මාරාන්තික උපවාස සටනේ ජයග්‍රහණය කුමක්‌ද?

බෑන්කී මූන්ගේ විශේෂ උපදේශක කමිටුව විමල් වීරවංශ අමාත්‍යවරයාට මාරාන්තික උපවාසයක්‌ කිරීමට තරම් කාරණයක්‌ද? පසුගිය 08 වැනිදා අමාත්‍යවරයා විසින් මාරාන්තික උපවාසය ආරම්භ කිරීමත් සමඟ බොහෝ දෙනෙකු නැගූ ප්‍රශ්නය එයයි. ඊට පිළිතුරු ලෙස ජාතික නිදහස්‌ පෙරමුණ විසින් මේ ආකාරයේ උපදේශක කමිටු හරහා ඉරාකයේ සිදු වූ යුද්ධමය මැදිහත්වීම සහ යුගොස්‌ලාවියානු ජනාධිපතිවරයා ජාත්‍යන්තර යුද අධිකරණ කරා ගෙනයැම ආදිය පිළිබඳ උදාහරණ ඉදිරිපත් කරන ලදී.

එවැනි ජාත්‍යන්තර විද්වත් කමිටුවල සිටින්නේ උගත් වැදගත් විද්වතුන් නිසා එවැන්නකට පළමු වටයේදී මහා විරෝධයක්‌ පළකළ යුතු නැතැයි ඔවුහු එදා සිතූහ. දෙවන වරද වන්නේ මොවුන් විද්වතුන් වුවත් කුලීකාරයන් බව අවබෝධ කර නොගැනීමයි. ඒ බලහත්කාරකම බොහෝ විට සාධාරණීකරණය කෙරුණේ ඇත්ත සොයාගැනීමට ඉඩදීම මගින් ප්‍රශ්නය විසඳා ගත හැකිය යන මතය අනුවය. එම වැරදිවලට මහා වන්දියක්‌ ගෙවීමට ඔවුන්ට සිදුවිය.

සිංහල දෙමළ මුස්‌ලිම් ජනතාව වසර 30 කට අධික කාලයක්‌ අනන්ත අප්‍රමාණ දුකට පීඩාවට පත්කළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය අවසන් කිරීමේ වරදට අපේ රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම අප ඉවසා සිටිය යුතුද? එය හුදු රණවිරුවන් පිරිසක්‌ දංගෙඩියට ගෙන යැමට උත්සාහ කිරීමට වඩා සමස්‌ත රටකින් පළිගැනීමට සහ එම රට දණ ගැස්‌වීමට ගන්නා උත්සාහයක්‌ ලෙස අප තේරුම් ගත යුතුය.

රජයට උපදෙස්‌ දෙන පණ්‌ඩිතයන් සිතා සිටින්නේ උපදේශක කමිටුව කුමක්‌ කළත් පරීක්‍ෂණ කමිටු අවස්‌ථාවේදී ආරක්‍ෂක මණ්‌ඩලයේදී මෙම ප්‍රයත්නය පරාජයට පත්කළ හැකි බවයි. ඔවුන් තේරුම් නොගන්නා සත්‍ය වන්නේ උපදේශක කමිටු වාර්තාවේ ප්‍රබල බව මත දෙවැනි අවස්‌ථාව පරාජය කිරීම අපහසු විය හැකි බවයි. රුසියාව ආරක්‍ෂක මණ්‌ඩලය නියෝජනය කරන රටක්‌ වුවත් පසුව විරෝධය පළ කිරීමට නොසිට පළමු අවස්‌ථාවේදීම විරෝධය පළ කරන්නේ මේ තත්ත්වය ඔවුන් අවබෝධ කරගෙන සිටින නිසාය.

