"ගෙයින් ගෙට" ගොස්‌
ඩෙංගු සොයන කඩා පනින බළකායක්‌ පිහිටුවයි

අජිත් අලහකෝන්

ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන සොයමින් රට පුරා දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ පොලිසිය ඒකාබද්ධව කඩා පනින බළකායක්‌ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

කියුබාවේ ඩෙංගු උවදුර මර්දනය කළ ඩෙංගු ප්‍රහාරක බළකාය හා සමානව කටයුතු කරන මෙම බළකාය ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන විනාශ කිරීම සඳහා ජනතාවට අගෝස්‌තු 09 වැනිදා තෙක්‌ කල් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා එකම අවස්‌ථාවකදී ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන විනාශ කිරීම සඳහා අගෝස්‌තු මස පළමු සහ දෙවැනි සඳුදා දින දෙක යොදා ගැනීම අනිවාර්ය කර ඇත. රට පුරා ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසැල් මෙන්ම නිවාසද එම දිනවලදී පවිත්‍රකිරීමේ වැඩසටහන් දියත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවධාරණය කර තිබේ.

ඩෙංගු මදුරුවන් බෝකෙරෙන ස්‌ථාන පවත්වාගෙන යැම "ජාතික අපරාධයක්‌" සේ සැලකීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ලබන මස දෙවැනි සතියේ සඳුදා දිනයෙන් පසු කඩා පනින බළකාය රට පුරා ගෙයින් ගෙට, ආයතනයෙන් ආයතනයට කඩා වැද පරීක්‍ෂා කිරීම් සිදු කරනු ඇතැයි ඉහත නිලධාරියා පැවසීය.

මෙතෙක්‌ ඩෙංගු රෝගීන් වාර්තා නොවූ මුලතිව් සහ කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ක දෙකෙන්ද පසුගිය බදාදා ඩෙංගු රෝගීන් පස්‌ දෙනෙකු සොයාගෙන ඇති අතර ඒ අනුව ඩෙංගු රෝගය මේ වනවිට මුළු ශ්‍රී ලංකාවම ආක්‍රමණය කර ඇතැයිද ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

ඩෙංගු රෝගය බෝකරන ස්‌ථාන කවරේදැයි කඩා පනින බළකාය විසින් සොයාගත් පසු එම ස්‌ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව මදුරුවන් බෝවීම පාලනය කිරීමේ පනත යටතේ දැඩි දඬුවම් ලබා දෙනු ඇත. ඒ අනුව එවැනි පුද්ගලයන් අධිකරණය හමුවට ඉදිරිපත් කර මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් දහසේ සිට පනස්‌ දහස දක්‌වා දඩ මුදලකට යටත් කෙරෙනු ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.