අසිරිමත් වන පෙතක රැය පහන් විය

තවත් එක්‌ දිනක්‌ අවසානය කරා එළැඹෙමින් තිබිණ. හිරු බටහිර අහස්‌කුසේ නේක රූ රටා මවමින් හිඳී. නෙතු මානයේ පෙනෙන විවිධ හැඩ රූ ගත් ගිරි ශිඛර, ගල් කුළු රක්‌තවර්ණ සැඳෑ හිරුගෙන් දෝවනය වූවා සේය. ඒ මතින් මැවෙන අපූර්ව සුන්දරත්වයෙන් මන්මත්වී ගියේමි. හැබෑ ලෙසම මේ සුන්දරත්වය සිත් සේ විඳිනට හෝරාවක්‌ දෙකක්‌ හෝ මෙහි නැවතී සිටිය යුතුය. එහෙත් තවත් හෝරාවක්‌ දෙකක්‌ ගතවෙන තැන මේ මුළු ගල්ඔය මිටියාවතම නිදි දෙව් දුවගේ තුරුලට යනු ඇත. අප මිටියාවත ඡේදනය වූ සරල රේ‚යව දිවෙන ගුරු පාර දිගේ ගමන් කරමින් උන්නේ නිශ්චිත ඉලක්‌කයක්‌ වෙතය. වනපෙතක රැයක්‌ පහන් කිරීම යනු ජීවිතයට ආශ්වාදනීය අද්දැකීමකි. මම ඒ නෑඹුල් අත්දැකීම ලංකර ගැනීමට එකපැහැර බලා සිටිමි. අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් එක්‌ගල්ඔය වැව් ඉස්‌මත්තේ ඇති ස්‌වභාවික වන පෙත අප එනතුරු බලා හිඳී. අලි ඇතුන් සරණ ඒ ඉසව්වට රාත්‍රිය එළැඹීමට මත්තෙන් ඇතුළුවීම නුවනට හුරුය. ඉඳින් නොයිඳුල් ගල්ඔය මිටියාවතේ සිත් බඳන දසුන් මත සිත නොඅලවාම අප වේගයෙන් ගමන් කළෙමු.

එහෙත් එක්‌ගල්ඔය පරිසර සංචාරක කඳවුර පිහිටි වනපෙත වෙත ළඟාවන විටත් බිම් කළුවර වැටී අවසන්ය. අම්පාර සිට සියඹලාණ්‌ඩුව වෙත දිවෙන මාවතේ එක්‌ගල්ඔය වනජීවී සංචාරක බංගලාව පසුකර ටික දුරක්‌ ගිය තැන වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ "පරිසර සංචාරක කඳවුර" නමින් පුවරුවක්‌ දිස්‌විය. වන පෙත තුළට වැටී ඇති මාවත පැවතියේ දැවයෙන් නිමවා තිබූ ඒ නාම පුවරුව අසලිනි. ගිය වේගයටම නොවුනත් රියෑදුරු පුරුදුකාරයකු මෙන් වන පෙත තුළට රිය ඇතුළු කළේය. එහෙත් ඒ රිද්මය පැවැතියේ මොහොතකට පමණි. තැන තැන පැවැති ලොකු කුඩා වළවල් සහිත එළිපෙහෙලි කළ ගුරු පාර දිගේ එතැන් සිට ටික දුරක්‌ අප ඉදිරියට ඇදුණේ සීසෝ පදින රිද්මයකටය. අලි ඇතුන් ඇතුළුවීම වළකනු පිණිස ඉදිකළ අලි වැටක්‌ රථයේ ලාම්පු එළියට ඉදිරියේ මනාව දිස්‌විය. කෑලි කැපෙන ගණ අඳුරේ වන පෙතින් මතුවන දැවැන්තයකු අප යන මාවත අහුරාගනීදෝයි මෙතෙක්‌ මා පෙළමින් හුන් අනියත බිය තුරන් වූයේ එම අලි වැට දැකීමෙන් අනතුරුවය. ඉන් ටික දුරක්‌ ගොස්‌ ජීප් රිය නතර කළේය.

