මාරියනුත් හරියට ඔයගොල්ලන්ගෙ පබා වගේද !
ජනපති කරුගෙන් අසයි

ඉතා වැදගත් දේශපාලන හමුවීම් හා ගමන් බිමන් මෙන්ම සාකච්ඡා කිහිපයක්‌ සිදුවූ සතියක්‌ ලෙස පසුගිය සතිය අපට වැදගත්ය. ඒ අතර පළමු තැන ලැබෙන සිද්ධිය වනුයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ හමුවීමය...

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ හා ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය මෙතෙක්‌ දිනක්‌ උපරිමයෙන් විවේචනය කරමින් ලොකු දේශපාලන පෙරළියක නිරතව සිටි විපක්‍ෂ නායකවරයා හිටි හැටියේම ජනාධිපති මහින්ද හමුවීමට සිතුවේ ඇයි... ඒ වූ කලී පසුගිය සතියේ අපේ රටේ දේශපාලන නිරීක්‍ෂකයන් මෙන්ම විචාරකයන්ගේ මනස වෙහෙසට පත් කළ ප්‍රශ්නයක්‌ වූයේය.

රනිල් වික්‍රමසිංහ සිය පක්‍ෂය තුළ පතුල බිඳගෙන නැඟුණු අර්බුදය සමනය කර ගැනීමට ගත් සටකපට දේශපාලන ක්‍රියාමාර්ගයක්‌ ලෙස සමහරු මෙය විග්‍රහ කරන්නට වූහ. තවත් සමහරු කීවේ රටේ අනාගතය වෙනුවෙන් ඉටුවිය යුතු සුබවාදී ක්‍රියාදාමයක එක්‌ ආරම්භයක්‌ පමණක්‌ බවයි.

ඒ කෙසේ වෙතත් මේ යාදෙක නොරත රත දීගයේ පසුබිමෙහි නම් අපූරු කතාන්දර රැසක්‌ම තිබිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මුණගස්‌වා රටේ දැවෙන ප්‍රශ්න ගැන සාර්ථක විසඳුමක්‌ සෙවීමටද මේ රටේ යම්කිසි පිරිසක්‌ උත්සාහ කළ බව රහසක්‌ නොවේ. ඒ උත්සාහයන් ටිකෙන් ටික මල් පල ගැන්වෙමින් තිබෙන අතරවාරයේ දෙදෙනා අතර සෘජු ද්විපාර්ශ්වික සාකච්ඡාවකටද පාර කැපිණි. මේ සාකච්ඡාව සිදු කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආරාධනයකට අනුව පසුගිය 10 වැනිදා සෙනසුරාදා උදේ වරුවේ අරලියගහ මන්දිරයේදීය.

මෙහිදී ජනාධිපතිවරයා මතු කළේ විධායක ජනාධිපති ක්‍රමයෙහි වෙනසක්‌ ඇතිකර යම් ව්‍යවස්‌ථා වෙනසක්‌ ජනතාව ඉල්ලන නිසා තමන් එය ලබා දීමට කැමති බවය.

ජනතාව ඉල්ලුවාට වඩා ඔබ ජනතාවට පොරොන්දුවක්‌ දුන්නේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරනවා කියා රනිල් කීවේය.

ජනාධිපතිවරයා තමන් එය ඉටුකිරීමට කැමැති බව කියමින් ඒ සඳහා විපක්‍ෂ නායකවරයාගේ ආකල්පය කුමක්‌ දැයි අසා සිටියේය.

මට තනි තීන්දුවක්‌ ගෙන ඔබ හා ඒ ගැන කතා කරන්න බැහැ. අපි පක්‍ෂය හැටියට කතා කරන්න වෙනවා. අවශ්‍ය නම් අපේ පක්‍ෂයේ නියෝජිත පිරිසක්‌ රැගෙන මම ඔබ හමුවන්නම්.

ඔව්... ඒක හොඳයි. කල් නොයවා අපි එහෙනම් ලබන සඳුදාට මුණගැසෙමු. පාර්ශ්ව දෙකේ නියෝජිත සාකච්ඡාවක්‌ විදියට අපි හමුවෙලා ව්‍යවස්‌ථාවේ කළ යුතු වෙනස්‌කම් මොන වගේද කියලා කතා කරමු.

දෙදෙනා එදා වෙන්වී නික්‌ම ගියේ යළිත් සඳුදා සවස අරලියගහ මන්දිරයේදී හමුවී කතාබහ කරන එකඟතාව ඇතිවය.

මම දැන් යන්නේ කඩවත තියන ජීවන වියදම පිළිබඳ උද්ඝෝෂණයකට. ජීවන වියදම අඩු කරන්න නිශ්චිත උත්තරයක්‌ දෙනව නම් මට තිබුණා ඒ උද්ඝෝෂණය නතර කරන්න...

රනිල් එසේ විහිළුවක්‌ කරගෙනම යන්නට ගියේය.

විමල්ගේ උපවාසය

විමල් වීරවංශ නම් සටන්කාමියා බෑන් කී මූන්ගේ හිතුවක්‌කාරයට එරෙහිව ආරම්භ කළ මාරාන්තික උපවාසය ඔහුගේ විරුද්ධවාදීන්ට සිනහවට කාරණාවක්‌ වුවත් මේ රට ගැන සිතන රටට ආදරය කරන බොහෝ දෙනකු තැති ගැන්වූ කාරණයක්‌ විය. ඒ විමල් එවන් කටයුත්තකට අත ගැසුව හොත් එහි ඇති බරපතලකම දන්නා නිසාය. විමල් බොරුවට උපවාස නොකරන බව දන්නා නිසාය. එහෙයින් හුඟ දෙනෙකු තැතිගෙන සිටියේ මෙහි අවසානය ඉතා දුක්‌බර එකක්‌ වේද යන බියෙනි.