ඉරාකයේදී මෙන් අප රටේද රජයට උපදෙස්‌ දෙන මේ ගොඩ පෙරකදෝරුවන් පවසන්නේ මෙය විද්වත් කමිටුවක්‌ නිසා තොරතුරු සොයාගැනීමට ඉඩදීම මඟින් අපගේ නිර්දෝෂීභාවය ප්‍රදර්ශනය කළ හැකි බවයි. ඊට අමතරව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු වීමට බලා සිටින හිටපු උසස්‌ හමුදා නිලධාරියා පවසන්නේද තමන් එම කමිටුව හමුවේ සාක්‍ෂි දීමට බලා සිටින බවයි. ඔහු සමඟ සමව සිටගන්නා විපක්‍ෂයේ සමහර නායකයන් පවසන්නේ තමා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ ප්‍රඥප්තිය අත්සන් නොකළ බැවින් ප්‍රශ්නයක්‌ ඇති නොවන බවයි. යුගොස්‌ලාවියානු ජනාධිපතිට එරෙහිව ත්‍රිපුද්ගල යුද අපරාධ අධිකරණය පත් කරන්නේ පඥප්තියට අත්සන් නොකළ තත්ත්වයක්‌ යටතේ අහඹු ආකාරයට බව ඔහු නොදන්නේද?

කෙසේ වෙතත් විමල් වීරවංශ මහතාට අනුව ඔහු මාරාන්තික උපවාසය ආරම්භ කරන්නේ අරමුණු හතරක්‌ පෙරදැරිවය. පළමුවැන්න ඉහත සඳහන් කළ ආකාරයට කුමන්ත්‍රණකාරී ලෙස අවතක්‌සේරුවට ලක්‌කෙරෙන "උපදේශක කමිටු" මැදිහත්වීම රටට ඉතා හානිකර භයානක දෙයක්‌ බව සමාජයට එත්තු ගැන්වීමය. දෙවැන්න ජාත්‍යන්තර සංවිධාන සහ තානාපති අංශ මෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් අතර දේශපාලන මෙන්ම මානසික බලපෑමක්‌ ඇති කිරීමයි. අඩුතරමින් ඉරාකයේදී සහ යුගොස්‌ලාවියාවේදී ජනතාව ගොනාට අන්දවා කළ දෙය ශ්‍රී ලංකාවේදී නිරුවත්ව එළිපිට හැර කළ නොහැකි වන පරිසරයක්‌ නිර්මාණය කිරීමයි.

උපවාසය පැවැත්වෙන අතරතුර විමල් වීරවංශ මහතාට සහාය පළ කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සහ කලාකරුවන් ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් රුසියානු තානාපති කාර්යාලය දක්‌වා "ස්‌තුති පාගමනක්‌" සංවිධානය කෙරිණි. එහිදී ඔවුන් මුණ ගැසුණු වැඩබලන තානාපතිවරයා පවසා සිටියේ රුසියාව ශ්‍රී ලංකාවට පක්‍ෂව මෙම උපදේශක කමිටුවට දිගින් දිගටම විරෝධය පළ කරන බවයි. එම තානාපති නිලධාරීන් වක්‍රව පවසා තිබූ ආකාරයට ජුනි 24 වැනිදා රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ ප්‍රකාශනයකට ශ්‍රී ලංකා රජය නිසි ප්‍රතිචාර දක්‌වා නොමැත. ඔවුන්ගේ ප්‍රකාශය මඟින් බෑන්කී මූන්ගේ කමිටුව නිර්දය ලෙස විවේචනය කොට තිබිණි. ස්‌තුති පාගමන" මඟින් රුසියාවේ එම ස්‌ථාවරය ඇගයීමට ලක්‌ වූ අතර අනාගතයේදී රුසියානු රජයේ උදව් ප්‍රබලව ලබා ගැනීමටද එයින් මඟ පෑදුනි. ඊට අමතරව අප රටේ විදේශ කටයුතු අමාත්‍යංශයටද ඒ මඟින් මානසික බලපෑමක්‌ ඇතිවූ බව පැහැදිලිය. ඒ අනුව පළමු අරමුණු දෙකම ඉතා ඉහළින් ඉටු වී ඇති බවට විවාදයක්‌ නැත. පසුගිය සතිය පුරාම විදේශීය සහ දේශීය මාධ්‍ය තම අත්අඩංගුවට ගැනීමට විමල් වීරවංශ අමාත්‍යවරයා සමත් විය. ඒ තුළින් ලෝකය පුරා ප්‍රබල දැනුවත් වීමක්‌ සිදු වූ අතර ශ්‍රී ලංකාවට වාසිදායක ජනමතයක්‌ද ගොඩනැඟුනි. (කවදත් රටට හතුරු මිනිසුන්ගේ මතය වෙනස්‌ කිරීමක්‌ මින් අදහස්‌ නොකෙරේ.)

