ඉඩංගණී යන්ත්‍ර ප්‍රහාරය


සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය

මහියංගනය යුද සුදානමින් තිගැස්‌සී ගියේය.

මහවැලි ගංගාවෙන් එතෙර මාගම රාජ්‍යය දේශසීමාවේ සිට මෙතෙරට පැමිණිය හැකි ලොකු කුඩා සියලුම තොටුපළවල් සුනු විසුණු කොට දැමුණු අතර පුරාරක්‌ෂකයෝ නගරය පුරා තියුණු සෝදිසි මෙහෙයුම් දියත්කොට සිටියහ.

දේවානම් පියතිස්‌ස රජතුමා රජරට පාලනය කරන සමයේ මහියංගන ප්‍රදේශය පාලනය කරන ලද්දේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ උද්ධචූලාභය යුව රජු විසිනි. උද්ධචූලාභය අභාවයෙන් පසු එය ඔවුන් දෙදෙනාගේම බාල සොහොයුරා වූ මහානාග යුව රජු යටතේ පාලනය වූ ප්‍රදේශයක්‌ විය.

මහානාග යුවරජුගේ මුණුබුරු කාවන්තිස්‌ස රජුගේ රාජ්‍යය අරුණෝදයේදීම එළාර රජු විසින් පහරදී අල්ලාගන්නා ලද මහියංගනය එදා සිටම පාලනය කරන ලද්දේ ඡත්ථ විසිනි.

මහියංගනයත් තමාත් ගසට පොත්ත මෙනැයි ඡත්ථ හැමවිටම කීවේය.

වාසිය අවාසිය කුමක්‌වුවත් සිදුවීම් තම උපකල්පනයන්ට අනුව විය යුතුයෑයි කල්පනා කළ භට්‌ටාර හැර එළාරගේ මුළුමහත් යුද මණ්‌ඩලයේම විශ්වාසය වූයේ ඡත්ථ විසින් ගාමණී අබය රජුගේ සේනා මහියංගනයේදී ආපසු හරවා යවනු ඇති බවය.

,........නෑ දුෂ්ට ගාමණී ආපසු මහාගාමයට යන්නේ නෑ.......ෘ, ඡත්ථ හැම තැනකදීම වහසිබස්‌ දෙඩුවේය.

,..............මා ඔහු යවනවා උන්ගේ දිව්‍ය ලෝකයකට..........,

කීවා පමණක්‌ නොව එසේ කරනු සඳහාද ඡත්ථ සැබවින්ම වෙහෙස විය.

සතුරු සේනාංකය පෙරමුණේ භික්‌ෂූන් වහන්සේ පැමිණෙන ගුප්ත රහස අවබෝධ කොටගත් ඔහු, මහවැලි ඉවුරේ රඳවා සිටි සිහල - බොදු, දුනුවායන් වැඩි පිරිසකගෙන් සමන්විත දුනු සේනාංකය ඉවත් කළේය.

ඒ වෙනුවට තමනට බෙහෙවින් සමීපයේ පිහිටි අම්බතිත්ථ බලකොටුවේ ප්‍රධානියාවූ තිත්ථම්බ සෙනෙවියාගෙන්, මුළුමනින්ම චෝළ, ෙච්ර, පාණ්‌ඩ්‍ය දුනුවායන්ගෙන් සමන්විත දුනු සේනාංකයක්‌ ලබාගත්තේය.

දුනු සේනාංකය කැටුව අම්බතිත්ථයේ සිට මහියංගනයට පැමිණි තිත්ථම්බ, තම රාජකාරී කටයුතු අවසානයේ ඡත්ථගේ කණට කොට මෙසේ කීවේයත

,අපේ පිරිස්‌ විසින් උන් සියල්ලන් විද මරා දමනු ලබන බව සිකුරුයි, විහාර මහා දේවිය පමණක්‌ නොමරා ඉන්ට ඔබට බැරිද?,

ඡත්ථ යළිත් ගැස්‌සී ගියේය.

