සඳරේණු ගීතය මුලින්ම කිව්වේ වැරදියට
තීක්‍ෂණ අනුරාධ

සඳරේණු ගලන
සඳරැයක සිහිනයක
ඔබ ඈත ඉඳන් ඇවිදින්
මගෙ පාළු හිතට
මනමාල කතා කියමින්

මේ හඬ අපට ඇසෙන්නට පටන්ගත්තේ සිරස සුපර් ස්‌ටාර් වේදිකවේ පළමු අදියරෙන් පසුවය. අවසන් 12 දෙනා අතරින් 9 වැනියාට තේරුණු මේ යෞවනයා පසුගිය කාලයේ අපට වැඩිපුර දක්‌නට නොලැබිණි. ඒ ඔහුගේ සරසවි අධ්‍යාපන කටයුතු හේතුවෙනි. නමින් තීක්‍ෂණ අනුරාධ නම් වූ ඔහු මේ වන විට විද්‍යා අංශයේ උපාධිධරයෙකි. එසේ නම් තීක්‍ෂණ ගැන අද අප කතා කරන්නේ මන්ද?. ඊට හේතුවන්නේ "සඳරේණු ගලන" අලුත්ම සංයුක්‌ත තැටිය එළිදැක්‌වීම නිසයි. හොඳ හඬක්‌ සතු තීක්‍ෂණ "සඳරේණු ගලන" ගීතය ගැන සිදු වූ අපූරු සිදුවීමක්‌ සමගින් අපත් සමග කතාබහට එක්‌විණි.

"මම මුලින්ම පටිගත කළ ගීතයේ වර්සස්‌ දෙකක වචන දෙකක්‌ වැරදියටයි ගායනා කළේ. ඒ අතිනුත් මේ ගීතය ඉතිහාසගත වෙනවා. මොකද ගායකයෙකුගේ මුලින්ම ජනප්‍රිය වුණු ගීතයේ පද රචනය නිවැරදිව ගායනා නොකිරීමෙන්."

ඒ ගැන පද රචකයාගෙන් චෝදනා එල්ල වුණේ නැතිද?

පද රචනය නිලාර් එම්. කාසීම් අයියගෙ. ගීතය අහල නිලාර් අයිය මට දොස්‌ කිව්වා "තීක්‍ෂණ මම හදපු දරුවෙක්‌ ඔයා අංගවිකල කළා කියලා" මම නවකයෙක්‌ හැටියට නිහතමානීව ඔහුගෙන් ඒ ගැන සමාව ඉල්ලුවා. පසුව ඔහු තේරුම් ගත්තා අපි අත්දැකීම් නැතිව මේ ක්‍ෂේත්‍රයට ආපු පිරිසක්‌ කියලා. අන්තිමේදී ඔහු මට දුන් උපදෙසුත් අරගෙන යළිත් මම ඒ ගීතයක්‌ සමග නිර්මාණ එකතුව එළිදැක්‌වූවා.

තීක්‍ෂණ මොනවද මේ දවස්‌වල කරන්නේ ?

ඇත්තටම මේ දවස්‌වල අපි අලුත්ම වැඩ කටයුතු ටිකක්‌ කරගෙන යනවා. ඒකට හේතුව මගේ සරසවි අධ්‍යාපන කටයුතු නිමවීමයි. මොරටුව, කොළඹ සරසවි සිසුන් එකතුවෙලා නදිනා කියල සංගීත කණ්‌ඩායමක්‌ පටන් ගත්තා. මගේ සඳරේණු ගලන අලුත් ගීත ඇල්බමයත් එළිදැක්‌වුණා.

සඳරේණු ගලන ගීත ඇල්බමයට මෙච්චර කාලයක්‌ ගතවුණේ ?

සරසවි අධ්‍යාපන කටයුතු නිසා කාලයත් අඩුවුණා. අනික මගෙ ලොකු ආසාවක්‌ තිබුණා ඒකාකාරී ගීත රටාවෙන් මිදිල වෙනස්‌ ආකාරයේ ගීත කිහිපයක්‌ නිර්මාණය කරන්න. එයින් බලාපොරොත්තු වුණේ මධ්‍යම වයස්‌ කාණ්‌ඩයට, යෞවනයට, ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් සමග කරන නිර්මාණ, ආධුනිකයන් සමග කරන නිර්මාණ වගේ එකතුවක්‌ කරන්න. ඒ නිසා තමයි මෙච්චර කාලයක්‌ ගතවුණේ.

ඔබ වැඩිදෙනා අතරට ගියේ සඳරේණු ගීතය නිසයි ?

ඇත්තටම ඔව්. සුපර් ස්‌ටාර් තරගය හරහා මාව මිනිස්‌සු අඳුරගත්තත් තීක්‍ෂණ කියන නම රසිකයන්ගේ හදේ රැඳී තිබුණේ සඳරේණු ගලන ගීතය නිසයි.

මේ නිර්මාණ එකතුව කවුරුන් ඉලක්‌ක කරගෙනද?

