කොඩිගහයට              උපන්නෝ
වැවේ අගය             නොදන්නෝ

"සුම්බරේ බැඳං හක්‌මං වැවේ                 නැති
පච්චවඩම් ඇඳ වෑ කඳු මත                නොයතී
හරක්‌ වටේ වෑ කන්දෙන්             නොදක්‌කතී
නොඑන ගමන වත් වෑකන්දෙත්        නොයතී"

මේ ජනවහරේ එන වැවට ගරු බුහුමන් දැක්‌වෙන කවියකි. හිසේ මුණ්‌ඩාසනයක්‌ බැඳගෙන හෝ තොප්පියක්‌ ලාගෙන වෑ බැම්මේ නොයායුතුය. පච්චවඩම් රෙදි එනම් රතුපාට රෙදි ඇඳගෙන වෑ බැම්මේ නොයා යුතුය. හරක්‌ රංචු වෑ කන්ද දිගේ නොදැක්‌ කිය යුතුය. මළ මිණී වෑ කන්දෙන් රැගෙන නොයා යුතුය. මේ කවියෙන් කියවෙන උපදේශ ඒවාය. ඊට හේතුව "වැව" සිංහලයාගේ පූජනීය වස්‌තුවක්‌ වීමයි.

ලෝකයේ මුල්ම වැව අනුරාධපුරයේ පිහිටි අභය වැවයි. පසුකාලයක වන්නියාර්තුවරුන් විසින් මෙයට "බසවක්‌කුලම" යෑයි නම් තබා ඇතත් මෙහි සැබෑ නම "අභය" වැවයි. එය ඉදිකළේ පණ්‌ඩුකාභය රජු විසිනි. මෙය "ලෝක උරුමයක්‌" ලෙසද සැලකේ. ලෝක උරුමයක්‌ වූද සිංහලයාගේ පරම අයිතිය වූද ලෝකයේ මුල්ම වැව වූද සිංහලයාගේ වාපි තාක්‍ෂණයේ මහිමය කියා පාන්නා වූද මේ ඓතිහාසික වැව ජපානයේ හෝ වෙනත් රටක තිබුණේ නම් මේ වැව වටා ඒකාන්තයෙන්ම රත්තරනිං වැටක්‌ ඉදිකරනු ඒකාන්තය.

අනුරාධපුරයේ අභය වැවෙන් පටන්ගෙන මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ "නුවර වැව" දක්‌වා අපේ වාපි තාක්‍ෂණය රටපුරා පැතිරී ඇත. විශේෂයෙන් රජරට වැව් බැඳි රටක්‌ බවට පත්කොට "බත් රටක්‌" කිරීමේදී ඉතිහාසයට අනුව සිංහල රජදරුවන් තරගයට මෙන් එකා අභිබවා අනෙකා යමින් රජරට පුරාවට වැව් 3472 බැඳ තිබේ. මෙයින් මේ වනවිට වාපි දෙපාර්තමේන්තුව නොව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් 3326 ක්‌ හඳුනාගෙන තිබේ. මෙසේ හඳුනාගත් වැව්වලින් තවමත් වැව් 701 ක්‌ කැලෑගතව නටඹුන්ව පවත්නා බව වාරිමාර්ග ආරංචි වලින් අණාවරණය වේ. අපට නිදහස ලැබී මේ වන විට වසර 62 ක්‌ ගතවී ඇතත් දේශීය පාලකයන්ට හා විශේෂයෙන් වසර 22 ක්‌ පිරී ඇති උතුරුමැද පළාත් සභාවට මේ වැව් ටික අභාවයට යා නොදී සංවර්ධනය කිරීමට තවමත් හැකිවී නැත.