ඒ, තිත්ථම්බයා තුළ විහාර මහා දේවිය කෙරෙහි පවත්නා උමතු ආලය ඔහු නොදැන සිටි නිසා නොවේ, විහාර මහා දේවියද යුද සේනාංකය සමඟ පැමිණෙන්නේය යන ආරංචිය වෙන කරුණකින් ඔහු බියපත් කළ නිසාය. ඒ වෙන කරුණ තිත්ථම්බට තේරුණේ නැත.

,ඒකත් උන් කරන මෝඩකමක්‌ කියලා හිතන්න එපා.........., ඡත්ථ තිත්ථම්බගේ කුතුහලය ද සිහිනය ද බිඳ දමමින් කියා සිටියේය.

,.................අපේ කඩුගත් සිංහලයන්ගෙන් වැඩි දෙනා නාග ගෝත්‍රිකයෝ......,

,ඉතිං ?,

,ඉතිං තමයි, උන් වැඩි දෙනා හිතන්නෙ විහාර මහා දේවියත් උන්ගෙ ගෝත්‍රයේ කෙනෙක්‌ කියලා........,

උගුරේ, කටේ කෙළ සිඳි ගිය ද තිත්ථම්බ ඉක්‌මනින්ම මෙසේ ඇසුවේයත

,................නුඹ කියන්නේ විහාර මහා දේවිය බැරිවෙලාවත් යුද භූමියේ පෙනී සිටියහොත් නාගයෝ ආපසු හැරිලා අපට දෂ්ට කරාවි කියලද?,

ඊට පිළිතුරු නොදුන් ඡත්ථ කෝපයෙන් කෑගැසුවේය.

,...........භික්‌ෂූන්, පිරිත්, මව් බිසවුන්, මේ මොන විකාරද මෙහෙමත් යුද්ධකරන සිරිතක්‌ තියෙනවද ?.....,

,පහර දියයුතු අයට පහර දෙනවා විනා බැණ අඬ ගැසීමෙන් ඵලක්‌ තියෙනවද?........., තිත්ථම්බ හුදෙකලාවම කෝපගෙන හුදෙකලාවම දඟලන ඡත්ථට කීවේය.

,...............සැකනම් නාගයන් කියන වුන් අඩුකරමු............,

,ඔහොම එක එක අය අඩුකරන්න ගියොත් හොඳට තියෙයි..........., ඡත්ථ කීවේය.

,මා දෙන්නම් ඒ වෙනුවට හොඳ යක්‌ෂ කණ්‌ඩායමක්‌........., තිත්ථම්බ රහසින් මෙන් කීවේය.

,.............අපට උන්ව විශ්වාස කරන්න පුළුවන්...........,

පුඹු පරෙවියෙකු මෙන් පපුවට සුළං පුරවාගෙන නැගී සිටි ඡත්ථ, දෙතොල් දෙදරා යන වේගවත් ප්‍රශ්වාසයකින් අනතුරුව තිත්ථම්බ ඇමතුවේය.

,හැම දෙයක්‌ම කල් ඇතිව දැනගන්න ලැබෙන්නෙ අපේ වාසනාවට, මතක තබාගන්න තිත්තම්බෘ අප මහියංගනයෙන් දුෂ්ට ගාමණී හරවා නොයවනවා කියන්නේ ඔහු අනුරාධපුරයටම එනවා කියන එක...........,

*  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *

දින කීපයකට පෙර මහාගාමයෙන් පිටත්ව කප්පුකගාම, කාජරගාම ආදිය පසුකොට ගුත්තහාලකට පැමිණි ගාමණී අබයගේ සියලුම සේනාවන් දැන් බීරගාම, ජවමාලාතිත්ථ, මඡ්ජිමගාම මහිසෙද්‍ර`ණික ආදි නගර පසුකොට මහාඅම්බ්ලපිට්‌ඨියංගන නගරයට පැමිණ එහි කඳවුරුලා සිටියේය.

එතැන සිට මහියංගනයට තෙදිනක දුරක්‌ පමණකි.

