ඩෙංගු වැළකිය හැක්‌කේ
ඇමැතිටද රජයටද අපටද....?

ඩෙංගු උණ වසංගතයක්‌ සේ පැතිර යමින් තිබේ. ඩෙංගු මදුරුවා සතර අත ඉගිලෙමින් මිනිසුන් මරා දමන්නට පටන්ගෙන තිබේ. මේ ඩෙංගු මදුරුවාගේ ප්‍රධාන ගොදුර බවට පත්ව ඇත්තේ මල්වැනි දරුවන්ය. දරුවන්ට අමතරව වැඩිහිටියන්ද මේ මදුරුවා ගොදුර කර ගන්නේ ඒ වැඩිහිටියන්ගේ තරාතිරම ද නොබලමිනි.

බදුල්ල රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරමින් සිටි තරුණ වෛද්‍යවරියක වන නදීකා ලක්‌මාලිව ද පසුගියදා ඩෙංගු මදුරුවා බිල්ලට ගත්තේය. මාතර ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඩිල්මි හංසිකා (14) දැරියවද ඩෙංගු මදුරුවා බිල්ලට ගත් උණුසුම තවමත් තිබේ. කෙනකු ඩෙංගු වැළදී මියෑදුන පසු බී. ටී. අයි. බැක්‌ටීරියාව ද ඒ මරණය සමඟම සිහිකරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත්ව සිටී.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුලි මාසය වන විට ඩෙංගු උණ වැළඳී මියගොස්‌ ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ගණන එකසිය තිස්‌පහකට වැඩිය. ඩෙංගු වැළඳුන ගණන විසිදහසකට වැඩිය. ඩෙංගු උණ වසංගතයක්‌ සේ පැතිර යන්නේ මන්ද? මෙය බෝවන උණක්‌ නොවුනද ඩෙංගු මදුරුවකුට ඒ උණ රෝගය පැතිරවීමට හැකිය.

ඩෙංගු පැතිරෙන්නේ ඩෙංගු මදුරුවාගෙනි. ඩෙංගු මදුරුවා බෝ වන්නේ පිරිසිදු ජලය එකතුවන ස්‌ථානවලය. පොල් කෝම්බ, පොල්කටු, ඉවතලන පොලිතින්, කුණු කසළ ගොඩවල් මෙන්ම ඉවත දමන ටයර් ආදියෙහි මෙන්ම නිවසේ අලංකාරයට තබා තිබෙන මල් බඳුන් වැනි ස්‌ථානවලද ඩෙංගු මදුරුවාගේ වාසස්‌ථානය. ඒ අනුව ඩෙංගු මදුරුවා බෝකරන්නේ මේ මිනිසුන්මය. පසුගිය 2009 වසරේදී ඩෙංගු වසංගතයක්‌ සේ පැතිර ගියා මතකය. පසුගිය වසරේ ඩෙංගුවලින් මියගිය ගණන තුන්සිය තිස්‌පස්‌ දෙනකුට වැඩිය. එකල සෞඛ්‍ය ඇමැති ලෙස සිටියේ නිමල් සිරිපාල මහතාය. ඩෙංගු වැළඳී මිනිසුන් අකාලයේ මියයැම ගැන පාර්ලිමේන්තුවේදී ද විවාද මතුවිය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ඇමැතිවරයාට කීවේ නිමල් සිරිපාල නොව ඩෙංගු සිරිපාල කියාය. ඒ කීම එක අතකට සාධාරණ හා ගැලපෙන කීමක්‌ බවටද පිළිගැනිණි. හේතුව ඩෙංගුත්, සෞඛ්‍ය ඇමැතිවරයාත් ඒ කාලයේදී ජීවිතත් මරණත් පිළිබඳව තරගයක නිරත විය. ඩෙංගු මදුරුවා මුළු රටම වෙළාගෙන මිනීමරද්දී, හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා කළේ ඩෙංගු මදුරු කීටයන් නසන බීටීඅයි බැක්‌ටීරියාව මෙරටට ගෙන්වන බව කීමය. වරෙක බී. ටී. අයි. බැක්‌ටීරියාව ඇමරිකාවෙන් ගෙන්වන බව ඇමැතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීහු කීහ. තවත් වරෙක කියුබාවෙන් බැක්‌ටීරියාව ගෙනෙන බව කීහ. තවත් වරෙක කීවේ අපේම බැක්‌ටීරියාවක්‌ පිළිබඳ කල්පනා කරන බවය. අවසානයේදී ඒ බැක්‌ටීරියා පිළිබඳ කතා පසෙක තබා පරිසරය පිරිසිදු කිරීමට ජනතාවට සිදුවිය. 2009 වසර අවසාන වන විට ජීවිත තුන්සිය තිස්‌ පහකට වැඩි ප්‍රමාණයක්‌ ඒ මදුරුවාගේ ගොදුරු බවට පත්වූයේ බැක්‌ටීරියා කතාවද යටකරමින්ය.