විමල්ගේ උපවාසයේ දෙවැනි දිනය එළැඹෙන විට ඔහුගේ තත්ත්වය ඉතා අසාධ්‍ය පැත්තට බර වෙමින් තිබිණි. ඔහු පරීක්‍ෂා කළ විශේෂඥ වෛද්‍යවරු කීවේ ටිකෙන් ටික ඔහුගේ වකුගඩු විජලනය නිසා අක්‍රිය වෙමින් පවතින බවය. විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්ධනට කතා කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විමල්ගේ තත්ත්වය විමසා බැලීය. ළඟාවෙමින් පවතින අනතුර වහා වටහා ගත් ජනාධිපතිවරයා විමල් සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණ ඔහුගේ උපවාසය නතර කරවීමට නියෝජිතයන් කිහිප දෙනෙක්‌ ද එවනු ලැබීය.

මේ අනුව විමල් හා කතාබහ කිරීමට ඩලස්‌ අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන පැමිණියහ. මෙහිදී ජාතික නිදහස්‌ පෙරමුණ හා රජය අතර මූලික එකඟතා හතරක්‌ම ඇති වූ අතර එහි ප්‍රතිඵලයක්‌ අනුව තීරණයක්‌ ගන්නට විමල් එකඟ විය. රට බේරාගත් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යන්නට ඉඩ නොදීම, බෑන්කී මූන්ගේ ත්‍රිපුද්ගල කමිටුවට රජය අනුග්‍රහය නොදැක්‌වීම හා පහසුකම් සැලසීමෙන් ඉවත්වීම යන යෝජනාද ඒ අතර එකඟතා ලෙස තිබිණි.

විමල්ගේ උපවාසය නතර කරවන්නට ජනාධිපතිතුමන් පැමිණියේ නුවර සිටය. පැය 55 ක්‌ ම නිරාහාරව උපවාසයේ යෙදී සිටි විමල් ඒ මාරාන්තික උපවාසය නතර කළේ ජනපතිතුමන් හා විමල්ගේ දියණිය විමාෂා එක්‌ව විමල්ගේ මුවගට ළං කළ වතුර වීදුරුවෙන් උගුරක්‌ පානය කිරීමෙන් අනතුරුවය.

මේ තීන්දුවට රජය හා විමල් එක්‌ව එළැඹ තිබීම රටේ බහුතර පිරිසකගේ සැනසුම් සුසුමකට හේතුවක්‌ වුවත් ප්‍රශ්න දෙස වපරැසින් බලන ගමන් සුළු පිරිසකගේ මුවඟට අපහාස සිනහවක්‌ නංවන්නට ද හේතුවී තිබූ බව නොකියා සිටිය නොහැකිය.

ඒ ප්‍රශ්නය එතැනින් නිමා විය.

එහෙත් උපවාසය නිමා වී පැය කිහිපයකින් විමල්ට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වූයේය. ඒ ඔහුගේ සදාදරණීය මාතාව ජාතියෙන් සමුගැනීමය.

විමල් උපවාසය අරඹන විටදී ද විමල්ගේ මාතාව සිටියේ රෝගාතුරවය. විමල්ගේ හැටි හොඳින් දන්නා මාතාව උපවාසය නිසාද තැතිගෙන සිටියා නිසැකය.

රනිල් එයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජිත පිරිස සඳුදා හවස 4.45 වන විට අරලියගහ මන්දිරයට පැමිණ පහත ආලින්දයෙහි අසුන්ගෙන සිටියහ. රනිල්, කරු, තිස්‌ස, ගාමිණී ජයවික්‍රම හා ජෝෂප් මයිකල් මෙසේ පහත ආලින්දයෙහි අසුන් ගෙන සිටියේ ජනාධිපතිවරයා හා කතාබහ කිරීමට යෝජනා කිහිපයක්‌ ද සිත දරාගෙනය.

හරියටම සවස 5.00 ට ජනාධිපති මහින්ද ප්‍රමුඛ රජයේ නියෝජිත පිරිස එතැනට පැමිණියහ. මෛත්‍රී, නිමල්, සුසිල්, දිනේෂ්, බැසිල් හා ඩලස්‌ ඒ අතර සිටියහ.

පළමුව රනිල් මෙබඳු සාකච්ඡාවකට ඉඩ සලසා දීම ගැන ජනාධිපති මහින්දට ස්‌තුති කළේය.

අපි පෙරේදා පුද්ගලිකව කතා කළා. එහි දුරදිග යැමක්‌ හැටියට අපේ පක්‍ෂයේ අයත් එක්‌ක මම ආවේ සාර්ථක සාකච්ඡාවක්‌ බලාපොරොත්තුවෙන්... රනිල් කීය.

වෙනස්‌ වෙනත් මත අපි අතර තියෙනවා. නමුත් රටට යහපත් දෙයක්‌ වෙනුවෙන් පොදු මතයකට ඇවිත් වැඩ කරන්න අපට බැරි නැහැ. අපි ඒකට සූදානම් වෙමු.

