මානවසිංහයන්ගේ ගීත සේකරට පැවරීම නොහොබී !

බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයකුගෙන් සාහිත්‍ය කලාව පිළිබඳ ප්‍රශ්නයක්‌ නැඟීම කොතරම් සාධාරණ දැයි කිව නොහැක. එහෙත් එබඳු ධුරයක්‌ හොබවන මහතකුට සාමාන්‍ය සාහිත්‍යාවබෝධයක්‌ හෝ නැතැයි සිතීමද සාධාරණ නැත. ඒ දෙකින් කුමක්‌ ඇත්ත වුවත් බොරු වුවත් මේ කාරණය සම්බන්ධයෙන් නම් එතුමාට සමාව දිය නොහැක. විශේෂයෙන් බෞද්ධ නායකයකු ලෙස එතුමා අඩුම තරමින් සාධාරණ හා යහපත් මනුෂ්‍යයකු හෝ විය යුතු යෑයි අපි සිතමු.

සිංහල ගීත සාහිත්‍යයේ සමාරම්භකයකු ලෙස මෙන්ම එහි සාධනීය වෙනසකට හේතු වූ අගනා ගී රැසක්‌ම දැයට පිරිනැමූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් පිළිබඳව අමුතු හැඳින්වීම් වුවමනා ද නැත. බෞද්ධ ගීත රචනාවෙහිලා ඔවුන් පෑ හපන්කම් ද බොහෝ විය.

පසුකාලීනව ගීත රචනයට පිවිසි විශිෂ්ට කවියකු හා ගීත රචකයකු ද වූ මහගම සේකරයන් වරක්‌ සඳහන් කර තිබුණේ ද තමා ගීත රචකයකු කරන ලද්දේ මානව සිංහයන්ගේ ගීත රස විඳීමෙන් ලද චමත්කාරය විසින් බවය.

බෞද්ධ කොමසාරිස්‌වරයාගේ දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද දහම් පාසල් පෙළ පොත්වල 5 වැනි ශේ්‍රණියේ එන පාඩමක මානවසිංහයන්ගේ ප්‍රකට ගීතයක්‌ වන මහබෝ වන්නම මහගමසේකරට පවරා දී තිබේ. මේ කාර්ය කරන ලද්දේ පොත සංස්‌කරණය කළ බක පණ්‌ඩිතයා විය හැකිය. ඒ ඔහුගේ දැනුමේ දිග, පළල ද විය හැකිය. එහෙත් මානවසිංහයන්ගේ පුත් උදය මානවසිංහයෝ මේ වරද දැක නිවැරැදි කරන ලෙස ඉල්ලා ලිපියක්‌ ද යෑවූහ.

තම පියාගේ කෝමල රේඛා (1950 දශකය) නිර්මාණයේද මේ ගීතය එන බවත්a එය සංගීතවත් කර පණ්‌ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන ලද බවත් දන්වා එම ලිපිය යවා තිබිණි. එහිලා ඒ ගීතය පිළිබඳ මහගමසේකරයන්ගේ හැඟීමද වැකි කීපයකින් සඳහන් කළේ කරුණු සනාථ කිරීමටය. එසේම එම වරද පෙන්වාදී ඇත්තේ ගත්කරු සෝමවීර සේනානායකයන් බවද එහි සඳහන් කර යවා ඇත.

මොනතරම් දේවල් කීවත් කොමසාරිස්‌වරයාගේ නිලධාරියෙක්‌ හෝ එයට ප්‍රතිචාර දක්‌වා නැතිලු. අපේ රටේ නිර්මාණ හොරු බහුලව සිටිති. අනුන්ගේ ඒවා තමාගේ ලෙස හුවා දක්‌වන අය මෙන්ම නොදන්නාකම නිසා නිර්මාණවල අයිතිය අනුන්ට පවරන අය ද සිටිති.

කිසිවෙක්‌ තමන්ගේ නිර්මාණයක්‌ වෙනකකු සතු කරන්නට කැමැති නොවෙති. නිර්මාණයක්‌ තුළ ගැබ් වන්නේ කිසියම් අයෙකුගේ ප්‍රතිභාපූර්ණ නිමැවුම්ය. ඒවා තම කල්පනා ලෝකය තුළම උපදින දේවල්ය.

මේ නිසා මානවසිංහයන්ගේ නිර්මාණයෙහි අයිතිය, උරුමය ඔහුq සතුය. එය සදොස්‌ව අන් අයෙකුට පැවරීම වරදක්‌ මෙන්ම අසාධාරණයක්‌ ද වේ. මේ පිළිබඳව ක්‍ෂණික අවධානය යොමු කරමු. එය නිවැරැදි කිරීම මානවසිංහයන්ට මෙන්ම සේකරයන්ටද කැරෙන යුක්‌තියකි. බෞද්ධ කොමසාරිස්‌තුමනි, මේ මුසාවාදය පැතිර යැමට ඉඩ නොදුන මැනවි. සත්‍යයට ඉඩ දුන මැනවි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.