ඉදිරි පළාත් පාලන මැතිවරණ දිනන අපේක්‍ෂකයන්
පක්‍ෂය මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසියි

පියසේන දිසානායක සහ රනිල් ධර්මසේන

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සිය ජයග්‍රහණයෙන් පසු පක්‍ෂ මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි වන අයුරින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට රජය සහ එක්‌සත් ජාතික පක්‍ෂය අතර පැවැති සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණ ඇත.

මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු වඩාත් විනිවිදභාවයකින් යුක්‌තව සාර්ථකව ඉටුකර ගැනීම සඳහාය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයෙන් පසු යම් මන්ත්‍රීවරයකු තම පක්‍ෂය හෝ කණ්‌ඩායමෙන් ඉවත්ව වෙනත් පක්‍ෂයකට ගියහොත් මන්ත්‍රීධුරය අහෝසි වේ.

දෙපාර්ශ්වය අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රථම සහ කඩිනමින් අවසන් කළයුතු මාතෘකාව බවට ද පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය පත්ව තිබේ.

ඒ සඳහා රජය සහ එජාපය අතර සාකච්ඡා වට කිහිපයක්‌ ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර එම සංශෝධනයන් සකස්‌ කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇත.

නව සංශෝධනයට අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණය සමානුපාතික හා කේවල ක්‍රම මිශ්‍ර වූ නව ක්‍රමවේදයකට අනුව පැවැත්වීමටත් ඉන්පසු ඉදිරි මැතිවරණ සඳහා ද එය යොදාගැනීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වය අතර ඉදිරි සාකච්ඡාවලදී අවධානයට ලක්‌කිරීමට තීරණය කර ඇත.

මෙම සාකච්ඡාවලින් පසු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක අගමැති ධුරය ඇති කිරීම ඇතුළු ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා සකස්‌ කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

විධායක අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකියන, පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා, ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන තනතුරක්‌ වේ.

මෙම විධායක අගමැති ක්‍රමයේ ස්‌වභාවය හා එහි බලතල පිළිබඳව කමිටුව රැස්‌වී තීරණය කරනු ඇත.

මෙම ක්‍රමය ඇති කිරීම සමඟ ඊට අනුශාංගික වෙනත් නීතීන් ද සංශෝධනය කිරීමට නියමිතය.

දේශපාලන පක්‍ෂ කමිටුව යෝජනා සකස්‌ කිරීමෙන් පසුව එය සෙසු පක්‍ෂවල ද අනුමැතිය ලබා ගැනීමට නියමිතය. ඉන්පසුව එම ලියවිල්ල කෙටුම්පත් කරන බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවැසීය.

ආණ්‌ඩුවේ තනි මතයට අනුව ඕනෑම අවස්‌ථාවක ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බලය තිබුණද යහපත් දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමේ ජනපතිගේ අවශ්‍යතාව මත මෙලෙස සියලු පක්‍ෂවල එකඟතාවයෙන් ව්‍යවස්‌ථා සංශෝධනය සිදුකරන බව ද හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.