මේ අතර ගාමිණී ජයවික්‍රම කතාවෙන් පිට පැන යෝජනාවක්‌ කළේය.

හැබැයි ජනාධිපතිතුමා අපේ මන්ත්‍රීවරු නම් ආයෙත් ගන්න එපා.

මම කවුරුවත් ගත්තේ නැහැ. මේ කරුලා සාක්‍ෂි මම කාවවත් ගත්තද?... කරු විතරක්‌ නොවෙයි ජී. එල්ලත් දන්නවා. මට වුවමනා වුණා මේ රටේ යුද්ධය දිනන්න. රට බේරා ගන්න. ඒකට ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ ඕන. මම කළේ ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ හදන එක. මට ඒකට හුඟ දෙනෙක්‌ උදව් කළා.

මේ අවස්‌ථාවේ එජාපයේම පිරිස කරු දෙස බලමින් කතා කරන්නට පටන් ගත්තේය.

අපි මේ මාතෘකාවෙන් එළියට යමු. මේක ගැන කතා කළොත් මටත් තියෙනවා හුඟක්‌ දේ කතා කරන්න. කරු ජයවික්‍රමට කීවේය.

ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ රටට තියෙන්න ඕන කියල මමත් පිළිගන්නවා. මම මේ රටට ජනාධිපති ක්‍රමය ගේන්න මුල්වුණු කෙනෙක්‌. නමුත් දැන් මට විධායක ජනාධිපති කමේ දුර්වලකම් පේනවා. ඒ වගේම වෙස්‌ට්‌ මිනිස්‌ටර් ක්‍රමයේත් දුර්වලකම් තියෙනවා. රනිල් කීවේය.

ඒක තමයි අපි ගේන්නේ විධායක අගමැති ධුරය පිළිබඳ යෝජනාව. මම ඒක තිස්‌සලාගේ කමිටුවට යෝජනා කළා. ඒක ගැන අපි දෙගොල්ලාගේම අකමැත්තක්‌ නැහැනේ. ඒ නිසා අපි ඒ ගැන කතා කරමු. ජනපති කීවේය.

ඔබතුමා එහෙම නම් තරග වදින වාර ගණන දීර්ඝ කරගන්න හදන්නේ ඇයි? තිස්‌ස ඇසුවේය.

නැහැ. ඒක එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ යෝජනාවක්‌. ශ්‍රීලනිපයේවත් රජයේවත් යෝජනාවක්‌ නොවෙයි. නමුත් ජනාධිපතිතුමා ඉල්ලුවේ විධායක අගමැති ධුරය. මෛත්‍රී කීවේය.

මේ ජනාධිපතිකමට ඇවිල්ලා බලන්න ඕන. මහ කොන් වෙච්ච ධුරයක්‌. ජනපති කීවේය.

ඊළඟට සියලුම දෙනා ව්‍යවස්‌ථා සංශෝධනය ගැන කතා කළහ.

ව්‍යවස්‌ථාවක්‌ හදන්න ඕන පුද්ගල අවශ්‍යතා මත නොවෙයි. හොඳ දර්ශනයක්‌ මත පදනම් වෙලා. අපේ පක්‍ෂය ඇතුළේ කතාවුණා ජනාධිපති වාරය දීර්ඝ කිරීම ගැන. ඡේ. වී. පී. එක ඒකට වෙන වෙන අර්ථකථන දුන්නා. එච්චරයි. නමුත් ඊට වඩා පුළුල් තලයකට ගිහින් අපි වැඩ කරමු. ජනපති කීවේය.

පළාත් පාලන මන්ත්‍රීවරු පත්කරන එක ගැනත් ප්‍රශ්න තියෙනවා. අතාවුල්ලා ඇමැති, ඒ වුණාට එයා වුණත් දන්නේ නැහැ.

අනතුරුව බැසිල් ඒ ගැන එජාප නියෝජිතයන්ට පැහැදිලි කිරීමක්‌ කළේය. දිනේෂ් ඇමැතිතුමාගේ කමිටුවෙන් ඒ ගැන ලොකු වැඩපිළිවෙළක්‌ සාදා ඇති බව හේ කීවේය.

බැසිල් බැරිද ඔයාලටයි අපිටයි එකට වාඩිවෙලා ඒ යෝජනා ගැන කතාබහ කරන්න. පොදු වැඩපිළිවෙළකට එන්න රනිල් ඇසීය.

මොකද බැරි පුළුවන්.

කොහේදිද?

හෙට දිනේෂ් ඇමැතිතුමාලයි ගෙදරදී.

ඒ අනුව සියලුම දෙනා ඒ ගැන කතා කරන්නට එකඟ වූහ. ඊට තිස්‌ස, ගාමිණී හා ජෝෂප් මයිකල් එජාපයෙනුත් දිනේෂ්, බැසිල්, ජී.එල්. හා නිමල් සිරිපාල රජයෙනුත් සහභාගි වීමට කතිකා කර ගත්හ.

ඊළඟට එජාප නියෝaජිත පිරිස ප්‍රශ්න කළේ 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද කියාය.

ඒකේ ප්‍රශ්නයක්‌ නැහැ. අපි පැහැදිලි තීරණයක්‌ අරන් තියෙනවා ඒ ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවන්න. මාලදිවයිනේ වගේ නමට ප්‍රජාතන්ත්‍රවාදී වෙලා වැඩක්‌ නැහැ.

