පාලිගේ කොලම

ඊයෙ මම ටී වී එකේ දැක්‌ක අපේ රටේ බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්‌.

විශේෂාංග අංශයේ මිත්‍රයෙක්‌ මා අසලින් හිඳ ගත්තේය.

ඔහුගේ මුහුණේ රැඳුණු විස්‌මය අප කිහිප දෙනකුගේ කුතුහලය නංවනු සුළු විය.

ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්නෙ කොහොමද කියල ආණ්‌ඩුවයි විපක්‌ෂෙයි සාකච්ඡාවක්‌ පටන් අරන්.

සාකච්ඡා කරල ඉතිං තීරණයකට ඇවිල්ලද?

තීරණයකට නං තාම ඇවිල්ල නෑලු. හැබැයි සාකච්ඡා හොඳ පසුබිමක යනවලු.

පසුබිම නං අපිත් දැක්‌කා. බිමට වෙල්වට්‌, හොඳ සුව පහසු පුටු... හිනා මූණු.

තවත් මිත්‍රයෙක්‌ අපේ කතාබහට එක්‌විය.

හැබැයි අපේ රටේ ආණ්‌ඩු පක්‍ෂ හා විපක්‍ෂ අතර සිදුවුණු සාකච්ඡාවල ඉතිහාසය අරන් බැලුවොත් නං එකඟතාවලට වඩා හුඟක්‌ තියෙන්නෙ විරෝධතා.

අපේ පුස්‌තකාලයෙ මිත්‍රයෙක්‌ අදහසක්‌ ගෙනාවේය.

මන්ත්‍රී වැටුප ඔවුන්ගෙ විශ්‍රාම වැටුප වගේ දේවල්වලට නම් දෙපැත්තෙන්ම පූර්ණ එකඟත්වය ලැබුණනෙ.

ඔහු පුස්‌තකාල වාර්තා කිහිපයක්‌ම උපුටා දැක්‌වීය.

ව්‍යවස්‌ථාව සංශෝධනය වෙන්න ඕන කොහොමද කියල තවම මේ සාකච්ඡාවලින් තීරණය නොවුණට දෙගොල්ලො ඒ ගැන සාකච්ඡා කරන්නෙ ඇයි කියල නම් අපට තීරණය කරන්න පුළුවන්.

ඒ මොකක්‌ද?

දෙගොල්ලන්ටම දෙගොල්ලො නැතිව මේ වැඩේ කරන්න බෑ.

මම නම් කියන්නෙ කොච්චර සාකච්ඡා තිබ්බත් ව්‍යවස්‌ථාව සංශෝධනය වෙන්නෙ නෑ.

විශේෂාංග අංශයේ මිත්‍රයා අනාවැකියක්‌ පළ කළේය.

ආණ්‌ඩුවේ ව්‍යවස්‌ථා සංශෝධනයයි විපක්‍ෂයෙ ප්‍රතිසංශෝධනයයි දෙකම පටන් අරන් තියෙන්නෙ එකම නැකතකින්.

ඔහු කියා සිටියේය.

විපක්‍ෂයේ ප්‍රතිසංශෝධනයට කමිටුවක්‌ පත් කළා වගෙම ව්‍යවස්‌ථා සංශෝධනයටත් දැන් කමිටුවක්‌ පත්කරලනෙ.

කොහොමටත් මේ වැඩේ ගැන දැන් මිනිස්‌සු ඉන්නෙ නිකං කරකෝල අතෑරල වගෙයි.

ඔහු තම අදහස විස්‌තර කරන්නට විය.

ජනාධිපති තනතුර නැති කරනව කියලනෙ ආණ්‌ඩුව මේ වැඩේ පටන් ගත්තෙ. තනතුර නැති කරනව වෙනුවට ඒ තනතුර දරන්න පුළුවන් වාර ගණන නැති කරන්න යෝජනා කරපුවම නිකං මරන්ඩ නියම කරපු මිනිහෙක්‌ නිදහස්‌ කරල ප්‍රොමෝෂන් එකක්‌ දුන්න වගේනෙ.

දැන් ඒ ඔක්‌කොම නවත්තල. විධායක අගමැති තනතුරක්‌ ගේන්න තීරණය කරලලුනෙ. ඔය කමිටුවක්‌ පත්කරල තියෙන්නෙ ඒක කරන විදිහ හොයන්ඩලු.

එහෙනං ව්‍යවස්‌ථා සංශෝධන කමිටු වාර්තාවෙන් විපක්‍ෂ ප්‍රතිසංශෝධනයත් විපක්‍ෂ ප්‍රතිසංශෝධනයට පත් කරපු කමිටු වාර්තාවෙන් ව්‍යවස්‌ථා සංශෝධනයත් වෙන්ඩ බැරිකමක්‌ නෑ.

අන්න සෞඛ්‍ය අමාත්‍යාංශෙ කාරණය හොයාගෙන.

අපේ කතාබහ මැද්දට තවත් මිත්‍රයෙක්‌ කඩිමුඩියේ කඩාගෙන පැන්නේය.

මේ පාර පැතිරිල යන්නෙ පිටරටින් ආපු ඩෙංගු වයිරසයක්‌ලු.

එහෙමනං ඉතින් මිනිස්‌සු මැරුණට කමක්‌ නැතිලුද?

මේ දවස්‌වල පිටරටින් හුඟක්‌ වයිරස්‌ නං එනව තමයි.

අපේ දේශපාලන වාර්තාකරුත් ඒ ආරංචිය අනුමත කරන විදිහේ අදහසක්‌ පළ කළේය.

දැන් බලන්ඩ මේ බෑන් කී මූන් වයිරසය... තව පොඩ්ඩෙන් විමල් වීරවංශගෙ වකුගඩු දෙකම අක්‍රිය කරනව. අපේ ජනාධිපතිතුමා ළඟ ඉතිං ඔය කොයි දේටත් බේත් තියෙන හින්ද හොඳයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.