සුන්දර මෙක්‌සිකෝ වෙරළ දැන් විශාලානුවරකි

ලොව ප්‍රකට හා ප්‍රමුඛ පෙළේ තෙල් සමාගමක්‌ වන බී. පී. නොහොත් බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමට අයත්ව ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ මෙක්‍ෂිකානු බොක්‌කේ පිහිටා තිබූ තෙල් ළිඳ පුපුරාගොස්‌ අදට මාස තුනකි. පසුගිය අප්‍රේල් මස 20 වැනිදා මෙම තෙල් ළිඳේ සිදුවූ පිපිරීමක්‌ සමඟ එහි සේවය කළ සේවකයින් 11 දෙනකු ජීවිතක්‍ෂයට පත්වූ අතර දිනකට තෙල් බැරල් දස දහසක්‌ බැගින් සාගරයට ගලායමින් පැවැති බව ඇස්‌තමේන්තු කළේය. එහෙත් දැන් එම ඇස්‌තමේන්තුව තෙල් බැරල් 25000 - 30000 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මාස තුනක්‌ තිස්‌සේ බී. පී. සමාගම මගින් තෙල් කාන්දුව නවතාලීම සඳහා ගත් සියලුම උපාය මාර්ග වැළකී ගිය අතර මේ වනවිට අගනා සාගර කලාපයක්‌ වූ මෙක්‍ෂිකානු බොක්‌ක සම්පූර්ණයෙන්ම තෙල්වලින් දූෂණයට ලක්‌ව තිබේ.

ඇමෙරිකානු ජනාධිපති බැරක්‌ ඔමාමා වඩාත් ක්‍රියාශීලී අන්දමින් මෙම පාරිසරික දූෂණය වැළැක්‌වීම සඳහා මැදිහත්වෙමින් මෙම විනාශයේ සම්පුර්ණ වගකීම බී. පී. සමාගම පිට පැවරුවද, ඔහු විසින් ගනු ලැබූ සියලුම ඇමෙරිකානු ක්‍රියාමාර්ගද පුස්‌සක්‌ බවට පත්කරමින් මෙක්‍ෂිකානු මුහුදු කලාපය අද දූෂණයේ අග නගරය බවට පත්ව තිබේ.

බී. පී. සමාගම ඩොලර් බිලියන ගණනක්‌ වැය කොට මෙම දූෂණයෙන් ප්‍රදේශය බේරාගැනීමට මෙන්ම, මුහුදට ගලායන තෙල් එකතුකර ගැනීමට වෙර දැරුවත්, නවතම වාර්තා පෙන්වා දෙන්නේ සමාගමට නැවත එකතුකරගත හැකිව ඇත්තේ තෙල් කාන්දුවෙන් ගලායන තෙල්වලින් 60% ක්‌ පමණක්‌ බවයි. හිතන්න දිනකට තෙල් බැරල් 25000 ක්‌ බැගින් මාස තුනක්‌ තිස්‌සේ මහා සාගරයට ගලායන තෙල්වලින් කෙතරම් දූෂණයක්‌ සිදුවන්නේ දැයි ඇස්‌තමේන්තුවක්‌ පවා කළ හැකිද? එහි තරම මඳක්‌ හෝ අපට තේරුම් ගන්නට මේ සමඟ ඇති ඡායාරූප කිහිපය ප්‍රමාණවත් වනු ඇත.

මෙක්‍ෂිකානු මුහුදු කලාපය පාරිසරික, සෞන්දර්යාත්මක, ධීවර හා ආර්ථිකමය අතින් ලෝකයේ අති පොහොසත් සාගර කළාපයකි. ෆ්ලොරිඩා, ඇලබාමා, මිසිසිපි, ලුසියානා යන ප්‍රාන්තවලට මුහුනලා ඇති මෙක්‌ෂිකානු බොක්‌ක පසෙකින් නිව් ඕර්ලියන්ස්‌ ප්‍රදේශය ඔස්‌සේ මිසිසිපි නදිය මුහුදට එක්‌වේ. මේ සමස්‌ත මුහුදු ප්‍රදේශය පුරාම වනජීවී රක්‍ෂිත විශාල ප්‍රදේශයක්‌ හඳුනාගත හැකිය. මිසිසිපි නදියේ මෝයකට පිහිටි ප්‍රදේශයේ කඩොල් කැළෑ මෙන්ම අතිවිශාල කළපු ප්‍රමාණයක්‌ පර්යටනික හා දේශීය තෙත්බිම් කුරුල්ලන්ගෙන් කලකට වැසී යෑයි. දුඹුරු පැස්‌තුඩුවන් ප්‍රමුඛ ජලජ පක්‍ෂීන් රැසක්‌ ඒ අතර වෙති. එසේම දක්‌නට දුලබම කැස්‌බෑවා වන ලෝකයේ තුන්දහසකටවත් වඩා අඩුවෙන් වාසය කරන්නේ යෑයි කියනු ලබන කෙම්ප්ගේ බටු කැස්‌බෑවාද ඇතුළුව කැස්‌බෑවන්ගේ කෑදලි තනන ප්‍රදේශයක්‌ වන මෙම මෙක්‍ෂිකානු බොක්‌ක අද සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්‌ව ඇත්තේ වෙරළ තීරයේ ඝණ තෙල් තට්‌ටු තැන්පත් කරමිනි. මෙවන් විනාශයක්‌ හමුවේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම තණ සුලෙකින් මේ මහා විනාශය පිටු දකින්නට වෙහෙසනු පෙනේ.

මෙම මහා විනාශය හෙවත් ආපදාව හමුවේ වී. පී. සමාගම මෙන්ම ඇමෙරිකාවද මහත් අපකීර්තියකට ලක්‌ව තිබේ. තමන් අතින් වායු ගෝලය දූෂණය වූවාට කම් නැත, නිවර්තන කලාපයේ රටවල වැසි වනාන්තර මගින් ඒවා උරාගන්නා නිසා ඒ රටවල වනාන්තර සුරැකිව තබාගනිමු යෑයි යෝජනා කළ ඇමෙරිකාව හෙට අනිද්දා මෙම තෙල් දූෂණය ලොව පුරා පළවා හරින්නට කටයුතු කිරීමටද ඉඩ තිබේ. එවිට ශන්තිකර සාගරයද, අත්ලාන්තික්‌ හෝ ඉන්දියන් සාගරයද වශයෙන් නොව වැටකඩොලු බිඳගෙන මේ දූෂණයේ තරම ලොව පුරා ගලායනු ඇත. අද වනවිට බී. පී. සමාගමේ ආර්ථික තත්ත්වය මෙන්ම ඇමෙරිකානු ආර්ථිකයද කඩා වැටෙමින් පවතින බව වාර්තා වේ.

සුන්දර මෙක්‍ෂිකානු බොක්‌කේ ආකර්ෂණීය සංචාරක ව්‍යාපාරය අද එහි නැත. දස දහස්‌ ගණනක ජනයාගේ ධීවර කර්මාන්තය සම්පුර්ණයෙන්ම බිඳවැටී ආර්ථික අගාධයක ගිලී ඇත. සුන්දර කළපු දිය තෙලින් නැහැවී අලංකාර සියොත් රෑන් කාලවර්ණ ගැන්වී ඇත. කැසබුවෝ තැන තැන මැරී වැටී සිටිති. ඒ සුන්දර මුහුදු වෙරළ වෙනුවට දැන් නම් මෙක්‍ෂිකානු බොක්‌ක සුද්දන් විසින් අපායක්‌ නොහොත් විශාලා මහනුවරක්‌ බවට පත්කොට ඇත.


ජගත් කණහැරආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.