විමල් වීරවංශ මහතාට අනුව තුන්වන අරමුණ රටේ පොදු මහජනතාව අතර මෙන්ම තම පක්‍ෂයේ සාමාජිකයන් සහ හිතවතුන් අතර අධිරාජ්‍ය විරෝධී අරගල මනෝභාවය තහවුරු කිරීමයි. එසේ නැතහොත් අධිරාජ්‍ය විරෝධී සමාජ ක්‍රියාකාරීත්වයට ආශ්වාදයක්‌ ලබා දීමයි. එයද බොහෝ දුරට සිදුවී ඇතැයි උපකල්පනය කිරීමේ වරදක්‌ නැත. එකම විශ්ව විද්‍යාලයේ එක්‌ පීඨයක සිසුන් තවත් පීඨයක සිසුන්ට හෝ ආචාර්යවරුන්ට පහරදෙන බාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයක්‌ වෙනුවට අධිරාජ්‍යවාදයේ උපාංග සමඟ ගැඹුරින් ගැටෙන ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයක්‌ රටට අවශ්‍යව ඇත. කැනඩාව වැනි දියුණු ධනපති රටවල පවා සිසුන් ගැටෙන්නේ ජී-8 සමුළුව හෝ ලෝක වෙළෙඳ සංවිධානය සමඟය. ඒත් අපේ රටේ ශිෂ්‍ය නායකයන්ගේ පුංචි මානසිකත්වය නිසා අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික, දේශපාලන සහ සංස්‌කෘතික ආක්‍රමණයේ විවිධ ප්‍රකාශනයන්වලට එරෙහි සටන් කැඳවන්නේ නැත. මේ තත්ත්වය වෙනස්‌ කොට අධිරාජ්‍යවාදීන් සමඟ සෘජුව ගැටෙන සමාජ ක්‍රියාකාරීත්වයක්‌ පණපෙවීම සඳහා ප්‍රබල ආදර්ශයක්‌ මාරාන්තික උපවාස සටනින් ලබා දී ඇත.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අද බටහිර අධිරාජ්‍යවාදී බලවේග වල අතකොලුවක්‌ බවට පත් වූ සංවිධානයකි. ඔවුන් අද මීට අවුරුදු 40 කට 50 කට පෙර තිබූ පොදු අරමුණු පිටු දකින, හිරි ඔතප් බිඳගත් සහ නින්දාවට ලක්‌වූ ආයතනයක්‌ බවට පත් වී ඇත. නමුත් අප රටේ බොහෝ නිවට දේශපාලඥයන් සහ නිලධාරීන් කියන්නේ ජාත්‍යන්තර ණය දෙන ආයතන හෝ එම සංවිධාන මෙහෙවන ජාත්‍යන්තර සංවිධාන සහ බලවේගවලට එරෙහි වුවහොත් අපට පාන් පිටි කාලා ජීවත් වන්න බැරිවන බවයි. එය එසේ නොවන බවත් අධිරාජ්‍යවාදයේ මහා දේවාලයට වුවත් ගල් ගැසිය යුතු නම් එසේ කළ යුතු බවත් ඊට බිය නොවිය යුතු බවත් මෙම උපවාසය මඟින් පෙන්වා දී ඇත. ඒ මගින් විමල් වීරවංශ අමාත්‍යවරයා අප සමාජයේ පවතින ප්‍රබල මානසික බාධකයක්‌ බිඳ දමා ඇත.