දැන් මේ ගෙවී යන්නේ 2010 වසර බව අපි දනිමු. තවමත් මෙම වසරේ ගෙවී ඇත්තේ මාස හයකි. ජූලි මාසයේ ගෙවෙන මේ දින දහඅට සමගින් ගත් කල ඩෙංගු මදුරුවාගේ ගොදුරට ලක්‌වූ පිරිස එකසිය තිස්‌පහකට වැඩිය. ගෙවීගිය සතියේ සිදු වූ මරණ මෙම ගණනය කිරීමට අදාළ නැත.

ගිය වසරේ ඩෙංගු මරණ තුන්සිය තිස්‌ පහට සාපේක්‌ෂව 2010 වසරේ මරණ අඩු යෑයි කියමින් සෞඛ්‍ය අමාත්‍යාංශංය සතුටු වන්නේදැයි අපි නොදනිමු.

නමුත් අප නම් සිතන්නේ පෙර වසරේ මරණ හා මෙම වසරේ මරණ දෙස බලා සතුටුවීමට හෝ සැනසීමට කිසිවකුට අයිතියක්‌ නොමැති බවය. ඩෙංගු මදුරුවා බෝවීම දවසින් දවස වර්ධනය වෙමින් තිබේ. දැනටමත් ඩෙංගු වැළඳුන පිරිස විසිදහසකට වැඩිය.

ඩෙංගු වැළඳුන බදුල්ල රෝහලේ වෛද්‍ය නදීකා ලක්‌මාලී මෙනවියගේ මරණය මුළු මහත් වෛද්‍යවරුන්ගේ ද හද සසල කර ඇත. නිසල වූ නදීකා ද ඩෙංගු උණ වැළඳුන දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට ඇප කැප වූ වෛද්‍යවරියකි. ඇය සිටි වාට්‌ටුවේ සිටි ඩෙංගු උණ රෝගී දරුවෝ දස දෙනකු වෙනුවෙන් කැප වූ ඒ වෛද්‍යවරිය පසුගිය 05 වැනිදාට යෙදුන සිය තිස්‌ දෙවැනි උපන් දිනය සමරන්නට නිවසට යැමද පමාකර ඇතැයි සඳහන්ය. ඩෙංගු මදුරුවා සිය ගොදුර බවට වෛද්‍යවරුන්වද පත්කර ගනිමින් සිටියද සෞඛ්‍ය බලධාරීහු තවමත් ඩෙංගු මදුරුවා බෝවීම වැළැක්‌වීමට පියවර නොගනිති.

සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය බලධාරීනුත් ආයෙත් නන්දෙඩවීමට පටන්ගෙන තිබේ. මේ අය පසුගියදා කීවේ බී.ටී.අයි බැක්‌ටීරියා ගුවනින් ඉසින බවය. මුලින්ම මහනුවරට සහ අකුරණට ඒ බැක්‌ටීරියා ඉසින බවටද වහසි බස්‌ දෙඩූහ. බී. ටී. අයි. බැක්‌ටීරියාව කියුබාවෙන් ගෙන්වා ගැනීම සඳහා යන වියදම ද කැල්ක්‍යqලේටරයකින් ගණනය කිරීමට ඔවුහු සමත්ව සිටිති.

