මහ පොළොවට යට කළ
මහාතිත්ථයේ පුරාණය

13 වැනි කොටස

මම යෝධ වැව දමා යමි. මා පිටුපසින් ඝන නීල වැහි වළාවක්‌ මෝදු වෙනු පෙනේ. මේ වයඹ කලාපය ඊසාන දිග මෝසමට වැහි ඉල්ලන කාලයයි. යෝධ වැවේ වැව් පතුල පිපුරුණු දෙතොලින් අහස බලා සිටී. හේ දියපොද රහිතව අකලට මහලුව ඇත. මම මහාචාර්ය සුනිල් ආරියරත්නව සිහි කරමි. 70 දශකයේ අග භාගයේ තරුණ ආරියරත්න මහතා යාපනය සරසවියේ සිංහල පිළිබඳ කථිකාචාර්යවරයාව සිටියේය. නිතර යාල්දේවි දුම්රියේ නැඟී රජරට පසු කොට යාපා පටුන තරණය කරන තරුණ ගීත රචකයාගේ කවි සිත ශුෂ්ක කලාපයේ කටුසර පරිසරය විසින් පෑරෙන්නේ ය. අද යෝධ වැවේදී මා දකින ගී්‍රෂ්මය එදා මේ ශුෂ්ක කලාපයේදී සුනිල් ආරියරත්න ද දැක තිබිණි. කවියෙකුගේ නිර්මාණ සිත සංචාරකයකුගේ සිතුවිලට වඩා සංවේදීය.

ඒ දිනවල මහවැලි ගං කොමලිය රජ රටට දීග එනවා යෑයි ආරංචිය ශුෂ්ක කලාපයට දැනී තිබිණි. රජ රට නමැති පීඩිත පෙම්වතා මහවැලි ගංගාව නම් ප්‍රේමිය එන තුරු බලා සිටින හැටි සුනිල් ආරියරත්න කාෂ්ඨ මිරිඟු මායාව තුළ දැක්‌කේ ය. රජරට දැරූ මහවැලි ප්‍රාර්ථනාව දුම්රිය කවුලුවෙන් දුටු ගීත රචකයා තම සටහන් පොතේ මෙවැන්නක්‌ ලිවීය.

පිපුරුණු දෙතොලින් අහස බලා හිඳ
දිය පොද රහිතව අකලට මහලුව
බලා හිදිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි
අහක බලන් යන්නේ...
ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එන තුරු ගංගා

පසු කාලයක අබේවර්ධන බාලසූරියගේ හඬින් අපට ඇසුණු ගීත රාවයේ ඉතිහාසය එය යෑයි මම අසා ඇත්තෙමි. දැන් දින දෙක තුනක වෙලේ පටන් මෙවැනි ඝන නීල වැහි වළාවන් ඊසාන දිග අහසේ දර්ශනය වෙයි. එහෙත් තවමත් මම වැහි පිනි පොදකටවත් නො තෙමුණෙමි. ඊසාන දිග මෝසමට ලංකාව ලබන වර්ෂාපතනය නිරිත දිග මෝසම් වැස්‌ස තරම් ලොකුවට වාර්තා නො වෙයි. එයට හේතුව මේ මෝසම් දෙක ලංකා පොළොව මත්තට ගෙන එන ජල වාෂ්ප ප්‍රමාණයේ අඩුවක්‌ නොවන්නේ යෑයි මම හපුගොඩ ඉස්‌කෝලයේ අටේ පන්තියේදී මියුරි ටීචර්ගෙන් ඉගෙන ගෙන ඇත්තෙමි. ඇය අපට වර්ෂා චක්‍රය උගන්වන විට මේ උදාහරණය ගෙන පැහැදිලි කළා ය.

නිරිත දිග මෝසම් ලක්‌දිව දකුණු නිරිත හා නැගෙනහිර වෙරළින් රට තුළට ඇතුළු වී මධ්‍ය කඳුකරය හේතු කොටගෙන ඉහළට එසවෙයි. ජල වාෂ්ප ඝනීභවනය වී වැසි හට ගැනෙන්නේ මෙලෙස ඉහළ අහසට එසවුණු නිසා ය. ඊසාන දිග මෝසමට මධ්‍ය කඳුකරය හසු නො වෙයි. උතුරු තැනි බිම හරහා හමන ඊසානදිග මෝසම් වැසි අඩු සුළඟක්‌ ලෙස සටහන් වන්නේ ජලවලාව ඉහළ අහසට රැගෙන යන කඳු පන්තියක්‌ මේ තැන්නේදී හමු නොවන නිසා ය.

