් අපේ සීමාවේ දෙපොළක නවාතැන් ගන්න හින්ද ඒ ස්‌ථාන දෙකේ දිවා රෑ අපේ කණ්‌ඩායම් දෙකක්‌ සේවයේ යොදවනවා. උද්‍යානය ඇතුළෙ නවාතැන් ගන්න ස්‌ථාන දෙක බාගුර හා මඩමේතොටයි. කුමන පිවිසුම් දොරටුවේ සිට බාගුරේට දුර කිලෝ මීටර් අටයි. අපි මේ එන බැතිමතුන් වනෝද්‍යානය ඇතුළට ගැනීම, හවස තුනට නතර කරනවා. නැත්නම් මේ අය උද්‍යානය තුළ, හැන්දෑ වුණාට පස්‌සෙත්, ගමන් කරන එක අපට මෙන්ම ඔවුන්ට ත්, ගැටලුවක්‌ වෙනවා. ඔවුන් උද්‍යානය හරහා ගමන් කිරීම, හැන්දෑවෙ හයට නැවැත්තුවොත් ඒ අයට රෑ කාලයේ, මඟ තැනින් තැන නතර වෙන්නයි වෙන්නේ.

"මේ බැතිමතුන් කුමන සිට කුඹුක්‌කන් ඔයෙන් එගොඩවෙලා, යාලට පිවිස මැණික්‌ ගඟ තරණය කරලා කටගමුව හරහා කතරගමට යන විට, කිලෝ මීටර් සීයක්‌ විතර, මහ කැලේ හරහා යන්න වෙනවා. මේ ගමන සමහර අය දවස්‌ පහකින් විතර තමයි කතරගමින් අවසන් කරන්නේ. සමහර බැතිමතුන් දවස්‌ තුනෙනුත්, එහි ළඟා වෙනවා. සමහරු සතියක්‌ විතර මේ ගමනට කාලය ගත කරනවා.

"ඔකඳ දේවාලය තියෙන තැනට තමයි, කතරගම දෙවියන් පළමුවෙන්ම, වැඩියා යෑයි විශ්වාස කරන්නේ. රත්තරන් ඔරුවකින් යාත්‍රා කරයි කියලයි. ජනප්‍රවාදයේ තියෙනවාය කියන්නේ. කතරගම දෙවියන් ඒ රත්තරන් ඔරුව ගොඩ කළාය කියන්නේ මේ ඔකඳ වෙරළට ලූ. වෙරළේ තියෙනවා. ගලක්‌. ඒ ගලට ව්‍යවහාර කරන්නේ "රන්ඔරුගල" කියලයි. ඊට පස්‌සේ ඒ ඔරුව ගල්කළා ය කියලයි, ජනප්‍රවාදයේ තියෙන්නේ මෙතැන එතකොටත් දේවාලයක්‌ තිබුණා ලූ. ඒ දේවාලය දැකලා කතරගම දෙවියන් ඔරුව මෙතැනට ගොඩ කළා ලූ. මෙතැන නැවතී සිට මේ පාරෙන් කතරගම දෙවියන්, කතරගමට ගිය බවයි මේ මිනිසුන්ගේ විශ්වාසය. ඒ අනුව තමයි මේ බැතිමතුනුත් ඒ මඟ ඔස්‌සේ කතරගම දෙවියන් පුදන්න, කුමන හරහා යාලට ත්, එතැනින් කතරගමට ත්, පාදචාරිකාවේ යෙදෙන්නේ" අජිත් දිසානායක මහතා අප ඉදිරියේ දිගු විස්‌තරයක්‌ දිග හැරියේය.

අප එහි ගියේ ඔකඳ දේවාලයේ කප් සිට වූ දා ය. ඒ ඉකුත් දොළොස්‌ (12) වැනිදා යි. කප් සිටුවීමේ ඒ උත්සවයට හවුල් වන්නට තම දායකත්වය සපයන්නට, දෙවියන්ගේ ආශිර්වාදය ලැබ ගන්නට, පන්දාහක තරම් හින්දුන්, යාපනය, චාවාකච්ෙච්රිය, පේදුරුතුඩුව, මන්නාරම, වවුනියාව, ත්‍රීකුණාමලය, මුලතිව් මෙන්ම මඩකලපුව, අක්‌කරපත්තුව, කෝමාරිය, සන්දමන්කන්ද, ආදී ඈත මෑත ගම්දනව්වලින් මෙන්ම, නගරවල සිට ද, පැමිණ සිටියහ.

