සිහින අරන් අම්මා ගිහින් අම්ම මමයි ඇය එනකන්

අයේෂා නව හැවිරිදි දැරියකි. ඇයට අහමඩ් නමැති වයස අවුරුදු හතක බාල සහෝදරයකු සහ වයස අවුරුදු එකහමාරක කිරි බොන වයසේ සහෝදරයකු ද සිටී.

අයේෂාගේ මවගේ නම අලීමා බීවාය. පියා අනුරය. අලීමා බීවා මුස්‌ලිම් ජාතික කාන්තාවක වූ නිසා අනුර අන්වර් ලෙස නම වෙනස්‌ කර ගත්තේ බිරිඳ මුස්‌ලිම් වූ නිසාය. මේ අය පදිංචිව සිටියේ අනුරාධපුර දේවානම්පියතිස්‌ස පුරයේය.

අයේෂා සහ හත්හැවිරිදි අහමඩ් යන දරු දෙදෙනා පාසල් ගියේ අනුරාධපුර දේවානම් පියතිස්‌ස පුර විද්‍යාලයටය. අයේෂා හයවන පංතියේද අහමඩ් දෙවැනි පංතියේද ඉගෙනුම ලබමින් සිටියහ.

මවත් පියාත් රස්‌සාව ලෙස කළේ කුලී වැඩය. පියා කොළඹ සිට අනුරාධපුරයට පැමිණ ඇත්තේ ඒ පියාගේ මව සෙවීමට යෑයි කියති. මව කෙසේ වෙතත් අනුර නමැති අයේෂලාගේ පියාට අලීමා බීවාව මුණ ගැසිණි. එතැන් පටන් අනුර අන්වර් බවට හැරී කාලයාගේ ඇවෑමෙන් දරු තිදෙනකුගේ පියකු බවට පත්විය.

නැති බැරිකම මේ පුංචි පවුලටත් දැනිණි. අන්වර් ආපසු කොළඹට පිය ඔසවන්නට වූයේ අනුරාධපුර දේවානම්පියතිස්‌සපුර ප්‍රදේශයේ කුලියක්‌ මලියක්‌ සොයාගන්නට බැරි වූ තැනය. අන්වර් කොළඹ එනවිටත් අයේෂා සහ අහමඩ් යන දරු දෙදෙනා පාසල් ගියහ. ඒ දරුවෝ ඉගෙනීමට දක්‍ෂයෝය.

අන්වර් කොළඹය. අන්වර්ගේ බිරිඳ හොර රහසේ රැකියා ඒජන්සියකට ගියාය. රැකියාවක්‌ ලැබිණි. වීසාද ගුවන් ටිකට්‌ පතද ලැබිණි. දරු සෙනෙහස ඒ මවගේ හදවත අතැර පලා යද්දී ඇය කටුනායක ගුවන් තොටුපළේ ගුවන් යානයකින් මුහුදෙන් එතෙරට පියෑඹුවාය.

නිවසේ තනි වූයේ දරු තිදෙනෙකි. එක්‌ දරුවකු කිරි සප්පයෙකි. අනෙක්‌ දරු දෙදෙනා දාහතර හැවිරිදි සහ හත් හැවිරිදිය. මේ දරු තිදෙනා තනිවූයේ දුෂ්කර ගමක පිහිටි නිවසකය.

අයේෂා මවක මෙන් දිරිය ගෙන ලිප මොළවා වතුර කේතලය ලිප තබන්නටත්, කිරි පිටි ටිකක්‌ අසල වෙළෙඳසලෙන් ණයට ඉල්ලා ගෙනවිත් වයස එකහමාරක දරුවාට පෙවීමටත් පුරුදු වූවාය.

අයේෂා ඒ දේවල් කළේ මල්ලි කිරි ඉල්ලා හඬන නිසාය. හැඬුම නතර කිරීමට දන්නා නැළවිලි ගී ගැයුවත් හැඬුම නතර වූයේ නැත. ඒ පුංචි අයේෂා ගෙයක්‌ ගෙයක්‌ ගානේ ගොස්‌ මේ දුක කියන්නට වූවාය. පියා කොළඹය. මව පිටරටය. දරු තිදෙනකු තනිවී දුක්‌ විඳිති. අයේෂාගේත් අහමඩ්ගේත් පාසල් ගමනද නතරව ඇත.

දරු සෙනෙහස නොදත් මවක සේ ඒ මව කාටත් හොරා පිටරට ගියේ කෙළෙසද? විවාහය, විවාහයෙන් පසු දරුවන් ලැබීම බරක්‌ වන බව මේ මාපියෝ නොදනිත්ද? දරුවන්ගේ බඩගින්දර නිවන්න යෑයි කියමින් දරුවන් අතරමංකර පියා කොළඹට ඒමත් මව පිටරට යැමත් හරිද?

මේ දරු තිදෙනා මාස දෙකක පමණ කාලයක්‌ තිස්‌සේ ජීවිත ගෙවා අත්තේ වැඩිහිටියකුගේ රැකවරණයකින් තොරවය.

ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය මේ පිළිබඳව දැන සිටියේ දැයි නොදනිමු.