මට ඕන වුණේ එක පිරිසකට පමණක්‌ නැතුව වැඩිදෙනා අතර අහන්න ලැබෙන ගීත එකතුවක්‌ කරන්න. පාසැල් විය, මැදිවිය, ප්‍රබුද්ධයන් වැනි හැම පිරිසකටම වුවමනා විදිහට ගීත එකතුව කරලා තිබෙනවා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ඒකෙ ඈතින් පායා කියලා ගීතයක්‌ තිබෙනවා. ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මගේ මිතුරකු කළ පිනි වැටෙනා කියන ගීතයටත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක්‌ දෙනෙක්‌ නම් මට කිව්වෙ ඒකාකාරී බවින් මිදුණු ගීත එකතුවක්‌ කියලයි.

තරු සංකල්පයේ වැඩසටහන් ගැන මොකද හිතෙන්නෙ ?

ඇත්තටම හොඳයි. හේතුව අපි වගේ ඉදිරියට යන්න කැමැත්තෙන් ඉන්න පිරිසට ලොකු හයියක්‌. නමුත් දැන් එහි පොඩි ගැටලුවක්‌ ඇති වෙලා තිබෙනවා.

මොකක්‌ද ඒ ?

තරු සංකල්පයේ වැඩසටහන් හැමෝම පවත්වනවා. මගේ මතය අනුව නම් ලංකාවේ ඕඩියන්ස්‌ එක අඩුයි. ප්‍රේක්‍ෂකයන් ගීත ඇසුවාට ප්‍රසංග බලන්න වුවමනාවක්‌ දක්‌වන්නේ නැහැ. ඒ අනුව ගොඩක්‌ තරු බිහිවුණහම ඔවුන්ට තිබෙන වටිනාකම අඩුයි. මේකට හොඳම උදාහරණය තමයි මුල්ම සුපර් ස්‌ටාර්ස්‌ තරගයට තිබුණ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අද පවත්වන තරගයට එලෙසින්ම නොලැබීම. ඒක ස්‌ටාර්ස්‌ලාටත් හානියක්‌.

ඔබේ අරමුණ ගායනයෙන් ඉදිරියට යන්නද?

විදෙස්‌ගතවෙලා අධ්‍යාපන කටයුතු වල නියෑලෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගායනයෙන් ඉදිරියට යන්නත් අදහසක්‌ තිබෙනවා. අපේ නදිනා සංගීත කණ්‌ඩායමටත් අළුත් ගීත ටිකක්‌ කරන්න හිතාගෙන ඉන්නෙ. දැනට නම් මගේ අරමුණ සංගීත කණ්‌ඩායම ඉදිරියට ගැනීමයි.

දැන් බටනලා වාදනයෙන් ඈත්වෙලාද?

මම ගොඩක්‌ දක්‍ෂ බටනලා වාදනයට. සුපර් ස්‌ටාර් නිසා මගේ ජීවිතය වෙනස්‌ වුණා. හේතුව පාසැලේ 8 වසරේ සිට බටනලා වාදනය කළා. 2004 දී බටනලා වාදනයෙන් පළවෙනියා වුණා. ගායනයටයි, සරසවි අධ්‍යාපනයටයි අවතීර්ණවීමෙන් බටනලා වාදනයට පොඩි අතපසුවීමක්‌ සිදුවුණා.

සඳරේණු ගීතයට කොච්චර කල්ද?

අවුරුදු හතරයි

මුල්ම ගීතය සහ ඇල්බමයේ ගීතය අතර වෙනසක්‌ තිබෙනවා නේද?

මුලින් වචන වැරදුණු නිසයි එහෙම වුණේ. පද මාලාවන් දෙකක වචන දෙකක්‌ වැරදුණා. මගේ අළුත් ගීත ඇල්බමයේ වචන නිවැරදිව ලියාගෙන හරියටම ගායනා කළා.

ළඟදී විවාහ ගිවිසගත්තා කියලත් ආරංචියි ?

(සිනාසෙමින්...) ඔව්. ළඟදී තමයි විවාහ ගිවිසගත්තෙ. තව නොබෝ දිනකින් විවාහ උත්සවය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

ඇය ගැන තොරතුරු කිව්වොත් ?

නම අනුරාධිකා. ඉතුරු ටික පසුව කියන්නම්.

එතකොට අනුරාධිකාව හමුවුණේ ?

මම ඒ දවස්‌වල යූත් ඔකෙස්‌ට්‍රා එකේ පන්ති ආවා. හඬ කැවීම් සඳහා එයත් ආවා. ඒ තමයි හමුවීම.

ඉදිරි බලාපොරොත්තු ?

එම්. එස්‌. සී. උපාධිය සඳහා විදෙස්‌ගත වෙන්නයි ඉන්නෙ. ඒ වගේම නදිනා සංගීත කණ්‌ඩායමේ ගීත එකතුවක්‌ කරන්න අදහසක්‌ තිබෙනවා.


දිනේෂ් විතාන
ඡායා- සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.