මේ කතාබහ මැද හවස තේ පැන් සංග්‍රහයක්‌ ද පැවැත්විණි. කිසිදු මාතෘකාවක්‌ ගැන ප්‍රශ්න ඇති නොවිණි. නියෝජිතයෝ සියලුම දෙනා ඉතා සතුටු සිතින් කතා බහ කළහ. තේ බීහ. විහිළු කළහ. ප්‍රශ්න ඇති තැන් ගැන කතාබහ කළහ. අනතුරුව මේ සබඳතාව දිගටම පවත්වාගෙන යැමේ අගය ගැන කතා කරමින්ම විසිර ගියහ.

සමුගැනීමට පෙර තවත් රසවත් කතාවක්‌ ඇතිවිය. ඒ මාලදිවයිනේ ප්‍රශ්නය ගැන කතා කරද්දීය.

දන්නවද මාලදිවයිනේ විපක්‍ෂයේ ලීඩ් කරන මන්ත්‍රීවරිය කවුද කියලා. හරිම ෆොaවඩ් හරිම රැඩිකල් ලේඩි... රනිල් කීය.

ආ... ඔව් මේ මොකක්‌ද සිංහල වගේ නමක්‌ නේද තියෙන්නේ.

කාක්‌කාගේ මාරියන් මාරි කියලයි කවුරුත් කියන්නේ. පාර්ලිමේන්තුවේදී හරි ෆයිට්‌... හරි එඩිතරයි... ආ... එහෙනම් මේ කරුලා ගම්පහින් ගෙනාපු පබා වගේ ඇති. පබාත් ඒ වගේ ෆයිට්‌ කරනවද කරු... මහින්ද කරු දෙසට හැරී විහිළුවක්‌ කළේය.

සාකච්ඡාව

පසුදා සවස 7.00 ට කොළඹ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාගේ නිල නිවසේ මේ දේශපාලන නාටකයේ ඉතිරි කොටස රගදැක්‌වෙන්නට පටන් ගත්තේය. මෙය නාටකයක්‌ යෑයි කියන්නේ මේ දෙස විමසිල්ලෙන් බලා සිටින දෙපාර්ශවයේම සතුරෝය. ඒ පිරිස බලා සිටියේ මේ දීගය කොයි මොහොත් පුපුරා දියවී දික්‌කසාද වී යාද කියාය.

එහෙත් එදාද එසේ නොවීය. තිස්‌සලා, ජයවික්‍රමලා, ජෝෂප්ලා, ජෝන්ලා පැමිණ බැසිල්ලා, දිනේෂ්ලා, ජී. එල්. ලා, නිමල්ලා සමග බොහෝ දේ කතා බහ කළහ. දිනේෂ් කතා බහට අවශ්‍ය අඩුම කුඩුම ලෙස ඉස්‌තරම් මත්පැන් හා රසමසවුළු ද සූදානම් කර තිබිණි. සාකච්ඡාව අවසන් භාගයේදී ඒවායෙහි අගය ද සුළුපටු නොවීය.

කතාබහ අතරතුර ජනාධිපති මහින්ද ද බැසිල්ට කතා කොට කතාබහෙහි තත්ත්වය විචාළේය.

ඉතාම සාර්ථකයි. හුඟක්‌ දේ කතාබහ වෙනවා. අපි කතා කළේ පාළාත් පාලන ඡන්දය කේවල කොට්‌ඨාස ක්‍රමයට පවත්වන එක ගැනයි. ඒක ක්‍රමයෙන් ඊළඟ මැතිවරණ වලට ගලප්පන හැටි අපි කතාබහ කරනවා.

මෙවර කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම 14 වැනි බදාදා පැවැත්වෙන්නේ කිළිනොච්චියේදී බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබුණේ මීට සති කිහිපයකට පෙරය. ඒ අනුව කැබිනට්‌ මණ්‌ඩලයේ සියලුම ඇමැතිවරු 14 වැනිදා උදේ 6.45 ට ගුවන් හමුදාවට අයත් විශාල ප්‍රමාණයේ හෙළිකොප්ටර් 2 කින් කොළඹින් පිටත්ව කිලිsනොච්චිය බලා ගමන් ඇරැඹූහ.

මෙම යානා දෙක උදේ 7.45 ට වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ගොඩබෑවේ එදින උදේ ආහාරය සියලුම දෙනා වෙනුවෙන් සකස්‌ කර තිබුණේ වවුනියාව හමුදා කඳවුරේ බැවිනි. ඇමැතිවරු වෙනුවෙන් සිංහල ක්‍රමයට තැනූ විශේෂිත උදේ ආහාර වේලක්‌ එහි සරි කර තිබිණි.

ආහාර ගත් ඇමැතිවරු වව්නියාව හමුදා කඳවුරු පරිශ්‍රය නිරීක්‍ෂණය කරමින් විවිධ ප්‍රශ්න අසන්නට වූහ. සමහරු ඇසුවේ මේ හමුදා කඳවුරට කොටි පහර දුන්නේ නැද්ද කියාය. මන්ද බොහෝ ඇමැතිවරු උතුරට නොව, වව්නියාවට ගොස්‌ තිබුණේද එදාය.

යුද්දෙ ඉවර වෙන්න මාස 3 ක්‌ තිබියදීත් මේ කඳවුරේ රේඩාර් පථයට කොටි ගැහුවා.

