මූන්ගේ කමිටුවට එරෙහිව
රජය හේග් ලෝක අධිකරණයේ නඩු දමයි

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ හයවැනි වගන්තිය සහ 33 හා 34 යන උපවගන්ති මුළුමනින්ම උල්ලංඝනය කරමින් මහලේකම් බෑන් කී මූන් විසින් විද්වත් මණ්‌ඩලයක්‌ පත් කිරීම ගැන හේග් හි ලෝක අධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකා රජය දැන් ක්‍රියා කරගෙන යයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති විශාරදයන්ගේ සහය ලබාගැනීමට ද කටයුතු කෙරේ. ශ්‍රී ලංකාවද එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අයත් වන සාමාජික රටක්‌ නිසා ආරක්‍ෂක මණ්‌ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව පිටස්‌තර පුද්ගලයන්ගෙන් යුත් විද්වත් මණ්‌ඩලයක්‌ පත් කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ට බලයක්‌ නැතැයි යන මතය ශ්‍රී ලංකා රජය විසින් ලෝක අධිකරණය වෙත යොමු කෙරේ.

අන්තර් ජාතික සංවිධානවල නීතිරීති බැහැර කළ නොහැකිය යන තීන්දුවක්‌ ලෝක අධිකරණයේ විනිසුරු රොස්‌ලින් හිගින්ස්‌ විසින් දී තිබුණි. මේ නිසා එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ නීතිරීතිවලට පටහැනිව මහලේකම්ට ක්‍රියා කළ නොහැකියි යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මේ අනුව සිය බලතල උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීම ගැන එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයකුට එරෙහිව නඩු පවරන මුල්ම රට වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්‌වේ.

මේ අතර ලබන වසරේදී එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගේ නිල කාලය අවසන් වන අතර ඔහුට යළිත් වරක්‌ මහලේකම් ධුරයට පත්වීම වැළැක්‌වීම සඳහා රජය නොබැඳි ජාතීන්ගේ සංවිධානය සමග එක්‌ව ක්‍රියා කිරීමට තීරණය කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.