බහින්න... මේ හරියට අලි එන්නෙ නෑ. අපිට මේ ටික පයින් යන්න වෙන්නෙ.

මෙතෙක්‌ පැවැති නිහඬතාව බිඳලමින් එසේ කීවේ අම්පාර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාය. එක්‌ගල්ඔය පරිසර සංචාරක කඳවුර නිර්මාණයේ පුරෝගාමියා ඔහුය. ජීප් රියෙන් බැසගත් අපි ගල් දෙබොක්‌කාවක්‌ මැදින් ගොස්‌ කවුරුන් හෝ සිටවූවාක්‌ මෙන් පිළිවෙළකට බිම් කඩකට බැසගතිමු. කඳවුරු භූමිය ආරම්භ වන්නේ එතැනිනි. මෙතෙක්‌ අප එනතුරු පෙරමග බලා සිටි අම්පාර දිසා සහකාර වන නිලධාරී රොෂාන් මහතා අප සුහදව පිළිගත්තේය. තුරු වියන මුළු මහත් කඳවුරු භූමියම වසා සිටියේය. එයින් දෙගුණ තෙගුණ වන ඝනදුර දුරලූයේ තැන තැන තබා එල්ලා ඇති විශාල ගිනි දැල්ලක්‌ සහිත ලාම්පු වලිනි. ඒවා මුහුදු ලාම්පු බව ඈත සිට බලන විට හඳුනාගත නොහැකිය. කඳවුරු බිමේ නවාතැන් ගැනීමට ඇත්තේ ස්‌වාභාවික ගල්ලෙන් තුළය. එහි පිහිටීමට හානියක්‌ නොවන සේ ගල් ලෙන් විවරයන් මිනිසෙකුට පමණක්‌ ඇතුළු වීමට හැකිවන සේ වැඩි දියුණු කර ඇති සැටි ද කදිමය. එවැනි ලෙන් තුනක්‌, කුඩා දරුවන්ට හා කාන්තාවනට සිටීමට ආරක්‌ෂිත නිවහනක්‌ හා කූඩාරමක්‌ එහි වේ. එකවර විසි දෙනෙකුට නවාතැන් ගත හැකිවන සේ එහි ඉඩකඩ ප්‍රමාණවත් වීම පරිසර හිතකාමී සංචාරක නඩයකට නම් කදිම පුවතක්‌ වනු ඇත. මම ඉක්‌මනින් කඳවුරු භුමියේ ගල් ලෙනක ඉදිකර ඇති නාන කාමරය හැර ගමන් වෙහෙස නිවාගතිමි. ඉනික්‌බිතිව අලුත් ඇඳුම් ලා ගල් ලෙන පිහිටි භූමියේ සිට අඩි විස්‌සක්‌ තිහක්‌ එපිටින් වූ එක්‌ ගල්ඔය වැව් තාවුල්ලට බැසගත්තෙමු. ඉඩෝරයේ තරමක්‌ සිඳී ඇති වැව් දිය වැව් තාවුල්ලේ ඇති තරම් ඉඩකඩ ඉතිරි කර තිබිණි. රාත්‍රි ආහාරය පිළියෙළ කර පැවතියේ වැව් තාවුල්ලේය. කැමැති අයෙකුට එම බිම්කඩේ කූඩාරමක්‌ ඉදිකිරීමේ අවකාශ ඇත. එම බිම් කඩේ පසකෙට වන්නට දැල්වෙමින් පැවැති ගිනි මැලයත් කවාකාර ලෙස භූමිය වටකොට ගසා තිබූ පන්දම් පෙළත් අඳුර නැතිකොට වැව් ඉස්‌මත්තට අමුතුම සිරියක්‌ එක්‌කළේය. බොහෝ දෙනා සතුටු සාමීචියේ යෙදී ගී ගයා රාත්‍රි ආහාරයද ගෙන ගල් ලෙන් තුළ ඇති බූරු ඇඳන් මතට වැටුණි. මම සඳපහන් රැයක්‌ ගෙවා දැමීමට වැව් තාවුල්ලේ තනිවීමි. සඳවතිය අහස්‌ කුසින් සැඟවී ගොසිනි. දීප්තිමත් චූඩාමාණික්‍යයක්‌ සේ දිලිනු සිකුරු තරුවද බටහිර අහසට අහසට සමුදී තිබිණි. එහෙත් වළාකුළුවලින් තොර මුළු අහස්‌ වියනම සහසක්‌ තරු මල් පොකුරුවලින් පිරී තිබිණි.මා හිස්‌ අවකාශයේ පිපුණු තරු මල් දෙස බලා හිඳිමි. මේ විශ්වය කොතරම් අසිරිමත් එකක්‌ දැයි මම සිතමි. නිහඬ බව නිහඬ බව රජකරත්ම මාත් මේ පරිසරයත් එකිනෙකට වෙන් කළ නොහැකි සබැඳියාවෙන් වෙළුනේ යෑයි දැනෙයි. මේ මිහිතලයේ කෝටි ප්‍රකෝටි ජීවීන් අතර මාද අංශු මාත්‍ර ජීවියකු වීම ගැන මම සතුටු වීමි. සියල්ල නිහඬ වන විට වැව් දිය පිස එන සුළඟ මැදියම් රැයට අපූරු තනුවක්‌ වයනු ඇසේ. නිහඬ බවම සොඳුරු ගීයක්‌ නොවේදැයි කව්රුන් හෝ කොතනක හෝ ලියා තිබුණා මතකය. ගත සිත පුළුන් රොදක්‌ සේ පා කර හරින එම සංවේදනයෙන් මෑත් වීමට මම මැලි වීමි. එහෙත් උදෑසන හතේ කණිසම වන විට වැව් දියට එපිටින් ඇති වලස්‌කන්ද තරණයට මාද සූදානම් විය යුතු වේ. ඒ නිසාම විඳි සොඳුරු සිතිවිලි හිත් පත්ලේ ගුලිකරගෙනම මම ගල්ලෙන තුළට වැදුනෙමි.

