දෙමළ රටේ හතර වටේ බුදු පිළිම

අදින් වසර කිහිපයකට පෙර මම "දෙමළ බෞද්ධයා" නමින් පොතක්‌ ලියා පළ කළෙමි. ඒ හේතුකොටගෙන එම මාතෘකාවෙන් දකුණු ඉන්දියාවේ චෙන්නෛ නුවර පිහිටි මහාබෝaධි මධ්‍යස්‌ථානයේදී දේශනයක්‌ කරන්ට මට ආරාධනාවක්‌ ලැබිණ. එම ආරාධනාව කළෝ චෙන්නෛ මහාබෝධි මධ්‍යස්‌ථානාධිපති කිනියාවල පාලිත ස්‌වාමීන් වහන්සේ, මධ්‍යස්‌ථාන භාරකාර කලවානේ මහානාම ස්‌වාමීන් වහන්සේ සහ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්‌ටි ආදීහුය. ඔව්හු වාර්ෂිකව චෙන්නෛහි වෙසක්‌ උත්සවයක්‌ පවත්වති. මගේ දේශනය පැවැත්වුණේ එම උළෙලට සමගාමීවය.

තමිල්නාඩුවේ (දෙමළ රටේ) දෙමළ බෞද්ධයෝ විශාල පිරිසක්‌ මේ උත්සව මාලාවට සහභාගි වූහ. ශීල ව්‍යාපාර, දානමය පිංකම්, දෙමළ බණ දේශනා මෙන්ම වෙසක්‌ පෙරහැරක්‌ ද පැවැත්වුණේය. මහාබෝධිය පිහිටි එග්මෝර් නුවර හරහා ගමන් ගත් උඩරට පහතරට, සබරගමු නැටුම් ද සහිත මේ පෙරහැර තමිල්නාඩු වැසියන්ට අපූරු දර්ශනයක්‌ විය.

මේ උළෙලෙන් පසු සමන් අතාවුදහෙට්‌ටි මිතුරා විශේෂ සංචාරයක්‌ සූදානම් කර තිබුණේය. ඒ වනාහි මගේ පොත ලියන කාලයේ තමිල්නාඩුව පුරා සැරිසරද්දී මට හමුනොවුණු දෙමළ බෞද්ධ නටබුන් කිහිපයක්‌ දැක බලා ගැනීම සඳහා සංවිධානය කළ සංචාරයකි. අපගේ මග පෙන්වන්නා වූවේ කාඤ්චිපුරම් නගරාසන්නයෙහි පිහිටි කොනේරුකුප්පම් නමැති ගමේ, සිය නිවෙසින් අඩක්‌ බෞද්ධ විහාරයක්‌ බවට පත් කරගෙන පිං දහම් කරන පී. චන්ද්‍රසේකරන් නමැති දෙමළ බෞද්ධයාය. ඔහු සිය විහාරයෙහි තැන්පත් කර තිබුණේ ඔහුගේ ගෙවත්තේ බිම් කොටද්දී හමුවූ ඉපැරැණි සෙල් පිළිමයකි.

අපි මුලින්ම බුද්ධවේඩු විහාරය වෙත ගියෙමු. එය ඊ. ඩබ්ලිව්. බාලසූරිය සහ ජයා බාලසූරිය යන මහත්ම මහත්මීන්ගේ පනස්‌ ලක්‍ෂයක පමණ ධන පරිත්‍යාගයෙන් සහ පූජ්‍ය මදුරක්‌කුලියේ රතනජෝති ස්‌වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් 2008 දී විවෘත කරන ලද බෞද්ධ සිද්ධස්‌ථානයකි. බුද්ධවේඩු යන ග්‍රාම නාමය පමණක්‌ නොව බුද්ධවේඩු පොළොවෙන් මතුවී දැන් එම විහාරයෙහි තැන්පත් කර ඇති ඉපැරැණි සෙල් පිළිමය ද පළ කරන්නේ තමිල්නාඩුවේ අතීත බෞද්ධ උරුමයයි. අප එහි යන විට එහි වැඩ වාසය කළාහු ත්‍රිපුර නුවරින් පැමිණි ඉන්දීය සාමණේර පිරිසකි. දෙමළ භික්‍ෂූන් වහන්සේලා හෝ දෙමළෙන් කතා කළ හැකි භික්‍ෂූන් වහන්සේලාගේ හිඟය බුද්ධවේඩු පන්සලට බලවත් ප්‍රශ්නයක්‌ වී තිබිණ. එහි භාරකත්වය ජුලි මාසයේ සිට මදුරෛ බෝධිපාල නමැති දෙමළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේට පැවරීමට දායක සභාව තීරණය කර තිබුණේය.