ඔකඳ දේවාලයේ බස්‌නායක නිලමේ, පී. බී. මුතුබණ්‌ඩා මහතායි. මෙහි භාරකාරත්වය තමන් වෙත පැවරුවේ, සිය පියාණන්ගෙන් බව කී හෙතෙම, ඒ පරම්පරාවෙන් මේ දෙවොලේ භාරකාරත්වයේ හිමිකම, තමන්ට උරුම වූ බවත්, ඒ අනුව ස්‌වකීය පරම්පරාවේ, තමා පස්‌වැන්නා බවත්, ඔහු කීවේ මහත් වූ අභිමානයකිනි. ගිය අවුරුද්දට වඩා මේ වාරයේ සෙනඟ වැඩියෙන් සහභාගි වෙන බව විශ්වාස කළ හෙතෙම මේ වන විටත් පන්දාහකට අධික බැතිමතුන් පිරිසක්‌ ස්‌වකීය බාරකාරත්වයේ ඇති ඔකඳ දේවාලයට පැමිණ මුරුගන් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබූ බව ද සඳහන් කළේය.

අප සමඟ මේ ගමනට අම්පාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ, ඇම්. සී, ජී. රූපසිංහ මහතා හා වන සත්ව අඩවි ආරක්‍ෂ, ඩී. පී. සියාසිංහ මහතාද, කැඳවා ගැනීමට හැකි විය.

ඔකඳ දේවාලයේ බස්‌නායක නිලමේවරයාගෙන් අනාවරණය වූ කරුණු ගැන, අප විමැසුවේ කුමන ජාතික වනෝද්‍යානයේ භාරකරුගෙනි.

"ගිය අවුරුද්දෙ කුමන හරහා කතරගම දෙවියන් වන්දනාවට හින්දු බැතිමතුන් එකොළොස්‌ දහස්‌ හයසිය හැට හය (11666) දෙනෙක්‌ පැමිණි බව, අපේ සංඛ්‍යාලේඛන වලින් කියන්න පුළුවන්. හැබැයි මේ සැරේ නම්, ඒ වගේ තුන් ගුණයකින් විතර වැඩිවේවි.

කන්දයියා විනයසාමි (52), වයිරමුත්තු අලගෙයියා (63) හා සිවසුන්දරම් පෙරියතම්බි, නීතිඥ කදිරවේළුපිල්ලෙයි ආරියම්පදි යන සාමිවරුන් (වන්දනාකරුවන්) අපට හමුවූයේ, බාගුරු කලපුව අසල පිටියේ දී ඔවුන් රැය පහන් කරන්නට සුදානම් වෙද්දී ය. විනයසාමි ආයුර්වේද වෙදදුරෙකි. සිවසුන්දරම් ප්‍රසිද්ධ නොතාරිස්‌වරයෙකි. ඔහු මඩකළපුව කිරාන්කුලම් හි, හදිසි මරණ පරීක්‍ෂකවරයායි. මොවුන් දෙදෙනාම කුමන හා යාල මහ කැලෑවන් ද, කුඹුක්‌කන් ඔය හා මැණික්‌ ගඟ ද, තරණයේ යෙදී, කඳසුරිඳුන් පිදීමට මීට පෙර අවුරුදු එකොළහක්‌ තිස්‌සේ, පාද චාරිකාවේ නියෑළුණු බව මා හා කීවේ මහත් වූ සොම්නසක්‌ හිතේ දරා ගෙන බව, ඔවුන්ගේ මුහුණුවලින් දැක ගත හැකි විය. මේ ඔවුන්ගේ දොළොස්‌ වැනි දුෂ්කරක්‍රියාවයි. මොවුන් සිව් දෙනා ම, කිරාන්කුලමේ පදිංචි ඇත්තන් බැව්, සිවසුන්දරම්ගෙන් කියෑවුණි.

"මේ වතාවේ හුඟාක්‌ කට්‌ටිය ඒවි. දැනටමත් ගිය අවුරුද්දෙ අපි එන විට, මෙතැන රොක්‌වෙලා හිටිය පිරිස වගේ, දෙතුන් ගුණයක කට්‌ටිය ඉන්නවා. මොකද දැන් ඉතින් කිසිකෙනෙකුට, බයක්‌ වෙන්න කාරණාවක්‌ නෑ නේ.

සිවරාසා කන්දයියා (63) වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. කාරතිව් හි උපත ලද ඔහු ගංඟා නිම්න සංවර්ධන මණ්‌ඩලයේ, ඉංජිනේරුවරයෙකු සේ රැකියාවේ නියුතු සිටි බව කීය. හෙතෙම අද පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක සේවය කරන්නේ ත්‍රිකුණාමලයේ යි. ඒ නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ අරඹා ඇති, දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක ය. සිය බිරිය, දියණිය හා පුතණුවන් ද සමඟ ඔකඳ සිට කතරගම දක්‌වා වූ කිලෝ මීටර් සියයකට අධික මඟ ඔස්‌සේ, පාදයාත්‍රාවේ යෙදෙමින් දෙවියන් පුදන්නට පැමිණි ඔහු ගිමන් හරිමින් උඩුකය නිරාවරණය කළේ, අධික ඌෂ්ණය විඳ දරා ගන්නට බව පෙනුණි ය. ඔවුන් ඔකඳට ළඟා වී සිටියේ පිකප් රියකිනි. "අපි මෙතැන ඉඳලයි පාදයාත්‍රාව පටන් ගන්නේ. වාහනය ආපහු අරන් ගිහින්, ඩ්‍රයිවර් තව දවස්‌ හතරකින් කතරගමට ඒවි" කුමන ඔස්‌සේ ඔහු පාද චාරිකාවේ යෙදී දෙවියන් නැමඳීමට, මේ එක්‌වෙන නව වන වතාවයි.

