ඇසිදිසි මානය
නිකන් මැරෙන්නේ මොකටද?

ඩෙංගු යන වචනය ඇසුණු විට සමාජයේ බොහෝ දෙනෙකු තුළ මඳ තිගැස්‌මක්‌ ඇතිවේ. නමුත් ඊළඟ මොහොතේ ඔවුහු ඩෙංගු අමතක කර දමති. ඩෙංගු මරණ රූපවාහිනි නාලිකාවලින් දකින විට අපි ශෝක වෙමු.

මෙතෙක්‌ අපට ඩෙංගු වැළඳී නැහැ. නොවේ දැයි අනතුරුව සංතෝෂ වන්නෙමු.

අපේ අල්ලපු ගෙදර අයෙක්‌ ඩෙංගු උණෙන් මිය ගියා. නමුත් අපට ඩෙංගු වැළඳී නැතැයි අපි සංතෝෂ වන්නෙමු. සිය සිරුරට ඇතුළු වන විෂබීජය මර්දනය කරගත නොහැකි සෞඛ්‍යයෙන් හීන පුද්ගලයෙක්‌ නම් ඩෙංගුවලින් මියයයි.

ඉතා කුඩා දරුවන් තරුණ වයසේ ළමයි, එලෙස මිය යති.

ඒ නිසා ඩෙංගුවලින් මිය යන්නේ කවුරුන්දැයි කියන්නට කවුරුවත් නොදනිති. පසුගියදා ඩෙංගු උණෙන් වටිනා වෛද්‍යවරියක්‌ ද මියගියාය.

වෛද්‍යවරියක්‌ වූ ඇයට ද ඩෙංගු වළක්‌වා ගත නොහැකි විය.

ඒ ඇයි?

ඩෙංගු උණට ප්‍රතිජීවක ඖෂධයක්‌ තවමත් සොයා ගෙන නැත. වාසනාවකට මෙන් සිය සිරුරට ඇතුළු වූ ඩෙංගු කාරක විෂබීජයට ඔරොත්තු දීමට තරම් ශක්‌තියක්‌ ඇත්තෙකු ඩෙංගු උණ සෑදී නමුත් මිය නොගොස්‌ ජීවත් විය හැක.

නමුත් ඩෙංගුවලින් මිය යන ඊළඟ තැනැත්තා ඔබ විය හැක.

අප මිය යන්නේ හෘදයාබාධයකින් හෝ හදිසි රිය අනතුරකින් නම් හිත හදාගත හැක. එය වැළැක්‌විය නොහැක්‌කකි. නමුත් ඩෙංගු හැදී මිය යන්නේ මදුරුවකු නිසාය. විනාශ කළ හැකි කුඩා සතෙකු නිසාය. මදුරුවෙකු නිසා අපි මිය යන්නේ කුමටද? ලෝකයේ බොහෝ රටවල මදුරුවන් නැත. ඒ රටවල ඩෙංගුවලින් මිනිසුන් මියයන්නේ ද නැත. බොහෝ කර්ම සහ විපත්තීන් සිදු වන්නේ දුප්පත් රටවල වෙසෙන අපටමය.

කියුබාවෙන් බෙහෙත් ගෙන්වා මදුරුවන් සමූලඝාතනය කරන බැව් කීවේ හිටපු තවමත් ඇමැතිකම් දරන නිමල් සිරිපාලද සිල්වා මහතාය. වැඩේ කෙරුණේ නැත.

නමුත් කියුබානු මදුරු බැක්‌ටීරියාව ගැහුවොත් මදුරුවන් පමණක්‌ නොව පරිසරයේ පැවැත්මට අවශ්‍ය අනෙකුත් ක්‍ෂුද්‍ර ජීවී සතුන්ද විනාශ වේ යෑයි. ඉහළම නිලධාරීහු පිරිසක්‌ ඊට අකැමැත්ත පළ කොට තිබේ. මදුරුවන් නැසීමේ බැක්‌ටීරියාවක්‌ නිෂ්පාදනය කළ සෞඛ්‍ය අමාත්‍යංශයේම පර්යේෂකයන් ගැන රූපවාහිනි ප්‍රවෘත්ති වලින් පෙන්වනු ලැබීය.

නමුත් ඔවුන්ගේ කැපවීම්වලට කිසිදු තැනක්‌ ලැබී නැත.

තවමත් ඩෙංගු මදුරුවන් සිටී. ඩෙංගුවලින් මිනිසුන් මිය යමින් සිටී.

එසේනම් අපට ඉතිරිව ඇත්තේ මදුරුවන් බෝවීම වළක්‌වා ගැනීමය.

ඩෙංගු මදුරු ගැහැනු සතෙකුට බිත්තර දහසක්‌ දැමීමට මෙගා බීම බෝතල මූඩියක රැඳෙන වතුර ස්‌වල්පය ප්‍රමාණවත්ය. අප අපේ ගෙදර විසි කරන බෝතල් මූඩි යෝගට්‌ කෝප්ප, පොල්කටු තැඹිලි කෝම්බ, ඩෙංගු මදුරුවාට උත්පාදනයට හොඳම තැනය.

අප කළ යුත්තේ අපේ අසල්වැසියෙකු ඩෙංගුවලින් මියගිය කල ආණ්‌ඩුවට බැණ බැණ සිටීම නොවේ.

අපේ ගේ පිටුපසත්, පාර අයිනේ කුණු ගොඩවල්වල දමා තිබෙන හිස්‌ භාජන, ප්ලාස්‌ටික්‌ බෝතල් යෝගට්‌ කෝප්ප, විනාශ කර දැමීමය.

පසුගිය දාක පානදුර ප්‍රදේශයේ මදුරුවන් බෝවීම වැළැක්‌වීමේ උපදේශන ව්‍යාපෘතියකට ගිය වෛද්‍යවරයෙකු සහ වෛද්‍යවරියක ආපසු පැමිණියේ මහත් කල කිරීමෙනි. ගෙයින් ගෙට යමින් මල් පෝච්චි, කුණු ගොඩවල් පිරික්‌සූ වෛද්‍යවරයා සහ වෛද්‍යවරිය නිවැසියන්ට පෙනුණේ කරදරයක්‌ ලෙසිනි.

රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය මදුරුවන් බෝවීමට ඉඩහැරි ඉඩම් හතරක අයිතිකරුවන්ට අත්හිටුවූ සිරදඩුවම් දෙනු ලැබීය.

ඉතා හොඳ අධිකරණ නියෝගයකි.

වළක්‌වා ගත හැකි දෙයක්‌ වළක්‌වා නොගෙන අප නිකරුණේ මිය යන්නේ කුමටද?

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.