විජයග්‍රණය

ජයග්‍රාහි ස්‌පාඤ්ඤ කණ්‌ඩායම කුසලාන ඇතිව

ස්‌පාඤ්ඤය ජය ගත්තා.

පාපන්දු ලෝක කිරුළ විතරක්‌ නොවේ. මුළු ලෝකයම.

ඒ ජයග්‍රහණයට අදට සතියක්‌ වෙනවා. ඒත් තවමත් ස්‌පාඤ්ඤ ජාතිකයන් ඒ ජය සමරනවා. සතියක්‌ නොව.

එය සියවසක්‌ සැමරිය යුතු ජයග්‍රහණයක්‌.

මුළු ලෝකයම පරදා ජයග්‍රහණය කළ රටක්‌. මුළු ලෝකයම පරදා ජයග්‍රහණය කළ ජාතියක්‌.

ස්‌පාඤ්ඤ ජාතිකයන්, ඒ රට වැසියන් ඒ ජයෙන් උමතු වෙලා. ජයග්‍රහණයක්‌ නොව විජයග්‍රහණයක්‌ වූ ඒ ජයග්‍රහණය මිහිපිට සියලු පාපන්දු කණ්‌ඩායම් පරදා ලැබූ ජයග්‍රහණයක්‌. ඔවුන් තරම් සමතෙක්‌ ලොව නැති තරම් බව ලොවට පෙන්වූ ජයග්‍රහණයක්‌. සිහින අතරේ සැරිසරා සිහින ලොවෙන් දිනාගත් සැබෑ වුණු සිහිනයක්‌. පාපන්දු රජවරුන් අප යෑයි මහා හයියෙන් ලොවට හඬ නඟා කියන්න තරම් මහත් ආඩම්බරයක්‌ සිත් පුරා හද පුරා දැනෙන ජයග්‍රහණයක්‌.

සෑම අතකින්ම මෙතැකැයි කියා නිම කරන්න බැරි තරම් අනගිබවනීය ජයග්‍රහණයක්‌. පාපන්දු කිරුළ දිනනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් වැඩිපුර විශ්වාස නොකළ කණ්‌ඩායමක්‌ ලද ජයග්‍රහණයක්‌. ඒ නිසාම හාස්‌කමක්‌ බඳු ජයග්‍රහණයක්‌.

අවසන් කණ්‌ඩායම් 32 අතර වැඩි වශයෙන් නම කියවුණේ බ්‍රසීලය. ආර්ජන්ටිනාව, ජර්මනිය, ඉතාලිය. එහෙමත් නැත්නම් උරුගුවේ, ප්‍රංශය, එංගලන්තය වගේ රටවල්. ඒ ඔවුන්ගේ අතීත කෙරුවාවන් නිසා.

"ඒත් අතීතයක්‌ නැහැ. දැන් තිබෙන්නේ දැන් දක්‍ෂතා පමණයි." යන්න ලොවට කියා පෑ ස්‌පාඤ්ඤය අවසන් තරගයට ආවා. ඒ තම ලෝක පාපන්දු සවාරියේ පළමු වතාවට.

ඒ වගේම තමයි නෙදර්ලන්තය පිළිබඳවත් ලෝක පාපන්දු පිටියේ වැඩි බලාපොරොත්තු තිබුණේ නැහැ. ඒත් අවසන් තරගයට මීට පෙර ඔවුන් දෙවතාවක්‌ පැමිණ තිබුණා. ඒ දෙවතාවේදීම පරාජයේ වේදනාව අත්විඳි ඔවුන්ට මෙවරත් එයින් ගැලවෙන්න හැකි වුණේ නැහැ. පරාජයේ අඳුරු සෙවණැලි හඹා ඇවිත් නෙදර්ලන්තය වසා ගත්තා. ඒත් අවසන් තරගය දක්‌වා ඔවුන් ගමන් ගත් ආකාරය ප්‍රශංසනීයයි.