උතුරු මැද පළාත් වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයාට අනුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගම්මාන වැව් 2334 ක්‌ද මධ්‍යම ප්‍රමාණයේ වැව් 80 ක්‌ද මහා පරිමාණයේ වැව් 12 ක්‌ද පවතින අතර පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගම්මාන වැව් 63 ක්‌ද මධ්‍යම ප්‍රමාණයේ වැව් 06 ක්‌ ද මහා පරිමාණයේ වැව් 04 ක්‌ ද පවතී. මීට අමතරව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ අමුණු 08 ක්‌ද පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ අමුණු 122 ක්‌ද පවතී. මේ සියළු වැව් හා අමුණු ඉදිකර ඇත්තේ පැරණි රජදරුවන් විසිනි. වර්තමාන රජවරුන්ට රජරට වැව් ඉදිකරන්නට කොතැනකවත් ඉඩක්‌ නැත. ඔවුන් විසින් කළයුතුව ඇත්තේ පැරණි රජදරුවන් ඉදිකළ වැව් සම්භාරය රැකබලාගැනීම පමණි.

"වැව" යනු ගමේ ආත්මයයි. මතුපිටින් වැව දෙස බලා බොහෝ අය හිතන්නේ වැව හදා ඇත්තේ වැහිවතුර එකතුකොට කුඹුරට දියවර ලබාදීමට බවය. නමුත් වැවක යථාර්ථය ඊට වඩා බොහෝසේ පුළුල්ය. වැවෙන් වෙළට වතුර දීම එක්‌ කාරණයක්‌ පමණි. ඊට වඩා වැදගත් කාර්යය වන්නේ භූතලය ජලයෙන් පිරවීමය. විශේෂයෙන් කුළුවැව් ඔලගම්වැව්, සහ අමුණු වලින් කෙරෙන්නේ භූතලයට ජලය පිරවීමයි. රජරට පුරා පවතින වියළි ශුෂ්ක දේශගුණය පාලනය කරන්නේ මෙම වැව් ජලයෙන් ඇතිවන බලපෑම් නිසාය. පෙරදා රජරට පුරාවට අඩි හත අටක්‌ ගැඹුරට පොළව හෑරූ විට ජලය මතුවෙයි. බීමට නෑමට ගත්තේ ඒ ජලයයි. ගහකොළ සරුසාර ලෙස හැදුනේද භූගත ජලය නිසාය. නමුත් අද රජරට ඒ තත්ත්වය නැත. සමහර ප්‍රදේශවල අඩි පනහ හැට ගැඹුරට හෑරුවත් භූතලයේ ජලය නැත. ඊට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ ග්‍රාමීය වැව් රොන්මඩවලින් පරීගොස්‌ පිට්‌ටනි බවට පත්ව තිබීමයි. කලට වැසි ලැබුණත් වැව් ගොඩවී ඇති නිසා වැව්වල ජලය අල්ලන්නේ නැත. සමාන්‍ය වැස්‌සකදී වුවත් වැව් පිරීගොස්‌ වාන්දමා අන්තිමට ඉතිරිවන වතුර ටික සිඳීගොස්‌ යළිත් වැව පිට්‌ටනියක්‌ බවට පත්වේ. රජරට පිහිටි බොහෝ ග්‍රාමීය වැව් මේ අන්දමට රොන්මඩ වලින් පිරී ගොඩවී යැම නිසා මුළු රජරටම ජල අහේනියක්‌ ඇතිවී තිබෙන අතර පයිප්ප වලින් ජලය බෙදාහැරීමෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය. කළයුතුව ඇත්තේ පෙරදා රජවරුන් ඉදිකර දෙනු ලැබූ වැව් පද්ධතිය වර්තමාන රජවරුන් විසින් රොන්මඩ ඉවත් කොට සියලු වැව් යථා තත්ත්වයට පත් කිරීමයි. රජරට යළිත් සරුසාර කිරීමටත් ජල ප්‍රශ්නය විසඳීමටත් කළයුතුව ඇත්තේ එයයි.

