ජගත් පාපන්දු ශූරතාව - ක්‍රීඩා කතුවරයකුගේ ඇසින්

අප්‍රිකානුවෝ වසර 6 ක්‌ පුරා සූදානම් වූ, ලෝවැසි සෙස්‌සෝ පුරා වසර 4 ක කාලයක්‌ බලාපොරොත්තුවෙන් සිටි ජගත් පාපන්දු කුසලාන නමැති වර්ණගැන්වුණු "සුළඟ" පුරා මසක කාලයක්‌ ලොවම පිනවමින් හමාවිත් ඉකුත් ඉරිදා වේරම්භ වාතයක්‌ බවට පත්ව විනාඩි 120 ක (90+30) කලක්‌ ලොවම කළඹා නිසොල්මන් විය.

අපරිමිත උත්සවශ්‍රීයද, විටෙක සක්‌වල දෙදරවන තරම් ජයඝෝෂාවද, තවත් විටෙක බලාපොරොත්තු කඩවීමෙන් නැගුණු සමූහ සුසුමක්‌ද, වරෙක සහනයද වරෙක අසහනයද, සතුටු සිනාද, දුක්‌ කඳුළුද රැඳුනු අප්‍රිකානු පොළොව මත පළමු වරට පැවැති මේ තරගාවලියේ දින 32 ක්‌ තුළ පැවැති තරග 64 ක්‌ සමස්‌තයක්‌ ලෙස ගෙන තනි පුද්ගලයකුගේ දුෂ්ඨ කෝණයෙන් දුටුවේ මෙසේය.

උතුරු අයර්ලන්තයේ වැඩිම අලෙවියක්‌ ඇති දිනපතා පුවත්පත වන "බෙල්ෆාස්‌ට්‌ ටෙලිග්‍රාප්" හී ක්‍රීඩා කතුවරයා දකුණු අප්‍රිකාවට ගොස්‌ ජගත් පාපන්දු ශූරතාව වාර්තා කළේය. මේ ඔහු සිය නිරීක්‍ෂණයෙන් එළැඹි ගුණදොස්‌ විවේචනයයි.

හොඳම තරගය - "මගේ මතයට අනූව නම් මෙවර ජගත් පාපන්දු කුසලාන හොඳම තරගය ජර්මනිය විසින් එංගලන්තය ගෝල 4-1 ක්‌ ලෙස පරාජයට පත් කළ තරගයයි. එය ඇදහිය නොහැක්‌කක්‌. එය සුපිරි රංගනයක්‌. එහෙත් එහිදී එංගලන්තයේ හැකියාව ෙ€දනීය ලෙස පහළ වැටීම පුදුමයක්‌. ඒ වගේම ස්‌ලෝවැකියාව ඉදිරියේ පසුගිය ශූර ඉතාලිය ගෝල 3-2 ක්‌ ලෙස පරාජය වූ තරගයත් දඬුවම් පහර මගින් තීරණය වූ උරුගුවේ-ඝානා තරගයත් සමස්‌ත තරගාවලියේ සුපිරි තරග ලෙසින් හැඳින්විය හැකියි."

දුර්වලම තරගය - "මෙවර නම් එවැනි තරග රැසක්‌ තිබුණා. එංගලන්තය සහ ඇල්ජීරියාව අතර ගෝල 0-0 ක්‌ ලෙසින් අවසන් වූ තරගයත් එවැන්නක්‌. ඒත් දුර්වලම තරගය නම් බ්‍රසීලය සහ පෘතුගාලය අතර ගෝල නොලබා සමතත්ත්වයෙන් අවසන් වූ තරගයයි.

හොඳම කණ්‌ඩායම් දක්‍ෂතා - "කථා දෙකක්‌ නෑ. ජර්මනිය විසින් ගෝල 4-0 ක්‌ ලෙස ආර්ජන්ටිනාව පරාජය කිරීම"

දුර්වලම කණ්‌ඩායම් හැඟීම - "මේ ලැඡ්ජාසහගත "සහතිකය" හිමිවන්නේ ප්‍රංශයටයි. ඔවුන් තරගාවලිය පුරාම පිටියෙත් ඉන් පිටතත් ඒ තෝරාගැනීමට සාධක සැපයුවා."

වීරයන් නොවුණු වීරයෝ - "උරුගුවේ එහි ඉහළින්ම සිටින කණ්‌ඩායමක්‌. චිලී කණ්‌ඩායමේ තරග විලාසය අනුවත් ඔවුන්වත් එතැන තබන්න පුළුවන්. ඒත් මගේ මනාපය මම දෙන්නේ නවසීලන්තයට. මේ පෙරළිකාර කොලු රෑනට දෙවැනි වටයට එන්න බැරිවුණත් ඔවුන් මුහුණ දුන් සෑම තරගයක්‌ම ජය පරාජයකින් තොරව අවසන් කරන්නට හැකිවුණා. නවසීලන්තය තමයි මේ තරගාවලියේ එකම අපරාජිත කණ්‌ඩායම. හරියට අපරාජිත අනාවැකිකරු පෝල් කියන බූවල්ලා වගේ."

