රන් තිළින රටට ගෙන එන
රණවීරගේ සෞන්දර්ය ජීවිතය

පාසලේ බිත්ති හතර තුළ හිරවී සිටි ශිෂ්‍යයා මුල්වරට සෞන්දර්ය ලෝකය දුටුවේ ඔහුගේ ඇසින්ය. පාසල චිත්‍රාගාරයක්‌ බවට පත් කරගත් ඔහු එයට හතර වටේම පාසල්වල සිසු සිසුවියෝ ද එක්‌කර ගත්හ.රණවීර සර්ගේ චිත්‍ර පන්තිය රටේ ප්‍රචලිත පසුව රටින් බැහැරටද ගියේ නොපැතූ වේගයෙන්ය.

ශ්‍රී ලංකා ජාතික ළමා චිත්‍ර පදනම බිහිකළ ලයනල් රණවීරයෝද විරල ජගත් සම්මාන හිමි කර ගත්හ. මේ වනවිට රණවීරයන්ගේ චිත්‍ර කලා පදනමෙන් මවුබිමට හිමිවූ රන් පදක්‌කම් ගණන ද සියයකට ආසන්නය.

ප්‍රවීන චිත්‍ර ශිල්පියකු හා ප්‍රවීන චිත්‍ර කලා ගුරුවරයකු ද වන ලයනල් රණවීර මහතාට හොඳම චිත්‍ර ගුරුවරයාට හිමි ජාත්‍යන්තර සම්මානය (මහාචාර්ය ස්‌ටොයානෝ ස්‌ටොයානෝව් අනුස්‌මරණ සම්මානය) පසුගිය වසර දෙකේදීම හිමි කර ගත්තේය. බල්ගේරියාවේ නෝවා සගෝරා පදනම මගින් ජාත්‍යන්තර තරුණ චිත්‍ර ශිල්පීන්ගේ ලලිත කලා ප්‍රදර්ශනයේදී එම සම්මානය ප්‍රදානය කෙරුණි. මෙම සම්මානය ශ්‍රී ලංකා චිත්‍ර කලා ගුරුවරයකුට හිමි වූ ප්‍රථම අවස්‌ථාව ද මෙයයි. මෙම ජයග්‍රහණය ආසන්න වසර දෙකකදීම (2005-2006) දිනා ගැනීම තව ද විශේෂත්වයකි. එම ජාත්‍යන්තර තරගයේදී වැඩිම සම්මාන ප්‍රමාණයක්‌ හිමි කරගත් රට බවට පත් වූයේද ලංකාවයි. රටවල් 37 ක්‌ පරදා මෙම ජයග්‍රහණ සියල්ල ලයනල් රණවීරයන්ගේ ප්‍රධානත්aවයෙන් යුත් ශ්‍රී ලංකා දරු දැරියන් විසින් හිමිකර ගැනීම මෙහිදී අප දකින සුවිශේෂ බවයි.

2010 වසර සඳහා ද ඔහුට සහ ඔහුගේ කලා පදනම නැවතත් මෙම තරගයේදී ජාත්‍යන්තර ඇගයීමට ලක්‌විණි. ළමා චිත්‍ර කලාව තුළින් ලාංකේය ළමා චිත්‍ර කලාවේ අනන්‍යතාවන් ජාත්‍යන්තර කරළිය තුළ අවුරුදු 40 කට ආසන්න කාලයක්‌ පුරාවට පෙන්නුම් කළ දක්‍ෂතාවයන් සහ ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්ති නාමයන් පිළිබඳ ලයනල් රණවීර හා කෙරෙන පිළිසඳරකි මෙය.

ශ්‍රී ලංකා ජාතික ළමා චිත්‍ර කලා පදනම මෙරට සිසු දරුවන්ගේ චිත්‍ර කලා කුසලතා හඳුනාගෙන ඊට විධිමත් මග පෙන්වීමක්‌ කොට ඔවුන්ගේ හසුරු කෞශල්‍ය නන්වන්නටත්, ඔවුන්ගේ ශක්‍යතා ජගත් රසික සමූහයාට හඳුන්වා දෙන්නටත්, පුරෝගාමී වූත්, ප්‍රමුඛතම වූත් චිත්‍ර කලා සංවිධානය බිහි කළේ මොහුය.