ශූරතාව ලැබීමට තිබූ අවාසනාවන්තකම පමණයි එම කණ්‌ඩායම සතු වූ දුර්වලතාව. අනෙක්‌ හැම අංශයෙන්ම ඔවුන් ස්‌පාඤ්ඤය හා සම මට්‌ටමේ හිටියා. විශේෂයෙන් අවසන් තරගයේ 116 වැනි මිනිත්තුව වෙනතුරුම තරගාවලිය පුරාවට මේ කණ්‌ඩායම් දෙක සම තත්ත්වයේ හිටියා. තරගය අවසන් වෙන්න මිනිත්තු 4 ක්‌ තිබියදී නෙදර්ලන්තයේ ඉරණම විසඳුණා. ලෝක පූජිත කණ්‌ඩායම් පරාජය කර අවසන් කඩ ඉමට පැමිණි ඔවුන්ට අවසන් අවස්‌ථාවේදී යළි කඳුළ උරුම වුණා.

අවසන් පූර්ව තරගවල දී නෙදර්ලන්තය සහ උරුගුවේත්, ස්‌පාඤ්ඤය සහ ජර්මනියත් තරග වැදුණා. 1930 වසරේ සහ 1950 ශූරයන් වූ ප්‍රබල උරුගුවේ කණ්‌ඩායම පරාජය කරන්නට නෙදර්ලන්තය සමත් වුණා. අනෙක්‌ පසින් ස්‌පාඤ්ඤය ජර්මනිය පරාජය කළා. අවසන් කණ්‌ඩායම් හතර අතරට පැමිණි ප්‍රබල කණ්‌ඩායමක්‌ ලෙස සැලකිය හැකි ජර්මනිය ශූරතාව ජයග්‍රහණය කරනු ඇතැයි විචාරකයන් අනාවැකි පළ කළා. ඒත් අවසන් තරගය සඳහා ඒමටවත් ඔවුන්ට ඉඩ සැලසුණේ නැහැ. ඒ 2010 පාපන්දු ශූරතාවයේ හිමිකරුවන් වන ස්‌පාඤ්ඤය නිසා. මේ ප්‍රතිඵලයම තමයි 2008 යුරෝපා පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයේදීත් අත් වුණේ. එහි වාඩුව 2010 ලෝක පාපන්දු සටනේ අවසන් පූර්ව තරගයේදී ලබා ගැනීමට ජර්මනිය උත්සාහ කළත් ස්‌පාඤ්ඤ ජයග්‍රහණය වළක්‌වන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. හැබැයි ඒ බව ඔවුන්ගේ රටේ සිටින කෙනෙක්‌ට ඊට පෙර අනාවැකියකුත් පවසා තිබුණා. ඒ අනාවැකිය නිවැරදි වුණා. ඒ අනාවැකිය කිව්වේ කවුරුත් නොවේ. බූවල්ලෙක්‌. ඒ බූවල්ලා අද ලෝකයේ ජනප්‍රියම සත්ත්වයා බවට පත්වෙලා. ඒ අනාවැකිය ලෝක කුසලාන අවසාන මහා තරගයේදීත් සාර්ථක වුණා.

අවසන් තරගය පැවැති දකුණු අප්‍රිකාවේ සොකර් සිටි ක්‍රීඩාංගණය මල් වෙඩි වරුසාවලින් ඒකාලෝක වුණා. විශ්වයේ විශිෂ්ටතම සැණකෙළිය මේ යෑයි ලොවට හඬ නඟා කියා පෑමට තරම් සමත් අවසන් සංදර්ශනයක්‌ ක්‍රීඩාංගණය පුරාවට සංවිධානය වී තිබුණා. මිලියන ගණනින් ජනතාව දැස්‌ නොසොල්වා බලාන සිටි රාත්‍රිය නිමා වුණා. ඒ 2014 වසරේදී බ්‍රසීලයේ ඔවුන් යළි හමුවන බලාපොරොත්තුවෙන්. එතෙක්‌ පාපන්දු ලෝක ශූරයන් යන ආඩම්බරය ස්‌පාඤ්ඤය ඉදිරියේ ගෞරවාන්විතව ලියෑවිලා තිබේවි.


කුෂාන් සුබසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.