අපේ සංවර්ධනය

මෙරට බොහෝ උගතුන් සිතන අයුරින් නම් දැනට ලොවේ රජයන බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ සංවර්ධනය සදාකාලිකව ඉණිමගක මෙන් පෙත්තෙන් පෙත්තට ඉහළ යනු ඇත. එමෙන්ම බටහිර යුදෙව් ක්‍රිස්‌තියානු සංස්‌කෘතියද තව තවත් වර්ධනය වනු ඇත. මේ සංස්‌කෘතියත් සංවර්ධනයත් යන දෙකම යම් දිනෙක කඩා වැටෙන බව කී පමණින් ඇතැම්හු ඒ මාක්‌ස්‌වාදී හරඹයක්‌ ලෙස දකිති. ඔවුන් ඇතැම් විට කියවා ඇත්තේ මාක්‌ස්‌වාදය ගැන ලියෑවුණු ජනප්‍රිය පොත් පමණක්‌ වුවත්, ඒ ඔස්‌සේ ධනවාදයේ කඩාවැටීමක්‌ ගැන කියවන්නට අසන්නට ලැබී ඇති බැවින් මෙම සංස්‌කෘතික, නැතහොත් චින්තන කඩාවැටීමද මාක්‌ස්‌වාදී ආකෘතිය අනුව ගෙතුණු එකක්‌ ලෙස සලකති. එහෙත් සියලු සංස්‌කාර අනිත්‍ය බව දැනගැනීමට මාක්‌ස්‌වාදය මත පදනම් විය යුතුනොවේ.

ලෝකයේ සංස්‌කෘතීන් වර්ධනය වීම හා කඩා වැටීම ඉතිහාසය පුරා ම දැකිය හැකිය. සෑම වර්ධනයක්‌ ම කඩාවැටීමක්‌ ම එකම අච්චුවකට දැමීම කෙසේ වෙතත් වහල් වැඩවසම් හා ධනවාදී සමාජ ක්‍රම කඩාවැටීම එකම අච්චුවකට දැමීමට මාක්‌ස්‌වාදයේ උත්සාහ කෙරෙයි. එවැනි උත්සාහයක්‌ නොගත්ත ද වර්ධනය හා කඩා වැටීම ඕනෑම සංස්‌කෘතියකට, සමාජ ක්‍රමයකට වුවද උරු ම වූ ධර්මතාවක්‌ බව බෞද්ධයනට තේරුම් ගැනීම අපහසුවක්‌ නොවේ. අනෙක්‌ රටවලින් දැනුම ලබා ගෙන ස්‌වසිද්ධි හා ඇරිස්‌ටෝටලීය න්‍යාය මත නව දැනුමක්‌ සකස්‌කරගත් ග්‍රීකයනට වුව ද අවුරුදු තුන් හාරසීයකට වැඩි කාලයක්‌ බටහිර ලෝකයේ දැනුම් ආධිපත්‍යය පවත්වාගෙන යැමට නො හැකි විය.

බටහිර දැනුම් පද්ධතියට ද එතරම් කාලයක්‌ ආයුෂ ඉතිරි වී ඇතැයි සිතිය නොහැකිය. බටහිර ගණිතයේ හා බටහිර භෞතික විද්‍යාවේ මතු වී ඇති අර්බුදවලට විසඳුම් නොමැත. ඒ අර්බුද මතු වී දැනට අවුරුදු හැත්තෑපහක්‌ පමණ වුවද ඒවා එසේ පවතී. මේ අර්බුදවලට හේතුව ධනවාදය නම් නොවේ. ගණිතයේ ගර්ඩිල් ප්‍රමේයය හෝ භෞතික විද්‍යාවේ ද්විත්ව සිදුරු පරික්‍ෂණය හෝ ධනේශ්වර ආර්ථිකය මත පදනම් වූ දෑ නොවේ. ධනවාදය ද බටහිර යුදෙව් ග්‍රීක ක්‍රිස්‌තියානි චින්තනයෙහි ප්‍රතිඵලයකි. ඉහත සඳහන් අර්බුදවලට ප්‍රධාන හේතුව ද එම චින්තනයමය. එහෙත් එයින් අදහස්‌ කෙරෙනුයේ සමස්‌ත සමාජ ක්‍රමයේම වර්ධනය හා කඩාවැටීම චින්තනයට ඌනනය කිරීමක්‌ නොවේ. සමාජ ක්‍රමයක ආර්ථික දේශපාලනික හා සංස්‌කෘතික සංරචක වෙයි. ඒ එකිනෙකින් ස්‌වායත්ත නොවන අතර එකක කඩාවැටීම අනෙකට ද බලපායි.