රජරට පුරාවට පිහිටි සියලු වැව් රජවරුන්ගේ මෙහෙයවීම යටතේ ඒ ඒ ගම්වල මිනිසුන් විසින් ඉදිකරනු ලැබීය. ඊටපසුව එම වැවේ අයිතිය හා නඩත්තුව ඒ ගමටම පවරා වැව්ගම්මාන සංස්‌කෘතියක්‌ ඇති කරනු ලැබීය. ඒ අනුව වැව නඩත්තු කළේද වැව රැක බලා ගත්තේද ගමරාළගේ නායකත්වය යටතේ ගැමියන් විසිනි. හැම වැවකම දිය සොරොව්ව සහ මඩ සොරොව්ව යනුවෙන් සොරොව් දෙකක්‌ විය. මෙයින් දිය සොරව්ව උඩතින්ද මඩ සොරොව්ව යටතින්ද ඉදිකර තිබිණි. වැවේ වතුර අඩුවී යන නිකිණි මහට (අගෝස්‌තු) මීහරක්‌ බාන් වැවට දමා වැව හොඳින් කලතා මඩ සොරොව්ව ඇර වතුර සමග සියලු මඩ පිටකරයි. මෙවැනි අවස්‌ථාවක වැවේ ඉඩකඩ අනුව මීහරක්‌ බාන් විස්‌ස තිහ වැවට යොදයි. වැවේ සියළු මඩ වතුර සමග මුහුවී මඩ සොරොව්වෙන් පිටතට ගොස්‌ කුඹුරු යායට ගලා යයි. ඒවා සරුසාර පොහොරය. කලාවැව වැනි අතිවිශාල වැව්වලදී නම් මේ කාර්යය කරනු ලබන්නේ හීලෑ කළ අලි ඇතුන් යොදා ගැනීමෙනි. මීට අමතරව හැම නිකින්නියේදීම හැම ගොවියකුම යායේ තමන්ට හිමි කුඹුරු ප්‍රමාණයට අනුව 10ඞ 10ඞ 1" ප්‍රමාණයේ කට්‌ටි වැවේ කැපිය යුතුය. මේවා වගකීමක්‌ හැටියට හැම ගොවියකුම කළයුතු විය. මීට අමතරව වැව් තාවුල්ලේ කෙළවර පෝටා වැටියක්‌ විය. රක්‍ෂිත කැලය හරහා වැවට ගලාඑන දිය අගාරවලට මුසුවී එන රොන්මඩ පෝටා වැටියෙන් රඳවා ගනී. මේ අන්දමට විවිධ ක්‍රමවේදයන් මගින් වැවේ රොන්මඩ ඉවත්කිරීම හැම වසරකම සිදුවිය. මේ නිසා එදා වැව්වලට රොන්මඩ ප්‍රශ්නයක්‌ තිබුණේම නැත.

අපේ රට සුද්aදා අල්ලාගැනêමෙන් පසු රටේ ආර්ථික කොඳුනාරටිය බඳු රජරට වැව් පද්ධතිය විනාශකර දැමීමට ඔවුන්ට වුවමනා විය. මේ නිසා ඔවුන් දුටු දුටු තැන වැව් දෙබෑවී යනසේ මහපාරවල් ඉදිකරනු ලැබීය. නාච්චිදූව මහකනදරාව - එළිය දිවුල්වැව - ඉපලෝගම යන මහවැව් දෙබෑවී යන අන්දමට සුද්දන් පාරවල් දමා ඇති අන්දම අදටත් දැකීමට පුළුවන. මීට අමතරව බ්‍රවුහරීග් ආණ්‌ඩුකාරවරයා විසින් වැව්වල කට්‌ටිකැපීම වැනි නඩත්තු වැඩ කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්‌ ලෙස තහනම් කළ අතර සියලු වැව් රජයේ දේපළක්‌ ලෙස රජයට පවරා ගනු ලැබීය. රජරට වැව්ගම්මාන සංස්‌කෘතියද වැව් පද්ධතියද පිරිහී යන්නට වූයේ මෙම සුදු ආණ්‌ඩුකාරයාගේ නීතිරීති නිසාය. සියලු වැව් ගමේ ජනතාවගේ අයිතියෙන් පැහැර ගෙන රජයේ අයිතියට පත්කළ නිසා සමස්‌ත වැව් පද්ධතියම කැලෑගතවී නටබුන් වී ගියේය. මුළු රටටම බත බුලත සැපයූ රජරට වී අටුව වැව් වනබවත් වීම නිසා ගරා වැටුණි. ඒසේ නම් රටට නිදහස ලැබීමෙන් පසු කළයුතු වූ ප්‍රථම කාර්යය වූයේ රජරට නටබුන්ව ගිය වැව් පද්ධතිය ප්‍රතිනිර්මාණය කොට ගමේ ජනතාවට වැව බාරදීමය. නමුත් නිදහස ලැබී වසර 62 ක්‌ ගෙවී යනතුරුත් සුද්දා රටට කළ හතුරුකම නිවැරදි කරන්නට දේශීය පාලකයන්ට හැකිවී නැත. අදත් රජරට වැව් පද්ධතිය පවතින්නේ සුද්දා විසින් වැව්ගම්මාන සංස්‌කෘතිය නැතිකොට - ඇතිකරන ලද රජයේ පාලනය යටතේය. සමස්‌ත වාපි පද්ධතිය අදත් වාරි දෙපාර්තමේන්තුව යටතේ පවතී. මෙසේ සිදුවී ඇත්තේ කොඩිගහයට උපන් අයට වැවේ අගය නොතේරීම නිසාය.