කොටින්ගේ අවසන් ගුවන් යානාවක්‌ වව්නියාවට ප්‍රහාර එල්ල කළ අයුරු නිලධාරීහු පැහැදිලි කර දුන්හ.

ඉන්පසුව නැවතත් හෙළිකොප්ටර්වලටම ගොඩ වූ ඇමැතිවරු 8.45 ට වව්නියාවෙන් පිටත්ව කිලිsනොච්චියේ 58 වැනි හමුදා මූලස්‌ථානයට ළඟා වූහ. එතැන් සිට ඉරණමඩු වැව සමීපයේ වූ කිලිනොච්චි බලසේනා මූලස්‌ථානයට ගියේ වාහනවලිsනි. මෙම මූලස්‌ථානය වූ කලී එදා ප්‍රභාකරන්ගේ ප්‍රභූ අමුත්තන්ගේ නිල කාර්යාල උත්සව ශාලා හා සම්භාෂණ ශාලා පරිශ්‍රයයි.

9.30 වනවිට එතැනට ගිය එකී ඇමැතිවරු ප්‍රභාකරන්ගේ විශාල සම්භාෂණ ශාලාවේ කතාබහ කරමින් බලා සිටියේ ජනාධිපතිවරයා මේ ඓතිහාසික කැබිනට්‌ රැස්‌වීමට පැමිණෙන තුරුය. ඔවුහු අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ.

කැබිනට්‌ රැස්‌වීමකට නොවෙයි. ආයෙත් කිලිsනොච්චියට වත් මේ විදියට එන්න වේවි කියල එදා කවුරුවත් හිතුවද..... එස්‌. බී. කීය.

අපි මෙතැනට මීට කලින් ජීවිතේට ඇවිත් නැති වුණාට මේ සහෝදරය නම් ඕනතරම් මෙතැන ඉඳල ඇති. ඇමැති ඩලස්‌ එසේ කීවේ පිල්ලෙයාන් මහ ඇමැතිවරයාගේ කරට අත දමාගෙනය.

ඔව්..... ඒත් මම අන්තිමට මෙතැනට ආවේ කරුණා අම්මාන්ගේ මඟුල් ගෙදර දවසේ. ඊට පස්‌සේ ප්‍රභා එක්‌ක තරහ වුණාට පස්‌සේ නම් මමත් මේ ආවේ අද. පිල්ලෙයාන් හිනාවෙමින් කීවේය. පිල්ලෙයාන් පැමිණ සිටියේ මහ ඇමැතිවරුන්ටද මේ කැබිනට්‌ රැස්‌වීමට ආරාධනයක්‌ තිබූ නිසාය.

10.10 ට කැබිනට්‌ රැස්‌වීම පටන් ගැනීමට තිබූ බැවින් ඇමැතිවරු සැවොම වාඩි වී බලා සිටියේ, ජනාධිපතිවරයා එනතුරුය. ඔහු එන දොර වෙනමම එකකි. හැමෝම බලාසිටියේ ඒ දෙසය. 10.08 ට ඒ දොර දෙසට සාටකයක්‌ කර ලා ගත් රුවක්‌ ඇදෙනු දුටු මාධ්‍යවේදීහු ඒ දෙසට කැමරා මෑනුහ. ඇමැතිවරු නැඟිට්‌ටහ. නමුත් ඒ ආවේ බැසිල් රාජපක්‍ෂය. ජනාධිපති මහින්ද ආවේ ඊට අනතුරුවය.

ජනාධිපති මහින්ද 10.10 ට සුපුරුදු පරිදි කැබිනට්‌ රැස්‌වීම ආරම්භ කළේ මෙතැන මේ අයුරින් රැස්‌වීම තියන්නේ ඇයි දැයි පැහැදිලි කරමිනි.

අපි කොළඹින් පිට මීට පෙර මධ්‍යම පළාතේ කැබිනට්‌ රැස්‌වීම තිබුණා. සබරගමුවේ තිබුණා. තුන්වැනි වතාවට මේ අපි උතුරේ රැස්‌වෙනවා. අපි මෙතැන අද රැස්‌ වුණේ උතුරේ ජනතාවට වගේම රටටම ලොකු පණිවිඩයක්‌ දෙන්න. එකක්‌ මේ රට දැන් තනි රටක්‌ කියන පණිවිඩය. අනික අපි ඔක්‌කොම දැන් එකම ජාතියක්‌ කියන පණිවිඩය. අපි මේ ඉන්නේ අවුරුදු 30 ක්‌ ම රජයෙන් මුකුත් සංවර්ධන කටයුත්තක්‌ නොවුණු පළාතක. මේ පළාතේ සිදුවිය යුත්තේ මොනවද කියල තම තම අමාත්‍යංශ අනුව හොයල බලන්න හැමෝටම පුළුවන්.

මෙදින කැබිනට්‌ පත්‍රිකා 34 ක්‌ කතා බහට ලක්‌ කෙරිණි. පළමුව කළේ මේ ඓතිහාසික ඇරඹුම සංකේතවත් කරමින් ඉන්ධන ලීටරයක මිල ඒ පළාත් තුළ රුපියල් 3 කින් පහත හෙළීමට තීරණයක්‌ ගැනීමය.

