අශ්ව කරත්තයේ යටගියාව

මෝටර් රථය එන්නට පෙර ධනවතුන්ගේ ජනප්‍රියම වාහනය වූයේ අශ්ව කරත්තයයි. ඒත් ඒ කෝපි කාලයේදීය. මෑත කාලයේ නම් කෝටිපති ව්‍යාපාරිකයන් හා ධනවතුන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ වොල්වෝ, බී. එම්. ඩබ්ලිව්, ටොයොටා ක්‍රවුන්, අවුඩී ජගුවර් ආදී සුපිරි පන්නයේ මෝටර් රථයන්ය.

කෝපි කාලයේ තිබූ ගොන් බැඳි හා බක්‌කි කරත්ත මෙන්ම තිරික්‌කලය, බරභාගය ආදී කරත්ත අතර එකල සුපිරි පන්නයේ කරත්තය වූයේ අශ්ව කරත්තයයි. මෑත කාලයේ අවුඩි, ජගුවර්, බෙන්ස්‌, බී එම් ඩබ්ලිව් ආදී සුපිරි නවීන මෝටර් රථ මෙන් එකල අශ්ව කරත්තය සුපිරි පැලැන්තියේ නැතහොත් වරප්‍රසාද ලත් පංතියේ සුපිරි වාහනයක්‌ බවට පත්ව තිබිණි.

අශ්ව කරත්තය ගැන සඳහන් කරන විටම අශ්වයා ගැන සඳහන් නොකරම බැරිය. මක්‌නිසාද යත් අශ්වයා හා කරත්තය අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරම් සමීප බැඳියාවක්‌ නිසාය. අශ්වයා අපේ රටට ආගන්තුක සත්වයෙකි. ඉන්දියන් ජාතිකයන් විසින් මෙරටට අශ්වයන් හඳුන්වා දී ඇති බව ද පැවැසේ. කෙසේ වුවද අශ්වයන්ගේ උපන් භූමිය අපරදිග රටවල්ය. අශ්වයා ඉතා වේගයෙන් ගමන් කළ හැකි කුර සහිත සත්වයෙකි. මේ නිසා අශ්ව කරත්ත සඳහා අශ්වයන් යොදාගනු ලැබීය.

අශ්වයා හා බැඳී ඇති කියමන්වලින් ද අපේ ජනවහර පෝෂණය වී ඇත්තේය. "අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසුවා වගේය", "නිකන් දීපු අශ්වයාගේ දත් බලන්න එපා" මේ එවැනි කියමන්ය. සැබැවින්ම අශ්වයා අනිකුත් සත්වයින්ට වඩා විශේෂ වූ සත්වයෙකි. මිනිසුන් සමඟ ඉතා සමීප සම්බන්ධතාවක්‌ ඇති සතෙකි. අශ්වයා ගැන සඳහන් කරන විට මගේ මතකයට ආවේ සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් ගායනා කරනු ලබන ගීතයක පද කිහිපයකි.

මිනිසකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහළට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිසා
හැන්දෑවෙත් අසු පිටට නගියි....

මේ ගීතයෙන් නම් කියවෙන්නේ අශ්වයා යොදාගෙන සිදුකරන සූදුවක්‌ ගැනය. අශ්වයා ගැන මෙතරම් අටුවා ටීකා ටිප්පන දමමින් කරුණු ගෙනහැර දැක්‌වූයේ අපේ රටේ අශ්ව කරත්ත සේවාව නැතහොත් අශ්ව කෝච්චි සේවාව ගැන සඳහන් කිරීමටය. අශ්ව කරත්තය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ යුරෝපීය ජාතීන් විසිනි. එකල සුදු ජාතිකයන්ගේ ජනප්‍රියම වාහනය වූයේ ද අශ්ව කරත්තයයි. අශ්ව කරත්තයක ගමන් බිමන් යැමට ඉඩකඩ විවර වූයේ ද වරප්‍රසාද ලත් පංතියේ උදවියට හා ධනවතුන්ටය.

මුළු ආසියාවේම පළමුවෙන්ම තැපැල් අශ්ව කෝච්චි සේවය ආරම්භ කරනු ලැබුවේ ලංකාවේය. ඒ 1832 වසරේදී කොළඹ සිට මහනුවර දක්‌වා පළමු කොට ඇරඹූ තැපැල් අශ්ව කෝච්චියයි. මෙකී තැපැල් අශ්ව කෝච්චි සේවාව ගැන සඳහන් කරන විට මහවැලි ගඟ හරහා පේරාදෙණිය ප්‍රදේශයේදී ඉදිවුණු ප්‍රථම පාලම ගැනත් සඳහන් කළ යුතුය. මක්‌නිසාද යත් මෙකී පාළම 1833 වසරේ ජනවාරි මස මහජනයා සඳහා විවෘත කිරීමෙන් පසු මේ පාලම ඔස්‌සේ මහනුවරට ගමන් කළ පළමු වාහනය වන්නේ ද මෙම තැපැල් අශ්ව කෝච්චියයි.

