සසිකට ඔවුන් අහිමි කළේ දකුණු අත නොව අනාගතයයි

වෛද්‍ය විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන විභාගවල බහුවරණ ප්‍රශ්නවලට ලකුණු දීමේදී සෘන ලකුණු ක්‍රමයක්‌ ද අනුගමනය කරනු ලබයි. පිළිතුර හරිනම් ලකුණු එකකි. වැරදිනම් සෘන එකකි. පිළිතුරු පනහක්‌ නිවැරදි වී පනහක්‌ වැරදුණොත් ලැබෙන ලකුණු සංඛ්‍යාව බිංදුවකි. එම නිසා අඩමානයෙන් පිළිතුරු දිය නොහැකිය. තමන්ගේ පිළිතුර ගැන නිවැරදි විශ්වාසයක්‌ නැතිනම් ශිෂ්‍යයා කළ යුත්තේ පිළිතුරු නොදී සිටීමය. එවිට ලකුණු කැපෙන්නේ නැත.

වෛද්‍යවරයකු වීමට පෙරුම්පුරන සිසුන්ට එවැනි ලකුණු ක්‍රමයක්‌ හඳුන්වා දී ඇත්තේ දොස්‌තර නලාව අතට ගත්පසු ඔවුන් ගනු ලබන තීරණවල බරපතලකම ගැන අවබෝධයක්‌ ලබා දීමට විය යුතුය. ඔෂධ හෝ රෝගය නිසි ලෙස හඳුනා නොගෙන බෙහෙත් නියම කර රෝගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට වෛද්‍යවරයාට අයිති නැති බව පහදා දෙන මුල්ම පාඩම ඇතැම් විට එය විය හැකිය. මෙම පාඩම වෛද්‍යවරුන්ට පමණක්‌ නොව හෙද හෙදියන්ටද ඖෂධ වේදීන්ට ද වලංගුය. වෛද්‍යවරයා නියම කරන ඖෂධය නියම මාත්‍රාවෙන් නිවැරදි ක්‍රමයට රෝගියාට ලබාදීම ඔවුන්ගේ වගකීමකි. වෛද්‍යවරයා කොතරම් නිවැරදිව ඖෂධ නියම කරත් ඖෂධවේදියා හෝ හෙදිය නිවැරදිව වගකීම ඉටුකළේ නැතහොත් අඳුරු වන්නේ රෝගියාගේ ජීවිතයයි.

ගාල්ල බෝධිමළුව කනිෂ්ඨ විද්‍යාලයෙන් අකුරු කළ ඔහු නමින් එම්. සසික ප්‍රියදර්ශනය. එදා බෝධිමළුව ගම්මානයේ මිතුරන් සමග එකතු වී ක්‍රිකට්‌ සෙල්ලම් කරමින් දුව පැන ඇවිද්ද සසිකට අද සිදුවී ඇත්තේ මිතුරන් ක්‍රීඩා කරන දෙස සංවේදීව බලා සිටීමටය. "තනි අතකින් ක්‍රිකට්‌ ගහන්නේ කොහොමද?" ඔහුට එසේ සිතෙනවා විය හැකිය.

පාසල් මිතුරන් සමග හරි හරියට පාඩම් ලියන්නට සසිකට බැරිය. "ඊයේ පෙරේදා වමතින් ලියන්නට හුරුවී එතරම් ලොකු දස්‌කමක්‌ පෙන්වන්නේ කොහොමද?" 2009 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට තිබූ අවස්‌ථාවද ගිලිහී ගිය සසික හිත හදාගන්නේ එසේ සිතමිනි.