සිංහල බෞද්ධ සමාජයද සදාතනික වුවක්‌ නොවේ. එහි ද වර්ධනයක්‌ මෙන්ම කඩාවැටීම් දැකගත හැකිය. එහෙත් අපේ සමාජයෙහි වටිනා කියමනක්‌ වෙයි. අපි එහි තේරුම නිසියාකාරයෙන් අවබෝධ කරගෙන නැත්තෙමු. අපේ ප්‍රධාන සංකේත වනුයේ ඉර හා හඳය. අප ජීවත්වන්නේ ඉර හඳ පායන පොළොවකය. මෙහි ප්‍රධාන වස්‌තු තුනක්‌ වෙයි. ඒ ඉර, හඳ හා පොළාව ය. අප ජීවත්වන්නේ විශ්වයෙහි බවත් ඉර හඳ පොළොව එහි කුඩා වස්‌තු තුනක්‌ පමණක්‌ බවත් කිසිවකුට කිව හැකිය. ඒ සැබෑ ය. විශ්වයද කෙදිනක වුව විනාශ වෙයි. එහෙත් එයට පෙර ඉර හඳ නැතිවනු ඇත. අප මිනිසුන් ලෙස ජීවත්වන්නේ ඉර හඳ පවත්නා තෙක්‌ මිස විශ්වය පවත්නා තෙක්‌ නොවේ. විශ්වය විනාශ වීම යනු සියල්ල නැතිවීම නොවේ. විශ්වය විනාශ වී වෙනත් විශ්වයක්‌ ඇතිවන්නේ යෑයි අප විශ්වාස කරමු.

එහෙත් අපට විශ්වය විනාශ වීමට යන දීර්ඝ කාල පරිච්ඡේදය ගැන සිතන්නට අවශ්‍ය නොවන්නේ ඉර හඳ එයට පළමු විනාශ වන බැවිනි. ඉර හඳ නැතිවුවත් කෘත්‍රිම ව ශක්‌ත ජනනය කරගැනීමේ බහුබුත සිතිවිලි ඇතැම් විට බටහිරයනට ඇතිවිණි ද සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි එවැනි සිතිවිලි ඇති නොවේ. ඉර හඳ නැති වී යන බව දන්නා අපි ඉර හඳ පවත්නා තෙක්‌ ජීවත්වීමට (පැවතීමට) උත්සාහ කරමු. අපේ සංවර්ධනයෙහි පළමු සිතිවිල්ල එයයි. තමන් කිසිම දෙයක්‌ අලුතින් කියා නැති උගතකු මේ ප්‍රකාශයද ඊනියා ඌනිතවාදයට ලඝූ කිරීමට ඉඩ ඇත. ඒ ඔවුන් දන්නා ඌනිතවාදයක්‌ නොමැති බැවිනි. මෙහි ඌනිතවාදයක්‌ නැත. ඉර හඳ පවත්නා තෙක්‌ ජීවත්වීමට යන්නෙන් පටන්ගෙන අපට ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගෙන සංවර්ධනය පිළිබඳ ආකෘතියක්‌ ගොඩනැගිය හැකි නොවෙයි.