විදුහල්පති කර්නල් වී. එස්‌. කුඩලිගම යුගයේදී සියවස්‌ සැමරුමත් සමග ඇරඹී ව්‍යාපෘතියක්‌ වූ ආනන්ද විද්‍යාලයීය ළමා චිත්‍ර කලා පදනම තුළින් ආනන්දයට කලඑළියකුත් ශ්‍රී ලංකාවටම විශිෂ්ටවූ ගෞරවණීය කීර්ති නාමයකුත් අත්කර දුන් ලයනල් රණවීර මහතා අද ඊටත් වඩා පෙරමුණට එමින් වඩාත් පුළුල් ලෙස දිවයිනේ වෙනත් පාසල් දරු දැරියන්ටත් ජාත්‍යන්තරව බැබළෙන්නට අවස්‌ථාව සළස්‌වා දෙමින් කර ඇත්තේ මහගු සේවාවකි.

මිනිස්‌ සිත්සතන් තුළ සංවේදී බව, උපේක්‍ෂාව, ඇති කිරීමට ද තිරසාර සංවර්ධනයකට අවශ්‍ය වන්නාවූ පෞරුෂය සමබරතාවයකට ගෙන ඒමට ද සුවිශේෂ හැකියාවක්‌, චිත්‍ර කලාවට ඇත. මේ පිළිබඳව අවබෝධයකින් යුතුව චිත්‍ර කලාව හදාරන සිසු සිසුවියන් දහස්‌ ගණන් තුළ මෙකී ගුණ ධර්ම වර්ධනය කිරීමෙන් ලයනල් ගනු ලබන විශාල ප්‍රයත්නය අප කාගේත් ප්‍රසංසාවට ලක්‌විය යුතුය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ වසර 5 ක ද්විතීක අධ්‍යාපනය නිමකර 1965-1966 දක්‌වා කාලය තුළ විශ්ව අධ්‍යාපනයක්‌ හදාරණු ලැබූයේ සෝර්බෝන් සරසවියේ මහාචාර්ය ඡේ. එම්. සමජොස්‌කි මහතා යටතේය. 1970 පෙබරවාරි 23 වෙනි දින බණ්‌ඩාරවෙල ඇත්තලපිටිය මහ විදුහලෙන් ගුරු සේවයට අවතීර්ණ වන ඔහු අදටද ගුරුවරයෙකි. ඔහු අද වන විට චිත්‍ර කලා අංශයෙන් දෙවෙනි පරපුරක්‌ ද බිහිකර ඇත. චිත්‍ර කලාව සම්බන්ධව ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ද දෑ අවුරුදු පුහුණුව 1975 -1976 කාලයේ ලබාගත්තේ මේ අතරමය. දිවයිනේ ප්‍රථම උද්‍යාන මූර්තීය විද්‍යාලයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් ඇත්තලපිටිය විදුහල් භූමිය තුළ නිර්මාණය කරමින් ඌව පළාත් ආදර්ශමත් කලා පාසල නිර්මාණය කිරීම වෙනුවෙන් සම්මානයට ද පාත්‍ර වූයේය.

නිහඬතාවය සමග බැඳීගිය නිහතමානී ගුණය, දයාව, කරුණාව නොසෙල්වෙන ගුණය හා පරිත්‍යාගයෙන් යුත් සුපෝෂිත දිවිපෙවෙතක්‌ මේ මහා කලා කරුවාගේ පෞරුෂ තුළ විදහා දක්‌වයි. වර්ණ රේඛා, හැඩතල තුළින් අපූර්ව නිර්මාණ බිහි කරන මෙම සොඳුරු මිනිසා 1971 වසරේ සිට දිවයින තුළ මෙන්ම ජාත්‍යන්තරව ද ලබාගත් ජයග්‍රහණ රාශියකි. 1972 වසරේදී දක්‍ෂතම චිත්‍ර ශිල්පියාට පිරිනමනු ලබන ජනාධිපති සම්මානය, හොඳම මූර්ති ශිල්පියාට හිමිවනු ලබන අග්‍රාමාත්‍ය සම්මානය ද ඔහු දිණනු ලබනුයේ එකම වසරේදීය. 1971 දී ප්‍රථම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය සමුද්‍රd හෝටලයේදී පවත්වනු ලබන ඔහු එතැන් සිට ජයග්‍රහණ දේශය තුළ පමණක්‌ නොව ජාත්‍යන්තරව ද හිමිකර ගනී. 2005 සහ 2006 යන වසරවලදී හොඳම චිත්‍ර කලා ගුරුවරයාට හිමි මහාචාර්ය ස්‌ටොයානෝ ස්‌ටොයානෝව් අනුස්‌මරණ සම්මානය දිනාගන්නේ රටවල් 37 ක්‌ සමග තරග වදිමිනි. ඔහු ආරම්භ කළ ශ්‍රී ලංකා ජාතික ළමා චිත්‍ර කලා පදනම ද ජාත්‍යන්තර ඇගයීමට මේ අවස්‌ථාවේ ලක්‌වේ.