කීවාක්‌ මෙන්ම උදෑසන හත වන විට මේ කඳවුරේ සිටින වන සංරක්‍ෂණ නිලධාරීන් වැවෙන් එහා ඇති කිතුල්හිටියාගොඩ (වලස්‌කන්ද) කඳු පාමුලට යැමට හබල් ඔරු සූදානම් කර තිබුණේය. අපි හබල් ඔරුවක නැගී හබල් ගා වැව් දිය තරණය කොට වලස්‌කන්ද නගින්නට වීමු. එම ගමන සොඳුරු වූත් ත්‍රාසජනක එකක්‌ම විණි. කඳු නැගීමේ මග පෙන්වන්නා වූයේ පොඩි අප්පුහාමි මහතාය. ගස්‌වල පොතු ඉරා කෑ ගොනුන්ගෙ මෙන්ම ඌරන් ඉත්තෑවන්ගෙ ක්‍රියාකාරකම්වල සළකුණු පෙන්වමින් වන පෙත තුළදී ඔහු අපට අපූරු පාඩමක්‌ කියා දුන්නේය. වලස්‌කන්ද මුදුනට ළඟාවීමට අපට හෝරා තුනකටත් වඩා ගතවිය. කඳු මුදුනට නැඟගත් කළ නැගෙනහිර මුහුදු වෙරළ තෙක්‌ ඇති මුළු භූමි ප්‍රදේශයම නිරීක්‍ෂණය කළ හැකිය. වඩිනාගල කන්ද, වෙස්‌මිනිස්‌ටර් ඇබේ, කළු හෙළ කඳුවැටිය එක්‌ පසෙකින් දිගාමඩුල්ලේ ආරක්‍ෂක වැටක්‌ සේ නැගී හිඳින්නේය. අතීත රජදරුවන් දිගාමඩුල්ලට මෙතරම් ඇළුම් කළ එක්‌ හේතුවක්‌ වූයේ පරිසර පද්ධතියේ මේ අපූර්ව පිහිටීම නිසා විය යතුය. ඒ සියලු දැකුමෙන් නෙත් සිත් පිනවා ආපසු කඳවුරු බිමට එනවිට වැව් ඉස්‌මත්තේ කඳු අතරින් හිරු බැස යමින් තිබිණි.

