දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘදයාබාධ නිසා
ශ්‍රී ලංකාව තුළ දිනකට අකල් මරණ 350 ක්‌ ! ! !

දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘදයාබාධ නිසා ශ්‍රී ලංකාව තුළ දිනකට 350 ක පමණ රෝගීන් ප්‍රමාණයක්‌ මියයන බව මේ වන විට හෙළිවී ඇතැයි සෞඛ්‍ය ඇමැතිතුමා පසුගියදා පවසා තිබිණි. මෙය කිසිසේත්ම සුළුකොට තැකිය හැකි ප්‍රකාශයක්‌ නොවෙයි. මෙම ප්‍රකාශනයට අනුව ඉහත සඳහන් රෝග වලින් වසරකට 130000 කට ආසන්න ප්‍රමාණයක්‌ මියයති. මෙතෙක්‌ කලක්‌ අප වැඩි අවධානයට ලක්‌ කළේත්, වැඩි වශයෙන් කතාබහ කළේත් අප බියට පත් වූයේත් බෝවන වසංගත රෝග සම්බන්ධවය. එහෙත් සියල්ල උඩු යටිකුරු වී ඇත. දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘදයාබාධ වැනි බෝනොවන රෝග වසංගතයන් මෙන් අප අතර පැතිර යමින් පවතියි. මේ ලිපිය කියවන ඔබ හෝ ඔබේ පවුලේ කවර හෝ සාමාජිකයෙකු අනිවාර්යයෙන්ම ඉහත රෝග වලින් පෙළෙයි. එසේ නොවන්නේ නම් මම වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වෙමි.

සාමාන්‍යයෙන් වසංගතයක්‌ ලෙස ඕනෑම පරිසරයක පැතිර යන්නේ බෝවන රෝගයන්ය. අප වඩාත් බියට පත් වන්නේද ආරක්‌ෂා වීමට උත්සාහ දරන්නේද මේ බෝවන රෝග වලින්ය. එහෙත් මේ වන විට ලෝක ප්‍රවණතාවයන් වෙනස්‌ වී බලාපොරොත්තු නොවන ලෙස බෝ නොවන රෝග හිස එසවීමට පටන් ගෙන ඇත. සත්‍ය ලෙසම මෙය වෛද්‍ය විද්‍යාවට සැබෑ අභියෝගයක්‌ වී ඇත. මෙවැනි රෝග තත්ත්ව වෛද්‍ය විද්‍යාව තුළ Chronic Non-Communicable Diseases ලෙස හඳුන්වයි.

අපගේ සිරුරේ ව්‍යqහයන් සහ ක්‍රියාකාරිත්වයන් සාමාන්‍ය ජීවිතය පවත්වා ගැනීමට නොහැකි ලෙස වෙනස්‌වීම මෙහිදී සිදුවන අතර මෙම අහිතකර වෙනස්‌ වීම් සුව නොවී දිගු කලක්‌ පවතියි. අවසානයේදී නිදන්ගත රෝගයක්‌ බවට එය පත්වෙයි. හදිසියේ ඇතිවන රෝග කෙටි කලක්‌ තීව්‍ර අවස්‌ථාවේ පැවත සුව වීම සිදුවෙයි. නැවත වරක්‌ රෝගියාට සාමාන්‍ය පරිදි ජීවත් වීමට අවස්‌ථාව සැලසෙයි. නමුත් නිදන් ගත රෝග වලදී තත්ත්වය මෙයට වෙනස්‌ වෙයි. මෙම රෝග සම්පූර්ණයෙන් සුව නොවී ඉතා දිගු කලක්‌ පවතියි. ඇතැම් අවස්‌ථා වලදී සදාකාලික සුවයක්‌ නොවී දිගින් දිගටම රෝගයෙන් පීඩා විඳීමට සිදුවෙයි. කෙසේ වුවත් නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව මෙම අහිතකර බලපෑම් අවම කිරීමට සමත්ව ඇතත් සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට අසමත් වීම දැවැන්ත අභියෝගයක්‌ වී ඇත.

සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද සෞඛ්‍ය අංශ වැඩි පිරිවැයක්‌ දරන්නේද ශ්‍රම දායකත්වයක්‌ ලබා දෙන්නේද මෙම බෝ නොවන රෝග වෙනුවෙන්ය. එය ඒ තරමටම වසංගතයක්‌ වී ඇත. නිදන්ගත රෝගයක්‌ ප්‍රධාන ලක්‌ෂණ කිහියක්‌ හඳුනාගත හැක. එහිදී ඇති වන රෝග ලක්‌ෂණ සාදාකාලික විය හැක. රෝගය අවසානයේදී දිගු කල් පවතින අතුරු ආබාධ ඇති වෙයි. තවද නිදන් ගත රෝග වලදී ශරීර අභ්‍යන්තර වෙනස්‌ වීම් නැවත වෙනස්‌ කළ නොහැකි ලෙස විපර්යාස වලට භාජනය වෙයි.

මෙහිදී ජනිත වන රෝග ලක්‌ෂණ සමග රෝගියාට දිගු කලක්‌ පොර බැදීමට වන හෙයින් ඒ සඳහා ඔහු හුරු කිරීමටත් පුනරුත්ථාපනයටත් උනන්දු විය යුතුය. මෙවැනි රෝගීන්ට වරක්‌ දෙවරක්‌ ප්‍රතිකාර කොට අතහැර දැමීම කළ නොහැකි නිසා දිගු කලක්‌ සායනවලට ගෙන්වා ගැනීමට පෙළඹවීමක්‌ සිදු කළ යුතුය. එහෙත් අපේ රටේ මෙවැනි නිදන්ගත රෝග වලින් පෙළෙන බොහෝ දෙනකු රෝගයට ප්‍රතිකාර ගැනීම අතර මගදි නතර කර දමයි. ආර්ථික සහ සමාජීය හේතු හේතු බොහොමයක්‌ මෙසේ දිගු කලක්‌ රෝග වලට ප්‍රතිකාර ලබා නොගැනීමට මග පාදන අතර මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස බරපතල අතුරු ආබාධ වලට මුහුණ දී දුක්‌ විඳ මියයැමට සිදු වෙයි.

අප අවට සීග්‍රයෙන් පැතිර යන බෝ නොවන රෝග මොනවාදැයි මීළඟට මදක්‌ විමසා බලමු. මේ අතරින් හෘදය ආශ්‍රිත රෝග වලට ප්‍රමුඛස්‌ථානය හිමි වෙයි. මීට අමතරව වකුගඩු රෝග, ස්‌නායු ආශ්‍රිත රෝග, සන්ධි ආබාධ, දිගු කල් පවතින ස්‌වසන රෝග (ඇදුම වැනි), හදිසි අනතුරු වලින් අත්වන සදාකාලික ආබාධ, වියපත් වීම ආශ්‍රිත රෝග මේ අතර පෙරමුණේ සිටියි. මීට අමතරව අන්ධභාවය, පිළිකා රෝග, දියවැඩියාව, තරබාරු බව හා වෙනත් පරිවෘත්තීය රෝග පෙරමුණට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ වලින් පෙරමුණේ සිටින්නේ හෘදයාබාධයන්ය. දෙවැනි ස්‌ථානය පිළිකා රෝග වලටත් තෙවැනි තැන පෙනහළු ආශ්‍රිත රුධිර සංසරණ ගැටළු වලටත් හිමි වී ඇත. මොළය ආශ්‍රිත රුධිර සංසරණ ගැටළු (අංශභාගය) පත්ව ඇත්තේ සිව්වැනි ස්‌ථානයටය. ඉන් අනතුරුව පිළිවළින් ශ්වසන රෝග, සත්ත්වයන් හා බැක්‌ටීරියා මගින් බෝවන රෝග, හඳුනා නොගත් රෝග, මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග හා හදිසි අනතුරු නිසා වන මරණ වලට ප්‍රමුඛතාව ලැබෙයි.