දක්‍ෂතම ක්‍රීඩකයා - "ජර්මනියේ තෝමාස්‌ මූලර්. ඔහු මොන තරම් අනගි ක්‍රීඩකයෙක්‌ද. ස්‌පාඤ්ඤය සමග අවසන් පූර්ව තරගය ඔහුට තහනම් නොවන්න ජර්මනියට එම තරගය දිනාගන්නත් තිබුණා."

අවාසනාවන්තම ක්‍රීඩකයා - "ඔහු තමයි එංගලන්තයේ වේන් රූනි. මෙය ඔහුට හුදු තරගාවලියක්‌ පමණක්‌ වුණා. පුදුම කඩාවැටීමක්‌. ස්‌පාඤ්ඤය ලෝක ශූරයන් වුණත් ඔවුන්ගෙ ෆර්නැන්ඩෝ ටොරස්‌ටන් එම ඉරණමමයි."

හොඳම දැල රැකීම - "අවසන් මහා තරගයේදී නෙදර්ලන්තයේ ආයන් රොබෙන් එල්ල කළ පහර ගෝලය වෙත යැම වලක්‌වමින් ස්‌පාඤ්ඤ දැල රකින්නා වන අයිකර් කැසිලස්‌ තරගාවලියේ තීරණාත්මක රැකගැනීම සටහන් කළා. එය එහෙම වුණත් අර්ධ අවසන් පූර්ව තරගයේදී ඝානාවේ නියත ගෝලය අතින් වැලැක්‌වූ උරුගුවේ (ආරක්‍ෂක පෙළ) ක්‍රීඩක ලුමී සුවාරිස්‌ (දැල රකින්නෙක්‌ නොවුණත්) තරගය කණපිට හැරෙව්වා. එය නීතිවිරෝධි වුණත් ඒ වෙලාවෙ ඔහු ඒ හැර වෙන මොනවා කරන්නද?"

දුෂ්ට දැල රැකීම - "බොහෝ දෙනෙක්‌ කියයි එය කළින් සඳහන් කළ සුවාරිස්‌ගේ සිදුවීම කියලා. ඒත් මම නම් හිතන්නේ ඇමරිකාව සමග තරගයේදී එංගලන්ත දැල රකින්නා වන රොබට්‌ ග්‍රීන් දුශ්ප්‍රයෝගයකින් ඇමරිකාවේ තියන ගෝලය වැලැක්‌වීම තරගාවලියේ අන්තිම පහත් දැල රැකීමයි."

හොඳම ගෝලය - "අවසන් මහා තරගයේදී අන්ද්‍රයෙස්‌ ඉනියෙස්‌ටාගේ ගෝලය අනර්ඝයි. ඒ වුනත් නෙදර්ලන්තයේ නායක ජියොවානි උරුගුවේ සමග පැවැති අවසන් පූර්ව තරග ජයග්‍රහණය වෙනුවෙන් වාර්තා කළ ගෝලය මගේ තේරීමට අනුව අංක 1 යි."

දුර්වලම දඬුවම් පහර - "ඝානාව සහ උරුගුවේ අතර අර්ධ අවසන් පූර්ව තරගයේදී සුවාරිස්‌ විසින් අතින් පන්දුව නතර කිරීමෙන් පසු ඝානාහි ඇසමෝවාට ලැබුනු දඬුවම් පහර එල්ල කළ ආකාරය අන්තිම දුර්වලයි. එම පහර දැල් රාමුවේ ඉහළ දාරයේ වැදී ඉවතට විසිවූයේ අප්‍රිකානු කණ්‌ඩායමකට ප්‍රථම වරට ජගත් පාපන්දු කුසලාන අවසන් පූර්ව තරගයකට පිවිසීමට තිබූ ඓතිහාසික අවස්‌ථාව අපතේ දමමින්."

හොඳම දඬුවම් පහර - "තීරණාත්මක වැරැද්ද කළත්, එයට පසුව යෙදුණු දඬුවම් පහර අවස්‌ථාවේ තරගාවලියේ දක්‍ෂතම පහර එල්ල කළේත් ඔහුමයි." (ඝානාවේ ඇසමෝවා)

හොඳම පිනවීම - "ස්‌පාඤ්ඤයේ සහ ජර්මනියේ සුපිරි තරග විලාසය තරගාවලිය පුරා ක්‍රීඩා ලෝලීන් පිනවීමට හේතුවුනු බව විශ්වාසයි. ඒත් ආර්ජන්ටිනාවෙ "ලොක්‌කා" ඩියාගෝ මැරඩෝනා තමයි හොඳම පිනවීම කළේ. ප්ලේ සහ මිෂෙල් ප්ලැටිනි විසින් තමන්ව විවේචනය කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවේදී මැරඩෝනා අපූරු උත්තරයක්‌ දුන්නා..."

