පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රීන්ට ඡන්ද බලය දී
සාධාරණ මැතිවරණයක්‌ අපේක්‍ෂා කිරීමට බෑ !
එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී,
ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපති, ජෝෂප් මයිකල් පෙරේරා


එක්‌සත් ජාතික පක්‍ෂය යළිත් ජයග්‍රාහි මාවතට ගෙන ඒමට නම් එම පක්‍ෂයේ නායකත්වය ඇතුළු බොහෝ වෙනස්‌වීම් සිදුවිය යුතු බව ඒ පිළිබඳව අදහස්‌ දැක්‌වූ සමහර එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ගේ අදහස වී තිබිණි. නමුත් එම අදහසට එරෙහි වූ අදහස්‌ ද විය.

මෙම මත ගැටුමේ අවසාන ප්‍රතිඵලය වූයේ එක්‌සත් ජාතික පක්‍ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය කෙසේ විසඳිය යුතුද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රතිසංවිධාන කමිටුවක්‌ පත් කිරීමයි. එම කමිටුවේ වාර්තාව පසුගිය 05 වැනිදා එ.ජා.ප. නායකයාට භාර දුන් අතර මේ එම වාර්තාව පිළිබඳව එම කමිටුවේ සභාපති වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදිවේ.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන යෝජනා ඇතුළත් කමිටු වාර්තාව පසුගිය 05 දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඔබ විසින් එක්‌සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දුන්නා

මෙම කමිටු වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කරනවා නම්,

පිළිතුර - අපගේ කමිටු වාර්තාවේ තිබෙන ප්‍රධානතම කාරණය තමයි අපගේ පක්‍ෂයේ ප්‍රධාන තනතුරු 5 වන නායක, උප නායක, නියෝජ්‍ය නායක, සභාපති සහ ජාතික සංවිධායක යන තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේදී එය එකඟතාවයෙන් කළ නොහැකි නම් ඡන්දයෙන් පත් කළ යුතු බව අපි නිර්දේශ කර තිබෙනවා.

එලෙස පත්වන ප්‍රධාන තනතුරු 5 දරන පුද්ගලයන් උපදේශක මණ්‌ඩලයක්‌ ලෙස ක්‍රියාකරමින් ඉතිරි තනතුරු මෙන්ම අපගේ පක්‍ෂයේ ආසන සංවිධායකයන් ඇතුළු සෙසු තනතුරු සඳහා පුද්ගලයන් පත් කළ යුතු බව අප නිර්දේශ කර තිබෙනවා. සියලු තනතුරු සඳහා පුද්ගලයන් පත් කරන්නේ පක්‍ෂයේ නායකයා විසින් බවට විශාල චෝදනාවක්‌ තිබුණා. අප විසින් සිදු කළ එම දෙවන නිර්දේශය නිසා තවදුරටත් එම චෝදනාව කිරීමට නොහැකි වනවා.

ඒ වගේම අපගේ පක්‍ෂයේ ක්‍රියාකාරි කමිටුවට සෑම දිස්‌ත්‍රික්‌කයකින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පළාත් පාලන ආයතන නියෝජනය කිරීම සඳහා එක්‌ අයකු බැගින් පත් කිරීමටත් අප යෝජනා කර තිබෙනවා.

මේවා තමයි අපි විසින් යෝජනා කර තිබෙන ප්‍රධාන වෙනස්‌කම්. ඊට අමතරව අප විසින් තවත් කාරණා ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රශ්නය - මෙම යෝජනාවන් ක්‍රියාත්මක කළ යුතුය යන තීරණයට ඔබලා එළඹුණේ කුමන කරුණු සහ සාධක පදනම් කරගෙන ද?

පිළිතුර - අපගේ පක්‍ෂයේ ක්‍රියාකාරි කමිටුව තුළ ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක්‌ ලෙසයි මෙම කමිටුව පත් කළේ. නායකතුමාගේ උපදෙස්‌ මත ක්‍රියාකාරී කමිටුව විසින් අපේ පක්‌ෂයට සම්බන්ධ අනෙකුත් සංවිධාන වලින් අදහස්‌ වීමසීමට තීරණය කළා. ඒ අනුව අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ ලබා ගත්තා. ඒ වගේම අපේ පක්‍ෂයට අනුබද්ධ සංවිධාන වලිනුත් අපි අදහස්‌ ලබා ගත්තා. පුද්ගලයන් ලෙසත් සෑහෙන පිරිසක්‌ අපිට කරුණු කිව්වා. ඒ වගේම අපිට විශාල ප්‍රමාණයක්‌ ලියුම් මාර්ගයෙනුත් අදහස්‌ ඉදිරිපත් කළා. කෙසේ වුවත් දහසකට අධික පිරිසක්‌ අපට සිය අදහස්‌ ඉදිරිපත් කරල තිබෙනවා.

ප්‍රශ්නය - ප්‍රතිසංවිධාන යෝජනා කමිටුව විසින් බොහෝ දුරට කරුණු විමසා ඇත්තේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් පමණයි.

එක්‌සත් ජාතික පක්‍ෂය යළි ජයග්‍රාහී මාවතට ගැනීම සඳහා කරුණු විමසීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් නොවන අයගෙනුත් කරුණු විමසිය යුතුව තිබුණා නේද?