කිතුල්ගොඩවත්ත, බෝධිමළුව, බෙන්තොට ලිපිනයේ පර්චස්‌ හයක ඉඩමක පිහිටි සසිකගේ පුංචි නිවසට පසුගිය දිනක අප යන විට ඔහු හිටියේ හදවතේ කඳුළු පුරවාගෙනය. දැන් ඔහුට දකුණු අතේ සුළැඟිල්ල වෙදඟිල්ල මැදඟිල්ල හා දබරඟිල්ලේ අග පුරුක්‌ නැත. මහපටගිල්ලේ අවසාන පුරුක ද හැලෙන්න ඔන්න මෙන්නය. අනෙක්‌ පුරුක්‌ තිබුණත් වැඩ කරන්නේ නැත. අතින් යමක්‌ අල්ලා ගන්න බැරිය.

අලුත්ගම බස්‌ නැවතුම්පොළේ රටකජු විකුණා ජීවිකාව ගෙන යන මාදම්පගේ සිරිල් සෝමරත්න (අවු 48) සහ බලපිටියේ නෙල්කා රංජනී ප්‍රනාන්දු (අවු 42) යුවළගේ සිව්දෙනකු වන දරු දැරියන්ගෙන් බාලම දරුවා වන සසික මෙම ෙ€දනීය ඉරණමට ගොදුරු වූයේ අද ඊයේ නොවේ. හරියටම 2009 අප්‍රියෙල් 4 වැනිදාය. බිත්තියේ ඇති කවුලු වැසෙනසේ ගැසූ ලෑලිවලට හේත්තු වී දරුවාගේ මව සිද්ධිය විස්‌තර කරන්නට වූවාය.

පුතාට උණ හැදිලා කකුල පොඩ්ඩක්‌ ඉදිමිලා තිබුණ නිසා 2009 අප්‍රියෙල් 4 වැනිදා උදේවරුවේ බෙන්තොට රජයේ රෝහලට එක්‌කරගෙන ගියා. බාහිර රෝගී අංශයේ හිටපු දොස්‌තර මහත්තයා කිව්වා පුතාව නතර කරන්න කියලා. ඒ නිසා නතර කරලා ගෙදර ආවා. මම දවල් බලන්න යනකොට පුතාගේ අතට ඉන්ජෙක්‌ෂන් එකක්‌ විදලා තිබුණා. ඉන්ජෙක්‌ෂන් විදීමට කැනියුලාවකුත් අතේ සවිකර තිබුණා. අම්මේ මට ගොඩක්‌ රිදුණා. මගේ අත කැක්‌කුමයි ලේත් ආවා කියලා පුතා කීවා. හවස මගෙ මහත්තයා රෝහලට ගියා. එතකොටත් පුතා කෙඳිරි ගගා ඉඳලා තියෙන්නේ. ඊට පසුවෙනිදා උදේ පුතාගේ නැන්දගේ දුව ගියා. ඒ යනකොට බලපිටිය රෝහලට මාරුකරලා යවලා. ඒත් එතනින් භාරගෙන නෑ. කෙළින්ම කොළඹ ජාතික රෝහලට යවලා තියෙනවා".

ඉන්පසු තමන් මුහුණදුන් අදදැකීම විස්‌තර කරමින් සසික හඬ අවදි කළේය.

දවල් විද්දට පස්‌සෙ හවසත් පාන්දරත් අතට සවිකර තිබූ කැනියුලාව හරහා මට ඉන්ජෙක්‌ෂන් විද්දා. මට හොඳටම රිදුනා මම කෑගහගහ ඇඬුවා. ඒවගේම පලුත් දාලා තිබුණා. මම අඬනකොට "පොඩි එකා වගේ අඬන්න එපා" කියා නර්ස්‌ මට හොඳටම බැන්නා යෑයි සසික හැඟුම්බරව කීවේය.