රමේෂ්වරී කලදාවලෙයි, සිය සැමියා ත්, දියණිය හා බෑණනුවන් ද සමඟ පෙර දින (11) මඩකලපුවේ සිට, බස්‌ රියෙකින් පැමිණියේ කතරගම මහ දේවාලයට ඔකඳ සිට පාදයාත්‍රාවේ නියෑළීමට බව පැවසුවේ සිනාසෙමිනි.

"දැන් නම් ඉතින් කිසිම බයක්‌ හැකක්‌ නැතිව, අපට උහඳ(ඔකඳ) ඉඳන් කතරගම යන්න පුළුවන් නේ. ඒකයි අපි ආවේ. ගිය අවුරුද්දේ එන්න තමයි හිතා හිටියේ. ඒත් එන්න බැරිවුණා." ඕ සඳහන් කළේ සිනාමුසුවය.

අජන්තන් විසිහත් හැවිරිදි ය. පැමිණ සිටියේ කල්මුණේ ෙච්නපුඩිඉරිප්පුවල සිටයි. ඔහු තම වයසේ ම වු මිතුරන් කිහිප දෙනෙකු සමඟ, පාදචාරිකාවේ යෙදීමට ආ බව, කීවේ රමේෂ්වරී කී කතාව ම අකුරක්‌ නැතිව සඳහන් කරමිනි.

අප හා අදහස්‌ ප්‍රකාශ කළ හැම දෙනා ම කීවේ, රමේෂ්වරීලා, අජන්තන් ලා, සිවරාජා ලා තෙපලූ වදන් මය වෙනසක්‌ වූයේ නම් ඒ ඔවුන් වචන තෙපලූ විලාසයේ පමණි.

තැනක තරගෙට කවි ගැයීමක්‌ තවත් තැනෙක දෙමළ ජන නැටුමක්‌. ඒකට හරියන්න පානම ජනයාත්, අපේ ජන නැටුමක්‌ ඉදිරිපත් කරනවා. එක තැනෙක දේව කතාවක්‌ කියන, වැඩිහිටි දෙමළ මනුස්‌සයකු වට කර ගත්තු පිරිසක්‌. අපි ඉතින් අතාරින්නේ නෑ. අපෙත් කවුරු හරි ජනකතාවක්‌, පන්සිය පණස්‌ ජාතකේ කතාවක්‌ හරි කියනවා. ගමේ සිංහල ඇත්තනු ත් සාමිලාට හවුල්වෙලා අපේ සංස්‌කෘතිකාංග ඉදිරිපත් කරනවා. එතැන සිංහල දෙමළ හැබෑම සංස්‌කෘතික මංගල්‍යයක්‌. හරිම රසවත් කතරගම උත්සවය නිමා කෙරෙන තුරු හැම දවසක්‌ ම රැයක්‌ මා අපි මේ පාදයාත්‍රිකයන් එක්‌කයි ගත කළේ. රෑ එළිවෙනවා. තේරෙන්නේ නෑ. හරිම අපූරුයි. විචිත්‍රයි. කොටින් ම කියනවා නම් කියලා වැඩක්‌ නෑ....." පානම ගුණසෝම සහෘදයා පවසන්නේ, ඒ සොඳුරු අතීතයේ රසවත් බවින්, හිතේ ඇතිවූ සතුට, මගේ දෙසවන්පත් තුළට රිංගවමිනි.

අද රටේ සාමය ස්‌ථාපිත වී ඇති හෙයිනි. ඒ කෙරෙහි මේ මිනිසුන්, හැම දෙනාම දක්‌වන්නේ නොමඳ සතුටකි. එහෙත් මොවුන් ගෙන එන්නා වූ පොලිතින් බෑග් මෙන් ම හිස්‌ වතුර බෝතල් ද වෙන වෙනත් අපද්‍රව්‍ය ද තැන තැන දමා ගොස්‌ ඇත්තේ ඔවුන් සතා සීපාවන්ගෙන් මෙන්ම දෙස්‌ විදෙස්‌ හි සිට සංක්‍රමණය වන්නා වූ විවිධ වර්ගයන්ට අයත් කුරුල්ලන්ගෙන්ද, සිංහල බෞද්ධ සංස්‌කෘතියේ අගය ලෝකයාට ම අපූරුවට පෙන්වා දීමට සමත්කම් පාන්නා වූ ක්‍රිස්‌තු පූර්ව යුගයට අයත් මිල කළ නොහැකි පුරාවිද්‍යා අගයෙන් අනූන නටඹුන් රැසක්‌ පිහිටි කුමන ජාතික වනෝද්‍යානයේ අගය, නොදන්නා නිසාද නොඑසේනම්........"


සුගතපාල මැන්දිස්‌

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.