ලිංගික වහල් සේවයෙන් දැරියන් මුදාගත් සෝමාලි මාම්

ඒ 2006 වසරයි. ටොරිනෝහි පැවති ඔලිම්පික්‌ උළෙල නැරඹීමට විශාල ජනකායක්‌ පැමිණ සිටියහ. ඔලිම්පික්‌ ධජය පෙරටු කොට ගත් ආචාර පෙළපාලිය ඉදිරියට ඇදෙමින් තිබිණි. ඔලිම්පික්‌ ධජය රැගෙන ගියේ රුවැති තරුණ කාන්තාවකි. ඈ දෙස බොහෝ දෙනෙකුගේ ඇස යොමු වුණා. ඇය කෙබඳු ක්‍රීඩා ඉසව්වක්‌ දරන්නේ දැයි එතන සිටි අය කතා කළා.

ඉතා ප්‍රාණවත් ලෙස දෙපා ඉදිරියට තබමින් සෘජු සිරුරින් හා තෙදවන් ගමනින් එසේ ඔලිම්පික්‌ ධජය රැගෙන ගියේ සෝමාලි මාම්ය. සෝමාලි මාම් කිසිම ක්‍රීඩා ඉසව්වකට අයත් වූ අයෙකු නොවෙයි. එහෙත් ඇයට මේසා මහත් ගෞරවයක්‌ අත් වූයේ කුමන හේතුවක්‌ නිසාදැයි එහි සිටි ඇතැම් අය හොඳින් දැන සිටියහ.

සෝමාලි මාම් කාබ්බෝජියාවේ නමින් හැඳින්වූ සෝමාලි පදනමේ සභාපතිනියයි. ඇය මෙම සංවිධානය ගොඩනගා ඇත්තේ කාම්බෝජියාවේ හා ආසන්න රටවල මහත් ව්‍යාධියක්‌ වූ ළාබාල දැරියන් ලිංගික වහල් සේවය සඳහා අලෙවි කිරීමේ අමානුෂික ජාවාරමට එරෙහිවයි.

ඒ සඳහා ඇයට බොහෝ හේතු තිබුණා. දැන් මෙහෙම හිටියට සෝමාලි කාම්බෝජියාවේ මොන්ඩුකිරි ප්‍රාන්තයේ ඉතා දුගී පවුලක දැරියක්‌.

ලාබාල වියේදීම ලිංගික වහල් සේවයේ ගොදුරක්‌ වූ ඇය එයින් ලැබූ අතෝරයන් අප්‍රමාණයි ඉතා දුක්‌ත අඳුරු රැයක්‌ වූ ඇගේ ළමා කාලය ඇයට ලබා දුන් අත්දැකීම් ළමයකුට දරා ගත නොහැකි තරම්.

එය ආරම්භ වූයේ ඇගේ දොළොස්‌ වන වියේදී පමණ. ඇය කොතරම් අපිළිවෙළ සහිත ජීවිතයක්‌ ගත කළාද යත් තමාගේ නම ගම දෙමාපියන් කවුද යන වග වත් දැන සිටියේ නැහැ. ඇයට තබා තිබූ නමත් සමාජය විසින් ඇයට පවරා දුන් අන්වර්ථ නාමයක්‌. සෝමාලි යන්නෙහි අරුත වූයේ මැලවුණු මල්දම යන්නයි.

සෝමාලිගේ පවුලේ උදවියට දුප්පත්කමේ ප්‍රපාතයෙන් ගොඩවීමට තිබූ අවස්‌ථාව තිබුණේ ඉතා සීමිතවයි. ඒ සඳහා ඇගේ අදහස වූයේ වින්නඹුවක වීමටයි. එහෙත් ඒ වෙනුවට ඇයට යැමට සිදු වූයේ පතුල නොපෙනෙන තරම් ගැඹුරු අගාධයක්‌ වෙතටයි. ඇය රැවටූ ඇගේ ළඟම ඥතියකු විසින් ඇය ගණිකා නිවසකට විකුණනු ලැබුවා.

එතැන් පටන් අවුරුදු 10 ක කාලයක්‌ ඇය ගත කළේ ඉතා කටුක දුක්‌ත ජීවිතයක්‌. මිනිසුන් සමග ලිංගිකව හැසිරීමට ඇයට බලකරනු ලැබුවා.

තම වයසේ තවත් දැරියන් රාශියක්‌ එම ගණිකා නිවසේ කොටුකර ගෙන සිටින බව ඇය දුටුවා. නිවස අයිතිකරුවන් ඉතා සූක්‍ෂම හා කපටි ලෙස ප්‍රයෝගකාරීව එම කාරිය සඳහා දැරියන් පොළඹවා ගනු ලැබුවා. රවටනු ලැබූ එම දැරියනට සලකනු ලැබුවේ ඉතා කෲර ලෙසයි. එක්‌ රාත්‍රියකදී තමාගේ මිතුරියක ඔවුන්ට අකීකරු වීම නිසා පිම්පියන්a විසින් මරා දමනු ඇයට දකින්නට ලැබුණා. මේ අපායෙන් ගැලවීමට ඇය තීරණය කර ගත්තද ඒ සඳහා අවුරුදු 10 ක පමණ කාලයක්‌ ඇයට විශාල දුක්‌ කන්දරාවක්‌ විඳිමින් බලා සිටින්නටද සිදු වුණා.