තමිල්නාඩු පොළොවෙන් වරින් වර මතු වන්නා වූ සෙල්මුවා බුදුපිළිම අතරින් බොහොමයක්‌ තැන්පත් කර ඇත්තේ මදුරාසි කෞතුකාගාරයේය. එසේ මතු වන ඇතැම් පිළිම වහන්සේ නමක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමට ගම්මූන් කැමති නැත. පල්ලූර් නමැති ගමේ උදවිය විශ්වාස කරන්නේ තමන්ගේ ගමෙන් හමුවූ පිළිම වහන්සේ නිසා ගම සශ්‍රීක වී ඇති බවයි. ඔවුන් ගම්මැද්දේ එම පිළිම වහන්සේ වඩා හිඳුවා පුද පූජා පවත්වන්ට පටන් ගත්තේ එබැවිනි. මදුරාසි විශ්වවිද්‍යාලයේ ශිල්ප ශාස්‌ත්‍ර හදාරමින් සිටි තායිලන්ත භික්‍ෂූන් වහන්සේ කිහිප නමක්‌ එහි වැඩම කොට එම පිළිම වහන්සේට පිළිම ගෙයක්‌ තනා දුන්හ. කොනේරුකුප්පම්, බුද්ධවේඩු, පල්ලූර් ආදී ගම්වලින් හමුවූ බුදුපිළිමවලට එබඳු යහපත් කල දසාවක්‌ ලැබී ඇති නමුත් තැන තැන ඇති සෙසු පිළිම වහන්සේලාගේ ඉරණම නම් ශෝක ජනකය. මේ ලිපිය ලිවීමේ එක්‌ අරමුණක්‌ වන්නේත් ඒ සම්බන්ධයෙන් මෙරට දානපතීන්ගේ අවධානය යොමු කිරීමයි.

කාඤ්චිපුරම් නගරයට නුදුරු සුබ්‍රයමුදලි පාසලේ දෙමළ දරු දැරියන්ගෙන් වැඳුම් පිදුම් ලබන ශෛලමය සමාධි බුදු පිළිමයක්‌ තිබේ. එය අව්වට වේලෙමින් ද වැස්‌සට තෙමෙමින් ද පවතී. කවුරුන් හෝ එතැන පිළිම ගෙයක්‌ තනා දෙන්නේ නම් එය සතුටින් පිළිගැනීමට පාසලේ ගුරු දෙගුරුන් කැමතිය.