මේ දවස්‌වල ඩෙංගු ගැන හැම තැනම කතාව, ඇයි අර කියුබන් බැක්‌ටීරියාව ගේන්න ප්‍රමාද. ඒක ගණන් වැඩියි කියල නොගෙනාවේ කියුබාවෙන් නිසාද? යුරෝපයෙන් ගෙනාව නම් ගණන් වැඩි වුණාට කමක්‌ නැහැ. ..... ඒක ගෙන්නන්න. දැන් අන්න අපේ පැත්තේ දොස්‌තර නෝන කෙනෙකුත් බදුල්ලෙදී මැරිලා. ඒ ළමයගේ තාත්තා මට කතා කළා. එයාල විශ්වාස කරනවා රෝහලේදී ඒ ඩොක්‌ටට අඩු සැලකිල්ලක්‌ දැක්‌වූවා කියලා. අන්න ඒක ගැන හොයල බලන්න ජනාධිපති කීවේය.

හුඟ වේලාවක්‌ ගත වූයේ බන්දුල ගුණවර්ධන ගෙනැවිත් තිබූ සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ චක්‍රලේඛයටය. එහි ඔහු ගණිතය සාමාර්ථ කිරීමේ ක්‍රමය ලිහිල් කිරීමට ලකුණු 40 ක්‌ ලබාදෙන සාමාන්‍ය සාමාර්ථයට අමතරව ලකුණු 25 න් ඉහළට ලබාදෙන ආසන්න සාමාර්ථයක්‌ ගැන යෝජනා කර තිබිණි. එහෙත් ඇමැතිවරු ඊට ප්‍රශ්න ඇති කළහ.

බන්දුල.... ඔයාට ළමයි පස්‌දෙනයි. මට තුන්දෙනයි. අපිවගේ තාත්තලා තීරණ ගන්නේ හැමවිටම ළමයි ගැන බලල තමයි. ඒත් මේ වගේ තීන්දුවකදී අපි ඊට වඩා හිතන්න වෙනවා.

ඇමැතිවරු ඇසුවේ එලෙස සාමාන්‍ය පෙළ සමත් කිරීමෙන් පසු ඒ සමතුන්ට රැකියා දෙන්නේ කෙසේද කියාය.

විභාග සමත් කිරීම පසෙක තබා පාසල්වල අධ්‍යාපන මට්‌ටම වැඩි දියුණු කර සමත් කරවීම වඩා හොඳ යෑයි යෝජනා කෙරිණි. ගුරු හිඟය පියවිය යුතු බවට යෝජනා කෙරිණි.

ලොකුගේ ඇමැතිවරයා කීවේ සාමාන්‍ය පෙළ අසමත් වන ළමුන් සඳහා කාර්මික අධ්‍යාපනය වැඩි දියුණු කළ යුතු බවය.

ඔව්...... අපේ රටේ වසරකට කාර්මික අධ්‍යාපනයට යොමු වන්නේ 20%යි. ඒක 40% දක්‌වා වැඩි කළ යුතුයි. ගිය අවුරුද්දේ 80,000 ක්‌ කාර්මික අධ්‍යාපනයට යොමුවෙලා හිටියා. ඒක අපි 150,000 දක්‌වා ඉහළ දාන්න ඕන. ඩලස්‌ කීවේය.

ඒ ගැන වැඩපිළිවෙළක්‌ හදන්න මම යෞවන කටයුතු ඇමැතිතුමාට උපදෙස්‌ දුන්නා ජනාධිපති කීවේය.

ඉතා ඉක්‌මනට ඉදිරිපත් කරනවා. ඩලස්‌ කීවේය.

ඒ අතර නැගෙනහිර පළාතේ පාසල්වල ගුරු ප්‍රශ්නයක්‌ ගැනද මෙතැනදී මහ ඇමැතිවරයාට ඇඟිල්ල දිගු කරන්නට වූහ. ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය.

අපි නිතරම ඡන්දෙට බලපාන ජනප්‍රිය තීන්දු විතරක්‌ ගන්න නරකයි. රට ගැන හිතල රටට හොඳ දේ කරන්න පුරුදු වෙමු. නිවැරැදි දේ කරමු. ජනාධිපතිවරයා මෙසේ අවවාද කරමින් කැබිනට්‌ රැස්‌වීම ඉවර කළේය.

උතුරේ වසන්තය

ඉන් පසුව ජනාධිපතිවරයා වාඩි වූයේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්‌වීමකටය. උතුරේ දිසාපතිවරු, ආණ්‌ඩුකාරවරයා හා අදාළ ඉහළ නිලධාරීහු ද මීට සහභාගි වී සිටියහ.

මෙහිදී උතුරු වසන්තයෙදී උතුරට කෙරුණ සංවර්ධන කටයුතු හා වැඩ ගැන සකස්‌ කළ සවිස්‌තර වීඩියෝ පටයක්‌ බලන්නට ජනාධිපතිවරයාට අවස්‌ථාව ලැබිණි. උතුරු සංවර්ධන කාර්ය සාධක බළකායේ ලේකම් දිවාරත්න හා උතුරේ ආණ්‌ඩුකාරවරයා මෙය සංවිධානය කර තිබිණි.

මෙතරම් සංවර්ධනයක්‌ උතුරේ වුණා කියල අපි දැනගෙන හිටියේ නැහැ. අපි දන්නේ නැත්නම් රටේ ජනතාව කොහොමවත් දන්නේ නැහැනේ මහින්ද සමරසිංහ කීවේය.