"සිංහල වැව" කොතැනකවත් තනිවී නැත. ඒවා බොහෝ විට ඈඳුතු වැව් ලෙස ගොඩනැඟී තිබේ. එල්ලන්ගාවකින් පටන්ගන්නා වැව් පද්ධතිය දම්වැලක පුරුක්‌ මෙන් එකිනෙකට ඈඳී ඈඳුතු වැව් ලෙස විහිදී ගොස්‌ ඇත. එසේ සිදුකර ඇත්තේ මහ පැරකුම්බාවන් කී පරිදි එක්‌ වතුර බිඳක්‌ හෝ ලෝකෝපාකාරයෙන් තොරව බැහැර නොයැමටය.

සිංහල වාපි ශිල්පයට අනුව ඉදිකළ වැවක අංග රාශියක්‌ කැටිවී තිබේ. වෑකන්ඩිය හෙවත් වෑ බැම්ම අයියණාමුන්ය හෙවත් හුන්නා කඩ වාපි - පිටවාන - පෙරමුණ හෙවත් වෑ බඩ - දිය කෝලබඩ පහමුණ - රැළපනාව - දිය සොරොව්ව - බිසෝ කොටුව දියකැට පහණ හෙවත් මනා කැටේ - සංහිඳ වනස්‌පතිය තුරුවදුල - වැව් තාවුල්ල - පෝටාවැටිය- කට්‌ටකඩුව - වනාත - දෙණිකඩ - නානමංකඩ - පාන මංකඩ - රදා මංකඩ - ගව මංකඩ ආදී අංග රැසක්‌ වැවක පවතී. වැවක්‌ අළුත්වැඩියා කිරීමට පෙර වැවක පවත්නා මේ අංගෝපාංගවලට හානියක්‌ නොවන පරිදි - ඒවා ගැන පුළුල් අවබෝධයක්‌ ලබාගැනêම වැවට වැදගත් වේ. ආවාට ගියාට වැව් අලුත්වැඩියා කිරීම වැව්වල විනාශයට ප්‍රබල හේතුවක්‌ වී තිබේ.

කලාවැව - මින්නේරිය - කවුඩුලු වැව - මහ කනදරාව - පරාක්‍රම සමුද්‍රය වැනි මහවැව් ඉදිකිරීමේදී විශේෂයෙන් ජල පීඩනයෙන් වෑ බැම්ම සහ සොරොව්ව බේරා ගැනීම සඳහා "බිසෝ කොටුව" නමින් හැඳින්වෙන සිංහලයාගේම අපූර්ව නිර්මාණයක්‌ දකින්නට ලැබේ. මෙයින් කෙරෙන්නේ වැවේ ජල පීඩනය පාලනය කරමින් සොරොව්වට දියවර නිකුත් කිරීමයි "ගලාඒම" යන තේරුම ඇති පාලි භාෂාවේ "අභිස්‌සෝන" වචනයෙන් "බිසෝ" යන්නද "ගබඩාව" තේරුම ඇති "කොට්‌ඨක" වචනයෙන් "කොටුව" යන්නද හදාගෙන "බිසෝ කොටුව" යන වචනය නිර්මාණය වී ඇත. මෙය සිංහල වාපි ශිල්පියාගේ අපූර්ව නිර්මාණයකි. දියකැට පහන්ද වැවේ ජලයේ ගැඹුර මැනීම සඳහා වතුරට නොදිරන දැව වර්ගයකින් හෝ ගලකින් සාදාගත් ජල මාපකයකි. කට්‌ට කඩුව - තුරුවදුල දෙණිකඩ - පෝටා වැටිය - රැළපනාව - සංහිඳ වනස්‌පතිය - ආදී මේ හැම අංගයකම වැදගත් අරුතක්‌ ගැබ්වී තිබේ. වැව් අළුත් වැඩියා කරන්නට යන්නන් අනිවාර්යයෙන්ම වැවක මෙම අංග හොඳින් දැනගත යුතුය.