දැන් ඒ බලධාරීහු කියන්නේ ගුවන් හමුදා හෙලිකොප්ටරවලින් බී. ටී. අයි. බැක්‌ටීරියාව ඉසීමට විශාල වියදමක්‌ යන බවයි. එනිසා බී. ටී. අයි. බැක්‌ටීරියා ලීටර් දස දහසක්‌ බෝතල් කිරීමටත්, ඒ බෝතල් ගෙයක්‌ ගෙයක්‌ පාසා බෙදාදීමවත් කල්පනා කරති. මුහුද හත්ගව්වක්‌ තිබියදී අමුඩ ගසා ගන්නා සේ බී. ටී. අයි. බැක්‌ටීරියා සිහිනය පිළිබඳ සිතමින් ඒවා බෝතල් කරන ක්‍රමත්. නිවසක්‌ නිවසක්‌ පාසා බෙදන යාන්ත්‍රණයක්‌ සැකසීම සමහරුන්ට විහිළුවක්‌ සේ පෙනෙන්නට පුළුවන. නමුත් අප නම් සිතන්නේ එවැනි සැලසුමක්‌වත් මේ අයට තිබෙන්නේ නම් එයද සැනසිල්ලට කාරණයක්‌ බවය.

ප්‍රභාකරන් නමැති ත්‍රස්‌තවාදියා බෝම්බයක්‌ අටවා වසරකට මරා දැමූ අහිංසක මිනිසුන්ට වඩා ඩෙංගු මදුරුවා කරන දෂ්ට කිරීමෙන් මිනිසුන් මියයැමට පටන්ගෙන තිබීම බරපතලය. යුද්ධය වෙනුවෙන් 2009 වසරේදී රුපියල් බිලියන 187 ක්‌ වැය කිරීමට රජය ක්‍රියාකර ඇත. 2006 වසරේ සිට 2009 වසර දක්‌වා අවසන් සටන වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් බිලියන 605.2 ක්‌ බව මහ බැංකු වාර්තාවේ සඳහන්ය.

අපි කියන්නේ යුද්ධය වෙනුවෙන් වැය කළ මුදලින් අංශු මාත්‍රයක්‌ වැයකර බී ටී අයි. බැක්‌ටීරියාව මෙරටට ගෙනැවිත් ගුවන් හමුදා හෙළිකොප්ටර් මගින් හෝ මේ බැක්‌ටීරියාව ඉස ඩෙංගු මදුරු වසංගතය නිමා කරන ලෙසය.

එසේ නොකළහොත් මේ වසංගතයෙන් තව විශාල ජීවිත ප්‍රමාණයක්‌ විනාශ වනු ඇත. මදුරුවකුගේ දෂ්ට කිරීමකින් නිකරුණේ මේ මිනිසුන් මියෑදෙන්නේ නම් එය විශාල අපරාධයකි. මේ විනාශ වන මිනිසුන් අතර මැති ඇමැතිවරු නැති නිසා මැති ඇමැතිවරුන්ට ඩෙංගු වසංගතයේ තරම නොපෙනෙනවා වන්නට පුළුවන.

ඩෙංගු මදුරුවා මර්දනය කළ යුතුමය. ඒ සඳහා බී. ටී. අයි. බැක්‌ටීරියාවම අවශ්‍ය නොවන බව අප පිළිගත යුතුය. පසුගිය වසරේදී ඩෙංගු උණ පැතිර යන විට ගෙන එනවා යෑයි කී බී. ටී. අයි. බැක්‌ටීරියාව තවමත් මෙරටට නොගෙනාවේ ඒ සඳහා යන රුපියල් කෝටි ගණන නොමැති නිසා දැයි අපි නොදනිමු. නොමැති නම් කියුබාව, ඇමරිකාව වැනි රටවල් දුප්පත් අපට මේ බැක්‌ටීරියාව දෙන බව කියමින් මගහරින්නේදැයි නොදනිමු. දේශපාලනඥයන් මැතිවරණ කාලවලදී අපේ ජනතාවට දෙන පොරොන්දු මෙන් කියුබාව සහ ඇමරිකාව ඩෙංගු වසංගතය හමුවේ කලබලව සිටින අපේ සෞඛ්‍ය බලධාරීහු, නිලධාරීහු තාවකාලිකව සනසන්නේදැයි නොදනිමු.