හදිසි මුණගැසීමක්‌ සඳහා නන්දිමිත්‍ර, ඵුස්‌සදේව යන මහ සෙනෙවිවරුන් දෙදෙනා පැමිණ ඇතැයි රාජපුරුෂයා විශාල කූඩාරම තුළ කල්පනා ලොවක ගිලී සිටි ගාමණී අබය රජු අමතා කීවේය.

රජුගේ අවසරය පරිදි ඔවුහු නොපමාව කූඩාරම තුළට කැඳවන ලදහ.

ඵුqස්‌සදේව අත කඩපතක්‌ හෙවත් ඊයක බැඳී පැමිණි ලිපියක්‌ විය.

,දේවයිනි, අපගේ උපක්‍රම සාර්ථකයි. අපම යෑවූ පණිවිඩ නැමැති ඇම ඔවුන් ගිලලා..........., ඵුස්‌සදේව කීවේය.

,.................ඡත්ථ, පෙරමුණේ සිංහල දුනු සේනාංකය පසුපසට දමා එතැනට චෝල දුනු සේනාංකයක්‌ ආදේශ කරලා. තමන් සැකයට භාජනය වුණු පිරිසක්‌ විදිහට සිංහල දුනුවායෝ දැන් ඉන්නේ නොසන්සුන්වයි.,

නන්දිමිත්‍ර ඉතිරි තොරතුරු සම්පූර්ණ කළේය.

,...........ඒ විතරක්‌ නොවෙයි දේවයිනි, ඔවුන් නාග ගෝත්‍රික අසිග්ගාහකයින් ඉවත්කොට එතැනට යක්‌ෂ ගෝත්‍රික අසිග්ගාහකයින් පිරිසක්‌ යොදවලා, දැන් ඔවුන් ළඟ සිටින නාගයිනුත් නොසන්සුන්.........,

තම සෙනෙවියන් දෙස ඉතාම සුහදශීලි සිනාවකින් බැලූ රඡ්ජුරුවෝ, පසෙක තිබූ තම යුද සන්නාහය වෙත සෙමෙන් ගමන් කළෝය.

,ව්‍යාකූල බව, අස්‌ථිර බව, සැකය, කෙතරම් ශක්‌තිමත් යුද සේනාවක වුවත් කොඳුනාරටිය බිඳ දමනවා........, රජු කීවේය.

,යුද්ධය ආරම්භවීමටත් ප්‍රථම අපගේ යුද උපක්‍රම ජයගෙන ඇති බවයි මට පෙනෙන්නේ. යුද උපක්‍රම සතුරා ඉක්‌මනින්ම පරාජය කරනවා, සතුරා ඉක්‌මනින් පරාජය වනවිට යුද බිමේ හැලෙන රුධිරය ඉතාම අඩුයි............,

,එසේය දේවයිනි ෘ, සෙනෙවිවරු කීහ.

රජුගේ ඉල්ලීම පරිදි තම පාගමන නිමාකළ භික්‌ෂුහු යළිත් මාගමට වැඩියහ.

උන්වහන්සේ සේනාවේ පෙරමුණේ පැමිණීමේ තවත් ප්‍රතිඵලයක්‌ වශයෙන් මහත්වු ජනකායක්‌ද ගාමණී අබය සේනාවට එක්‌වී සිටියෝය.

*  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *

මහියංගනයට උපරිම යුදශක්‌තිය යොදවන ගමන්ම එළාර තම බලකොටු නගර සියල්ලේම ද ආරක්‍ෂාව තර කළේය.

ගාමණී අබය සතුව පවතින්නේ තම යුද ශක්‌තියෙන් හරි අඩකටත් වඩා අඩු යුද ශක්‌තියක්‌ බව හොඳාකාරව දැන සිටියද ඔහු තම සේනා තව තවත් තරකරනු වස්‌ දැඩි මහජන සහභාගීත්වයක්‌ ද අපේක්‍ෂා කළේය.