ඒ කාලයේ තමා ජීවත් වූයේ මළ කඳක්‌ ලෙස යයි ඇය පසුව කියා සිටියා. ඇයට එම අපායෙන් පැන යන්නට උදව් කළේ පියාරේ නම් ප්‍රංශ ජාතික සහන සේවකයෙක්‌. පසු කලක ඇගේ සැමියා වූයේද එම පියාරේ ලෙග්රෝයි.

21 වැනි වියේදී ඇයට කාම්බෝජියාවේ චෝප් දිස්‌ත්‍රික්‌ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවිකාවක ලෙස පත්වීමක්‌ ලැබුණා. ඉන් වසර කීපයක්‌ ඇවෑමෙන් ඇයට ප්‍රංශයට යැමට අවස්‌ථාව උදාවුණා. එහිදී ප්‍රංශ භාෂාව හැදෑරූ සෝමාලි මාර්ගස්‌ථ ලිංගික වහල් සේවය පිළිබඳ නිරෝධ කටයුතු ඇතුළත් වෘත්තීය පුහුණුවක්‌ ලැබුවා. ඉන් අනතුරුව යළිත් මව් රටට පැමිණි සෝමාලි, සෝමාලි පදනම නමින් ඇගේම සංවිධානයක්‌ ඇරඹුවා. එහි ප්‍රධාන අරමුණ වූයේ ලිංගික වහල් සේවයෙන් දැරියන් ගලවා ගැනීමත් ඔවුන් පුනරුත්ථාපනය කොට සමාජ ගත කිරීමත්ය. ඇගේ මේ පදනමෙන් දූෂිතයන්ගේ ග්‍රහණයට අසුවී වද වේදනා විඳින දහස්‌ ගණන් දැරියන්ට ලැබුණේ සහනයක්‌.

ගණිකා නිවාසවල කොටුකර ගෙන සිටින එවැනි දැරියන් විසින් මුදා ගැනීම, ඔවුන්ට රැකවරණය සැපයීම, මූලික හා වෘත්තීය අධ්‍යාපනයක්‌ ලබාදීම වැනි උදාර අරමුණු නිසා එය ලෝකයේ බොහෝ රටවල අවධානයට ලක්‌ වුණා. එහි ශාඛාවන් විවිධ රටවල බිහි වන්නට පටන් ගත්තා.

මෙම නීරස දුෂ්කර කාර්යය කර ගෙන යැමේදී ඇයට මුහුණ පෑමට සිදුවූ තර්ජන ගර්ජනවල කෙළවරක්‌ තිබුණේ නැහැ. විශේෂයෙන් ගණිකා නිවාස අයිතිකරුවන්ගෙන් හා පිම්පියන්ගෙන් ඇයට ලැබුණේ මරණීය තර්ජනයි.

ඇයට මෙහිදී මහත් වූ ෙ€දවාචකයකටද මුහුණ පෑමට සිදු වුණා. ඇගේ 14 හැවිරිදි එකම දියණිය පිම්පියන් විසින් පැහැර ගෙන යැමයි ඒ ඇයට මත්ද්‍රව්‍ය පොවා ඇය මත්කොට දූෂණය කරනු ලැබුවා. අතිශය සංවේගය දනවන මෙවැනි අමානුෂික කෲර ක්‍රියා පිම්පියන් විසින් කරනු ලැබුවේ

ඇය නිහඬ කරවනු සඳහායි.

මෙවැනි දේවලින් ඇය බිය ගැන්වීමට ඔවුන්ට හැකි වුණේ නැහැ.

මා සිතනවා ඔබ කාම්බෝජියාවේ හා ආසියානු රටවල සිදුවන්නේ කුමක්‌ද කියා දැනගත යුතුයි කියා. උන් විසින් සිව් හැවිරිදි දැරියත් දූෂණය කරනු ලබනවා. පස්‌ හැවිරිදි දැරියන්ට වධ හිංසා කරනු ලබනවා. ඔවුන් අහිංසක දුප්පත් මවුපියන්ගෙන් සොරකම් කරන ලද දැරියන් ඇතැම්විට ඩොලර් (10) ක්‌ වැනි සුළු මුදලකට මිලදී ගත්තවුන්. මොවුන් අනතුරුව මහා මාර්ගයන්හිදී ලිංගික වහල් සේවයේ යොදවනවා. වරක්‌ නිව්යෝර්ක්‌ හිදී මාර්ග ලිංගික සේවා අලෙවි කිරීමේ රැස්‌වීමක්‌ අමතා සෝමාලි කියා සිටියා. එමෙන්ම තමාගේ අත්දැකීම් අලලා ඇය විසින් ලියන ලද ග්‍රන්ථයේ මේ කරුණ පිළිබඳව කරුණු සවිස්‌තරව දක්‌වා තිබෙනවා.