මේ කොයික නොවුනත් මේ රටේ මිනිසුන්ට එකක්‌ කළ හැකිය. ඒ තමන් පදිංචිව සිටින, තමන් සේවය කරන බිම්කඩ හා අවට පරිසරය පිරිසිදු කර ගැනීමය. ඒ හොඳ පුරුද්ද අපෙන් ගිලිහී ගොසිනි. නිවසේ කුණු ටික පාරට දමති. පාරේ කුණු ගොඩවල්වලට සැමන් ටින්ද, ෆ්‍රයිඩ් රයිස්‌ බහාලන පෙට්‌ටිද, යෝගට්‌ කෝප්පද, පොල්කටුද ආදී කී නොකී සියලු අඩුම කුඩුම ගෙනත් දමති. මදුරුවන්ට නොව කොටියකුට වුවද සැඟවී සිටිය හැකි සේ ගෙවත්තේ කැලෑව වැවුනද වගේ වගක්‌ නැතිව සිටින මිනිස්‌සු ද සුලබය. නිවසේ අලංකාරයට තබන මල්බඳුන මදුරු රජදහන්ය. අලංකාරය පමණක්‌ම සිතන ඇතැම් අය නිවසේ ඇති පොකුණේ මල්, මසුන් පමණක්‌ නොව මදුරුවන්ද බෝකරති. ඩෙංගු මදුරුවා ඉගිල්ලී විත් දළ විෂ පහරක්‌ ගසනතුරු නිවැසියන්ට මේ මදුරුවන්ගේ බෝවීම පිළිබඳ දැනෙන්නේ නැත.

එනිසා අපි එකාවන්ව එකට එකතුවී දැන්වත් පරිසරය පිරිසිදු කිරීමට ක්‍රියා කළ යුතුව ඇත. පසුගිය දිනක ගෙවත්ත පරීක්‍ෂාවට සෞඛ්‍ය අංශ විසින් එවා තිබුණේ ගමේම නියෝජිතයෙකි. හේ නිවස සහ අවට බලා හිනැහී ගියා මිස පිරිසිදු අපිරිසිදුකම ගැන කිසිවක්‌ කීවේ නැතැයි ගම්මු පවසති. ගමක පිරිසිදුකම පිළිබඳ සොයන්නට ග්‍රාමසේවක නිලධාරී තැනට බැරිකමක්‌ නැත. අවශ්‍ය නම් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකු ද ඒ සඳහා එකතු කරගත හැකිය. ගම පමණක්‌ නොව නගරයද පිරිසිදු කළ යුතුය. කුණු ගොඩවල්වලින් හමන දුගඳ කලක්‌ යනවිට සුවඳක්‌ යෑයි නගරවාසීන්ට දැනේ. එනිසා නගරවල අපිරිසිදුකම පිළිබඳ නගරවාසීන්ට වගේ වගක්‌ නැත. ඒ අය හිතන්නේ අපිරිසිදුකමත් එක්‌තරා දියුණුවක්‌ බවය. එනිසා ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභාවලට පත්ව සිටින මන්ත්‍රීවරුද කොන්ත්‍රාත් පිළිබඳව නොසිතා ගමත්, නගරයත් පිරිසිදු කිරීමට වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. එවිට තව මාස පහකින් එළඹෙන 2011 වසරේදීවත් අපට ඩෙංගු නැති රටක්‌ උරුමකරගත හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන එන බව කියන බී. ටී. අයි. බැක්‌ටීරියාව පිළිබඳ අපට විශ්වාසයක්‌ නැත. තව ටික කලකට පසු ඒ බැක්‌ටීරියාව ශ්‍රී ලංකාවට ගෙනාවත් එය ඉසීමටත්, බෝතල් කිරීමේදීත්, ගුවනින් ගෙන යැම් ප්‍රශ්නත් නිසා තවත් ප්‍රශ්න ඇතිවනු ඇතැයි අපට සිතේ. එනිසා හොඳම දේ පරිසරය පිරිසිදු කිරීමය. පරිසරය අපිරිසිදුවට තබාගෙන බී. ටී. අයි. බැක්‌ටීරියාව නොව මදුරුවන් හපා චප්පකර මරා දමන බූවල්aලන් වර්ගයක්‌ ගෙනැවිත් දැමුවත් වැඩක්‌ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වන බව කී බැක්‌ටීරියාවට ඇමරිකාවේ හෝ කියුබාවේ සිට පයින් ආවත් දැන් අපේ රටට එAමට කල්ය. එසේ පයින් ආ බැක්‌ටීරියාව එසේ නම් මේ වනවිට ඩෙංගු කීටයන් විනාශ කර ආපසු ආපු රටටම පයින් යැමට වුවද කාලය ප්‍රමාණවත්ය. එසේ කියන්නේ අපමණ කාලයක්‌ මේ බැක්‌ටීරියාව පිළිබඳ අප කථාකර ඇති නිසාය.