අපේ රටේ රෝහල් ගතවීම් වැඩිම සංඛ්‍යාවකට හේතුව හදිසි අනතුරු වන අතර දෙවැනි ස්‌ථානය ශ්වසන පද්ධතිය ආශ්‍රිත වලට හිමි වෙයි. හඳුනා නොගත් රෝග, වෛරස්‌ රෝග, ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග සහ ගර්භනී භාවය ආශ්‍රිත රෝග තත්ත්ව අනෙක්‌ හේතු සාධකයෝය.

සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩිහිටි ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක්‌ නිදන් ගත රෝග වලින් පෙළෙති. සංවර්ධිත රටවල වැඩිහිටි මරණ වලින් 75% ක්‌ පමණ සිදුවන්නේ හෘදය ආශ්‍රිත රෝග සහ පිළිකා නිසාවෙනි. මේ අන්දමට බෝ නොවන රෝග ව්‍යාප්තිය වැඩිවීම කෙරෙහි බලපාන ලද හේතු සාධක කිහිපයක්‌ම පවතියි. මින් පළමු වැන්න පුද්ගල ආයු කාලය ඉහළ යැමයි. මේ නිසා ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක්‌ වියපත් වී ජීවත් වෙති. ප්‍රතිඵලයක්‌ ලෙස නිදන් ගත රෝග වලින් පෙළෙන ප්‍රමාණය වැඩි වී ඇත.

පුද්ගලයන්ගේ ජීවන රටාවන් සෞඛ්‍යට අහිතකර ලෙස වෙනස්‌ වීම නිදන් ගත රෝග වලට ගොදුරුවීම ඉහළ දමන තවත් සාධකයකි. කෙසේ වූවත් නූතන වෛද්‍ය විද්‍යාත්මක වෙනස්‌ වීම් හමුවේ නිදන්ගත රෝග වලින් පෙළෙන අතරම වැඩි ආයු කාලයක්‌ ජීවත් වීමට දොරටු විවර කර ඇත. නමුත් "ආරෝග්‍යා පරමා ලාභා"යි පවසන අන්දමටම මේ අයුරින් නිදන් ගත රෝග වලින් පීඩා විඳිමින් දිගු කලක්‌ ජීවත් වීම සුවයක්‌ නොවෙයි. ජීවිතයේ වටිනාකම අඩු වෙයි. ආබාධිත තත්ත්වයට පත්වෙයි. පවුලේ අනෙක්‌ සාමාජිකයන්ට වන හානිය සහ පීඩනය වැඩි වෙයි. දිළිඳුකම ඉහළ යයි. රටේ ආර්ථික ගැටළු ඉහළ යයි. මෙය සෘජුව සහ වක්‍රාකාරව රටක ආර්ථික සංවර්ධනයට බලපායි. සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ හේතුව නිසා හැකි ඉක්‌මනින්ම නිදන්ගත රෝග වලින් වැළකීම පිණිස ප්‍රතිපත්ති සකස්‌ කරමින් සිටිති.

වර්තමානය වන විට නිදන් ගත රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු සාධක හයක්‌ පමණ හඳුනාගෙන ඇත. අඩු වයසින් රෝගී වීමටත් මරණය පත් වීමටත් මෙම කරුණු බලපාන බව පෙනී යයි.

1. සිගරට්‌ සහ විවිධ වර්ගයේ දුම් පානය.

2. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය.

3. රෝග වළක්‌වා ගැනීම කෙරෙහි උනන්දුවක්‌ නොදැක්‌වීම. (නිදසුනක්‌ වශයෙන් අධි රුධිර පීඩනය පාලනය, පිළිකා කල්තියා හඳුනා ගැනීම, දියවැඩියාව පාලනයට උනන්දු විම ආදිය නොකර සිටීම දැක්‌විය හැක).

4. ජීවන චර්යාව අහිතකර ලෙස වෙනස්‌ කර ගැනීම. (ආහාර රටාව, කායික ව්‍යායාම ආදියට උනන්දුවක්‌ නොදැක්‌වීම).

5. අහිතකර පාරිසරික සාධක ගොඩනැඟීම. (පරිසර දූෂණය, විනාශකාරී යුද අවි භාවිතය ආදිය නිදසුනකි.)

6. මානසික පීඩනය ඉහළ යැම. මෙම ප්‍රධාන අවදානම් සාධකයෝය.