මහවැලි ගඟ හරහා ඉදිවුණු ප්‍රථම පාළම වූ මෙහි සැලසුම් කටයුතු කරනු ලැබුවේ ලුතිනන් ජෙනරාල් ජෝන් ප්‍රේසර් විසිනි. මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ 1826 දීය. අඩි 205 ක්‌ පළලැති තනි ලී ආරුක්‌කුවකින් මෙකී පාලම සමන්විත වූ අතර පාලම මත වූ කරත්ත යන මාර්ගය පළලින් අඩි 22 ක්‌ පමණ විය.

කොළඹ සිට මහනුවර දක්‌වා ගමන් කළ තැපැල් අශ්ව කෝච්චියේ තැපැල් මලු ගෙනයැමට අමතරව සීමිත මගීන් සංඛ්‍යාවක්‌ ද රැගෙන ගියහ. එකල කොළඹින් නුවරට යන මගියකුට ගෙවීමට වූ මිල පවුම් දෙකක්‌ හා සිලිං දහයකි. මෙකී අශ්ව කෝච්චි සේවාව 1838 වසරේදී කොළඹ සිට ගාල්ල දක්‌වා දීර්ඝ කරනු ලැබීය. එකල කොළඹ සිට ගාල්ල දක්‌වා ප්‍රසිද්ධ ප්‍රවාහන සේවාවක්‌ වශයෙන් පැවැතියේ මෙකී අශ්ව කරත්ත සේවාවයි. උදෑසන පහට පිටත් වූ අශ්ව කරත්තය ගාල්ලට ළඟා වූයේ සවස 6.00 ට පමණය. අශ්ව කරත්තයට සැතපුම් හැත්තෑ දෙකක්‌ ගමන් කිරීම සඳහා පැය දොළහක්‌ පමණ ගතවිය.

එකල ගාල්ලට ලැබුණු ලියුම් කොළඹට රැගෙන යැම සඳහා කඩින් කඩ දිවීමෙහි දක්‍ෂ මිනිසුන් යොදා තිබිණි. කෙසේ වුවද 1838 වසරේදී තැපැල් අශ්ව කරත්ත සේවාව ආරම්භ වීමෙන් පසු තැපැල් මලු ගෙනයැම සිදුවූයේ අශ්ව කරත්තයෙනි. එකල ගාලු වරාය ලංකාවේ ප්‍රධාන වරායක්‌ වශයෙන් පැවතිණි. මේ නිසා බොහෝ විදේශ ප්‍රවෘත්ති ගාල්ලට ලැබුණේ ගාලු වරායට ළඟා වූ දුම් නැව් මගිනි. විශේෂයෙන්ම පුවත්පත්වල පළකිරීම සඳහා මෙම ප්‍රවෘත්ති තැපැල් අශ්ව කරත්ත සේවාව මගින් කඩිනමින් කොළඹට යෑවීමට හැකි විය.

කෙසේ වුවද 1850 වසරේදී (pagen Express) (පරවි සේවය) මගින් තැපැල් සේවාවක්‌ observer (ඔබ්සවර්) පුවත්පත මගින් ආරම්භ කරනු ලැබීය. ගාල්ලට පළමුවැනි විදේශීය විදුලි පණිවුඩය ලැබුණේ ඇමරිකාවේ නිව්යෝක්‌ නගරයේ සිටය. ඒ 1866 වසරේදීය. එකල ටෙලිග්‍රාෆ් කාර්යාලය ගාලු කොටුවෙහි පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලෙහි හා වත්මන් හමුදා කඳවුර ඉදිරිපිට පිහිsටි පැරණි ගොඩනැඟිල්ලක පිහිටා තිබිණි. ගාලු කොටුවේ සිට ද අශ්ව කරත්ත සේවාවක්‌ මාතර, කළුතර හා කොළඹට ක්‍රියාත්මක විය.

ගාලු කොටුවෙහි පිහිටි වර්තමාන රූම්පාම් හෝටලය පිහිටි හන්දිය එකල මාතර අශ්වරථ ගාල ලෙස පැවතිණි. කළුතර අශ්ව කරත්ත ගාල මැන්ඩෝ හන්දියේ පිහිටා තිබිණි. එම අශ්ව ගාල තිබූ ස්‌ථාන තුළ වර්තමානයේ නිවාස ඉදිකොට ඇත. කළුතර අශ්ව කෝච්චි සේවයේ කාර්යාලය පිහිටා තිබුණේ පෙඩ්ලර් හන්දියේය. ඊට ඉදිරිපස එම හන්දියේම මාතර අශ්ව කෝච්චි සේවයේ කාර්යාලය පිsහිටා තිබිණි.