නමුත් හතර වැනි අරමුණට සෘජුව අදාළ වන බෑන්කී මූන්ගේ විශේෂ උපදේශක කමිටුව අහෝසි කිරීම හෝ එම කමිටුව මඟින් යුද අපරාධ චෝදනා ගොනු කරන ක්‍රියාවලියකට නොයන බව ප්‍රකාශ කිරීම සිදුවී නැත. එහෙත් හතරවැනි අරමුණෙන්ද කොටසක්‌ ඉටුවී ඇත. මාරාන්තික උපවාස සටන හේතු කොට ගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන පියවර දෙකක්‌ ගෙන ඇත. එහිදී ඔවුන්ට තමන් පළමුව කළ ප්‍රකාශය යම් පමණකට ලිහිල් කර ප්‍රකාශයක්‌ කිරීමට සිදු විය. එසේම බෑන්කී මූන්ට ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබුණු තමන්ගේ ව්‍යාපෘතියක කාර්යාලයක්‌ වසා දැමීමට සිදු විය. ඒ තීරණ දෙකම බෑන්කී මූන් පියවරක්‌ හෝ දෙකක්‌ පසුපසට ගමන් කළ බවට සාක්‍ෂි වේ. ඊට අමතරව මේ ගැටුම තුළ බන්කි මූන් බොරුකාරයෙකු ලෙස ලෝක අපවාදයට ලක්‌ වී ඇත. ශ්‍රී ලංකා ජනාධිපති විසින් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ මෙම කමිටුව පිළිබඳ සඳහන් වන බව ඔහු පැවසුවත් එවැන්නක්‌ එහි සඳහන් වන්නේ නැත.

එම හතර වැනි අරමුණට අදාළව තවත් පැතිකඩක්‌ ඇත. ඒ රජය කිසිඳු ලෙසකින් බෑන්කී මූන්ගේ ඉදිරි පියවර වලට යටත් වන්නේ නැති බවට සහතික කර ගැනීමයි. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් වීමත් සමඟ ජනාධිපතිතුමන්ගේ නියෝජිතයන් සහ ජාතික නිදහස්‌ පෙරමුණ අතර සිදු කෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස රජය විසින් අදාළ කමිටුව පිළිබඳව දැඩි ස්‌ථීරසාර සහතිකයක්‌ මහජනයාට ලබාදී ඇත. මීට පෙර ගුණාත්මකව එවැනි දැඩි ප්‍රතිපත්තියක්‌ රජයට තිබුණා වුවද ප්‍රමාණාත්මකව මහජනයාගේ ඇස්‌ ඉදිරියේ එම සහතිකය ප්‍රබල ලෙස ලබාදීම ජයග්‍රහණයකි.

ඒ අනුව ජී. එස්‌. පී. සහන හෝ වෙනත් මූල්‍ය ආයතනවල සහන කපාහරින බවට බලපෑම් කළත් වෙනත් කුමන හෝ තත්ත්වයක්‌ යටතේ බෑන්කීගේ කමිටුවට පහසුකම් සැපයීමට රජය ඉදිරිපත් නොවනු ඇත. එම ප්‍රසිද්ධ පිළිගැනීම තුළ ජාත්‍යන්තර සංවිධානවලට කත් අදින ඉහළ නිලධාරීන් මඟින් රට උගුල දෙසට තල්ලු කිරීමේ ඉඩකඩ ඇහිරේ. දැනට විවිධ විදේශීය උපදේශකයන් වක්‍රව යෝජනා කර තිබෙන ආකාරයට බෑන්කීගේ කමිටුව සහ ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව දැනට පත් කොට ඇති කමිටුව එක්‌ව වැඩ කිරීමේ දිශාවට තල්ලු කිරීමද ඇනහිටිනු ඇත. ඇත්ත වශයෙන්ම එවැනි එකතු වීමක්‌ යනු බෑන්කීගේ කමිටුව ශ්‍රී ලංකාවේ කැමැත්තට එරෙහිව තනිව වැඩ කරනවාට වඩා භයානක තත්ත්වයකි. මේවා හතර වැනි අරමුණ යටතේ ලබාගත් ප්‍රබල ජයග්‍රහණ ලෙස හැඳින්වීමේ වරදක්‌ නැත.