ඉර හඳ පවත්නා තෙක්‌ පැවතීම යන්න ස්‌වසිද්ධියක්‌ ප්‍රත්‍යක්‍ෂයක්‌ නොවේ. ඉර හඳ නොමැතිව ජීවත්වීමට නොහැකි යෑයි මම නොකියමි. එහෙත් ඒ සඳහා අති විශාල බලශක්‌තියක්‌ නිෂ්පාදනය කිරීමට සිදුවනු ඇත. එවැනි කෘත්‍රීම ශක්‌තියක්‌ නිපදවා ගත්තද ඒ හා සම්බන්ධ කෘත්‍රීම ජීවිතයක ඇති ඵලය කුමක්‌ද? ස්‌වසිද්ධියක්‌ නොවූ ඉර හඳ පවත්නා තෙක්‌ ජීවත්වීම යන්න හුදු ප්‍රායෝගික ප්‍රකාශයක්‌ හා බලාපොරොත්තුවක්‌ පමණකි. අපට එවැනි බලාපොරොත්තුවක්‌ පැතුමක්‌ ඉටුකරගත හැකිද? අපේ පැරැන්නන් එවැනි බලාපොරොත්තුවක්‌ ඉටුකර ගැනීමට හැකි යෑයි කල්පනා කර ඇති බව පෙනෙයි. එහෙත් පළමුව එවැනි ඉලක්‌කයක්‌ කරා යැමට එවැනි පැතුමක්‌ ඉටුකර ගැනීමට අපේ සංවර්ධනය සුදුසු ආකාරයෙන් සකස්‌විය යුතුය.

ඉර හඳ පවත්නා තෙක්‌ අප ජීවත්වන්නේ අහසෙයි නොව පොළොවෙහි ය. අහස්‌ මාළිගා තැනීම හෝ ඒaවාට ඇඟිලි දිගුකර පෙන්වීම දේශපාලනඥයන්ගේ කාර්යයක්‌ විය හැකිය. එහෙත් පොළොවෙහි ජීවත්වන අපට පොළොව වටිනාම වස්‌තුවක්‌ වෙයි. අපේ සංස්‌කෘතියෙහි පොළොව ඇතැම් විට මහා පොළොව ලෙස හැඳින්වෙයි. ඒ මහා බිරිතානිය වැනි පම්පෝරි අර්ථයකින් නොව අපේ කුදු බව හා පොළොවෙහි වටිනාකම වටහා ගැනීමෙන් පැරණි සිංහලයන් විසින් තනා ගන්නා ලද යෙදුමක්‌ විය හැකිය. එසේත් නැතහොත් එය පෙරදිග පවත්නා සංකල්පයක්‌ විය හැකිය. ඒ කෙසේ වෙතත් ඉර හඳ පැවතුණ ද පොළොව විනාශ වුවහොත් අපට විසුමක්‌ නැත. අප ජීවත්වන්නේ පොළොවෙහි දෙපා රුවාගෙන මිස අහසෙහි එල්ලෙමින් නො වේ.

පොළොව විනාශ වීම කිහිප ආකාරයකින් සිදුවිය හැකිය. විශාල ධූම කේතුවක්‌ වැනි වස්‌තුවක්‌ පොළොව හා ගැටීමෙන් පොළොව විනාශ විය හැකිය. බටහිරයන්ට නම් ඇත්තේ එවැනි බාහිර ගැටුම් පිළිබඳ අදහස්‌ ය. ඈත අතීතයේ ජීවත් වී යෑයි කියන ඩයිනෝසිරස්‌ නම් සත්ව වර්ගය විනාශ වී ඇත්තේ එවැනි බාහිර ගැටුමක්‌ නිසා යෑයි ඇතැම් බටහිර විද්‍යාඥයෝ විශ්වාස කරති. එවැනි ගැටුමක්‌ වී නම් වෙනත් ජීවී වර්ගද කිහිපයක්‌ වඳ වී යන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාඥයන්ට ඒ පිළිබඳ හෝඩුවාවක්‌වත් නැත. මම ප්‍රබුද්ධයෙක්‌ නො වෙමි. අඩුම තරමින් සිනමා ශාලාවකට වැදී ජුරාසික්‌ උයන්වල (පාක්‌) රවුම් ගැසීමේ අවශ්‍යතාවක්‌ මට නැත.