පිළිතුරු - එක්‌සත් ජාතික පක්‍ෂිකයන්ට පමණක්‌ නොවෙයි ඕනෑම පුද්ගලයකුට කමිටුවට කරුණු කීමට අවස්‌ථාව ලබා දුන්නා. අපට ලියුම් මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කළ අය අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් නොවන පුද්ගලයන් සිටියා.

එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂයේ පුද්ගලයන් අපට ඡන්දය දෙනවා නම් අපට ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා. 2005 ජනාධිපතිවරණයේදී අප පරාජයට පත් වූයේ බොහෝම සුළු ඡන්ද සංඛ්‍යාවකින් පමණයි. එම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයට හිතවත් සියලු දෙනා යළි ඒකරාශී කරගතහොත් අපට යළි ජයග්‍රහණය කිරීමට පුළුවන්.

ප්‍රශ්නය - ඔබගේ සහාපතීත්වයෙන් යුතු කමිටුවේ බහුතරයක්‌ සාමාජිකයන් සිංහල බෞද්ධයන් නොවන බවටත්, කමිටුවේ සාමාජිකයන් මහනායක හිමිවරුන් හමුවීමට කටයුතු නොකළ බවටත් චෝදනා එල්ල වූවා නේ ද?

පිළිතුර - එය චෝදනාවක්‌ හැටියට මම පිළිගන්නේ නැහැ. එක්‌ එක්‌ පුද්ගලයන්ට එක එක අදහස්‌ ඉදිරිපත් කිරීමට පුළුවන්.

අපේ කොමිටියේ හිටිය විඡේදාස රාජපක්‍ෂ මහතා හොඳ සිංහල බෞද්ධයෙක්‌, ජනාධිපති නීතිඥයෙක්‌. ඔය චෝදනාව කරල තිබුණේ මටයි. ජෝන් අමරතුංග මහතාටයි, රොනල්ඩ් මහතාටයි, කබීර් හෂීම් මහතා මුස්‌ලිම් බැතිමතෙක්‌. ඒ අනුව පැහැදිලි වනවා සියලු දෙනාම අපේ කමිටුවේ නියෝජනය වන බව.

ප්‍රශ්නය - අවසානයේ දී නායකයා ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා ඡන්දය විමසීමට තීරණය වුවහොත්, ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් අවස්‌ථාව දිය යුතු බවට යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ ද?

පිළිතුර - එම යෝජනාවත් අපට ඉදිරිපත් වුණා. නමුත් අපි කටයුතු කිරීමේදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු වනවා. එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කිරීම සඳහා පත්තර හෝ වෙනත් මාධ්‍යයකට ඕනෑ පුද්ගලයකු පත්කර ගැනීමට ඉඩ තිබෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු පවා සල්ලිවලට ගිහින් තිබෙනවා. අපට වාර්තා වී තිබෙන ආකාරයට පළාත් පාලන මන්ත්‍රීවරු 400 ක්‌ පමණ එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටිමින් ආණ්‌ඩුව සමග කටයුතු කරමින් සිටිනවා. එබඳු තත්ත්වයක්‌ තුළ අපට සාධාරණ මැතිවරණයක්‌ පවත්වන්න අපහසු වනවා. පළාත් සභාවෙත් එම තත්ත්වය තිබෙනවා.

එම නිසා අප තීරණය කළා ක්‍රියාකාරි කමිටුවේ සාමාජිකයන්ගේ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක්‌ ප්‍රධාන තනතුරු පත් කිරීමට.

ප්‍රශ්නය - ඔබ මාධ්‍ය පිළිබඳවත් සඳහන් කළා එක්‌ මාධ්‍ය ආයතනයක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස්‌ කිරීම සඳහා බොහෝම උනන්දුවෙන් කටයුතු කරනවා.

මෙම තත්ත්වය ඔබ දකින්නේ කොයි ආකාරයට ද?

පිළිතුර - එම ව්‍යාපාරයේ හොඳ පැත්තකුත් තිබෙනවා. එම කටයුත්තේ තිබෙන හොඳ නරක නිසාම විශාල පිරිසක්‌ අවදිවී තිබෙනවා.

ප්‍රශ්නය - ඔබගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් එක්‌සත් ජාතික පක්‍ෂය යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වන බව ඔබට ස්‌ථීරද?

පිළිතුර - අපගේ කමිටුව යෝජනා ඉදිරිපත් කළේ සිටින නායකයා හෝ අනාගතයේ දී පත්වන නායකයකු පිළිබඳව සිතා නොවෙයි. අප මෙම යෝජනා ඉදිරිපත් කළේ අනාගතය පිළිබඳවත් සලකා බැලීමෙන් අනතුරුවයි.

අපගේ එකම බලාපොරොත්තුව, ඉතා ඉක්‌මනින් ජනතාව ඒකරාශි කරගෙන එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ ලබා ගැනීමයි.

ඒ සඳහා තිබෙන උපාය මාර්ගය තමයි අපගේ පක්‍ෂයේ සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කිරීම. අපි අතීතයේදී ජයග්‍රහණය කළෙත් ඒ ආකාරයට තමයි. එම ගමන් මාර්ගයේ ගමන් කිරීමේ ෙච්තනාව ඇතිවයි. අපි මෙම යෝජනා ඉදිරිපත් කළේ.


සාකච්ඡා කළේ එරික්‌ ගාමිණී ජිනප්‍රිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.