අපි අපේ ඉලක්‌ක ජය ගන්නවා !
වරාය - ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා

රට සංවර්ධනය කිරීමේදී ඊට සෘජුවම දායකත්වය දක්‌වන අමාත්‍යාංශ අතුරින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් වන්නේ සුවිශේෂී තැනකි. ඒ අනුව ඊට අනුගතව එකී අමාත්‍යාංශයන් මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් ද රැසකි.

මේ ඒ පිළිබඳව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා දැක්‌වූ අදහස්‌ බිඳකි. නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා පසුගියදා ජනාධිපතිවරයාගේ යුක්‌රේන සංචාරය අතරතුරදී වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

ප්‍රශ්නය - පාර්ලිමේන්තු මැතිවරණයත් ජනාධිපතිවරණයත් අවසන් වී රට අලුත් මඟකට අවතීර්ණව ඇති මොහොතක, හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම ඇමැතිවරයකුටම අභියෝගයක්‌ ඉදිරිපත්ව ඇති බවයි අපි හිතන්නේ. ඔබ එA අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද?

පිළිතුර - ඇත්තවශයෙන්ම, ත්‍රස්‌තවාදය අවසන් කිරීමේ ගරුත්වය අතිගරු ජනාධිපතිතුමාටත් වීරෝදාර රණවිරුවන්ටත් හිමිවිය යුතුයි. ඔබ කිව්වා සේ දැන් එළැඹ තිබෙන්නේ අභියෝගයක්‌.

නමුත් ඇත්තටම බොහෝ දෙනකුට මීට අවුරුදු තිහකට පෙර අපි මුහුණදී තිබුණු තත්ත්වය අමතකවීම ගැනත් කනගාටු වෙනවා. ඇත්තටම දැන් තිබෙන්නේ අභියෝගයක්‌. මෙය ලේසි පහසු කාරණයක්‌ නොවෙයි. දකුණේ සමාජය මෙන්ම වැඩි අවධානයක්‌ අපි උතුරේ සමාජය කෙරෙහිත් යොමු කළ යුතුයි.

මේ මොහොතෙහි එළැඹ තිබෙන්නේ සංවර්ධන යුද්ධයක්‌ යෑයි කීම වඩාත් නිවැරැදියි. දකුණේ සමාජයට යුද්ධය අවසන්වීමෙන් පසු එහි ප්‍රතිලාභයන් හිමිවිය යුතුවා සේම උතුරේ ජනජීවිතය නගාසිටුවීමත් අතිශය වැදගත් කාරණයක්‌.

මෙහිදී මගේ අමාත්‍යාංශයේ ප්‍රධාන අමාත්‍යවරයා හැටියට කටයුතු කරන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. එතුමාගේ මඟපෙන්වීම යටතේ නියෝජ්‍ය අමාත්‍යවරයකු හැටියට මට විශාල කාර්යභාරයක්‌ පැවරී තිබෙනවා. සංවර්ධන කටයුතුවලදී වඩා වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරන සේම ජාත්‍යන්තර වශයෙන් ද ඉතාම වැදගත් අමාත්‍යාංශයක්‌ හැටියට අපේ අමාත්‍යාංශය හැඳින්වීම වඩාත් නිවැරැදියි. ඉදිරියේදී මහින්ද චින්තනය හා එහි ඉදිරි දැක්‌ම ප්‍රකාරව විශාල සංවර්ධන වැඩකටයුතු රාශියක්‌ දියත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේදී විපක්‍ෂය කීවේ එහි "කිසිවක්‌" නැති බවයි. නමුත් එහිදී එA කිසිවකුත් කල්පනා කළේ නැහැ, ජනතාවට හැකි තරම් සහන ලබාදිය හැකි අයුරින් මේ අයවැය ඉදිරිපත් කළේ ලෝකයේ දරුණු ආර්ථික අවපාතයක්‌ තිබෙන මොහොතක හා රටේ යුද්ධය අවසන් කර ඉතා සුළු කාලයකින් වීම කියන කාරණා. නමුත් මේ සියලු අභියෝගයන්ට අපි ඉතා සාර්ථකව මුහුණ දෙනවා. අපි මේ රටේ දූ දරුවන්ගේ අනාගතය ඉතා ශක්‌තිමත් එමෙන්ම යහපත් එකක්‌ බවට පත් කරනවා.

