විදේශ රැකියාවේ ගැටලූ සහ විසඳුම්

මැද පෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ දහසයකට අධික ශ්‍රී ලාංකික පිරිසක්‌ මේ වනවිට සේවය කරති.

මේ අයගෙන් කුවේටයේ සේවය කරන පිරිස ලක්‍ෂයකට වැඩිය. මමද කුවේටයේ සේවය කරන අයෙකි. කුවේටයේ ගෘහ සේවිකාවන් පිළිබඳව හා ඔවුන්ට සිදුවන හිරිහැර ප්‍රශ්න පිළිබඳව මම හොඳාකාරව දනිමි.

"දිවයින" ඉරිදා සංග්‍රහයේ මැදපෙරදිග පිටුව මම කියවමි. එහි ඇති ලිපි මගින් අසරණ වන හිරිහැරවලට ලක්‌වන හා මැදපෙරදිග රටවලදී මියෑදෙන අය වෙනුවෙන් හඬක්‌ නගන බවද පෙනේ. නමුත් අදටත් පිටරට සිටින අයගෙන් පිරිසක්‌ මේ කරදරවල පැටලී සිටින වග කිව යුතුය.

ඒනිසා කුවේටයේ රැඳී සිටින මා දකින විදෙස්‌ රැකියා සම්බන්ධ ප්‍රශ්න හා ඒවාට ලබාදිය යුතු යෑයි මා විශ්වාස කරන යෝජනා කිහිපයක්‌ මෙසේ ලියා දක්‌වමි. මේ ප්‍රශ්න හා මගේ විසඳුම් පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරන්නේ නම් අගය කොට සලකමි.

විශේෂයෙන්ම තානාපති කාර්යාලවල රැකවරණය පතා එන පිරිසද කරදරයට වැටෙන බව දනිමි. විදෙස්‌ගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න කිහිපයකි මේ.

1. පිටරට දේශගුණයන්ට ඔරොත්තු නොදීම.

2. ඒ රටවල භාෂාව පිළිබඳ නොදැන සිටීම.

3. සේවය කිරීම නිශ්චිත කාලයක්‌ නැතිවීම.

4. සතියකට නිවාඩුවක්‌ නොමැතිවීම.

5. ශ්‍රී ලංකාවේ පවුල් සංස්‌ථාව පිළිබඳ සිතා මානසික අසහනයක්‌ ඇතිකර ගැනීම.

6. අනුන්ගේ වහසි බස්‌වලට රැවටී කරදරවලට වැටීම.

7. නූගත් හාම්පුතුන්ගේ දරුවන් හා භාර්යාවන්ගේ තාඩන පීඩන වලට මුහුණදීමට සිදුවීම.

8. තමන් පිටරට පැමිණි කාර්ය ඉතාමත් ඉක්‌මණින් අමතක වීම.

මේවාට විසඳුම් මෙසේය.

1. කාන්තාවන් පිටරට එවීමේදී කිසිදු මුදලක්‌ අය නොකර, එම ඒජන්සිවලට අවශ්‍ය මුදල් සහ රක්‍ෂණය වැනි දෑ රජය මගින් ලබාදීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කර දීම.

02. කාන්තාවන් මැද පෙරදිග රටවල සේවය කිරීමේදී වසර තුනක කාලයකට සීමා කිරීම. මෙය මොනම හේතුවක්‌ නිසා හෝ එම කාලය දික්‌ නොකිරීමට නීති රීති හඳුන්වාදීම.

3. නිශ්චිත දිනයකදී අදාළ මස වැටුප් බැංකු ගිණුමකට යෑවීමට සැලැස්‌වීම. (මෙය දැනට කුවේට්‌ රජය විසින් සේවා වීසා ඇති අය සඳහා අනිවාර්ය කර ඇත.)

4. මෙම කාන්තාවන් උපයන මුදල් පළමු 6 මස තුළ ඇයට කැමැති ආකාරයට පරිහරණය කිරීමට ඉඩදී ඉන් පසුව ලැබෙන වැටුපෙන් සියයට පනහක්‌ අනිවාර්යයෙන් බැංකු ගත කර කොන්ත්‍රාත් කාලය අවසන් වන විට ඇයට ආපසු එය ලබාදීම.

5. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට ගෞරවාන්විතව ජීවත්වීමේ පරිසරයක්‌ ඇති කර ක්‍රම ක්‍රමයෙන් කාන්තාවන් ගෘහසේවයට පිටරට එවීම සම්පූර්ණයෙන්ම නවත්වා දැමීම.

මෙම ප්‍රශ්න හා විසඳුම්වලට අමතරව තවත් ප්‍රශ්න හා විසඳුම් ඇතැයි මම දනිමි. කාන්තාවක්‌ රටේ අගමැති වූයේ මුල්වරට ශ්‍රී ලංකාවේය. අපේ කාන්තාවන්ට එවැනි අභිමානයක්‌ ද නායකත්වයක්‌ ද තිබේ. නමුත් නැතිබැරිකම නිසා මේ ශ්‍රී ලංකාවේ අභිමානවත් කාන්තාව ධනකුවේරයන් ළඟ දනින් වැටී දුක්‌ විඳිති. ඒනිසා ශ්‍රී ලාංකික කාන්තාව නුපුහුණු ශ්‍රමිකයන් ලෙස මැදපෙරදිග රටවලට එවීම පිළිබඳ දෙවරක්‌ නොව කිහිපවරක්‌ම කල්පනා කර නතර කර දැමිය යුතු වගද සඳහන් කරමි.

රංජිත් උක්‌වත්තගේ
සෆට්‌-කුවේට්‌
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.