වැහි වළාව යෝධ වැවට ඉහළින් පෙනී සිටියා පමණි. ගොඩ ගෙරවිලි හට ගත්තේ ය. මහ පොළොව ඉරි තැලූ යෝධ පිට්‌ටනියට ඉහළින් දර්ශනය වූ ඝන වැසි වළාව මට අද්භූත සුන්දරත්වයක්‌ ගෙන ආවේ ය. පිපුරුණු දෙ තොලට දිය කඳුලක්‌ හමු නො වී ය. අලුත් වැස්‌සේ තෙමෙන්නට බලා සිටි මට හමු වූයේ නීල සෙවනක්‌ පමණි. මම දිය පොද රහිත කැදැත්තෙකු සේ බලා සිටියෙමි. කළු අහස පසුතලයේ සුදු කොකුන් ඉඟිළ යයි. මම මද්දහනේදී සන්ධ්‍යා රසය භුක්‌ති විඳිමින් ආපසු ගමන් කොට වෑ කණ්‌ඩිය තරණය කෙරුවෙමි.

දැන් මම මගේ මිත්‍ර නිලධාරිවරයා සමග අත හැර දමනු ලැබූ කුඹුරක්‌ දිගේ ඇවිද යමි. ලියෑදි පාලු වී ඇත. නියරවල් කඩා ඉහිරී තිබේ. ලඳු පඳුරු මුඩු කුඹුර ආක්‍රමණය කරයි. අකාලයේ විශ්‍රාම යෑවූ ගුරු රුවණක්‌ කනගාටුවෙන් මහලු වෙන ලෙස මේ කුඹුරු යාය වැහැරී යයි. මේ වනාහී යෝධ වැවෙන් සශ්‍රීක වන අක්‌කර 14,771 ක්‌ වූ පෝෂක ප්‍රදේශයයි. යළ මහ කන්න දෙකම එක්‌ වූ කල අක්‌කර 35,000 ක පමණ කුඹුරු අස්‌වැන්නක්‌ මේ ජල පෝෂක ප්‍රදේශයට අයත් ය. අද ජන ශුන්‍ය මුඩු බිමක්‌ බවට පත් වෙමින් යන මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ අස්‌වැද්දුම කලාපය යළි පෙර ඉසුරින් බබුලුවන්නට නම් ඓතිහාසික යෝධ වැව ප්‍රතිසංස්‌කරණය කර ගත යුතු බව බැලු බැලූ අත ඈතට දිවෙන මේ මුඩු කුඹුරු පන්තිය මට කියා දෙයි.

ඕලන්ද ජාතිකයන් සහ ඉංගී්‍රසීන් යෝධ වැවේ ප්‍රතිසංස්‌කරණ සඳහා පුලුල් සැලසුම්කරණ පද්ධතියක්‌ ක්‍රියාත්මක කළ ද ඒවා ක්‍රියාවට නඟන්නට නො හැකි විය. 20 වැනි ශතවර්ෂයේදී පවා අප යළි අස්‌වද්දන්නට උත්සාහ කළේ නැගෙනහිර ලංකාවයි. මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායකයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමැති ලෙසින් ආරම්භ කොට ලාංකීය වාරි තාක්‍ෂණයට ඉමහත් සේවයක්‌ කළ ද වයඹ දිග කලාපය මඟහැරිණි. මහවැලි ව්‍යාපෘතිය යටතේ පවා වයඹ දිග සංවර්ධනය නොවිණි. මල්වතු ඔයෙන් ජලය ගෙන සංවර්ධනය කෙරුණු ආකට්‌ටිමුරුප්පු ආදී කුඩා වැව් හරහා සිදු කොට ගත් සුළු වාරි තාක්‍ෂණය ඔස්‌සේ එදා වේල පිරිමසා ගන්නා සිල්ලර කෘෂිකර්මයක්‌ වයඹ කලාපයට උරුම විය. යෝධ වැව නිදහස්‌ හරකුන්ගේ වියළි පිට්‌ටනියක්‌ විය.