දරුවාගේ මව සඳහන් කරන අන්දමට පළමුව කොළඹ ජාතික රෝහලේ 72 වාට්‌ටුවටත් (හදිසි අනතුරු අංශය) පසුව 32 වාට්‌ටුවටත් දරුවා මාරුකර ඇත. බෙන්තොට රජයේ රෝහලෙන් එවන විටත් තමන්ගේ අත හිරිවැටී සීතල වී නිල් පැහැ ගැන්වී තිබුණු බව සසික සඳහන් කරයි. ඇතිවුණ මෙම ෙ€දනීය තත්ත්වය හමුවේ තම ජීවන වෘත්තිය වන රටකජු වෙළෙඳාම ද අතහැර දමා සසික ළඟ නතර වීමට සිරිල් සෝමරත්න මහතා තීරණය කළේය. දරුවාගේ තත්ත්වය පිළිබඳව විමසීමේදී හදවත කැකෑරී යන කතාවක්‌ වෛද්‍යවරයා ගෙන් ඔහුට අසන්නට ලැබෙන්නේ මේ අතරතුරය.

තාත්තේ.....එහෙදී ඉන්ජෙක්‌ෂන් එක ගහලා තියෙන්නේ වැරදි නහරෙකට. දැන් තියෙන තත්ත්වය හැටියට සමහර විට අත කපන්න වෙයිද දන්නෙ නෑ. අපි උත්සාහ කරමු කකුලෙන් නහර අරගෙන දාලා හරි අත බේරගන්න. වෛද්‍යවරයා කීවේය. එම කතාව අසනවාත් සමග සෝමරත්න මහතා හෝන්දු මාන්දු වී ගියේය. "බෙන්තොට රෝහලේ අය මගෙ දරුවාට මොකද කළේ" සෝමරත්න මහතා තමාටම කියා ගත්තේය.

මෙම තත්ත්වය දැනගත් නෙල්කා රංජනී මහත්මිය බෙන්තොට රෝහලට දුවගෙන ගියේ අදාළ වෛද්‍ය මහතා හමුවීමටය. ඇය එම සිද්ධිය මෙසේ විස්‌තර කළාය. "මම දොස්‌තර මහත්තයාට කිව්වා මහත්තයෝ දරුවගේ අත කපන්න වෙනවලු. කොහොම හරි අත බේරලා දෙන්න කියලා. එතකොට දොස්‌තර මහත්තයා "අපි බෙහෙත් දෙන්නේ ලෙඩ්ඩු මරන්න නෙවෙයි" කියලා මට රුපියල් පන්සියයක්‌ දික්‌කළා. මම ඒ සල්ලි ගත්තේ නෑ. මගේ දරුවගෙ අත වටින්නේ රුපියල් පන්සියය ද ...... ඇය අඬන්නට වූවාය.

ඇය බෙන්තොට පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක්‌ කරන්නේ (2009-04-10) ඉන් අනතුරුවය. එයින් කලබල වූ වෛද්‍යවරයා පැමිණිල්ල අස්‌කරගන්නේ නම් රුපියල් පනස්‌දහසක්‌ දෙන බව පැවසුවේ යෑයි ඇය විසින් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් වෙත කරන ලද පැමිණිලිවල සඳහන් වේ. එහෙත් ඇය එයට එකඟ වී නැත.

කොළඹ ජාතික රෝහලෙන් සසික දරුවා වෙනුවෙන් නිකුත් කර ඇති රෝග නිශ්චය තුණ්‌ඩුවේ සටහන්ව ඇත්තේ ශිරාවකට ලබාදිය යුතු පෙනිසිලිනී සහ ක්‌ලොක්‌සසිලින් නමැති ප්‍රතිජීවක ඖෂධ මාත්‍රා තුනක්‌ (වාර තුනක්‌) වැරදීමකින් හෘදය වස්‌තුවේ සිට දකුණු අතට පිරිසිදු රුධිරය සපයන ප්‍රධාන ධමනියට ලබාදී ඇති බවයි. කොළඹ දී දරුවාගේ අතට සැත්කම් කරද්දී ලේ කැටිගැසී තිබුණු බව ද එහි සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අප ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් විමසූ විට ඔවුන් සඳහන් කළේ ප්‍රතිජීවක ඖෂධ ධමනියකට ඇතුළු කළ විට ලේ කැටි ගැසීමක්‌ සිදු වී බොහෝ විට ශෛල මැරීයාමක්‌ සිදු වන බවය. නමුත් එවැනි අත්වැරැද්දක්‌ එක්‌ වරක්‌ පමණක්‌ වූයේ නම් අනතුරක්‌ වීමට ඉඩ නොදී බේරා ගැනීමට හැකි බව ද වෛද්‍ය මතයයි. පළමු එන්නත ඇතුළු කළ විට රෝගියාගේ ප්‍රතික්‍රියාව අනුව තමන්ට අත්වැරදීමක්‌ වූයේද යන්න පිළිබඳව තීරණයකට එළැඹීමේ හැකියාවක්‌ ඇතැයි ද එම විශේෂඥ වෛද්‍යවරු සඳහන් කළහ.