2004 සිට වසර තුනහමාරක්‌ මේ අමාත්‍යාංශයේම දෙවතාවක්‌ අමාත්‍යවරයෙක්‌ හා නියෝජ්‍ය අමාත්‍යවරයෙක්‌ හැටියට කටයුතු කර තිබෙනවා. එදා ඔලුවිල් වරාය පටන් ගන්න යනකොට ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කරන්න යද්දී එතැනට ආයෝජකයෝ නොඑන තත්ත්වයක්‌ මතු වුණා. කන්කසන්තුරේ වරාය සංවර්ධනය කරන්න යද්දී විවිධ බලපෑම් ආවා. අද මම දකින විදියට ආයෝජකයෝ නිරන්තරයෙන් මේ රටට එනවා. කරන්න බැරිව තිබුණු වැඩකටයුතු රාශියක්‌ ඉතා ශීඝ්‍රයෙන් කෙරෙනවා. දැන් අපි අලුත් ගමනක්‌ පටන් අරගෙන. දකුණු වරාය සංවර්ධන කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා. හම්බන්තොට වරාය මේ වෙනකොට ආරම්භ වෙලා. එහි පළමු අදියර අපි ඉතා කෙටි කාලයක්‌ තුළ අවසන් කරනවා. එහි දෙවැනි සහ තුන්වැනි අදියරයන් ඉන් අනතුරුව ක්‍රියාත්මක වේවි. කොළඹ වරායෙත් දැවැන්ත සංවර්ධනයක්‌ සිදුවේවි. සෘජු නායකයෙක්‌ මේ රටට බිහිවීමම මේ අභියෝග ජය ගන්න අපිට ලැබුණු පහසුවක්‌ බව සඳහන් කළ යුතුමයි. ඉදිරි වසර හය තුළ එතුමා දී ඇති ඉලක්‌ක කරා කෙසේ හෝ අප යා යුතුමයි.

ප්‍රශ්නය - ඔබ එසේ සඳහන් කළාට, විපක්‍ෂය නඟන චෝදනාවක්‌ තමයි යුද්ධය පැවැති කාලයේ සිදු කළ වියදම් අවම වී ඇති නිසා එහි ප්‍රතිලාභ ජනතාවට හිමිවිය යුතු නමුත් එවැන්නක්‌ සිදුවී නොමැති බව.

පිළිතුර - අපිට යුද්ධය අවසන් කරන මොහොත දක්‌වාම ඊට යොදාගත් ආයුධ, උපකරණ හා තවත් බොහෝ දේ නිකං ලැබිලා නැහැ. ඒවා විදේශ ණය ආධාර යටතේ ලැබුණු ඒවා. එතකොට අපිට තවමත් ගෙවිය යුතු දේ තිබෙනවා. ඒත් එක්‌කම අමතක කරන්න හොඳ නැහැ. එA ප්‍රතිලාභයන් ජනතාවට දෙන්න කලින් තවත් ඉටු කළ යුතු වැඩකටයුතු රාශියක්‌ තිබෙනවා. යුද්ධය අවසන් වී වසරයි. ඒ කාලය ඉතාම සීමිත කාලයක්‌. අවුරුදු තිහක්‌ ඇතුළත උතුර නැගෙනහිර අපේ සංවර්ධනය ආපස්‌සට ඇදලා දැම්මා. එතකොට අපි මේ වැඩකටයුතු පටන් ගන්න ඕන තැනක්‌ තියෙනවා. ඉතා නුදුරේදීම ජනතාවට ඒ ප්‍රතිලාභ හිමි වෙයි.

ප්‍රශ්නය - එAත් විපක්‍ෂය කියන්නේ විදේශයට ණය වෙමින් කරන සංවර්ධනය ඵලක්‌ ඇති එකක්‌ නොවේ කියලයි.

පිළිතුර - මම අහන්නෙ 77 විවෘත ආර්ථිකයෙන් පස්‌සේ විදේශයට ණය නොවුණේ මොන ආණ්‌ඩුව ද කියලා. රටේ දරුණු යුද්ධයක්‌ පැවැති කාලයේ නොවෙයි ඊට පෙරත් අපි ලෝකයට ණය වෙලා තියෙනවා. ඒ සමහර ණය අපි තාම ගෙවනවා. ඒක නිසා ඒක පුහු තර්කයක්‌. ලෝකයේ බොහෝ රටවල් සංවර්ධනය වන්නේ එA ආකාරයට තමයි. රට ශක්‌තිමත් කරන වැඩපිළිවෙළකට නොගිහින් අපි, අපිට ලැබෙන ප්‍රතිලාභ ගැනම හිතනකොට රටේ ගමන නැවත ආපස්‌සට යැම පුදුමයට කාරණයක්‌ නොවෙයි.

ප්‍රශ්නය - ඔබ අයවැය ගැනත් සඳහන් කළා. නමුත් ඒ කියන ආකාරයේ ප්‍රතිලාභයන් රටට හිමි වී නැති බවයි විවිධ කණ්‌ඩායම් පවසන්නේ.

