දුවෙ ඔබෙ නමට වෑහේ උණු කදුළු කැට

චූටි දුවේ, ඔයාට ඔයාගෙ උපන්දිනේ දවසට ගෙදර එන්න වෙන්නෙ නැහැ. ඩෙංගු රෝගය වැළඳුනු ළමයි දහයක්‌ විතර වාට්‌ටුවෙ ඉන්න නිසා කිව්වම මම හිත හදා ගත්තා. ඔයා ඔයාගෙ ජීවිතේටත් වඩා රෝගීන්ගෙ ජීවිත පිළිබඳ සැලකිලිමත් වෙනව කියල දන්න නිසා මට එහෙම හිත හදා ගන්න පුළුවන් වුණා... නමුත්.... පැටියෝ ඔයා ඩෙංගු උණ හැදිල අපි හැමෝම අතහැරල ගියා කියල කොහොම පිළිගන්නද?

දොස්‌තර නෝන කෙනෙක්‌ වෙලා අම්මට බෙහෙත් දෙනව කියල ඔයා පොඩි කාලෙ හුරතලේට කියන කොට පසු කාලෙක ඔයාගෙ ඒ සිහිනය සැබෑ වෙන කොට මට ඇති වුණු සතුට කියන්නත් බැරි තරම් දුවේ. මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම අම්ම මම වෙන්න ඇති කියල ඒ වෙලාවෙ මට හිතුණා.

ඒත්.... ඒ සතුට අද මගෙන් උදුර ගෙන ගිහිල්ල. දිව්‍ය ලෝකෙ කුමාරිකාවො ඇවිල්ල මටත් හොරෙන් ඔයා එක්‌කගෙන ගිහිල්ල. ඔයත් දිව්‍ය ලෝකෙ සුරංගනාවියක්‌ වෙලා තමයි දුවේ මගේ කුසෙන් උපදින්න ඇත්තෙ.

තංගල්ල, විතාරන්දෙනිය, කුඩා බැදිගම පිපුණු මලක්‌ කියලයි ඔයා ගැන දන්න හැමෝම කිව්වෙ. අනේ පැටියො ඔයා කොහොමද ඒ වෙලාවට ආඩම්බර නොවී හිටියෙ. මට නං හැම වෙලාවෙම ඔයා ගැන ආඩම්බරයි පැටියො.

තාත්තත් මමත් ඔයාල තුන් දෙනා සමගියෙන් ඉන්නව දැකල පුදුම සතුටකිනුයි හිටියෙ. දෙමාපියො වුණාම සැනසෙන්න තියෙන්නෙ දැරවන් හොඳින් හැදුව කියල. ඒ සතුට ඔයාල තුන් දෙනා අපට දුන්න.

ඩොක්‌ටර්, නදීකා ලක්‌මාලි විඡේනායක (32), හැමෝම ඔයා ගැන කතා කරනවා. ඔයාගෙ හොඳ කියනවා. ඒවා අහගෙන ඉඳල ඔයා ලැබුවෙ අහිංසක සතුටක්‌. ඒ වෙලාවට ඔයාට වැඩියෙන් මමයි සතුටු වුණේ පුතේ.

දුවේ ඔයාගෙ අක්‌ක ඉන්දු (35) ඔයාට ගොඩක්‌ ආදරෙයි. මල්ලි ඩිලානුත් එහෙමයි. ඔයාල තුන් දෙනා එකතු වුණාම පොඩි කාලෙ වගේ දඟ කරන කොට තාත්තයි මමයි පැත්තකට වෙලා හිනා වෙනව. ඔයාල ගැන කතා කරන වෙලාවට තාත්ත මට කිව්වෙ අපට සැනසීමෙන් මැරෙන්න පුළුවන් කියල. අනේ පැටියෝ අපට කලින් ඔයා ඇයි ඉක්‌මන් වුණේ.

