තෙල් හොරු ගැන මට කියන්න
නියෝජ්‍ය ඇමැති ඛනිජ තෙල් සේවකයන්ගෙන් ඉල්ලයි

ශිරාන් රණසිංහ

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව තුළ යම් අක්‍රමිකතාවක්‌ සිදු වන්නේ නම් හෝ තෙල් බවුසර්වලින් ඉන්ධන ජාවාරමේ යෙදෙන සිද්ධීන් ඇත්නම් වහාම ඒ පිළිබඳ තොරතුරු තමා වෙත ලබාදෙන ලෙස ඛනිජ තෙල් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා ඛනිජ තෙල් සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටී.

ඛනිජ තෙල් සංස්‌ථාව නිසි ක්‍රමවේදයක්‌ තුළ පවත්වාගෙන යැමටත්, දැනට සිදුවන පාඩු අවම කිරීමට ගනු ලබන පියවර සඳහා සහයෝගයක්‌ ලෙසත් මෙම තොරතුරු ලබාදෙන ලෙස ඇමැතිවරයා සියලු සේවක සේවිකාවන්ට සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සිදුවී ඇති සියලුම ගනුදෙනුවලට අදාළ ගිණුම් වාර්තා පරීක්‌ෂා කර මූල්‍ය අක්‍රමිකතා සිදුවීමට තිබෙන සියලු අවස්‌ථා අහුරාදමා ආයතනයේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යැමට වැඩපිළිවෙළක්‌ සකසා ඇතැයිද හෙතෙම කීවේය.

ඛනිජ තෙල් සංවර්ධන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ වන විටත් සංස්‌ථාවේ සිදුවූ ගනුදෙනුවලට අදාළ ගිණුම් වාර්තා ලබාදෙන ලෙස ඒ ඒ ආයතනවලට දන්වා ඇතැයි ඛනිජ තෙල් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.