ඊට අමතරව විමල් වීරවංශ පාර්ශ්වය විසින් ඉල්ලා ඇති ආකාරයට ඊනියා වගවීමේ ක්‍රියාවලියට අදාළ සියලු ඉදිරි පියවර යම් ප්‍රතිපත්තිමය රාමුවක්‌ යටතට පත් කිරීම සඳහා දේශප්‍රේමී විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්‌ කඩිනමින් පත් කරන්නේ නම් පවතින ප්‍රබල ස්‌ථාවරය දිගින් දිගටම රැකගත හැකි වනු ඇත.

ඇත්ත වශයෙන්ම වැටුප් වර්ධකයක්‌ ලබාගැනීමට කරන උපවාස සටනක්‌ සමඟ මේ උපවාසය සන්සන්දනය කළ නොහැක. මෙවැනි සටනකින් සියයට සියයක්‌ අංගසම්පූර්ණ ජයග්‍රහණයක්‌ ලබා ගත හැකි යෑයි පවසන්නේ නම් එය අඳබාල කමකි. එසේ කළ හැකිනම් ලෝක අධිරාජ්‍යවාදයේ ප්‍රධාන පෙළේ දුෂ්ට මැදිහත් වීම් පාලනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ රටවල් 10 කින් පමණ ජනප්‍රිය නායකයන් පිරිසක්‌ තෝරාගෙන මාරාන්තික උපවාසය සඳහා යොමු කිරීමයි. එක්‌ අයෙකුට ශ්‍රී ලංකාවට එරෙහි බෑන්කී මූන්ගේ ක්‍රියාකාරීත්වය නැවැත්විය හැකි අතර තවත් අයෙකුට ඇෆ්ගනිස්‌ථානයෙන් විදේශ හමුදා ඉවත් කර ගත හැකි වනු ඇත.

මෙම සටනේදී දක්‌නට ලැබුණු ප්‍රධාන දුර්වලතාව වන්නේ එය සියලු දේශපාලන පක්‍ෂවල පොදු සටනක්‌ බවට පත් කරගැනීමට නොහැකි වීමයි. හෙළ උරුමය පක්‍ෂය හැර අනෙක්‌ පක්‍ෂ දේශපාලන පක්‍ෂ ලෙස මාරාන්තික උපවාසයට පක්‍ෂපාත ප්‍රකාශයක්‌ හෝ සිදු කළේ නැත. නමුත් බොහෝ මැති ඇමැතිවරුන් පුද්ගලිකව උපවාසය පැවති තැනට පැමිණ සහාය දක්‌වනු පෙනිණි. කෙසේ වෙතත් උපවාසය ආරම්භ කිරීමෙන් පසුව ඇති වූ මහජන පීඩනය හේතු කොට ගෙන සියලු පක්‍ෂවලට බෑන්කී මූන්ගේ කමිටුවට විරුද්ධ බව ප්‍රකාශ කිරීමට සිදු විය. එසේ නොකළහොත් ඔවුන් සමාජ අපවාදයට ලක්‌වීම වැළැක්‌විය නොහැක. ඒ පීඩනය ඇති වූයේ මාරාන්තික උපවාසය නිසාය. ඒ නිසා කලින් බලාපොරොත්තු වූ අරමුණක්‌ නොවුණත් දැන් එය පස්‌වැනි අරමුණ (ඉටුවූ අරමුණක්‌) ලෙස නම් කළ හැක.