පොළොව විනාශ වීම යනු එක්‌ අතෙකින් ගත්කල පොළොව අපේ ජීවිතයට නුසුදුසු වීමය. පොළොව යම් අයුරකින් සූර්යයාට වඩා සමීප වුවහොත් හෝ සූර්යයාගෙන් වඩා ඈතට ගියහොත් හෝ අපට පොළොවේ ජීවත්වීමට නොහැකි වනු ඇත. එසේත් නැතහොත් අපට ම පොළොව විනාශ කළ හැකිය. පරිසරය විනාශ කිරීම යනුවෙන් බටහිරයන් හඳුන්වන්නේ මිනිසුන් පොළොව විනාශ කිරීමේ එක්‌ පැත්තක්‌ පමණකි. බාහිර බලපෑම්වලින් තොරව අභ්‍යන්තර ක්‍රියාකාරිකම් නිසා සිදුවන වෙනස්‌කම් තේරුම් ගැනීමට බටහිරයන්ට නොහැකිය. බටහිර විද්‍යාවේ පතාක යෝධයකු වූ අයිසැක්‌ නිව්ටන් විද්වතා තම නමින් ඇති නියම පටන්ගන්නේ ම බාහිර බල ගැන සඳහන් කරමිනි. නිව්ටෝනීය භෞතිකයේ ඊනියා අභ්‍යන්තර බල ද බාහිර බල පමණක්‌ ම බව කැළණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය ඉගෙන ගන්නා සිසුහු දනිති.

පරිසරයට හානි සිදුකරන්නේ නැතහොත් පොළොව විනාශ කරන්නේ මිනිසාය. වඩාත් නිරවුල් ව කියන්නේ නම් බටහිර මිනිසුන් හා ඔවුන් අනුකරණය කරන්නේ ය. එය භෞතික ව මෙන්ම අධ්‍යාත්මික ව සිදුවිය හැකිය. භෞතික ව පොළොව විනාශ කිරීම ගැන අපි නිතර කතා කරමු. කැලෑ කැපීමේ සිට නාගරික කුණු ප්‍රශ්නය හා ජලය අපවිත්‍ර කිරීම දක්‌වා ඒ පැතිරී ඇත. එහෙත් අප අධර්මිෂ්ඨ වන විට ද පොළොව විනාශ වේ යෑයි අපි මොහොතක්‌ වුව කල්පනා නො කරමු. ඒ අප ප්‍රබුද්ධයන් වී ඇති බැවිනි. බටහිර විද්‍යා ඉගෙන ගත්තා ද මා ප්‍රබුද්ධයකු නොවූ බැවින් මට බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙන් කැඩී වෙන්වීමට හැකි විය. ඊනියා ප්‍රබුද්ධයන්ට මට තරම්වත් ඒ චින්තනය නොතේරෙන බව ද මම දනිමි. අද බටහිරයන් හා ඔවුන් අනුකරණය කරන්නේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ගුණවගාවක්‌ ගැන කතා නොකරති. නිව්ටන් විද්වතාගේ මුණුබුරු මිණිබිරියන් වූ මොවුන්ට හැකිනම් ආධ්‍යාත්මක සංවර්ධනය ද බාහිර සාධක මත සිදුවන්නක්‌ බව පෙන්වනු ඇත. අපේ අධ්‍යාත්ම කුණු කර ගනිමින් අපට කිසිම භෞතික කුණු ප්‍රශ්නයක්‌ නිසියාකාරව විසඳීමට නොහැකි වනු ඇත. අපට කළ හැක්‌කේ පැලැස්‌තර ඇළවීම පමණකි. එහෙත් පැලැස්‌තරය පසාරුකරගෙන කුණු ඕජස්‌ ගලනු ඇත. ඉර හඳ පවත්නා තෙක්‌ මහා පොළොවේ ජීවත්වීමට නම් අපේ සංවර්ධනයක්‌ ඇති කරගත යුතුය. විනාශ වීමට නියමිත බටහිර සංවර්ධනය පසුපස ගොස්‌ අපට සුගතියක්‌ අත් නොවනු ඇත. අපේ සංවර්ධනයේ භෞතික සංවර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනය සමග බැඳී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.