අශ්ව රථ කෝච්චි සේවාව මුලදී ආරම්භ කරනු ලැබුවේ වරප්‍රසාද ලත් හා ධනවතුන්ගේ ප්‍රයෝජනය සඳහාය. කෙසේ වුවද ගාලු අශ්ව රථ කෝච්චි සේවාව පසුව මධ්‍යම පන්තියේ ජනතාව අතර ද බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. එහෙත් අශ්ව කරත්තවල අයිතිය පැවැතියේ සුදු ජාතිකයන්ටය. ඉඳහිට මෙරට වැසියන් කිහිප දෙනකුට ද අශ්ව කරත්තවල අයිතිය පැවරී තිබිණි. ඒ. ෙ-. කේ. සොයිසා පවුලට අශ්ව කරත්තයක්‌ තිබූ පවුලකි.

එහෙත් බොහෝ අවස්‌ථාවලදී අශ්ව කරත්තවල ගමන් බිමන් ගියේ ධනවතුන්ය. සාමාන්‍ය ජනතාවට නම් අශ්ව කරත්තවල ගමන් කිරීමට වාසනාව උදාවූයේ නැත. අශ්ව කරත්ත අනතුරුවලට ලක්‌ වූ අවස්‌ථා ද තිබේ. මේ එවැනි සිද්ධියකි. යුරෝපීය ජාතික කාන්තාවන් තිදෙනෙක්‌ ගාල්ල සිට කොළඹ දක්‌වා අශ්ව කරත්තයකින් ගමන් කරමින් සිටියහ. අශ්ව කරත්තය ද පවනට බඳු වේගයෙන් ගමන් කරමින් තිබුණේය. මෙකී යුරෝපීය ජාතික කාන්තාවන් තිදෙනාට දෙහිවල පාළම නම් පසු කිරීමට හැකිවූයේ නැත.

අශ්ව කරත්තය දෙහිවල පාලමේ ගැටී ගඟට ඇදවැටුණේය. මෙම අනතුරින් අශ්ව කරත්තයේ ගමන් ගත් යුරෝපීය ජාතික කාන්තාවන් තිදෙනා හා අශ්වයන් ද මිය ගියහ. මෙම අනතුරෙන් පසු සුදු ජාතිකයන් විසින් දෙහිවල පාලම පලල් කළ බව ද පැවසේ. 1860 දී පමණ මෙම අනතුර වී ඇති බැව් පැවැසේ.

දැන් කාලයේ මෙන් නොව කෝපි කාලයේ ද කොල්ලකෑම් සිදුවිය. එකල අශ්ව කරත්ත ද කොල්ලකනු ලැබීය. අශ්ව කරත්ත නම් කොල්ලකෑවේ එසේ මෙසේ පුද්ගලයකු නොවේ. ඔහු වෙන කවුරුවත් නොව ලංකාවේ "රොබින් හුඩ්" නමින් විරුදාවලිය ලැබ සිටි සූර සරදියෙල්ය. බඩු පටවාගෙන කොළඹ සිට මහනුවර බලා ගමන් ගත් බක්‌කි කරත්ත හා අශ්ව කරත්ත සරදියෙල් මහමඟ රැක සිට කොල්ල කෑවේය. සරදියෙල්ගේ බලකොටුව වූයේ උතුවන් කන්දය.

ධනපති පංතියෙ නැතහොත් වරප්‍රසාද ලත් පංතියේ උදවියගෙන් කොල්ලකනු ලැබූ මෙම බඩු භාණ්‌ඩ සරදියෙල් විසින් අහිංසක දුප්පත් ජනතාව වෙත බෙදා දුන් බව ජනකතාවල සඳහන් වන්නේය. ධනවතුන්ගේ ජනප්‍රියම වාහනය බවට පත් වූ අශ්ව කරත්තය මෝටර් රථය පැමිණීමත් දුම්රිය සේවාව ආරම්භ වීමත් සමඟ නැත්තටම නැති වී ගියේය. වර්තමානයේ නම් අශ්ව කරත්තයක්‌ දැකබලා ගැනීමට අවස්‌ථාව උදාවන්නේ කෞතුකාගාරයක්‌ තුළදී පමණි.

එංගලන්තයේ නම් අදත් ඉඳහිට අශ්ව කරත්ත දැකිය හැකිය. අදත් එංගලන්තයේ මහ රැජන බකිංහැම් මාලිගාවේ සිට පාර්ලිමේන්තු සැසිවාරයන් විවෘත කිරීමට පැමිණෙන්නේ අශ්ව කරත්තයෙනි.


ලලිත් චාමින්ද

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.