ඒක තමයි. සමහරු කියනවා හම්බන්තොටට මම වැඩියෙන් වැඩ කරනවා කියලා. මෙහේ වෙලා තියෙන දේවල්වලින් අරික්‌කාලක්‌වත් හම්බන්තොටට වෙලා නැහැ. පහුගිය මාස 6 ට උතුරට රජයේ මුදල් විතරක්‌ රුපියල් මිලියන 12 කට වඩා වියදම් කරල තියෙනවා. සමහරු උත්සාහ කරනවා. ඒවා එන්. ජී. ඕ. සල්ලි කියල පෙන්නන්න. උතුර සංවර්ධනය ගැන අපි ගහල එවපු පත්‍රිකා ටිකවත් සමහර නිලධාරින් උතුරේ ජනතාවට බෙදල දුන්නේ නැහැ. නිලධාරීන් ඒ වගේ නපුරු වෙන්න නරකයි. අපි මේ ගොඩ නඟන්නේ ප්‍රභාකරන් විසින් විනාශ කරපු රට. ඒක අමතක කරන්න එපා. අපට ඡන්ද නොදුන්නට කමක්‌ නෑ. නමුත් කරපු වැඩ කළා කියල පිළිගන්න.

ඒක ලෝකෙට කියන්න. ජනාධිපති නිලධාරීන්ට කීවේය.

එක අඩුවයි තවම ඒ පැත්තට තියෙන්නේ. මෙන්න මේ ඉරණමඩු වැවේ වතුර ටික යාපනේ පැත්තට ගෙනියන්න ක්‍රමයක්‌ විතරයි තවම නැත්තේ. අන්න ඒක විතරයි අපට තවම කරන්න බැරි වුණේ ජනාධිපතිතුමා කීවේය.

අපි අද මුලතිව්වලට මිලියන 170 ක්‌ වියදම් කරල ජාතික විදුලිබල පද්ධතිය ගෙනියන්න ප්‍රොජෙක්‌ට්‌ එකක්‌ ඕපන් කරනවා බැසිල් රාජපක්‍ෂ කීවේය.

මේ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා උතුරේ නිලධාරීන් අතරට ගොස්‌ කතා බහ කරන්නට පටන් ගත්තා. නිලධාරීහු ජනාධිපතිතුමා සමග කතා කරමින් සතුටු සාමීචියේ යෙදී සිටියහ.

අනතුරුව හමුදා මූලස්‌ථානයේ සූදානම් කර තිබූ දිවා ආහාරය භුක්‌ති විඳි ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊළඟට ගියේ ඩලස්‌ ඇමැති සමග වෘත්තීය පුහුණු හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම යෞවනයට හෙටක්‌ සංවිධානයේ කාර්යාල කිහිපයක්‌ විවෘත කිරීම්වලටය. තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා ද මේ අවස්‌ථාවට සහභාගිව සිටියේය.

මේ අවස්‌ථාවේදී තරුණ සේවා සභාවේ පුහුණුව ලද ළමයින් පිරිසක්‌ ජනාධිපතිවරයා ඉදිරියේ අපූරු ගීතයක්‌ ගැසූහ......

මොකක්‌ද ඩග්ලස්‌ මේ ලස්‌සන ගීතයේ තේරුම........ ජනාධිපතිවරයා විමසීය.

මේ කියන්නේ රාක්‍ෂයා පලවා හැර ඉවරයි. ඔබට බොහොම ස්‌තුතියි. දැන් රාක්‍ෂයා පළවා හැරියා වගේම අපේ අනාගතයත් බාර ගන්න කියලයි...... ඩග්ලස්‌ අදහස පැහැදිලි කළේය.

කවුද මේක පුහුණු කළේ.........

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලද ගුරුවරියක්‌...... මේ ඉන්නේ ඇය........ ඩලස්‌ ඇයව හඳුන්වා දුන්නේය.......

එතැනදී සිදුවූ තවත් අපූරු දෙයක්‌ වූයේ ජනාධිපතිවරයා පිළිගනිමින් දෙමළ ළමයෙක්‌ සිංහලෙන් කතාවක්‌ කිරීමය.

ඊටත් පසුව ජනාධිපතිවරයා මුලතිව් ක්‍රීඩාංගණයේ තිබූ මහජන රැලියට සහභාගි වූයේය. ජනපතිවරයා රැස්‌ව සිටි මහජනතාව අමතා දෙමළෙන් හා සිංහලෙන් කතා කළේය. අපි හැමෝම එකම ජාතියක්‌ බව ඔහු ඒ කතාවේදී ඉස්‌මතු කරන්නට උත්සාහ කළේය.

මේ සියලු උත්සව සාකච්ඡා රැස්‌වීම් අවසන් කර ජනාධිපතිතුමා ඇතුළු පිරිස ආයෙත් කොළඹට එනවිට සවස 6.30 පසුවී තිබිණි. විශේෂත්වයක්‌ වූයේ විමල් වීරවංශ ඇමැතිවරයා හා ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ හැර අනෙක්‌ සියලුම ඇමැතිවරු හා මහ ඇමැතිවරු මේ සංචාරයට එක්‌වී සිටීමය.