ඔයා ඉගෙන ගත්ත මොදරවාන මහා විද්‍යාලයත්, මුල්කිරිගල මහ විද්‍යාලයත්, 5 ශ්‍රෝණියෙ ඉඳල ඉගෙන ගත්ත වීරකැටිය රාජපක්‌ෂ ජාතික පාසලත් ඔයාගෙ නමින් අද අඬනව. ඔයාගෙ ගුරුවරුන්ට, යහළු යෙහෙළියන්ට ඔයා නැති අඩුව ගොඩක්‌ දැනෙනව.

දුවේ ඔයා 2000 වසරෙ උසස්‌ පෙළ ලියල වෛද්‍ය විද්‍යාලයට තේරුණු දවස මට අද වගේ මතකයි. එතකොට ඔයාගෙ අක්‌ක වැඩ කළේ කරාපිටිය මහ රෝහලේ. කරාපිටිය වෛද්‍ය විද්‍යාලෙ ඉගෙන ගන්න කොට ඔයා අක්‌කත් එක්‌ක එක බෝඩිමක නැවතිලා හිටියෙ. ඒ දවස්‌වල ඔයා කැම්පස්‌ එකේදි සිදුවෙච්ච දේවල් අක්‌කට කිව්ව මතකද? අක්‌ක ඒවා මාත් එක්‌ක කිය කියා හිනා වුණා. සමහර දවසට ඔයා රෑට පාඩම් කරල එහෙමම මේසයට ඔළුව තියාගෙන නිදාගන්නව දැකල දුක හිතුණා කියලත් අක්‌ක මට කිව්ව.

ඔයා ඒ දවස්‌වල ශ්‍රී සරණංකර දහම් පාසලේ ඉගෙන ගන්න යනකොට, කුඩා බැදිගම සුදර්ශනාරාම දහම් පාසලට උගන්වන්න යන කොට ඔයා හරිම ලස්‌සනයි. ඔයා සුදු නිසා සුදු ඇඳුමට ඔයා හරිම ලස්‌සනයි. මං බලාගෙන හිටිය ඔයා කණ්‌නාඩිය ඉස්‌සරහට ගිහිල්ල හැඩ බල බල හිනා වෙන කොට.

වෛද්‍ය විද්‍යාලයෙන් පිට වෙලා සීමාවාසික වෛද්‍යවරියක්‌ විදියට ඔයා කළුබෝවිල ශික්‌ෂණ රෝහලට ගිය දවස්‌වල අසරණ රෝගීන් පිළිබඳ ගොඩාක්‌ අනුකම්පාවෙන් කතා කරපුව මට අද වගේ මතකයි. ඊට පස්‌සෙ ඔයා බදුල්ල මහ රෝහලට ගියෙ 2008 මාර්තු මාසෙ 4 වෙනිදා පුරුදු විදියට අපේ දෙපා නමැදල එදා ඔයා යන කොට මගේ ඇස්‌දෙකෙන් කඳුළු ආව පැටියො. ඔයා පොඩි කාලෙ ඉඳලම වෛද්‍යවරියක්‌ වෙන්න මැවූ සිහින අද සැබෑ වුණා නේද කියල.

ඔයා සේවය කළ බදුල්ල මහ රෝහලේ දෙවැනි වාට්‌ටුවෙ ළමයි ඔයාගෙ මුහුණ දකින්න පවා ආසාවෙන් සිටි බව මම දන්නව. "මගේ යාළු ඇන්ටි" එනව කියල ඒ දරුවන් ඔයාට කියනව කියලා ඔයා ඒ දවස්‌වල මට කිව්ව. මං දන්නව ඔයා අක්‌කගෙ දරුවන් දෙන්නට වගේම ඒ දරුවන්ටත් ආදරේ බව. ඔයා නිවාඩුවට අක්‌කලගෙ ගෙදර ගියාම "පුංචි අම්ම" කිය කියා ඒ දරුවන් එනකොට, ඔයා ඒ අය සමඟ සෙල්ලම් කරන හැටි අක්‌ක මට හැමදාම කියනව.