පිළිතුර - ඒ විවිධ කණ්‌ඩායම්වලට රටේ ජනතාව අයත් නැහැ. ඒ අය මෙහි යථාර්ථය තේරුම් අරන් ඉන්නේ. ඕකට මට දෙන්න තියෙන සරලම පිළිතුර විපක්‍ෂය තමන්ගේ පක්‍ෂ අභ්‍යන්තරයේ ගැටුම ෂේප් කරන්නේ, එහෙමත් නැත්නම් ඒ අයගේ හෙළුව වසා ගන්නේ අයවැය ඉස්‌සරහට දාලා කියන එකයි. එහි නැති වැරැදි පෙන්වීම එA අයගෙ මෝස්‌තරයක්‌ වෙලා.

ප්‍රශ්නය - එතකොට අත්‍යවශ්‍ය භාණ්‌ඩ කිහිපයක මිල ඉහළ යැම, එළවළු මිල ගණන් ඉහළ යැම ගැන මොකද කියන්නේ.

පිළිතුර - අත්‍යවශ්‍ය භාණ්‌ඩ ගත්තොත් කිරිපිටි මිල ඉහළ යැම පවතින තත්ත්වය අනුව සිදුවන දෙයක්‌. අපි දේශීයත්වයට නැඹුරු වුණා නම් ඔය ගැටලුව මතුවෙන්නේ නැහැ. එළවළු මිල ඔබ හොඳින්ම දන්නවා නිතර වෙනස්‌ වන සුළුයි. වහින කාලයට, පායන කාලයට එය විටින් විට වෙනස්‌ වෙනවා. දැන් මේ මොහොත වන විට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ යම් සඳහනක්‌ කළ මුත් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩකටයුතු ගැන දීර්ඝ වශයෙන් කතාබහ කළේ නැහැ. අපට ඒ ගැන යම් පැහැදිලි කිරීමක්‌ කරනවාද?

පිළිතුර - අපි අභ්‍යන්තර ගුවන් ගමන්වලින්ම කතාව පටන් ගත්තොත් හොඳයි. බොහෝ විදේශිකයන් අපේ රටට පැමිණි විගස අහන ප්‍රශ්නයක්‌ තමයි, රටේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පහසුකම් තියෙනවාද කියන එක. සංචාරක ව්‍යාපාරය ඉතා දියුණු තත්ත්වයකට පත්වන මොහොතක එය ඉතා වැදගත් කාර්යයක්‌ හැටියට අපි සලකනවා. එA සඳහා අපි විශේෂ ව්‍යාපෘති කිහිපයක්‌ ආරම්භ කරන්නට සැලසුම් සකස්‌ කර තිබෙනවා. ඊළඟට ගත්තොත් වරාය ගුවන් සේවා අමාත්‍යාංශය, වරාය පද්ධතිය ගැන මම කෙටි හැඳින්වීමක්‌ මූලිකව කළා. එතැනදි ගාලු වරාය ගැන කතා කළොත් එය සංචාරක වරායක්‌ හැටියට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක්‌ අප සතුයි. අපේ රට ගත්තොත්, මුළු රටම සංචාරකයන් ප්‍රිය කරන තැනක්‌. ඒ නිසා මේ හැම තැනකටම සංචාරකයන්ට පහසුවෙන් ගමන් කළ හැකි අයුරින් සිවිල් ගුවන් සේවා පද්ධතිය දියුණු කිරීමත්, ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක්‌. සංචාරක අමාත්‍යාංශයට පුළුල් සහායක්‌ ලබාදීමේ හැකියාව වරාය ගුවන් සේවා අමාත්‍යාංශය සතුව තිබෙනවා. මේ සඳහා රටේ අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් දියුණු කළ යුතුයි. ඊට අවශ්‍ය සැහැල්ලු ගුවන් යානා මිලදී ගැනීමට විශාල මුදලක්‌ වැය කිරීම, මේ මොහොතේ අපට කළ නොහැක්‌කක්‌ නිසා විදෙස්‌ රටවල් කිහිපයක්‌ සමග අප සාකච්ඡා කරමින් යනවා, හවුල් වී ඒ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා. ඉදිරියේදී වරාය මෙන්ම දේශීය ගුවන් තොටුපළ නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කරනවා සේම, මේ රට ආසියාවේ දියුණුම රට බවට පත් කිරීමේ ඉලක්‌කය කරා අපි ගමන් කරනවා.


සාකච්ඡා කළේ - තිස්‌ස ගුණතිලක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.