නමුත් උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවට මේ දරු තිදෙනා පිළිබඳව කවුරුන් හෝ තොරතුරක්‌ ලබාදී තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ කලාප පරිවාස කොමසාරිස්‌ කේ. බී. වී. ඩී. මුතුගල මහතා වත්සලා සහ තක්‌ෂිලා, නමැති නිලධාරිනියන් දෙදෙනකු සමග දරු තිදෙනා සිටි නිවස වෙත ආහ. ඒ වන විට දරු තිදෙනා සිටියේ හාමතේය. බඩගින්දර ඒ දරුවන්ට නුපුරුදු දෙයක්‌ නොවේ. නමුත් ඒ මළානිකව සිටි දරු තිදෙනා දුටු කල ඒ අයගේ ද නෙත් අගට කඳුළු පිරිණි. ඒ කඳුළු කැට දෙකම්මුල් තෙත් කරමින් බිමට වැටුණේ අයේෂා කථා කරන්නට වූ පසුවය.

නැන්දේ මට ලිප මොළවන්න පුළුවන්. වතුර ලිපේ තියලා කිරි හැඳි ගානට සීනි දාල මල්ලිට පොවන්න මට පුළුවන්. පාසල් යන්න ආසයි. ඒත් මල්ලිව බලාගන්න වැඩේ කරන්නේ කවුද? අම්මා, තාත්තා ළඟ හිටිය නම් මටත් සෙල්ලම් කරන්න තිබ්බ. පාසල් යන්න තිබ්බා. ඇය කියන්නට වූවාය.

දාහතර හැවිරිදි මේ අයේෂා දැරිය බාල සහෝදර දෙදෙනකුට මවක්‌ වූයේ එලෙසිනි. වයස අවුරුදු එකහමාරක පුංචි දරු පැටියා මවකගේ උණුසුමට රාත්‍රියේ ගාල් වූයේ අයේෂා ගේ පුංචි සිරුරටය. නැති බැරිකම මේ තරම් නපුරු දැයි ඒ දරුවනට දැනුණිදැයි නොදනිමු. නමුත් ඒ විඳි දුක්‌ කරදර හා බඩගින්දර ඒ දරුවන්ට දුන් වේදනාව නම් කිසිම දවසක ඒ අයට අමතක නොවන බව දනිමි.

මේ දරු තිදෙනා සිටියේ ඉතියෝපියාවේ නම් සෝමාලියාවේ නම් අපි පුදුම නොවෙමු. නමුත් මේ අය සිටියේ අනුරාධපුරයේය. මෙවැනි දරුවන් තව කොතෙකුත් මේ රටේ අහුමුළුවල සිටින බව දනිමු. ඒ අය සොයා ඒ අයට සරණවීම ළමා ආරක්‍ෂණ අධිකාරියේ වගකීමය. ජනතාව එවැනි දරුවන් පිළිබඳව වගකිවයුත්තන්ට හෙළිකළ යුතුය.

විදේශ රැකියාවලට මවුවරු යන්නේ මෙවන් පසුබිම් තිබියදී නම් ඒ අය පිටරට දී වැඩ කරන්නේ කෙළෙසද? නැති බැරිකම සමග උරණ වී හදිසියේ රට ගියද ආපසු ඒ දරු පැටව් සිහි වී මෙරටට එන්නට වළි කන්නේද මෙවැනි මවුවරුය. ගිවිසුම් අත්සන් කර රට ගොස්‌ ඒ ගිය වේගයෙන් ආපසු මෙරටට ඒමට නොහැකි බවද මේ අය නොදනිති. උඩු මහළින් බිමට පනින, පිටරට හාම්පුතුන් සමඟ ගුටි බැට හුවමාරු කර ගන්නා අය අතර මෙවැනි මවුවරුද සිටිති.

එනිසා රට යවා කීයක්‌ හෝ අත මිට මොළවා ගැනීමට සිතන රැකියා ඒජන්සි රට යන ඇත්තන්ගේ පසුබිමද සෙවීම වටී. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයද මෙවැනි අය පිළිබඳව සෙවිය යුතුව තිබේ. රට ගොස්‌ සිටින විගමනිකයන් වෙනුවෙන් සුබසාධන කටයුතු සඳහා වසරකට විශාල මුදලක්‌ වැය කරන කාර්යාංශයේ සුබසාධන අංශය මෙවැනි දරු පවුල් පිළිබඳව කරන සොයා බැලීම පිළිබඳව අපි නොදනිමු. එනිසා මේ දරු පැටව් තිදෙනා පිළිබඳ වගකීමෙන් කොටසක්‌ද කාර්යාංශය භාරගත යුතුය. මේ දරු තිදෙනාට කාර්යාංශයේ සුබසාධනයක්‌ නොලැබෙන්නේ නම් ඒ සුබසාධනයද ඵලක්‌ නොවනු ඇත.

එනිසා අනුරාධපුර දේවානම්පියතිස්‌ස පුරයේ සිටි මේ දරු තිදෙනා විපතින් බේරාගන්නා සේ දෙපයින් නගා සිටුවීමේ වගකීමද ළමා ආරක්‍ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය භාරගත යුතුව තිබේ.

ශිරාන් රණසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.