සුද්දන්ගේ කාලයේ රසකතා
මැරී බිම වැටෙනතුරු අලියෙකු මෙහෙයවූ මිනිසා-හෙන්රි පර්ක්‌ස්‌

ඒ කාලයේ "ගිනස්‌පොත" තිබුනේදැයි, නොදනිමු. තිබුණේ නම් මේ "කතාව" අනිවාර්යයෙන්ම ඊට ඇතුළත්වෙනවා නොඅනුමානය. මෙහි ප්‍රස්‌තුතයෙන් එම වාර්තාව ඔබට කෙටියෙන් අවබෝධ වන්නට ඇත.

ඒ "සුද්දන්" අපව පාලනය කරමින් සිටි යුගයයි. මේ "කතාව" ක්‍රි.ව. 1847-48 තරම් කාලයේ සිදු වූවකි. වත්මන් නුවරඑළිය කෘෂිකාර්මික ජීවන රටාවකට යොමු කරනු ලැබූ "සුද්දා" නුවරඑළියේ සර් සැමුවෙල් වයිට්‌ බේකර්ය. ක්‍රි.ව. 1815 දී එවක ලංකාව (වත්මන් ශ්‍රී ලංකාව) "සුද්දන්ට" යටත්වීමෙන් පසුව එංගලන්තයේ වගාවට යොමුවී සිටි ඇතැම් සුද්දෝ තම නව යටත් විජිතය වූ "ලංකාව" ගැන කරුණු අසා දැනගෙන නාවික යාත්‍රා මගින් අපේ මේ දිවයිනට පැමිණියහ.

වෛද්‍ය ජෝන් ඩේව් ක්‍රි.ව. 1819 දී පමණ නුවරඑළියට සම්ප්‍රාප්තව ගිය පසු "සුද්දන්ට" සුදුසු මනරම් වූ කදිම, දේශගුණික රටාවක්‌ නුවරඑළිය ප්‍රදේශයෙහි පවතින බව සිය පෞද්ගලික අත්දැකීමෙන් වටහාගත් බැවින්දෝ, ඔහු මේ වග එංගලන්තයේ සිය මිත්‍රයන්ට දන්වා යෑවීය. සර් සැමුවෙල් වයිට්‌ බේකර් නමැති "සුද්දා" අප රටට ආවේද එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.

බේකර් සමග ස්‌වකීය මිත්‍ර හෙන්රි පර්ක්‌ස්‌ද (අපේ කතානායකයා) පැමිණියේය. පර්ක්‌ස්‌ දක්‌ෂ අසරුවෙකි. එමෙන්ම "ටිකක්‌" මත්පැන් පානයටද පුරුදු වූවෙකි. බේකර් මේ බව දනී. මත්පැන් "ටිකක්‌" ගත්තාට ඔහු ඉතා අවංක, විශ්වාසවන්ත පුද්ගගලයකු වග බේකර් දනී.

නුවරඑළියේ කෘෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය වන කෘෂි උපකරණ, තමාගේ වියදමින්ම "අර්ල් ඔෆ් හාඩ්වයික්‌" නෞකාවෙන් කොළඹ වරායට ගෙන්වාගනු ලැබීය. එවකට නුවරඑළියට පාර වැටී තිබුණේ "රම්බොඩ" හරහාය. වර්තමානයේද එසේය.

නමුත් අද මෙන් නොව එදා නුවරඑළි ගියේ අශ්වකෝච්චියෙනි. බේකර්ගේ කෘෂි උපකරණ අශ්වකරත්තයේ පටවා "රම්බොඩ දුර්ගය"
(RAMBODA PASS) දක්‌වා ගෙන එනු ලැබීය. ලංකාවේ ගමන් මාර්ග ගැන පූර්ව හැඳින්වීමක්‌ හෝ අත්දැකීමක්‌ හෝ නොලබා සිටි අශ්වාරෝහක හෙන්රි පර්ක්‌ස්‌ රම්බොඩ වංගුවකදී කරත්තය පෙරලා ගත්තේය. පර්ක්‌ස්‌ මගදී "පොඩි සප්පායමක්‌ද" රසවිඳි බව පසුව දැනගන්නට ලැබිණි.