ඒ සඳහා අණබෙරකරුවන් දහසක්‌ විසින් දියත් කරන ලද ප්‍රචාරයෙන් කියෑවුණේ තමන්ගේ නිදහස්‌ නිවහල් රාජ්‍යය දකුණෙන් පැමිණෙන දුෂ්ට ගාමණී නමැත්තෙකුගේ ආක්‍රමණයකට ඉලක්‌කවී ඇති බවය.

භට්‌ටාර ඇතුළු සියල්ලන් සිතූ පරිදිම මේ ප්‍රචාරය ඵල නොදැරුවේ නොවේ.

ඒ සාර්ථකභාවයට හේතුව වූයේ රටේ ඉතිහාසය නොදැන සිටි මිනිසුන් විශාල පිරිසක්‌ රජරට රාජ්‍යයේ වූ නිසා පමණක්‌ නොවේ, ඉතිහාසය දැන සිටිය ද ඒ පිළිබඳව කරදර වනවාට වඩා ගොවිතැනක්‌, වෙළහෙළඳාමක්‌ කරමින් ගතකරන සාමකාමී ජීවිතය බොහෝ දෙනා විසින් වඩාත් අගය කරනු ලැබූ නිසා ද වේ.

අතීතය මත පදනම්ව අනාගතය පිළිබඳව සිතීමේ පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම බැහැර කරන ලද මේ මිනිසුන් සතුටින් ද ප්‍රමෝදයෙන් ද තබනු පිණිස අනුරාධපුර මහා නගරය දිවා රෑ අවදිව සිටියේය.

නාවුක වෙළෙඳාමේ පැමිණි යවන හෝ රෝම හෝ වෙළෙඳුන් අතර සිටි පඬිවරයෙක්‌ අනුරාධපුර රාත්‍රිය ප්‍රමෝදයේ රාත්‍රිය යෑයි කෑගසා කීවේ වැඩිවශයෙන් මත්වීමෙන්ම නොවේ.

මීතෙල් පහන්වලින් ද, කීල පන්දම් දහස්‌ ගණනකින් ද ආලෝකවත් වූ රාත්‍රි නගරයේ ඇතැම් වෙළෙඳ සැල් මැණික්‌ ඔබ්බවා කළ පහන්වලින් හෙවත් මණිප්‍රදීප වලින් ද අලංකාර විය.

නිතර නිතර පැවැත්වුණු සැණකෙළිවලින්ද, සූදු ක්‍රීඩා මණ්‌ඩප වලින් ද සමන්විත වූ නගරයේ ඉතා ප්‍රකට නගර සෝභනියෝ ද වූහ. රජරට රාජ්‍ය සභාවේ ප්‍රභූන්ට ගෞරවයක්‌ එක්‌කරමින් ඔවුන් සමඟ නිතර නිතර සබඳතා පැවැත්වූ මේ නගර සෝභනියක්‌ මිලදී ගැනීම විදේශ වෙළෙඳුනට පවා අසීරු කරුණක්‌ වූ බව කියනු ලැබේ.

යම් වීථියකට යාබදව පිහිටි ඇතැම් නගර සෝභනියකගේ මන්දිරයේ කවුළු පොහොරු අසල ඇයගේ කාමරාවයට සවන් දෙන්නන් ද

දැකිය හැකිවූ අතර ඒ සඳහා මුදල් අය කරන පණ්‌ඩකයෝ ද බොහෝ සිටියහ.

තතු එසේ තිබියදී විටින්විට නගරය තුළ සැරිසරමින් මිනිසුන්ට දේශනා පවත්වන දාර්ශණිකයෝ පිරිසක්‌ද වූහ.

සත්ත්ව ලෝමයෙන් සකස්‌ කෙරුණු දිග කම්බිලියකින් හෝ ගෙල පටන් හිස්‌ මුදුන දක්‌වා වැසෙන සේ පොරවාගත් ගලකංචුකයකින් හෝ සැරසුණු මේ දාර්ශණිකයෝ මිනිසුන් පස්‌කම් සැපයෙහි ඇලීමට දක්‌වන මද හෝ චකිතය සීඝ්‍රයෙන් දුරු කළෝය.