නමුත් බෙන්තොට රජයේ රෝහලෙ දී දරුවාගේ දකුණු අතට රුධිරය සපයන ප්‍රධාන ධමනියට තෙවරක්‌ම ප්‍රතිජීවක ඖෂධ ඇතුළත් කර තිබේ. දරුවා වේදනාවෙන් අඬා ප්‍රතික්‍රියා දක්‌වන විට හෙදිය සැර කර තිබේ. වාර තුනකදී එන්නත් දෙද්දීත් වෛද්‍යවරයා ද මේ පිළිබඳව නිසි සොයා බැලීමක්‌ කර නැත. නිවැරදි ඖෂධය නියම කරනවා සේම හෙදිය නිවැරදිව රාජකාරිය කරන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමේ වගකීමක්‌ වෛද්‍යවරයාට නැද්ද? දරුවාගේ දකුණු අතට පළමුව "කැනියුලාව" සවිකළ හෙදිය වගකීම පැහැර හැරියේ ඇයි?

ධමනියෙන් ශිරාව වෙන් වෙන්ව හඳුනා ගැනීමට බෙන්තොට රෝහලේ හෙදියට නොහැකි වූයේ ඇයි? මෙම ප්‍රශ්න අදටත් ඉතිරි වී තිබේ.

වෛද්‍යවරුන් හෙදියන් ඉදිරියට අප කුමන ප්‍රශ්නය ඉදිරිපත් කරත් ජීවිතයේ බරපතලම ප්‍රශ්නය ඇත්තේ සසිකටය. ඔහුගේ දකුණු අතේ ඇඟිලි හතරක අග පුරුක්‌ නැත (මාස හතක සිට ඇඟිලි පුරුක්‌ හැලේ) මහපොටඟිල්ලේ අගපුරුකත් වැටෙන්න ඔන්න මෙන්නය. අත ක්‍රියා කරන්නේ නැත. 2009 වසරේ දී සාමාන්‍ය පෙළ ලියන්න ලැබුණේ ද නැත. දැන් යාන්තම් වමතින් ලිව්වත් වේගයෙන් ලියන්නට බැරිය. මේ නිසා කිසිවක්‌ කරකියා ගත නොහැකි පවුල් පසුබිමක සිටින මේ දරුවා ගැන විභාග කොමසාරිස්‌තුමාද අවධානය යොමු කළ යුතුව ඇත. එමෙන්ම සසිකට හිසරද ඇඟේ අමාරු අදටත් තිබේ. තමන් අනාගතයේදී ජීවන වෘත්තියක්‌ කරගෙන යන්නේ කෙසේද යන ගැටලුව ද ඔහු සතුව පවතී. මෙම මොන ගැටලුව ආවත් ඔවුන්ට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම පිළිබඳව අපැහැදිලිකමක්‌ නැත.

බෙන්තොට රජයේ රෝහලේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි අපැහැදීමකින් කතා කරන ඔවුන් කොළඹ ජාතික රෝහලේ තිස්‌දෙක වාට්‌ටුව ගැන කතා කරන්නේ හද පිරි සෙනෙහසකිනි.