"පේලේට ආපසු කෞතුකාගාරයට යන්න කියලා මම මෙහිදී කිව යුතුයි. ප්ලැටිනි කියන දේවල් ගැන මම පුදුම වෙන්නෙ නැහැ. කොහොමත් අපි දෙන්නා අතරේ ඒ හැටි ඇයි හොඳයියක්‌ තිබුණේ නැහැනේ. අපි ඔක්‌කොම දන්නවා ප්‍රංශකාරයා හිතන විදිහ. ප්ලැටින් ප්‍රංශ කාරයානේ. ඉතින් මිනිහත් හිතනවා අනිත් ඔක්‌කොටම වඩා මිනිසා ජගත් කියලා. මම ගැන තැකීමක්‌ නෑ. ඔය දෙන්නට මං ගැන වල් පල් කියනවා ඇරෙන්න වෙන වැදගත් දෙයක්‌ නෑ."

නරකම හැසිරීම - "නෙදර්ලන්තය අවසන් මහා තරගයේදී යොදාගත් ප්‍රකෝපකාරී උපක්‍රම නම් අන්තිමයි."

හොඳම පුහුණුකරු - "මගේ තීරණය ඔබව පුදුමයට පත්කරන්නත් පුළුවන්. ඒත් මගේ තේරීම නම් ජර්මනියේ ජෝකිම් ලෝ යි. නව යොවුන් ක්‍රීඩකයන් රැසක්‌ සමග ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ටික දෙනෙක්‌ යොදවලා ඔවුන්ව විශිෂ්ඨත්වයට පත්කරන්න ජෝකිම් සමත් වුණා."

දුර්වලම පුහුණූකරු - "ඒ ලැයිස්‌තුවේ අංක එක මම පිරිනමන්නේ ප්‍රංශයේ රේමන් ඩොමිනික්‌ට. ඒ පැත්තෙන් (දුර්වලකම අතින්) ෆාබියෝ කැපිලෝට වඩා ටිකක්‌ ඉහළින් ඔහු ඉන්නවා."

සුපිරි මොහොත - ස්‌පාඤ්ඤයේ අන්ද්‍රයෙස්‌ ඉනියෙස්‌ටා අවසන් මහා තරගයේදී ලැබූ ගෝලය තරගාවලියේ "සුපිරි" සිදුවීමයි.

සියල්ලන්ගේ දක්‍ෂතා අතරින් මා තෝරන කණ්‌ඩායම - කැසිලස්‌ (ස්‌පාඤ්ඤය), රාමෝස්‌ (ස්‌පාඤ්ඤය), ලුගානෝ (උරුගුවේ), පයෝල් (ස්‌පාඤ්ඤය), කොන්ට්‍රාවෝ (පෘතුගාලය), ඉනියෙස්‌ටා (ස්‌පාඤ්ඤය), ශ්වෙන්ස්‌ටීජර් (ජර්මනිය), ස්‌නයිජර් (නෙදර්ලන්තය), මුලර් (ජර්මනිය), විලා (ස්‌පාඤ්ඤය), ෆොaලන් (උරුගුවේ)

අතිරේක - ස්‌ටීක්‌ලන්බර්ග් (නෙදර්ලන්තය), මෙන්ෂා (ඝානාව), කේෂාවි (ස්‌පාඤ්ඤය), ඔසිලෝ (ජර්මනිය), ක්‌ලෝස (ජර්මනිය)

ෆිෆා හි ලොකුම වැරැද්ද - "විනිසුරු තීරණ සම්බන්ධයෙන් ජගත් පාපන්දු සම්මේලනය (ෆිෆා) රූපවාහිනී දර්ශන මගින් ගෝල සීමා නිරීක්‍ෂණයක්‌ නොකර තීන්දු දීමට අවස්‌ථාව සලසාදීම ලොකු අඩුවක්‌. ෆිෆා කැමති හැමදාම අතීතයේ ජීවත්වීමටයි."

සමස්‌තයක්‌ ලෙස - "මෙය දක්‍ෂතා අතින් සුපිරි තරගාවලියක්‌ නොවෙයි. එල්ල වූ ගෝල ගණන ප්‍රමාණවත් නෑ. ඝෘණාත්මක ක්‍රීඩා ශෛලියක්‌. මහ ලොකුවට අවධානය යොමුවුණු ක්‍රීඩකයෝ රැසක්‌ අසමත්..."


සටහන - ඉන්ද්‍රජිත් සුබසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.