සත්ත්වයා සකස්‌වී ඇත්තේ සතර මහා භූතයන්ගෙන් බව ඔවුහු ඉතා ශාස්‌ත්‍රියව විස්‌තර කළෝය. සත්ත්වයා හොඳින් කාබී ජීවත්වී

මරණයට පත්වූ පසු මේ සතර මහා භූතයෝ බාහිර ලෝකයේ පවත්නා සතර මහා භූතයන්ටම එකතුවෙති. ශරීරය ආදාහනය කළ පසු සියල්ල නිමය. පිනක්‌ හෝ පවක්‌ හෝ කියා දෙයක්‌ නැත. ඇත්තේ ක්‍රියාවන් පමණකි. එහෙයින්, හොඳින් කාබී විනෝදයෙන් ජීවත්වීම හැර වෙනත් දෙයක්‌ නැත යන්න ඔවුන්ගේ ජීවන දර්ශනය විය.

බොහෝ අනුරාධපුර සිංහල වැස්‌සන් සේම, විශේෂයෙන් එහි පිටත නුවර බොහෝ වෙළෙඳ සැල් හිමිව සිටි වලංජියාර්, කයිකෝලාර්, නානාදේශියර් වැනි චෝළ දේශයෙන් මෙහි පැමිණ පැල පදියම් වූ විවිධ වෙළෙඳ ශ්‍රේණිවලට අයත්වූවන්ද මේ දර්ශනයේ උග්‍ර බැතිමතුන් වුහ.

තපස්‌ දහමක්‌ අදහන දකුණේ දුෂ්ට ආක්‍රමණිකයාගෙන් මේ ඉසුරු බර නගරයත් රාජ්‍යයත් ආරක්‍ෂාකර ගැනීමට එක්‌වන්නැයි එළාර නැගූ හඬට මේ සියල්ලෝම එකපැහැර සවන්දුන්හ. ඒ අනුව නගරයේ වෙළෙඳ ආධිපත්‍යය හිමිව සිටි සිටි චෝළ, ෙච්ර, පාණ්‌ඩ්‍ය සිංහල කලභ්‍ර සිටුවරු තම ධනබලයද, පිරිස්‌ බලයද නොමසුරුව එළාරට පිරිනැමූහ.

එළාර එපමණකින් නතර වූයේ නොවේ, යම් හදිසි තත්ත්වයකදී තමන්ගේ සහායට චෝළ සේනාවක්‌ එවීමට සුදානමින් සිටින ලෙස දන්වා ඔහු චෝළ මණ්‌ඩලය වෙතට දුතයකුද යෑවුවේය. තම සෙනෙවි දීඝජන්තුගේ දියණිය විවාහවී සිටි භල්ලුක, චෝළ රජුගේ මහ සෙනෙවියකු වී සිටීම එළාරට මේ කරුණ වඩාත් පහසු කළේය.

කුමන සිදුවීම් සහ තත්ත්වයන් අලුතින් නිර්මාණයව පැවතියද තමා මෙම යුද්ධයට සුදානම් වූයේ සාළිස්‌ වසරකට පෙර සිට බව එළාරට මතකය.

එහෙත්, පසුගිය කාලයටම කිසිවෙක්‌ ඔහු සමඟ යුද්ධයට පැමිණියේ නැත. එසේ වුවද ඔහුට හෝ ඔහුගේ රාජ්‍යයට හෝ ඔහුගේ හදවතට හෝ ඒ මුළු කාලයටම සාමයක්‌ පැවතියේද නැත. යුද්ධයත් නැති සාමයත් නැති ඒ දීර්ඝ අරුම පුදුම කාලපරිච්ඡේදයේ ආරම්භකයා සේම අවසානයාද වූයේ කාවන්තිස්‌සය.

දැන් කාවන්තිස්‌ස නැත. යුද්ධය රැගෙන ඔහු පුත් ගාමණී පැමිණ සිටියි.