කණික්‌කිළුප්පෛ ගමෙන් හමුවී ඇති පිළිම වහන්සේ ඒ ගම පුල්ලෙයාර් කෝවිල තුළ වැඩ හිඳින ආකාරය අපට මේ සංචාරයේදී දැක ගත හැකි විය. එම පිළිම වහන්සේ පිළිබඳ අපූරු කතාවක්‌ ගම්මු අප සමග පැවසූහ. "අපි පුංචි කාලේ ඉඳලා මේ ගල් පිළිමය අපේ ගමේ තිබුණා. ළඟදී ඒක අතුරුදන් වුණා. අපි හොයලා බලන කොට මීට කිලෝ මීටර් ගණනකට එහා වෙල් යායක තිබිලා පිළිමය හම්බ වුණා. වෙනත් ගමකින් ආපු හොර මුලක්‌ පිළිමය අරන් ගිහින් තියෙනවා. ටිකක්‌ දුර යනකොට පිළිමය පටවාගෙන ගිය වාහනේ ඩ්‍රැයිවර්ගේ ඇස්‌ පේන්නේ නැතුව ගිහින්. ඒ පාර පිළිමය වෙලට පෙරළලා වාහනේත් දමලා හොරු පැනලා ගිහින්. මේ සිද්ධියත් සමග මේ පිළිම වහන්සේ පිළිබඳ ගම්මුන් තුළ මහත් ගෞරවයක්‌ හටගෙන තිබේ. ඔවුන් මහත් වෑයමින් පිළිමය නැවත ගෙනවුත් පුල්ලෙයාර් කෝවිල තුළ තබා පුද පූජා පවත්වන්ට පටන්ගෙන ඇත්තේ ඉන් අනතුරුවය. යම් දානපතියකු ඉදිරිපත්වී බුදු කුටියක්‌ තනා දෙන්නේ නම් ඒ පිළිම වහන්සේ එතැන තැන්පත් කරන්ට කණික්‌කිළුප්පෛ ගම්වැසියෝ කැමැත්තෙන් සිටිති.

චෙංගොල්පෙට්‌ ගමෙහිදී අප දුටුවේ අලුතින් නෙළන ලද ශෛලමය බුද්ධ ප්‍රතිමාවකි. සුප්‍රසිද්ධ ගල් වඩුවන් සිටින මහාබලිපුරම් ප්‍රදේශයේ ගල්වඩුවකුට මිල ගෙවා නෙළන්ට යෙදුණු මේ පිළිමය ගෙනැවිත් ඇත්තේ මීට අවුරුදු 20 කට පමණ පෙරාතුවය. ඒ, ඒ ගම වෙසෙන දෙමළ බෞද්ධ පවුල් 50 ක පමණ සාමාජික සාමාජිකාවන්ට වන්දනාමාන කරනු පිණිසය. එහෙත් බුදු කුටියක්‌ තනන්ට මිල මුදල් නොතිබුණු බැවින් දස වසක්‌ පමණ එය පාර අයිනේ දමා තිබුණු බව අපට දැන ගන්නට ලැබිණි. දැන් තාවකාලික ආසනයක්‌ තනා බුදුපිළිමය ඒ මත තබා තිබේ. බුදුපිළිමයෙහි අයිතිකරුවාගේ සහෝදරයා වූ පුණ්‍යමූර්ති අප සමග කියා සිටියේ එතැන පිළිම ගෙයක්‌ තැනෙනු දැකීම එගම් වැසි දෙමළ බෞද්ධයන්ගේ පරම සිහිනය බවයි.