මේ වන විට කළුබෝවිල රෝහලේ ඩෙංගු රෝගීන් සියයක්‌ පමණද, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් පනහක්‌ පමණ ද ආදී වශයෙන් රටේ සෑම රෝහලකම ඩෙංගු රෝගීන් සිටිති. මේ සෑම රෝගියෙකුම සිටින්නේ දෙගිඩියාවෙනි. ඒ රෝගීන්ගේ දෙමාපියෝ, ඥාතීන් සිටින්නේද දෙලොවකය. මේ රෝගීන්ගෙත්, ඒ රෝගී ඥාති මිත්‍රාදීන්ගෙත් පපු තුළ ඇවිළෙන ගිනි බලන්නට කෙනෙක්‌ නැත. තීන්දු, තීරණ ගැනීම පමාවන සෑම තත්පරයකදීම ඩෙංගු මදුරුවා අත්තටු සලා පියාඹමින් නිරෝගී අයව රෝගීන් බවට පත් කරමින් සිටිති.

සෞඛ්‍ය ඇමැතිව සිටි නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ඒ ඇමැතිකමේ නැත. සිටින්නේ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයා වී එතරම් කලක්‌ නැත. නමුත් ඒ ඇමැතිවරයාට ඩෙංගු පිළිබඳව කිසිවකු අමුතුවෙන් කියාදිය යුතු නැති බව දනිමු. පරිණත දේශපාලන නායකයකු වන ඒ මහතා යුහුසුළුව ඩෙංගු මදුරුවාත්, ඩෙංගු වසංගතයත් වනසා දැමීමට නායකත්වය දෙනු ඇතැයි ජනතා විශ්වාසයය. එදා රනිල් වික්‍රමසිංහ මහතා ඩෙංගු සිරිපාල කියමින් නිමල් සිරිපාල මහතාට විහිළු කළද අලුත් ඇමැතිවරයා ගේ නම මුලට ඩෙංගු කෑල්ල අමුනන්නට එවිට නොහැකි වනු ඇත. ජනතා ප්‍රාර්ථනය ද එයය. ඉක්‌මනින්ම ඩෙංගු මදුරු වසංගතයත් මර්දනය කළ යුතුය. ඒ දේ කිරීමට පරිසර ඇමැතිත්. පළාත් පාලන අමාත්‍යාංශයත්, පළාත් පාලන ආයතනත් සමඟ ජනතාවද එක්‌විය යුතුය. එනිසා අපි අපේ යුතුකම ඉටුකරමින් අවට පරිසරයවත් පිරිසිදු කරගනිමු.


ශිරාන් රණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.