බෝනොවන රෝග වලක්‌වා ගැනීම කෙරෙහි අහිතකර ලෙස බලපාන කරුණුද කිහිපයක්‌ පවතියි. මින් එක්‌ සාධකයක්‌ වන්නේ රෝග පිළිබඳව අප කෙරෙහි පවතින අඩු දැනුමයි. විශේෂයෙන් රෝග ඇති වීමට බලපාන හේතු සාධක සම්බන්ධව සමහර විට නිසි දැනුමක්‌ අපට නොවන අවස්‌ථාද ඇත. ඇතැම් රෝග ඇති වීමට එක්‌ සාධකයක්‌ නොව සාධක කිහිපයක්‌ම බලපාන අවස්‌ථාද ඇත. පාරිසරික මෙන්ම චර්යාමය හේතු මේ අතර ප්‍රධානය. නිදන් ගත රෝගවල රෝග ඉතිහාසයද බොහෝ දිග වන අවස්‌ථා ඇත. නිදසුනක්‌ වශයෙන් ගැබ්ගෙල පිළිකා ආදිය ඇතිවීම ශරීරය තුළ උත්තේජනය වන අවස්‌ථාවත් රෝග ලක්‌ෂණ ඇති විමත් අතර දිගු කාලයක්‌ ඇත. වයස්‌ ගතවීම සමග ඇති වන දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආඝාතය ආදී රෝග වල මූල බීජ අප තුළ ඇති වන්නේ තරුණ අවධියේදීම බව සිහියේ තබා ගත යුතුය. පිළිකා රෝගවලදී රෝග වලට හේතුව ඇතිවන්නේ බොහෝ කලක සිටය. එහෙත් රෝගියා පිළිකාව හඳුනාගන්නා විට රෝගය පැතිර පැවතිය හැක.

රෝග වළක්‌වා ගැනීම සඳහා ගන්නා පියවර රෝග ඇති විමට හේතුවන සාධක පිළිබඳ දැනුම මත බොහෝදුරට ර¹ පවතියි. මේ නිසා නිදන්ගත රෝග වළක්‌වා ගැනීම සංකීර්ණ ක්‍රියාදාමයක්‌ වෙයි. අවදානම් සාධක කල්තියා හඳුනාගැනීම, සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ආදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා දියුණු කිරීම මෙහි ප්‍රධාන පියවරක්‌ වෙයි. මෙමගින් මාතෘ සහ ළඳරු සෞඛ්‍ය සේවා දියුණු කිරීම හරහා බොහෝ ප්‍රගතියක්‌ අත්පත්කර ගත හැකියි. ජීවන තත්ත්වය අපට හිතකර ලෙස වෙනස්‌කර ගත යුතුය. අහිතකර සාධක වලින් ඈත්වීම කළ යුතුය.

නිදන් ගත රෝග වලින් බොහොමයක්‌ පූර්ව හඳුනාගැනීම් හරහා (screening test) අවබෝධ කරගත හැක. ඉන් පසුව රෝග නිශ්චය කර ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු ආරම්භ කළ හැක. ජලය, වාතය සහ ගොඩබිම දූෂණය අවම කර ගත යුතුය. රිය අනතුරු ඇතුළු හදිසි අනතුරු අවම කර ගත යුතුය. සෞඛ්‍ය ආයතන තුළ තත්ත්වය වැඩි දියුණු කළ යුතුය. ලබා දෙන සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවිය යුතුය. වෛද්‍ය ප්‍රතිකාර අංශ දියුණු කළ යුතුය.

මෙම ගැටළුව විස¹ ගැනීම සඳහා දේශපාලඥයන්ගේ සහායද වැදගත් සමාජ මෙහෙවරක්‌ ඉටු කරයි. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කළ යුතුය. ප්‍රජා මූලික රෝග නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුය. මේ සියල්ල හරහා නිදන්ගත රෝග වලට වැට බැඳීම කළ හැකිය. මේ අනුව නිදන්ගත රෝගවලින් මිදීම සඳහා සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බව පෙනී යයි.


වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
කරාපිටිය ශික්‌ෂණ රෝහල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.