1980 න් මෙපිට විල්පත්තු කලාපය ත්‍රස්‌ත යුද්ධයේ විලාප කලාප බවට පත් විය. සිල්ලර කෘෂිකර්මාන්තය ද ඇනහිටියේ ය. සිරසවත්තුපුරය මුඩු බිමක්‌ බවට පත් විය.

විජය රජු මල්වතු ඔය නිම්නයේදී කුවේණි හා යහන් ගත විය. ඒ ශෘංගාර රාත්‍රියේ ඕ හට ඇසුණු භේරි නාදය නික්‌මුණේ සිරසවත්තුපුරයෙන් ය. මහා කාලසේන නම් යක්‌ක පාලකයාගේ අග නගරය සිරසවත්තුපුරයයි. මහා කාලසේනට පෝලමිත්තා නම් දූ කුමරියක්‌ සිටියේ ය. මේ ලොග්ගල යක්‌කනියට ලග්ගලින් යක්‌ක මනාලයකු කැන්දන් ආ මහා මංගල්‍යය සිරසවත්තුපුර සැණකෙළිය ලෙස අපේ වංස කතාවල සටහන්ව තිබුණේ ය. ලග්ගල යකුන් හා ලොග්ගල යකුන් හත් දොහක්‌ මගුල් කෑ මහා මංගල්‍යයේ භේරී නාදය කුවේණියගේ නුග සෙවනට ඇසුණි නම්, සිරසවත්තුපුරය ද මල්වතු ඔය නිම්නයේ ම පිහිටා තිබිය යුතු ය.

මා දැන් සිටින්නේ A 14 මාර්ගයේ මුරුක්‌කන් පසු වී යෝධ වෑ කණ්‌ඩියෙන් ඔබ්බෙහි ය. A 14 පාරේ තවදුරටත් මන්නාරම් පැත්තට ගමන් කළහොත් තල්අඩි කඳවුර හමුවන්නට කිලෝ මීටර් දෙකක්‌ තරම් තිබියදී තිරුකේතීශ්වරම් කෝවිල් භූමිය හමුවෙයි. අදට ශිව භක්‌තිකයන්ගේ පූජා භූමියක්‌ වන මෙය 1977 යුගයේ සිට 1985 දක්‌වා ම ජාත්‍යන්තර ශාස්‌ත්‍රීය පර්යේෂණයන්ට පාත්‍ර වූ පුරාවිද්‍යා පරිශ්‍රයයි. ලංකාවේ ආචාර්ය රාජා ද සිල්වා, ආචාර්ය ශිරාන් දැරණියගල ද චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් කාත්වෙල්, ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්‌වර පී. කේ. තාපර් ආදී ලොව ප්‍රකට පුරාවිද්‍යාඥයන් මේ ස්‌ථානයේ විශාල ලෙස කැනීම් කටයුතු පවත්වා තිබේ. ඉන් ලද බොහෝමයක්‌ තොරතුරු ඒකරාශි කොට ගත් කල මේ වනාහී ක්‍රිස්‌තු පූර්ව 8 වැනි ශතවර්ෂයේ සිට (විජය ලංකාවට ගොඩබසින්නට වසර 200 කට පෙර සිට) පැවති දකුණු ආසියාවේ ප්‍රධානතම ජාත්‍යන්තර වරායයි. ලෝකයේ ම ඉපැරැණි වරායවන් ගත් කල ලංකාවේ මාන්තොට නොහොත් මහාතිත්ථ වරාය ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි වරායකි.