ඊළඟට අපේ බුදුන් අප දැක ගත්තේ ආර්පක්‌කම් නමැති ගම්මානයේ දැවැන්ත විෂ්ණු කෝවිලක්‌ තුළය. කෝවිලේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුවෙමින් තිබුණේය. එක්‌ ඉපැරැණි පිළිම වහන්සේ නමක්‌ කෝවිලේ බිත්තියකට හේත්තු කර තිබිණ. බිත්තිවල සුණු පිරියම් කිරීමේදී වැටුණු සුණුවලින් එම පිළිමය අපවිත්‍ර වී තිබෙනු දැක ගත හැකි විය. හිස සුන් තවත් ඉපැරැණි පිළිමයක්‌ තිබුණේ තාප්පය අයිනේ වියළුණු ගොම ගොඩකය. අප ඒවායෙහි ඡායාරූප ගන්නා අතරතුර කෝවිලේ භාරකාර මණ්‌ඩලයේ සාමාජික මහත්වරු දෙදෙනෙක්‌ අහම්බෙන් එතැනට පැමිණියහ. උග්‍ර බෞද්ධයකු වූ චන්ද්‍රසේකරන් මහතා බුදුපිළිමවලට සිදුකර ඇති නිගරුව සම්බන්ධයෙන් එම මහත්වරුන් සමග උණුසුම් වාදයකට පැටලීම නිසා අපි තැති ගත්තෙමු. අවසානයෙහිදී ඔව්හු කාරුණිකව එම සිද්ධස්‌ථානය පිළිබඳ තතු පහදන්නට වූහ. "අවුරුදු දහස්‌ ගණනකට කලින් මෙතන තිබිලා තියෙන්නේ බෞද්ධ පන්සලක්‌. අර ඈත පෙනෙන ජෛන පන්සලත් ශිව කෝවිලත් ඒ කාලයට අයත් ඒවා. මේ ප්‍රදේශයේ රඡ්ජුරුවන් සමග ලංකාවේ බෞද්ධ රජ කෙනෙක්‌ සටන් වැදී තියෙනවා. ලංකාවේ රජු පරාජය වූ පසු අපේ රඡ්ජුරුවෝ පන්සල කඩලා මෙතන විෂ්ණු දේවාලයක්‌ හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒ පන්සලේ තිබුණු පිළිම. මීට වඩා විශාල පිළිමයක්‌ ටික කාලෙකට කලින් හොරු අරන් ගියා. ප්‍රතිසංස්‌කරණයෙන් පස්‌සේ අපේ මේ බුදුපිළිම සංරක්‍ෂණය කරනවා. මේ කෝවිලේ ඉතිහාසය පුස්‌කොල පොත්වලින් කියවන්න පුළුවන් ආර්පක්‌කම් පිළිම වහන්සේලාට බුදුමැදුරු තනන්නට අපට අයිතියක්‌ නැති බව අපි ප්‍රත්‍යක්‍ෂ කර ගතිමු.

චන්ද්‍රසේකරන් මහතා නෙලෛහෙරි නම් ගම්මානයට අප කැඳවා ගෙන ගියේ එම ගමෙන් හමුවූ සෙල්මුවා බුදුපිළිමය, තමාත් මහාබෝධි මධ්‍යස්‌ථානාධිපතිව වැඩ විසූ උඩුවන රතනපාල ස්‌වාමීන් වහන්සේත් එක්‌වී ආසනයක්‌ තනා තැන්පත් කළ සැටි පෙන්වා දෙන්ටය. එහෙත් එතැන තිබුණේ ඔවුන් තැනූ ආසනය පමණි. බුදුපිළිමය සොරුන් පැහැර ගෙන ගොසින්ය. මෙහිදී අපට සිතුණේ නිසි ආරක්‍ෂාවක්‌ රහිත සෙසු බුදුපිළිමවලට ද එබඳු ඉරණමක්‌ අත්විය හැකි බවය.

දැන් 2600 සම්බුද්ධත්ව ජයන්තිය එළඹෙමින් තිබේ. ඒ වෙනුවෙන් සිද්ධ කරන්නා වූ පිංකම් මාලාව අතරට දෙමළ රටේ වැඩ වාසය කරන අපේ බුදුන් වහන්සේගේ හිසට සෙවණක්‌ සැපයීමේ පිංකමක්‌ එකතු කරගත හැකි නම් කෙතරම් වටීද? චෙන්නෛහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌ වඩිවේලු ක්‍රිෂ්ණමූර්ති මහතාද මහ කොමසාරිස්‌ කාර්යාලයේ අමාත්‍ය උපදේශක ඇම්. කේ. පද්මනාදන් මහතා ද මහාබෝධි මධ්‍යස්‌ථානයේ රුවන් (077-6596158) ද ඒ පිංකම කිරීමට මෙරට බෞද්ධ සැදැහැවතුන්ට සහාය දෙනු නොඅනුමානය.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න


ඡායාරූප සමන් අතාවුදහෙට්‌ටි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.