50 වසක පුනරාගමනය

අප ජීවත්වන ඉදිරි කෙටි කාලය පුරාවට මේ තරම් අති සුන්දර දිනයක්‌ උදාවේයයි මට නොසිතේ. මේ සිතුවිල්ල මට පමණක්‌ නොව පසුගිය ජුලි 3 වැනිදා ගාලු මුවදොර හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම් ශාලාවට රැස්‌වූ වයසක ගැහැනු පිරිමි තුන්සිය ගණනකගේ එකම එක සිතිවිල්ල වන්නට ඇත.

එදා අප රැස්‌වූයේ 1960 වසරේ පේරාදෙණි සරසවියට ඇතුළත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ 50 වසරක රන් ජුබිලිය සමරනු සඳහාය. කෙස්‌ සුදුවුණු. දත් හැලුණු, හම හැකිළුණු අප හැමදෙනාගේම වාගේ දැසින් ගැලූ කඳුළු එදා අපේ තරුණ විය සිහිපත් වීමෙන් ඇතිවූ සතුටු කඳුළුත් අද මහල්ලන් වශයෙන් ඒ තරුණ වියට යාමට නොහැකිවීම ගැන ඇති වූ දුක්‌ සුසුමින් බේරුණු කඳුළුත් එකට එක්‌කාසුවීමක්‌ යයි මට සිතේ.

මට එක්‌වරම අමරදේවයන්ගේ ගීයක්‌ සිහිපත් විය.

මා දැන් මහලු වියේ
කබාය ඉරිලා ඊට කමක්‌ නෑ
කවුරු දකින්නද
කවුරු බලන්නද
මා දැන් මහලු වියේ

මට මෙන්ම තවත් බොහෝ දෙනෙකුට මේ ගීය සිහිපත් වන්නට ඇත. එදා පෙම්වතුන් තම සහකාරියන්ට එදා තම පෙම්වතිය හඳුන්වා දුන්නේ සිනා මුසු මුහුණනි. ඒ තරුණ වියේ සිහිවටනය.

මේ රිදී ජුබිලිය අහිමි වූ සිය ගණනකි. ඔවුන් අද අප හැර ගොසින්ය. අපත් තව අවුරුදු කිහිපයකින් ජීවිතයෙන් සමුගනු ඇත. එහෙත් මේ රන් ජුබිලි සංවත්සර දිනය සදාකාලික සිහිවටනයකි.

එදා කජු කිරි කොල්ලන් කෙල්ලන් අතර අද සිටින්නේ මහා විද්වතුන්ය. මාග අධිපති කුලරත්න ලංකාවේ පමණක්‌ නොව ජගත් කීර්තියට පත් පුද්ගලයෙකි. ඒ අතර විශ්වවිද්‍යාල මහාචාර්යවරු රාශියකි මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර, මහාචාර්ය ලක්‌ෂ්මන්, මහාචාර්ය සී. එම්. මද්දුම බණ්‌ඩා, මහාචාර්ය කුසුමා කරුණාරත්න හා දිසාපති පුටුවෙන් සේවය අවසන් කළ කිහිප දෙනෙක්‌ද මැති ඇමැතිවරුද රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු දැරූ අයද වූහ. මියගිය අය අතර මහාචාර්ය රූපසිංහ හා ලාල් පෙරේරාද වූහ.

එදා මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යය නිෂ්පාදනය කළේ අපේ අය එකතුකරගෙනය. සිංහයා බවට පත් මාර්ක්‌ ඇන්ටන් ප්‍රනාන්දු, සිංහබාහු වූ චාලි ජයවර්ධන හා සිංහ සීවලිය වූ මාලනී පෙරේරා හා අත්වැල් ගැයූ ප්‍රේමා ධර්මසේන ගොඩ්වින් සිල්වා හා තවත් කිහිපදෙනෙක්‌ මෙදා සිංහබාහු නාට්‍යයේ ගී ගයන්නට එක්‌වූහ. එදා "වල" නමින් හැඳින්වූ එළිමහන් රඟමඬලේ අප සියල්ලන්ම සිංහබාහු නරඹන්නාක්‌ මෙන් අපේ සිතට දැනින.

මෙදින සිදුවූ තවත් විශේෂාංගයක්‌ වූයේ රන් ජුබිලි සඟරාව එලි දැක්‌වීමයි. සඟරාවට ලිපි ලියුවන් අතර මාලනී ඇඳගම, ඔස්‌ටින් ප්‍රනාන්දු ඩෙරික්‌ ද සිල්වා, සරත් රාජපතිරණ, ලලිතා දිසානායක, ලක්‌ෂ්මන් වික්‍රමසිංහ, මැදිවක, අතුගොඩ හනීයා අබ්දුල්, සිඩ්නි නයිට්‌ පියතුමා හා තවත් අය වූහ.

සඟරාවට මුදලින් දායකත්වය දැක්‌වූ මාග අධිපති එම්. ජී. කුලරත්නට සඟරාව පිළිගන්වන ලද්දේ ප්‍රකට ලේඛකයකු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආරියවංශ රණවීර විසිනි. එදා අප කාගෙ කාගෙත් සිහිවටන සඟරාව පුරා දක්‌නට තිබිණ. ඒ සිහිවටන පනස්‌ වසරකට පසු අලුත් වෙද්දී අප සියලු දෙනාම යළි තරුණ වියට පත්වූ බවක්‌ද දැනින.


අනුල ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.