ඩෙංගු

පසුගිය සතියේ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී දිස්‌ත්‍රික්‌ ප්‍රගති සමාලෝචන රැස්‌වීමක්‌ පැවැත්විණි. මෙය තිබුණේ පළාත් සභා ශ්‍රවණාගාරයේය. ඊට බැසිල් ඇතුළු ඇමැතිවරු එනතුරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා නිමල් රත්නායක, බුද්ධදාස යන පළාත් සභා මන්ත්‍රීවරු සමඟ එළියට වී බලා සිටියේය. ඒ අතර බුද්ධදාස

ඩිලාන් මන්ත්‍රීතුමා කොහොමද ඔය තරම් ලස්‌සනට කන් දෙක ළඟ කොන්ඩේ ටික සුදු කර ගන්නේ... ඇත්තටම ඉදිලද නැත්නම් ඉස්‌ටයිල් එකටද?

පිස්‌සුද බුද්දේ... මම උත්සාහ කරන්නේ චුට්‌ටක්‌ සුදු කරගන්න නොවෙයි. මුළු කොණ්‌ඩෙම සුදු කරගන්න. මොකද මට ඉක්‌මනට කැබිනට්‌ එකට යන්න....

ඔය අතර බැසිල් සියඹලාපිටිය හා සුසන්ත පුංචිනිලමේ ඇමැතිවරු පැමිණියහ. පැමිණ දිස්‌ත්‍රික්‌ ප්‍රගති සමාලෝචන රැස්‌වීම පටන් ගත්හ. මෙහිදී බැසිල් ඇමැතිවරයා ගමනැඟුම හා මඟ නැගුම යටතේ බදුල්ල ප්‍රදේශයේ නාගරික හා ග්‍රාමීය සංවර්ධනයට අතිවිශාල මුදලක්‌ වෙන්කර ඇති බව ද නිවේදනය කළේය.

ඒ අතර එජාප මන්ත්‍රී හරීම් ප්‍රනාන්දු බදුල්ලේ ඩෙංගු මදුරු උවදුර ගැන කතා කරමින් බදුල්ලේ ඩෙංගු මර්දනය ගැන ප්‍රශ්න කළේය.

එජාපයට ඩෙංගු එක්‌ක ප්‍රශ්නයක්‌ තියෙනවා. නිමල් සිරිපාල කීවේය.

දේශපාලනය එක්‌ක මේක පටලවා ගන්න එපා. ඩෙංගු මේ පළාතට මහ විනාශයක්‌ කරනවා. ඔබලා මොනවද ඩෙංගු මර්දනයට කරන්නේ. කිසි දෙයක්‌ නෑ. හරීම් කීය.

මේ මොහොතේ දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය නිලධාරිනිය ඇමතූ ඇමැතිවරයා මෙසේ කීවේය.

නීලමනී කියන්න මෙයාට අපි මොනවද ඩෙංගු මර්දනය කරන්න බදුල්ලේ කරල තියෙන්නේ කියල. මෙයාට පාර්ලිමේන්තුවට ගිහින් කතා කරන්න.

විදුලි ප්‍රගතිය

මෙබඳු තවත් සමාලෝචන රැස්‌වීමක්‌ පසුගිය 13 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. පැවැත්වූණේ විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ ප්‍රගතිය ජනාධිපතිවරයාට විස්‌තර කිරීමටය. අමාත්‍ය චම්පික රණවක මෙහිදී ජනාධිපති මහින්ද ප්‍රමුඛ නිලධාරීන් ඉදිරියේදී ලංකාවේ විදුලිබල ක්‍ෂේත්‍රය අද මුහුණපා සිටින අර්බුදය විග්‍රහ කර පෙන්වා ඊට තමන් ඉදිරිපත් කරන විසඳුම් හා ඉදිරියේදී විදුලිබල ක්‍ෂේත්‍රය කඩා නොවැටී රඳවා ගැනීමට හැකි උපාය මාර්ග විස්‌තර කර කීවේය.

මේ ප්‍රගති සමාලෝචනය ඉවර වූ පසු එදින සවස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අමාත්‍යවරයාට ප්‍රශංසා ලිපියක්‌ එව්වේය.

විදුලිය බල ක්‍ෂේත්‍රය ඉහළ නැංවීමට හා විදුලි බල අර්බුදය විස¹ ගැනීමට ඇමැතිවරයා ඉදිරිපත් කළ කෙටි මධ්‍ය හා දිගු කාලීන විසඳුම් තුළ ඇති තාත්විකබව, විනිවිද පෙනෙන බව හා තාර්කික බව ඉන් අගය කළ ජනාධිපති ලේකම්වරයා මේ වැඩපිළිවෙළ තුළ විදුලිබල ක්‍ෂේත්‍රය නිසැකවම ජයග්‍රහණය ලබනු ඇතැයි කියා සිටියේය.

මේ ආකාරයට පසුගිය දේශපාලන සතිය තුළ කතා කරන්නට බොහෝ දේ තිබිණි. විශේෂයෙන් එජාපය පක්‍ෂ අභ්‍යන්තර අරගලය විස¹ ගනිමින් උපක්‍රමශීලීව වෙනත් මාර්ගයක්‌ කරා ප්‍රවේශව රජය සමඟ සහයෝගයෙන් අනුගමනය කරන්නට පටන් ගත් වැඩපිළිවෙළ තුළ කතා කරන්නට ප්‍රවේශ මාර්ග බොහෝ තිබිණි.

මේ මඟ ඔස්‌සේ ලබන සතියේදී මීටත් වඩා අපූරු සිදුවීම් අපට කතාබහ කිරීමට ලැබෙනවා නිසැකය.


නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.