ආදි සිංහලයා සතුව පැවති අපූර්ව වාපි තාක්‍ෂණය අද අපට නැතිව ගොස්‌ තිබේ. මේවා ලේඛන ගත වූ තැන් නැත. මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙනආ පරම්පරා නැත. අද අපට ඉතිරිව ඇත්තේ ඔවුන් ඉදිකළ වැව් පද්ධතිය පමණි. අපේ යුතුකම හා වගකීම වන්නේ මේ වැව් පද්ධතිය එපරිද්දෙන්ම ආරක්‍ෂා කරගෙන වැවක නිර්මාණීය අංග අධ්‍යයනය කරමින් අපේ උරුමය මතු පරපුරටද ඉතිරිකර තැබීමය. මෙම පූජනීය වැව් පදනම් කරගෙන වාරිපුරයන්" හදන්නට ගියොත් අපේ උරුමයට - වාපි ශිෂ්ටාචාරයට වැවේ ගතිලක්‍ෂණවලට සිදුවන්නේ කුමක්‌දැයි අප සීරුවෙන් සිතා බැලිය යුතුය.

වැවේ පූජනීයත්වයත්- වැව හා බැඳුණු සිංහල කෘෂි ජීවන රටාවත් මේ වන විට බිඳවැටී ඇත. ඒ නිසාම වැව පිළිබඳ ඇති ගරු බුහුමන දියවී යමින් වැව පිළිබඳ අවබෝධයද වගකීම්ද පාලකයන්ගෙන් මෙන්ම ජනතාවගෙන්ද ගිලිහී යමින් පවතී. "වැව" යනු රජරට ජන ජීවිතයේ හදගැහෙන රාවය සටහන්වන කේන්ද්‍රස්‌ථානය ලෙස පැවතියද අද එය නාන තටාකයක්‌ බවට පත්වෙමින් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ "විනෝදාගාර" හැටියට පරිවර්තනය වෙමින් පවතී. මේ නිසාවෙන් අද රජරට ජන ජීවිතයට අහිමිවී යන්නේ "සිංහලවැව" පමණක්‌ම නොවේ. සිංහල රජ සමයේදී මුළු රටටම උදාකළ සමෘද්ධිමත් ජීවන රටාවත් වාපි ශිෂ්ටාචාරයත් වැව්ගම්මාන සංස්‌කෘතියත් යළි මතු නොවන සේ වැළලී යන්නට පටන්ගෙන ඇත. "පූජනීය වැව" පිළිබඳව සබෑ අවබෝධයක්‌ නැතිව කෙරීගෙන යන වැඩ පිළිබඳව අපි දුක්‌ වෙමු.

වැව ගැන අපේ මුතුන් මිත්තන් කියූ කවියකින් මේ ලිපිය අවසන් කරමි.

බීමට සුදුවතුර දෙන්නේ වැවෙන්             සකී
කුඹුරට නොමද දිය දෙන්නේ වැවෙන්      සකී
නෑමට පිරිවතුර දෙන්නේ වැවෙන්           සකී
එහෙව් වැවට වැඳපන් පිං දිදී                   සකී"


එප්පාවල - රත්න බී. ඒකනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.