ඔහුගේ කලා ආයතනයේ දරු දැරියන් ජපානයේ නිපෝන්, කනගාවා, කොරියානු ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගය, ග්ලෝබල් ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගය ආදී තරග ද, පින්ලන්තය, රුමේනියාව, යුක්‍රේනය, බංගලාදේශය, ඉන්දියාව, චෙකෝස්‌ලෝවෙකියාව ආදී රටවලින් සංවිධානය කරන ජාත්‍යන්තර චිත්‍ර තරග ද ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි.

1981 මැයි 15 වැනි දින කොළඹ ආනන්ද විද්‍යාලයේ සෞන්දර්ය අංශයේ වැඩ අරඹන ඔහු අද වන විට දිවිමගේ 67 වැන්නෙහිය. ඒ තම චිත්‍ර කලා ගුරු දිවියට 40 වසරක්‌ ගතවන මොහොතේය. 1972 දී ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ අනුශාසකත්වයෙන් පවත්නා ශ්‍රී ලංකා කලා සංගමය මගින් ශ්‍රී ලංකා කලාපති සම්මානය පුද කිරීමටත්, 1986 හා 2003 වසරවල චෙකෝස්‌ලෝවෙකියානු ජනරජය මගින් චිත්‍ර කලා පදනම අගය රෝස්‌ ඔෂා ලිඩ්ස්‌ සම්මානය ප්‍රදානයත් ජපානයේ නිවාස තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය පිරිනැමූ විශිෂ්ට සම්මානයත් මේ ජයග්‍රහණ අතුරින් කිහිපයකි.

අප ශ්‍රී ලාංකික දරුවා තුළ ඇති නිසඟ දක්‍ෂතා මතු කර දීමටත් ඒ සඳහා වැඩිහිටියන් වන අපත් දැඩි අවධානය කුඩා කල සිටම යොමු වීමත් ඉතාම වැදගත්. බාහිර ලෝකයේ අසන දකින සංසිද්ධීන් දරුවන් තමන් සිත්තුළට කාවද්දා ගනු ඇත. මේ නිසාම ළදරු මනසට ගෝචරවනදේ පමණක්‌ මනසේ සටහන්වේ. ඒවා සෞන්දර්යාත්මක නිර්මාණ ලෙසින් දරුවන් තුළින්ම බිහි කර ගත යුතුයි. මෙවන් හැඩගැස්‌මක්‌ තුළ දරුවාගේ අනාගතය නිර්මාණය කිරීමටත් නිර්මාණ සාධාරණව ඇගයීමටත්, දරුවන් දිරිමත් කිරීමටත් අරමුණු කරගෙන මෙම ජාතික ළමා චිත්‍ර කලා පදනම ආරම්භ කරනු ලැබුවේය.

අද ළමා මනසට නොගැලපෙනදේ බොහෝ ජන සංනිවේදන මාධ්‍යයන් ගෙන් මෙන්ම බාහිරව ද දක්‌නට හා අසන්නට ලැබෙනු ඇත. මේ හේතුව නිසාම කුඩා දරුවන් යහමග යෑවීමට බලවත් දුෂ්කරතාවයක්‌ මතු වී ඇත. ඉරුදින දහම් පාසල් මගින් මෙන්ම වෙනත් ළමා මනස සකස්‌ කරන ආයතන හා සංවිධාන මගින් ද දරුවන් යහමගට යොමු කිරීම සඳහා දරන ප්‍රයත්නයන් සමහරවිට අසාර්ථක වන්නේ ද ඉහත සඳහන් කළ හේතූන් නිසාමය. එබැවින් බුද්ධිමත් දෙමව්පියන් හා වැඩිහිටියන් ලෙස කුඩා දරුවන්ට එක එල්ලේ බලපාන අනර්ථකාරී ක්‍රියාවන් පිටු දැකීමට පියවරක්‌ ගත යුතුමය. ලෝකය විශ්ව ගම්මානයක්‌ ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිද්දී බොහෝ පිටරටවල පවතින ක්‍රියාවන් ද අප වැනි තුන්වන ලෝකයේ රටවලටද බලපානු ඇත. එබැවින් මෙම අවස්‌ථාවේදී මේ පිළිබඳව ගැඹුරින් සිතා බලා කුඩා දරුවන් විවිධ අසහනකාරි බලවේගයන්ට යොමු වන්නට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා කටයුතු කළ යුතුමය. එමෙන්ම එකිනෙකා පරයමින් තමන්ම ඉස්‌මතු වෙමින් ආත්මාර්තයම අගයන සමාජයක ජීවත් වන අපට යහපත් ආචාරධර්ම යුතුකම් හා වගකීම් ගැන සිතීමට තරම්වත් කාලයක්‌ නොමැත්තේය. මේ තත්ත්වයට පිළියම් සෙවීමේදී අපේ බාල පරපුර ඇතුළු පොදු ජනතාව තුළ සෞන්දර්ය රුචික මනසක්‌ වගා කිරීම විශේෂයෙන් අර්ථවත් වන්නේය.