එහෙත්, ඔහු පැමිණ සිටින්නේ සාළිස්‌ වසරක්‌ මුළුල්ලේ තමා විසින් තමාට අවශ්‍ය ආකාරයට සකසන ලද යුද පිටියකට බව ඔහු නොදනී. මේ යුද පිටියේ ගසක්‌ පඳුරක්‌ පමණක්‌ නොව ඒ හරහා හමා යන සුළඟද තම පාලනයට යටත්ය. දිවාකල චණ්‌ඩ හිරු රශ්මියද, රාත්‍රි කාලයේ සීතල සඳ එළියද තම පාලනයට යටත්ය.

ඉතා දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ තමන්ට අවශ්‍ය ආකාරයට සිතන්නට පුරුදු පුහුණු කළ මිනිසුන් ගාමණී අබයගේ සිතිවිලි වටහා නොගනු ඇත. ඔහු තමන්ට අවශ්‍ය ආකාරයට තමන් කැමති විලාසයටම පැමිණ මහියංගනයේදී කොටුවනු ඇත. යම් දක්‌ෂතාවක්‌ තිබේනම් පමණක්‌ පැරදී ආපසු හැරී පළායනු ඇත. ,පළායන්නා ලුහුබැඳ පහර දෙනු, යෑයි එළාර ඡත්ථට කල්ඇතිවම නියෝග කොට තිබුණේය.

මේ සියල්ල හිර පායන්නා සේ නිසැකව සිදුවීමට නියමිතව තිබුණද, ගාමණී අබය තම සේනා පෙරමුණේ, භික්‍ෂූන් රැගෙන පැමිණීම ඔහු මඳක්‌ අවුල් කරන්නක්‌ විය. ඡත්ථ එවූ හසුනේ ඔහු සඳහන් කළ කරුණු එහෙම පිටින්ම පිළිගත් එළාර මහියංගන සේනාංකවල හදිසි ඕනෑම වෙනසක්‌ කිරීමේ අවසරය ඡත්ථට පිරිනමා තිබුණේය.

එහෙත්, උපක්‍රමිකව තමා පරාජයට පත්ව තිබූ බව වටහාගන්නට එළාර දෙසතියක්‌වත් ගත කළ යුතුව තිබිණි.

*  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *  *

එළාරටත් ඡත්ථටත් අවශ්‍ය වෙලාවටම, අවශ්‍ය යුදරේඛා දිගේ පැමිණි ඵුස්‌සදේවගේ සහ කංචදේවගේ සේනාංකයෝ, දිග ප්‍රාකාරයක්‌ පරිද්දෙන්, තම රවුම් හැඩැති පළිස්‌වලට ආවරණය වී මාගම රාජ්‍ය සීමාව පැත්තෙන් මහවැලි ගං දෑල දිගේ සිටගත්හ. වඩා ශූර ප්‍රහාරකයෝ ඔවුනට මුවාව ප්‍රහාරයට සුදානම්ව සිටියහ.

ගංදෑල එහා පැත්තේ සිට ප්‍රථම හීසර ප්‍රහාරය එවූ චෝල දුනුවායෝ ගඟ මෙහා පැත්තේ කිසිවකුත් නසන්නට අසමත් වූවා පමණක්‌ නොව ඔqවුන්ට මුවාවී සිටි ඵුස්‌සදේවගේ දුනුවායන්ගේ පිළිතුරු දුනු සරයෙන් යම් ප්‍රමාණයක විපතකටද පත්වූහ.

ඊට බොහෝ මෙහායින් තම සේනාංක සමඟ රැඳී සිටින ගාමණි අබය ඇතුළු යුද නායකයන්ට තම ඉදිරිපෙළ ප්‍රථම ප්‍රීතිඝෝෂාව ඇසිණි.

එහෙත්, ඒ මොහොතකට පමණක්‌ විය.

ඛානු නමැති චෝළ සෙනෙවියා විසින් මෙහෙයවන ලද ඉඩංගණි ප්‍රහාරයෙන් මාගම

දුනු සේනාංකයේ විශාල පිරිසක්‌ තැන් තැන්වල ඇද වැටුණහ.