නෙල්කා මහත්මිය මෙසේ කීවාය. "32 වාට්‌ටුවේ දොස්‌තර මහත්වරු, නර්ස්‌ නෝනලා දෙවිවරු වගේ. දරුවා වෙනුවෙන් ගොඩක්‌ කැපවීම් කළා. කකුලෙ නහර අරගෙන අතට බද්ධ කරලා අත කපන එක නතර කළා. නර්ස්‌ නෝනලා දරුවාට වම් අතින් ලියන්න පුරුදු කළා. දරුවා මේ තත්ත්වෙන් හරි බේරගත්තෙ මේ අය. මගේ මහත්තයා මාස දෙකහමාරක්‌ රටකජු වෙළඳාමේ නොගොස්‌ ජාතික රෝහලේ දරුවා ළඟ නතරවෙලා හිටියා. ඒ කාලේ අපට උදව් කළේ ගමේ මිනිස්‌සු. ඒ හැම දෙනාටම හුඟක්‌ පිං.

කොතරම් දුප්පත් වුවත් කොතරම් අසරණ වුවත් දරුවාගේ මව මේ සම්බන්ධයෙන් නිකන් හිටියේ නැත. 2009 අප්‍රියෙල් 4 වැනිදා බෙන්තොට පොලිසියට පැමිණිලි කළා සේම ඉන්පසු ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යාංශයට, මානව හිමිකම් කොමිසමට, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට හා පාරිපාලක කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්‌ කාර්යාලයට ද පැමිණිලි කළාය.

ජනාධිපතිවරයාට යෑවූ ලිපියෙන් පසු 2009 ජුනි 15 දා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක්‌ යවා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක්‌ කරන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ඒ පිළිබඳව මූලික විමර්ශනයක්‌ සිදු කෙරිණි.

ඒ මහත්වරු පරීක්‍ෂා කළා. අපි ඒවාට ගියා. අද වෙනකම් අපිට කිසිම සාධාරණයක්‌ ඉෂ්ඨ වූයේ නෑ. දොස්‌තර මහත්තයත් නර්ස්‌ නෝනාත් හොඳට රෝහලේ වැඩ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. ප්‍රතිඵල තවම අපට දන්වලා නෑ. කොළඹ පරීක්‍ෂණ කරපු මහත්වරුනම් එදා අපට කිව්වා බලාපොරොත්තු වන තරම් නොවුණත් පොඩි වන්දියක්‌ ලැබෙනවා කියලා. ඒත් ඒවා කට වචන විතරයි. ලිතව මුකුත් අද වෙනකන් දන්වලා නෑ.

අපිට වන්දියක්‌ වගේම මේ වැරදි කරපු අයට නීතියෙන් දඬුවමක්‌ දෙන්නත් වුවමනයි. ඒත් තනියම නඩු කියන්න අපට හයියක්‌ නෑ. මගේ දුක්‌ගැනවිල්ල අහපු නීතිඥ මහත්තයෙක්‌ නඩුවට උදව් කරන්නම් කියා මුලින්ම කීවා. නමුත් ඒක කටවචනයකට පමණක්‌ සීමා වුණා. එසේ කියූ ඇය කඳුළු වගුරන්නට වූවාය.

දරුවාගේ මව ජනාධිපතිවරයාට ලියා ඇත්තේ සිද්ධියට සම්බන්ධ හෙදිය ක්‍රියාත්මක වී ඇයගේ ස්‌වාමිපුරුෂයාගේ හිතවත්කම් පාවිච්චි කරමින් සහායට පැමිණි නීතිඥ මහත්මයා වැළැක්‌වූ බවයි. එම හෙදියගේ සැමියා අධිකරණ පද්ධතියට සම්බන්ධ රැකියාවක නිරතවන්නෙකු බවත් එහි සඳහන්ව ඇත. එහි සත්‍ය අසත්‍යතාව අපි නොදනිමු. ප්‍රදේශයේ දැන උගත් වැඩිහිටියන්ගේ උපදෙස්‌ මත දරුවාගේ මව නීති ආධාර කොමිෂන් සභාවට "බඩගෑවේ" ඉන් අනතුරුවය.