ඉතිහාසයේ දී අධිරාජ්‍යවාදයේ දුෂ්ට ප්‍රකාශනයන්ට විරුද්ධව ප්‍රබල භූමිකාවක්‌ ඉටුකළ පක්‍ෂයක්‌ (එහෙත් අද වන විට එහි නායකයන් කිහිප දෙනකු විසින් රාජ්‍ය නොවන සංවිධානයක තත්ත්වයට ඇද වට්‌ටවා ඇති පක්‍ෂයක්‌) පවසන්නේ බෑන්කී මූන්ට වාසි සහගත දේය. ඔවුන්ට තේරෙන ඉංග්‍රීසිවලට අනුව බෑන්කී මූන් - මහින්ද රාජපක්‍ෂ ඒකාබද්ධ ප්‍රකාශය මඟින් විශේෂ උපදේශක කමිටුවකට එකඟ වී ඇත. ඇත්ත වශයෙන්ම එම ප්‍රකාශනයට අනුව කමිටුවක්‌ පිහිටුවීමට එකඟ වී නැත. නමුත් වගවීමේ යාන්ත්‍රණයක්‌ අවශ්‍ය බව අවධාරණය කොට ඇත. එහි කිසිදු ආකාරයකින් දෙපාර්ශ්වය ඒ සඳහා එකඟ වූවා යෑයි සඳහන් වන්නේ නැත. අවධාරණය කිරීම යන වචනය ගත් විට බෑන්කී මූන් ලංකාවට පැමිණෙන්නේම එසේ කිරීම සඳහාය. ඒ අනුව ඔහු එසේ අවධාරණය කළ බව සඳහන් නොකොට ඒකාබද්ධ ප්‍රකාශනයක්‌ නිකුත් කළ හැකිද? රාජතාන්ත්‍රිකව ප්‍රශ්න විසඳාගත යුතු යෑයි වැදි බණ කියන දේශපාලන පක්‍ෂවලට එසේ කිරීම කළ හැකිද?

මැතිවරණ කොමසාරිස්‌ යටතේ ලියාපදිංචි වී ඇති මෙම රාජ්‍ය නොවන සංවිධානවලට අනුව මාරාන්තික උපවාසය විහිළුවකි. ඒ මඟින් මහජනයාගේ හිත් තුළ තිබූ විරෝධයද නැතිවී ගොස්‌ ඇත. මේ සංවිධාන අඩු තරමින් ප්‍රකාශයක්‌ හෝ නිකුත් කළේ උපවාසය ආරම්භ කළාට පසුවය. ඔවුන් කතා කරන්නේ ශරීරයේ කුමන භාගයෙන්දැයි මහජනයා ප්‍රශ්න කළ යුතුව ඇත. තවත් සමහර විදේශගත ශ්‍රී ලාංකිකයන් සවසට බියර් බෝතලයක්‌ බොන ගමන් අන්තර්ජාලයට ඇතුල් වී උපවාස නිකම් පිස්‌සු වැඩ යෑයි විද්යුත් මේල් ගැසූහ. උපවාසය හොඳ නැති නම් කළ යුතු දේ ඔවුන් විසින් මහජනයාට යෝජනා කළ යුතුය.එපමණක්‌ නොව විවේචන එල්ල කිරීමට පෙර තමන්ගේ කාලයෙන්, ශ්‍රමයෙන් හෝ මුදලින් එක්‌ දශමයක්‌ හෝ වැයකොට යමක්‌ කළ යුතුය.

යුද්ධ ජයග්‍රහණයෙන් පසුව රට මුහුණ දෙන ප්‍රබලතම ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා අලස බොරුකාරයන් හැර රටේ සියලු ජනතාව එකතු විය යුතුය. මාරාන්තික උපවාසය මඟින් දිනාගත නොහැකි වූ අවසන් අරමුණේ ඉතිරි කොටස ජයගැනීම තනි පක්‍ෂයකට හෝ තනි පුද්ගලයකුට කළ හැකි දෙයක්‌ නොවේ. ඒ සඳහා රටට ආදරය කරන සියලු පක්‍ෂ සහ මිනිසුන් නොනවත්වා විවිධ ස්‌වරූපයේ සටන් දියත් කළ යුතුව ඇත.


වෛද්‍ය, කේ. එම්. වසන්ත බණ්‌ඩාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.