අශ්වකරත්තය පෙරලුනු වග නුවරඑළියේ සිටි බේකර්ට දැනගන්නට ලැබිණ. ඔහු මෙවැන්නක්‌ බලාපොරොත්තුවද සිටි බව කියනු ලැබේ. ඇත්ගොව්වෙකුද සමග අලියෙකු රැගත් බේකර්, රම්බොඩට පැමිණ තමා බෙහෙවින් ඇලුම් කළ කරත්තය අශ්වයන්ද සමග බෝක්‌කුවකට පෙරළී උඩුකුරුව තිබෙනු දක්‌නා ලදී. කිසිවෙකුට (පර්ක්‌ස්‌) තුවාල සිදුවී නැත. කරත්තය අලියා විසින් ඇද ගොඩට ගනු ලැබීය. ධාවනය කළ නොහැකි අබලන් තත්ත්වයක පැවැති හෙයින් රම්බොඩ සිට නුවරඑළියට අශ්ව කරත්තය අලියා මගින් ඇදගෙන එන ලෙස බේකර් මහතා ඇත්ගොව්වාට කීවේය. තුවාල ලබා සිටි එක්‌ අශ්වයෙකු රම්බොඩදීම විනාශකර දමනු ලැබීය. එය යුරෝපීයයන්ගේ සිරිතකි.

අශ්වාරෝහක හෙන්රි පර්ක්‌ස්‌ට පාගමන නුහුරුය. ඇත්ගොව්වාට ස්‌වභාවයෙන්ම එය හුරුය. ඇත්ගොව්වාට තර්ජනය කොට බියගන්වා පර්ක්‌ස්‌ අලියා පිටට නැග්ගේය. අශ්වයන් "එලවූ"
(RIDE) පුරුද්දට පර්ක්‌ස්‌, කරත්තය පිටුපස බැඳි අලියාද වේගයෙන් "දක්‌කන්නට" විය. ඇත්ගොව්වා කොකෙකුත් අවවාද දුන්නද පර්ක්‌ස්‌ නොවේ ඒවා "සතයකට" වත් ගණන් ගත්තේ. "රම්බොඩ සිට ටොප්පාස්‌" (නුවරඑළියට ඇතුළුවන කඳු මුදුන) දක්‌වා එකම නැග්මය. වාහනද ධාවනය වනුයේ පළමුවැනි "ගියරයේය". කරත්තයද පිටුපස බැඳි අලියා හති දමමින් කන්ද නැග්ගේය. පර්ක්‌ස්‌ අලියා පිට උඩ සිට ඌට හෙන්ඩුවෙන්ද අනිමින් තව තවත් (අශ්වයෙකු පරිදි) දිවීමට අණ කළේය. ඇත්ගොව්වාද අලියා පසුපස දුවමින් ආවේය. බැරිම තැන ඒ අහිංසක "සත්ත්වයා" (අලියා) මහමග ඇදවැටී අවසන් ගමන් ගියේය. එංගලන්තයේදී අශ්වයන්ගෙන් කරන්නට යන වැඩ ලංකාවේදී අලි ඇතුන්ගෙන් කරන්නට යැම මෙය කාටත් පාඩමකි.

ඇත්ගොව්වා පසුදා හෙණ්‌ඩුවද අතැතිව බේකර් මහතා ඉදිරියේ පෙනී සිටියේය. තියුණු කල්පනා ශක්‌තියකින් හෙබි බේකර් මහතාට සිද්ධවී ඇති "දෙය" තේරුම් ගැනීමට වැඩි කාලයක්‌ ගියේ නැත. ඔහු අලියා මැරී වැටුනු තැනට පැමිණ කළ යුතු කටයුතු ඉටු කොට තම සේවකයා හෙන්රි පර්ක්‌ස්‌ කොහිදැයි බැලීය. මහමග බෝක්‌කු කණුවක්‌ මත හිඳගෙන බිම බලාගෙන සිටින තම අව්‍යාජ, අවංක, විශ්වාසවත් එහෙත්, "අඩියක්‌" ගැසූ පසු උන්මාදයෙකු පරිදි ක්‍රියාකරන තම සේවකයා දිටීය.

මැරී බිම වැටෙනතුරු අලියෙකු මහමග "දැක්‌කූ"
(RIDE)ලෝකයේ එකම පුද්ගලයා (එවකට) 'Eight Years in Ceylon' තම සේවක හෙන්රි පර්ක්‌ස්‌ බව බේකර් මහතා සිය කෘතියෙහි සඳහන් කරයි.

ස්‌ටැන්ලි සේනාධීර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.