මේ කඳු භූමියේ ලැගුම් ගන්නා සංචාරකයෙකුට විඳගත හැකි වන්නේ පෙර කී අත්දැකීම් පමණක්‌ නොවේ. පරිසරය ගහ කොළ පිළිබඳ හදාරන්නෙකුට ජෛව විවිධත්වයෙන් හෙබි මේ එක්‌ගල්ඔය රක්‍ෂිත වනයේ පිහිටි කඳවුරු භූමියම එකම තක්‌සලාවකි. බිංකොහොඹ, වෑවර, මූණමල්, අංකෙන්ද, පාණක්‌කා, වෙළං, ගල්සියඹලා ආදී වියළි කලාපයේ දක්‌නට ලැබෙන දුර්ලභ ගස්‌වැල් වර්ග හැත්තෑවකින් පමණ මේ රක්‍ෂිතය පෝෂිතය. එයින් නොනැවතී තවදුරටත් ශාක පිළිබඳ හදාරන්නෙකුට මේ කඳවුරු බිමේ සිට පහසුවෙන්ම නෙල්ලි කැලයට ළඟාවිය හැකිය. මායාරංජන් නමැති ආරූඪ නමින් දිගාමඩුල්ලේ ආශ්චර්යය නමැති පොත ලියූ රාජපක්‍ෂ ගුරු මහතා එහි එක්‌ පරිච්ඡේදයක්‌ නෙල්ලි කැලය පිළිබඳ ලිවීමට වෙන්කරමින් නෙල්ලි කැළය එකම ඔසු උයනක්‌ බව සටහන් කර ඇත. ඉපැරණි නටඹුන් පිළිබඳ සොයා බලන්නකුට අවැසි නම් බුද්ධංගල, දීඝවාපිය, රජගලතැන්න, සමන්ගල හෝ වෙහෙර මහා දේවිය හා කාවන්තිස්‌ස රඡ්ජුරුවන්ගේ සරණ බන්ධනය සිදුවූ මඟුල් මහා විහාරය නැරඹීමට අවකාශ ඇත. සිව්පා සතුන්ගේ ක්‍රියාකාරකම් දැක ගැනීමට තවත් අපූරු තැනක්‌ දිගාමඩුලු වන පෙත තරම් කොහිද? විශේෂයෙන් බක්‌මිටියාව රක්‍ෂිතයේ සිට කෙටි බිම් තීරුවලින් වෙන් වන තිඹිරිගොල්ල, ගල්ඔය ජාතික වනෝද්‍යානය, නුවරගල, කොකාගල, මාදුරුඔය සහ ඕමානුගල, වස්‌ගමුව මින්නේරිය දක්‌වා විහිදෙන වන පෙත අලි ඇතුන් වලසුන්ගේ පාරාදීසයක්‌ය. ස්‌වාභාවයේ චමත්කාරය ආස්‌වාදනය කරමින් පරිසරය සතා සීපාවා දැකගැනීමට මේ බිම් කඩ කදිම තෝතැන්නක්‌ කීවේ මේ නිසාය. මම අඳුර වැටී එත්ම කඳු තරණයෙන් වූ විඩාව නිවාගැනීමට එක්‌ගල්ඔය වැව් දියට බැස ගතිමි. ඒ හෙට දිනයේ රජගලතැනAනට නැගීමට ප්‍රබෝධමත් සිතින් සිටිය යුතු නිසාය. වැව් දියට බට මා සමග මොහොතකින් තවත් මිතුරෙකු ද එක්‌විය. හේ පෙරදින රාත්‍රියේ මා සමග කුළුපගවූ නිහඬ බවමය.


තිස්‌ස ගුණතිලක
ඡායාරූප - සුජාතා ජයරත්න
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.