එසේ නම් අප විල්පත්තුවේ කුදිරමලේ දී දුටු හිප්පරෝස්‌ වරායටත්, කලා ඔය නිම්නයේදී දුටු මගන වරායටත් වඩා පැරැණි ඉතිහාසයක්‌ සහ ස්‌ථිරසාර පැවැත්මක්‌ ඇති, පුරාවිද්‍යා සාධකවලින් අනූන ජාත්‍යන්තර වරාය වනාහී අදට මන්නාරමේ තිරුකේතීශ්වරම් කෝවිල ලෙස හැඳින්වෙන අතීත මහාතිත්ථ වරායයි. යෝධ වැවේ සිට මහා තිත්ථයට හූ තුනක දුර ය. මගන වරාය, හිප්පරෝස්‌ වරාය, අරිප්පු වරාය සහ මහාතිත්ථ වරාය ආදී ප්‍රකට ජාත්‍යන්තර වරායන් සහිත මුළු මහත් වයඹ කලාපයම අතීතයේ දියුණු නාගරික කලාපයන් ය. මේ නාගරිකයනට බත සැපයූ මහා කෙත් යාය වනාහී යෝධ වැවේ සශ්‍රීක කලාපයයි. යෝධ වැවේ හිමිකාරත්වය පිළිබඳ ඇති අපහැදිලිතාව වනාහී ඒ වැව විජයාවතරණයට පෙර සිට ම මේ ප්‍රදේශයේ තිබෙන්නට ඇතැයි යන්න අප විශ්වාස කරන කාරණාවකි. මේ යක්‌ක ගෝත්‍රිකයන්ගේ මහා වාපී සංස්‌කෘතියයි. සිරසවත්තු පුරය වනාහී යෝධ වැවේ පෝෂක ප්‍රදේශයයි. එය සිතියම් ගත කළ විට සුදු මහත්තුරුන්ට එහි හැඩය Rසජැ ඊදඅක එකක්‌ ලෙස පෙනුන නිසා අප එයට "සහල් බඳුන" යෑයි වැරැදි නමක්‌ දී ඇත.

දැන් අප ගැටය නිවැරැදි කර ගෙන සිටිමි. මින් එහාට අපි මේ සශ්‍රීක කලාපය අතීත ඉසුරුමත් නාමයෙන් ම හඳුන්වමු. එහි නාමය වන්නේ "සිරසවත්තු පුරයයි."

මහාතිත්ථ වරාය මතකයට ආ හේතුවෙන් මට ඒ හූ තුනත් ගෙවාගෙන මන්නාරම් දිශාවට යන්නට සිතෙයි. සිරසවත්තුපුරයේ සිට මහා තිත්ථයට සංචාරය කිරීම සඳහා මට මගේ තේමාවෙන් ඉඩ හසර සොයා ගත යුතු ය. මම ඉබාගාතේ ඇවිදින්නෙකුවත්, ඔලුව හැරුණු අත ඇවිදින්නෙකුවත් නොවෙමි. මම තේමාවක්‌ ඔස්‌සේ ඇවිද යමි. මම ඉතිහාසය හරහා ඇවිද යමි. ඉතිහාසයට ගමන් මාර්ගයක්‌ තිබේ. මේ ගමන් මාර්ගයේ භෞතික සිතියම දැන් ඉතිහාස විද්‍යාඥයා සහ පුරාවිද්‍යාඥයා අපට සොයා දී ඇත. මහා සංචාරකයා ගමන් කරන්නේ ඔවුන් දුන් පාර දිගේ ය.

මම හැරී බැලුවෙමි. වැහි වලා පහව ගොස්‌ සිරසවත්තු පුරයට දීප්තිමත් හිරු එළියක්‌ පතිත වී තිබේ. සිරසවත්තු පුරයේ මුඩු වූ වෙල් ලියෑද්දක, හොඳින් පං මල් පිපී ඇති ඉසව්වක මට යළිත් බොකුටු සංචාරකයා හමු වෙයි. ඔහුගෙන් මම පිළිසරණ පැතුවෙමි. සිරසවත්තු පුරයේ සිට මහා තිත්ථයට යැමට අවශ්‍ය ඓතිහාසික නිමිත්ත මට බොකුටු සංචාරකයා කියා දුන්නේ ය.

"විජය ර-ජුරුවෝ සිරසවත්තුපුර මහා මංගල්‍යයට කඩා පැනලා එහි සිටි නිරායුධ යක්‌කයන් ඝාතනය කරලා එහි බලයට පත් වුණා. මහාවංශයේ කියන්නේ යක්‌ක නායකයාගේ ආභරණ විජය පැළඳගෙන, සෙසු අමාත්‍ය යක්‌කයන්ගේ ආභරණ විජයගේ අමාත්‍යයන් පැළඳ ගත්තා ය කියලයි. ඒ කියන්නේ කලින් යක්‌කයන් දැරූ නිල තල ඊට පසු මේ වෛදිගයන් දැරුවා කියන එකයි."