මාධ්‍යවේදීන් හමුවී නැවත නැවතත් මේ කාරණය මට විස්‌තර කරන්නට සිදු වෙනවා. මා හිතනවා වඩාත් නිරවද්‍ය ලෙසත් විධිමත් ලෙසත් ඒ කරුණු ඉදිරිපත් කිරීම මේ පොතෙන් ඉටුවෙනවා කියලා ඇය කියා සිටියා.

ඇගේ එම ග්‍රන්ථයේ ඇය බාලවියේ ලැබූ කටුක හා කෲර ලිංගික අත්දැකීම් දක්‌වා තිබෙනවා. එවැනි අධම ක්‍රියාවකට ගොදුරු වූ අනිකුත් දැරියන්ගේ සත්‍ය කතා හා ඔවුන්ගේ දෙමාපියන්ගේ එම පවුල් මුහුණ පෑ කටුක අත්දැකීම් එහි විස්‌තර කර තිබෙනවා.

ඇතැම් දැරියක මවුපියන් විසින් විකුණා ඇත්තේ ඉතා සුළු මුදලකටයි. එම දැරියන් නැවත අලෙවි කිරීමට පෙර මත්ද්‍රව්‍ය පෙවීම වධ හිංසා කිරීම හා දූෂණය කිරීම වැනි කෲරකම් වලට ගොදුරු වී තිබෙනවා. ඇතැම් අය ඒ නිසා දිවි නසා ගෙන තිබෙන අතර සමහරු AIDS වලින් පෙළෙනවා.

සෝමාලි වෑයම් කරන්නේ තමා උපයන හැම සතයක්‌ම මෙවැනි දැරියන් මෙම විපතෙන් ගලවා ගැනීම පිණිස යෙදවීමටය.

ඇගේ ඇස්‌තමේන්තු අනුව කම්බෝජියාවේ සෑම දැරියන් 40 කින් එක්‌ අයකු මේ උවදුරට ගොදුරු වෙනවා. එමෙන්ම ආසියාවේ දැනට මිලියන 2.4 ක්‌ දැරියන් හා ගැහැනුන් ලිංගික වහල් සේවයේ යොදවනු ලබනවා.

ඇය විසින් ඇගේ සංවිධානය විසින් දැනට මෙවැනි දැරියන් 5000 ක්‌ පමණ මේ උවදුරෙන් ගලවා ගෙන තිබෙනවා. ඇගේ මෙම සේවය ලොව පුරා ප්‍රචලිත වී ඇති අතර ඔසපැ සඟරාව විසින් තෝරා ගන්නා ලද 2009 වසරේ බලගතුම කාන්තාවන් 100 දෙනා අතරට ඇගේ නමත් එක්‌වී තිබෙනවා.

චිත්‍රපට කතා රචිකාවක වූ මැරීන් පර්ල් ඇය හමුවීමට ගියේ සෝමාලිගේ කතා පුවත්වල නිරවද්‍යතාව වඩාත් හොඳින් තහවුරු කර ගැනීම සඳහායි. සමහර විට සෝමාලි පිළිබඳව තිර රචනයක්‌ ගොඩ නගන්නට ඇගේ සිතේ තියෙන්නට ඇති.

මට ඕනෑ කළේ මා එකල කිසිදාක නොලැබූ ආදරයත් රැකවරණයත් ඔවුන්ට ලබාදීමටයි. ඔවුන්ගේ ජීවිත ප්‍රීතිමත් කිරීමටයි. ඒත් මේක බැරෑරුම් කාරියක්‌. මොවුන් රැඳී සිටින කඳවුරු සඳහා මුදල් ආධාර විතරක්‌ මදි. මෙම දූෂිත ක්‍රියාවල යෙදෙන්නන් සොයා ගැනීමත් මෙවැනි දේ නුදුටුවාසේ ඇස්‌ පියාගෙන සිටින්නන් ගැනද හෙළිදරව් කිරීමත් කළ යුතුයි. සෝමාලි මැරීන් පර්ල්ගේ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියා.

මේ දැඩි අමානුෂික බාධා මැද ඔබ තවදුරටත් මේ කාර්යයේ රැඳී සිටින්නේ කොහාමද?

සෝමාලි තමා අසල සිටි දැරියන් තිදෙනා දෙසට හැරුණා. ඔවුන් තමා ළඟට ගෙන තුරුලු කර ගත්තා. අනතුරුව මෙසේ කීවා.

ඒ ශක්‌තිය මට ලබා දෙන්නේ මේ දරුවන් ආදරය කරන හැටිත් හොඳ මවක්‌ වන සැටිත් කිසිදාක ඒ ගැන නොදැන සිටි මට ඔවුන් ඒවා ඉගැන්නුවා. හැම කාන්තාවකට සෝමාලිලා වන්නට බැරි වුණත් මේ කතාව නම් සෑම කාන්තාවකම විසින් සිතට ගතයුතු එකක්‌වගේ නේද.

ලීලානන්ද වික්‍රමසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.