අද අප ජීවත්වන්නේ මිනිස්‌ සාරධර්ම පිරිහෙමින් පවත්නා සංකීර්ණ සමාජයකය. මානව හිතවාදී බව පරයා ආත්මාර්ථය රජ කරමින් සදාචාරය වලපල්ලට ඇද වැටෙන යුගයක සෞන්දර්ය විෂයයන් කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක්‌ බවට අද පත්ව ඇත. සහජ දක්‍ෂතාවයන් ගෙන් පිරිපුන් ශිෂ්‍ය පරපුරක්‌ තුළ පවත්නා කුසලතාවයන් එළි දැක්‌වීමට ගනු ලබන ප්‍රයත්නය සුළු පටු වූවක්‌ නොවනු ඇත. මනා හැකියාවක්‌ ඇති එහෙත් එම හැකියාවන් බිහිවීම නිසා එම කුසලතා ඔප්නැංවීමට පිටිවහලක්‌ වන අතර ඔවුන් වඩ වඩාත් උනන්දු කරවීම අපගේ පරමාර්ථයයි. මේ තුළින් දරුවන්ගේ බුද්ධි වර්ධනයට පිටිවහලක්‌ වන අතර, එම කුසලතා දියුණු කිරීම තුළින් සමාජයට වැඩදායී පිරිසක්‌ බිහිවනු දැක්‌ම අපගේ පරමාර්ථය වනු ඇත.

දරුවකු කුඩාකල සිටම කලාව වෙත මනස යොමු කිරීමෙන් ලබන පිටුවහල අපමනය. සෑම අයකුටම චිත්‍ර ශිල්පියකු වීමට නොහැකි වූව ද චිත්‍රයකින් වින්දනයක්‌, ආශ්වාදයක්‌, ලබන්නට තරම් සිත නතුකර ගැනීමට සමත් නම් එයම ප්‍රමාණවත්ය. කුඩා කළ සිටම ළමා මනස චිත්‍ර කලාව වෙත යොමු කරවීම මගින් යහපත් මධ්‍යස්‌ථව සිතන පුද්ගලයකු සමාජයට ලැබෙනු ඇත. වත්මන් අර්බුදකාරී අසහනයෙන් පිරුණ ලොවකට අවශ්‍ය වන්නේ ද එවැන්නකි. අප පදනම මේ රටේ දරුවන්ගේ හදවත්වල වින්දනාත්මක සහ සමතුලිතතාවයන් මෙන්ම නිර්මාණශීලී දේශීය අනන්‍යතාවයක්‌ ගොඩ නැගීමේ මූලික වූ පරමාර්ථයෙන් අප කටයුතු කරනු ඇත. ළමා මනස සෞන්දර්යෙන් යුත් නිර්මාණාත්මක මෙන්ම ස්‌වාධීන චින්තනයෙන්, සිතුම් පැතුම්, ආකල්ප පිළිබඳ අදට වඩා වැඩදායි වන අන්දමින් පෝෂණය කිරීමත් මෙම කලා පදනම තුළින් සිදු වනු ඇත.

රටක ජාතික සම්පතක්‌ වූ ළමා පරපුර යහපත් පුරවැසියන් ලෙස හැඩගැස්‌වීමේදී ඔවුන් තුළ පවත්නා නිර්මාණශීලී සෞන්දර්යාත්මක හැඟීම් පුබුදුවීමත්, එවා ඇගයීමත් අතිශයින්ම වැදගත්ය. ඒ තුළින් එම නිර්මාණශීලී කුසලතා තුළින් මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුව ඉබේටම සැලසෙනු ඇත.


පියදාස රණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.