ඔයාගෙ උපන් දිනේ යෙදිල තිබුණා පසුගිය ජූලි 5 වැනි දා එදාට වැඩට යන්න ලස්‌සන සාරියක්‌ අරගෙන ඒක කලින් දවසෙ මැදල තිබ්බ කියල ඔයා අක්‌කට කිව්ව නේද? අනේ පැටියො ඔයා ඒ සාරිය ඇඳල ඉන්නව දකින්න අපි පිං කරල නැහැ පැටියො.

උණ රෝගය වැළඳිලා ඔයා බදුල්ල මහ රෝහලේ දෙකේ වාට්‌ටුවට ඇතුළත් කළා කියල දැනගත්ත ගමන්ම අපි රෝහලට ගියා. ඔයාගෙ අක්‌කත් මං ළඟින්ම සිටියා. ඔයා ඒ වෙලාවෙත් මට කරදරයක්‌ වෙනවට අමාරුවෙන් හරි සතුටින් ඉන්න උත්සාහ කරනව මම දැන ගත්ත පැටියො. ඔයා සේවය කරන රෝහලේම රෝගියෙකු වෙලා ඉන්න කොට ඔයාට සැලකුවෙ තම වාට්‌ටුවෙ සිටිය සුළු සේවකයො විතරයි. අනෙකුත් වෛද්‍යවරු ඇතුළු බොහෝ අය ඔයා ගැන ඕනෑකමින් සොයා බැලුව නම් ඔයා තාමත් අපි අතරම ඉන්නවා. ඩෙංගු උණ නිසා රුධිර පට්‌ටිකා එන්න එන්නම අඩු වෙන කොටවත් ඔයාව දැඩි සත්කාර ඒකකයට යොමු කරන්න ඒ වාට්‌ටුවෙ අය කටයුතු කළේ නැහැ. ඔයා ඒ වෙලාවෙ හිටියෙ පුදුම දුකකින් කියල මම දන්නව. ඔයාට අසාධ්‍ය වෙලා 7 වැනිදා හවස ඔයා දැඩි සත්කාර ඒකකයට ගත්තෙත් වෙනත් වාට්‌ටුවල සිටි වෛද්‍යවරුන්ගෙ වුවමනාවෙන්. ඕව දැන ගෙන ඔයා කඳුළු සලපු හැටි දැක්‌කම මගේ හදවත පැළෙන්න වගේ පැටියො.

දැඩි සත්කාර ඒකකයේදී ඔයා බේරා ගන්න ඒ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලය ගත්ත උත්සාහය ඉතා උතුම්. නමුත් අවාසනාවකට ඒ වනවිට ඔයා සිය ජීවිතයෙන් සමුගන්න තීරණය කරලා.

මගේ ජීවිතේම දුක්‌බර දවස පසු ගිය ජුලි 11 වැනිදා පුතේ. එදා සවස ඔයා අපි හැමෝම අතහැරල ගියා කියල දැන ගත්තම මම මුළු ලෝකෙටම හඬගාල ඔයා ගෙනත් දෙන්න කිව්වා. අනේ... පැටියෝ ඔයා ඇයි මෙච්චරම ඉක්‌මන් වුණේ....?

ඔයා ළඟදිම මනාලියක්‌ වෙලා සුදු සාරියකින් සැරසිලා ඉන්නව දකින්න මගේ හිතේ තිබුණු සිහිනය අද හොරු අරගෙන ගිහිල්ල. ඔයා ඒ වගේ සැරසිලා ගෙදර ආවෙ යළි නොඑන්නටම යන්න. අනේ රත්තරං පැටියෝ උඹේ අම්මට මේ දුක වාව ගන්න බැහැ. මුළු සංසාරෙම මගේ කුස උඹ වෙනුවෙන් පෙරුම් පුරාවි. චූටි දුවේ ගිහිං එන්න....

මම ඔයාගෙ අම්මා
දෙනගම ධම්මික රණවීර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.