ඉඩංගණී යනු, ඉතා ඈතට තරමක්‌ ලොකු ගල් විදීම සඳහා නිපදවන ලද යන්ත්‍රයකි.

ඡත්ථ මේවා කෙතරම් රහසිගත ලෙස නිපදවා සඟවා තබන ලද්දේද යත් මාගම සේනාවෝ මෙවැන්නක්‌ පිළිබඳව ආරංචි මාත්‍රයක්‌වත් නොදැන සිටියහ.

වේගවත් ගල් ප්‍රහාරවලින් බිඳ වැටුණු පළිස්‌ ප්‍රාකාරය අතහැර මාගම යුද සෙබළු ඒ මේ අත දිවගිය අතර චෝළ දුනුවායෝ ඊසර වර්ෂාවකින් එසේ දිවයන්නන් විද බිම හෙලුහ.

එහෙත්, පසුබසිනු වෙනුවට ඵුස්‌සදේවගේ ඉතිරි දුනුවායෝ ගස්‌වලට මුවා වෙමින් නොකඩවාම තම ප්‍රතිප්‍රහාර එල්ල කළෝය.

ඉතාම අවාසිදායක තත්ත්වයක්‌ යටතේ වුවත් පසුනොබැස සටන්කිරීමට ඵුස්‌සදේව සහ කංචදේව ගත් තීරණය වේගයෙන් ගංඉවුරට ළඟාවන භරණ සහ මහාසෝණ සෙනෙවියන්ගේ පහුරු සේනාංකවලටද මහත් අයහපත් බලපෑමක්‌ කළේය.

ඉඩංගණී යන්ත්‍රවල ගල්ප්‍රහාර නතරව තිබුණද (මේවාට ඊළඟ ප්‍රහාරයට සූදානම් වීමට තරමක්‌ වේලා ගතවේ) නොකඩවා එල්ලවන හී වරුසා මැඳින් භරණ සහ මහාසෝණ සේනාවෝ මහවැලි ගඟ තරණය කිරීමට උත්සාහ කළෝය.

එහෙත්, එය ඉතාම අසාර්ථක උත්සාහයක්‌ විය.

,සේනාව රැගෙන පසුබසිනු ෘ,

වනවදුලට මුවාවෙමින් අසුපිටින් හැල්මේ පැමිණි නන්දිමිත්‍ර කෑගැසුවේය.

කෝපයෙන් සහ ලඡ්ජාවෙන් පරිපීඩිතව නොකඩවා දුනුදිය අදිමින් සිටි ඵුස්‌සදේවට එය ඇසුණේ නැත.

නන්දිමිත්‍ර තම ජීවිත අවදානමද නොතකා අසුපිටින් බැස ඵුස්‌සදේව සිටින ඉසව්වට දිව ගියේය.

,සේනාව රැගෙන පසුබසිනු ෘ,

මෙවර ඔහු කෑගැසුවේ යටිගිරියෙනි.

වේගයෙන් පැමිණෙන හී ආවරණය කෙරෙන පළිස්‌ දෙකක්‌ද සහිතව ඵුස්‌සදේව තමා මුවාවී සිටි තැනින් මෑත්ව ගං ඉවුරට දිව ගියේය.

,භරණ ආපසු එනු ෘ,

ඵුස්‌සදේව කෑගසුවේය.

එහෙත්, ඔවුන් පමාවූවා වැඩිය, මෙවර ඉඩංගණී ප්‍රහාරය එල්ලවෙමින් තිබුණේ භරණගේ සහ මහාසෝණගේ පාරුවලටය.

වේගවත් ගල් ප්‍රහාර වැදීමෙන් පාරු ගණනාවක්‌ පෙරළී ගිය අතර පණබේරා ගැනීම සඳහා පිහිනා යන්නන් ශරවේධීන් නමින් හඳුන්වන නිවැරදි ඉලක්‌කයටම ඊසරය යවන ධනුර්ධයන්ගේ ප්‍රහාරයට ලක්‌වූවෝය.

ලබන සතියේ තවක්‌ කොටසක්‌

ජයන්ත චන්ද්‍රසිරි


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.