නමුත් එතැනින් ද ඇයට බලාපොරොත්තු වූ තරම් විසඳුමක්‌ ලැබුණේ නැත. රෝහල රජයේ තැනක්‌ නිසා නීති ආධාර කොමිෂන් සභාව හරහා නඩු පැවරීමේදී ප්‍රායෝගික ගැටලු ඇති වන බව එහිදී ඇයට සඳහන් කර ඇත. නමුත් ඇයට උපදේශයක්‌ දී තිබේ. එනම් මන්ත්‍රීවරයකු හරහා මෙම සිද්ධිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය. ඔවුන්ගෙන් කෙනෙකු එම වගකීම භාරගනු ඇතැයි අපි විශ්වාස කරමු.

රෝහලකදී මෙවැනි සිද්ධියක්‌ වූ විට වසර දෙකක්‌ ගත වීමට පෙර නඩු පැවරිය යුතුය. සසික දරුවා ෙ€දවාචකයට මුහුණපෑවේ 2009 අප්‍රියෙල් 4 වැනිදාය. වසර දෙකක්‌ ඉක්‌මයැමට ඇත්තේ තව මාස නවයකටත් අඩු කාලයකි. ඉන්පසු නඩු පැවරුවාට වැඩක්‌ නැත.

අපි සසිකගේ නිවසට ගිය විට පැමිණි ගම්මුන් පැවසුවේ එම වසර දෙකක කාලය ඉක්‌ම යනතුරු පරීක්‍ෂණවල ප්‍රතිඵල ලබා නොදීමේ කුමන්ත්‍රණයක්‌ පවතින බවයි. බෙන්තොට රෝහලේ බලධාරීන් ඊට මැදිහත් වී ඇති බවට ද ඔවුහූ චෝදනා කරති.

මේ අතරතුර 2009 ජුලි 8 වැනිදා බෙන්තොට රෝහලේ වෛද්‍ය නිලධාරියා මානව හිමිකම් කොමිෂමට පැහැදිලි කිරීමක්‌ කරමින් දන්වා ඇත්තේ සසික දරුවාගේ පර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති බොහොමයක්‌ කරුණු අසත්‍ය බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්‍ෂණයක්‌ සිදු කෙරෙන බවත් එහි ප්‍රතිඵල ලැබුණු විගසම ඒ සම්බන්ධයෙන් කොමිසම දැනුවත් කරන බවත් එහි සඳහන්ව ඇත.

වෛද්‍යවරයාට ද තමන්ගේ පැත්තෙන් ඒසේ කීමට ඇති අයිතිය අපි පිළිගනිමු. එමෙන්ම ඔහු සියලුම චෝදනා ප්‍රතික්‍ෂේප කර නැත. "බොහොමයක්‌ කරුණු අසත්‍යයි" යනුවෙන් සඳහන් කරන්නේ එබැවිනි.

එම නිසා දැන් කළ යුතුව ඇත්තේ පැවැත්වූ පරීක්‍ෂණවල ප්‍රතිඵල දරුවාගේ පාර්ශ්වයන්ට ලබාදීමය. අක්‍රියවී ඇති අත වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක්‌ ලබාදීමට කටයුතු කිරීමය. වැරැද්දේ තරම නිවරැදිව සොයා බලා ඊට අවශ්‍ය විනයානුකූල හා නීත්‍යනුකූල පියවර ගැනීමය. නැතිනම් හෙට දිනයේදී තවත් කෙනකු සසික දරුවා මුහුණ දුන් ෙ€දනීය ඉරණමට මුහුණ දීමට ඉඩ ඇත.

සටහන
අනුරාධ හිරිපිටියගේ
ඡායා- නිශ්ශංක සංජීව
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.