"බොහෝ යකුන් ඝාතනය වුණා සෙසු උන් කැලෑ වැදුණා. විජය කුවේණිව කරකාරෙ බැඳන් සිරසවත්තු පුරයේ බින්න බැස්‌සා. පලා ගිය යකුන් කඳුකරයේ, වනාන්තරයේ හැංගුණා. උන් නිබඳව ම වෛදිගයන්ට පහර දෙන්න පටන් ගත්තා. විජයගේ සත් සියයක්‌ සේනාවට තවදුරටත් ලක්‌දිව බලය අල්ලාගෙන ඉන්න එක අසීරු වුණා."

"විජය ලාට රටට පණිවිඩ යවනවා. ලක්‌දිව බලය තහවුරු කර ගන්නට හමුදා ආධාර ඉල්ලලා. එහෙත් දැනුම් දෙනවා විජය ක්‍ෂක්‍රීය කුල පිළිවෙත් මත උභය කුලපරිශුද්ධ කුමාරියක සරණ පාවාගෙන, මෞලි මංගල්‍යය පවත්වා, අභිශේක වන තුරු තානාපති සම්බන්ධතා පැවැත්විය නො හැකියි කියා. විජයට සිදුවෙනවා කුවේණියගේ කැමැත්ත අකමැත්ත ගැන නොසිතා මධුරාවෙන් කුල කුමරියක්‌ ගෙන්වාගෙන අභිශේක වන්නට."

"එසේ නොවුණහොත් ඔහුට මව් රටින් ආධාර ලබාගත නො හැකි වෙනවා. ලාට රටින් ආධාර නො ලැබුණහොත් දිනෙන් දින වර්ධනය වන යක්‌කයන්ගේ කැරැල්ලට විජයගේ සත් සියය පරදිනවා. විජය මධුරාවට පණිවිඩ යනවා. මධු රජුගේ දූ කුමරිය පිරිවර සත් සියයක්‌ කුමාරිවරු සමග ලක්‌දිවට එනවා. ඔවුන් ගොඩ බසින්නේ මහා තිත්ථයටයි. මහා පිරිවරක්‌ ගොඩබට නිසාලු ඒ තිත්ථය මහා තිත්ථය වුණේ."

බොකුටු සංචාරකයා සිය දීර්ඝ කරුණු දැක්‌වීම හමාර කළේ ය. ඔහු අතේ සිරසවත්තු පුරයෙන් අහුලාගත් වැටකෙයා ඉබි කට්‌ටක්‌ තිබේ. ඔහු මා දෙසට හැරී මට විධානයක්‌ දෙයි.

"දැන් ඔබට පුළුවන් මහාතිත්ථයට සංචාරය කරන්න. එතෙක්‌ මේ ඉබිකට්‌ට මං තියාගන්නං සැඟවෙන්න. විජය මේ රටට එන විට මෙහි සිටියේ යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්‌ඩයන් යෑයි අදහන අය මට පහර දෙන්නට ආවොත්, මං මේ ඉබි කටිටේ හැංගෙන්නම්. බිත්තර කට්‌ටට වඩා ඉබි කට්‌ට හයියයිෘ"

මම ලත් අවසරයෙන් බොකුටු සංචාරකයාගේ ඇස්‌ බැම්මෙන් මිදුණෙමි. අතීතය බරුවක්‌ සේ එල්ලාගෙන අනාගතයට ඇවිද නොගොස්‌ අතීතය යානාවක්‌ කොට ගෙන අනාගතයට යැම මගේ අභිරුචියයි. මම මගේ රථය A 14 පාරේ මන්නාරම් දෙසට ධාවනය කෙරුවෙමි. බැතිමතුන් පිරී ඉතිරී ඇති වර්තමාන තිරුකේතීෂ්වරම් දේවාල භූමියේදී මට අතීත මහා තිත්ථ පුරාවස්‌තු පරිශ්‍රය ඇස නො ගැසෙයි.

1978 දී පමණ රාජා ද සිල්වා ආචාර්ය තුමන් ආරම්භ කළ ලොව මවිත කළ ඉපැරැණි වරාය ක්‍රිස්‌තු පූර්ව 1800 දී පමණ (ක්‍රි. පූ. 19 වන සියවස) ගල් යුගයේ අවසාන අදියරේ ජනාවාසයක්‌ හමුවීම තෙක්‌ මීටර් 12 ක්‌ කැනීම් කොට තිබූ බව මේ පරිශ්‍රය පිළිබඳ වර්තමානයේ විශාල අධ්‍යයනයක යෙදී සිටින ආචාර්ය නිමල් පෙරේරා මා සමග පැවසීය. 1984 දී එවකට පුරාවිද්‍යා කොමසාරිස්‌ව සිටි ආචාර්ය ශිරාන් දැරණියගල ඊට උඩ ස්‌ථරයක පිහිටා තිබූ දියුණු ජාත්‍යන්තර වරාය සොයා ගන්නා ලදී. මෙම වරාය ක්‍රිස්‌තු පූර්ව 6 වන සියවස (විජය ලංකාවට පැමිණි සියවස) වන විට පිටරටට තඹ අපනයනය කළ තොටමුණක්‌ බව දැරණියගල මහතාගේ අදහසයි.

1984 දී දැරණියගල සූරීන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක්‌ සමග මෙහි කැනීම් කළ මුත් 85 උද්ගත වූ යුදමය තත්ත්වයේ හේතුවෙන් පර්යේෂණ කටයුතු අත් හැර දමනු ලැබී ය.

2001, 2002 වර්ෂවල සිදු වූ ව්‍යාජ සාම කාලය තුළ සිදු කළ නැවත පදිංචි කිරීම් කටයුතු මෙහෙය වූ දේශපාලනඥයන් ඉතිහාසය පිළිබඳ කිසිදු ශාස්‌ත්‍රීය ඥනයකින් තොරව පර්යේෂණ පරිශ්‍රය වසා දමා කෝවිලේ සහ මඩම්වල පැවැත්ම ස්‌ථාවර කළේ ය. දුර්ලභ ඓතිහාසික හෙළිදරව්වක්‌ අප විසින් ම යළි මහ පොළොවට ම වසා දමන ලද්දේ ය.

සිත් කලකිරීමෙන් යුතු මම එතැන් සිට තල්අඩි පාලම තරණය කොට මන්නාරම් අර්ධද්වීපය සොයා ගියෙමි. උතුරු වසන්තයේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ඇස්‌ මායිමට වඩා දීර්ග වූ තල්අඩි පාලම මැනැවින් අස්‌වද්දමින් සිටී. මේ කොන්ක්‍රීට්‌ පාලමේ සිටගත් කල ඈතින් තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය ගමන් කළ යකඩ පාලම් පන්තිය දර්ශනය වේ. එහි දීර්ඝත ම පාලම කඩා වැටී ඇත. රුදුරු ත්‍රස්‌ත බෝම්බයෙන් කඩාබාන්දු වූ බොහොමයක්‌ රාජ්‍ය දේපළ අතර මේ ඇදවැටුණු පාලම දුඛාන්ත ස්‌මාරකයක්‌ සේ දර්ශනය වේ.

මම මේ යකඩ යෝධයා අසලට ගියෙමි. අයිපල් කුළුන කඩා වැටී තිබෙනවා ප්‍රංශ ජාතිකයකු දුටහොත් ඔහුට ඇතිවන චිත්ත පීඩාවට නො දෙවෙනි හිත් රිදීමකින් යුතුව මම මන්නාරම් යකඩ යෝධයා දෙස බලා සිටියෙමි. මන්නාරමේ ඈත ඉතිහාසයත්, මෑත ඉතිහාසයත් රුදුරු ත්‍රස්‌තවාදයෙන් වැලලී ගොස්‌ ඇති නියාව ෙ€දජනකය.

මතු සම්බන්ධයි.
ලබන සතියේ අරිප්පුවේ රොබට්‌ නොක්‌ස්‌ ...

ජැක්‌සන් ඇන්තනී
jacksonaba@gmail.com


පින්තූර - දිනේෂ් ලක්‌දුසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.