වාස්‌ පාස්‌
කව්ද ෆේල් ?

ඔහු මෙගාස්‌ටාර් කෙනෙකි. එහෙත් ඔහුට මෙගාස්‌ටාර්ස්‌ අතරට එක්‌වන්නට වරම් නැත. එහෙත් හෙතෙම තවම සුපර් ස්‌ටාර් කෙනෙකි. එබැවින් ඔහුට එංගලන්තයේ වේදිකාවකට වරම් ලැබිණි. මෙහිදී ඔහුට මෙගාස්‌ටාර්ස්‌ අවසන් පහලොස්‌ දෙනා අතරට එක්‌වීමට වරම් නොමැති වුවද එහිදී ඔහු ජගත් වේදිකාවේ සුපර් ස්‌ටාර්ස්‌ සහ මෙගාස්‌ටාර්ස්‌ ලා අතර කිරුළ පැලැන්දේය.

මොහු රූපවාහිනී වැඩසටහනක ගී ගයන මෙගාස්‌ටාර් කෙනෙක්‌ නොවුනද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ සැබෑ මෙගාස්‌ටාර් කෙනෙකි. හෙතෙම චමින්ද වාස්‌ය. ශ්‍රී ලංකාවේ බිහිවූ වේග පන්දු යවන්නන් අතරින් එක්‌දින සහ ටෙස්‌ට්‌ තරවල වැඩිම කඩුලු ලාභියා වන මොහු වසර එක හමාරක සිට ජාතික ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ ගිරයට හසුව කණ්‌ඩායමෙන් ඉවත් කර තිබේ. එවැනි පසුබිමකට ඔහුව තල්ලු කළ විනිසුරු මඩුල්ල දැන් ගෙදර ගොස්‌ තිබේ. නව විනිසුරු මඬුල්ලක්‌ (ජාතික ක්‍රිකට්‌ තේරීම් කමිටුව) පැමිණ තිබේ. මේ ලොව ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම්වල සංක්‍රාන්ති සමයයි. ඒ තව මාස හයකින් ආරම්භ වන ලෝක කුසලාන දිනා ගැනීම පිණිසයි. මීළඟ ලෝක කුසලාන තරගාවලිය චමින්ද වාස්‌ගේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියේ නිමාව සනිටුහන් කරන තරගාවලිය බවද ඔහු මීට පෙර "දිවයින" ට පැවසීය. ඉකුත් 2009 වසරේ අගෝස්‌තු 27 වැනිදා ඉන්දියාව සමග තරගයට සහභාගි වීමෙන් පසුව වාස්‌ මේ දක්‌වා ශ්‍රී ලංකා එක්‌දින සංචිතයට කැඳවීම් නොලැබුවේය.

වාස්‌ ක්‍රීඩා කළ අවසන් එක්‌දින තරග 10 දී කඩුලු 8 ක්‌ බිඳ හෙළා තිබේ. ඔහු සහභාගි වූ එක්‌දින තරග 332 කදී කඩුලු 400 ක්‌ දවා ඇත්තේ සාමාන්‍යය 27.53 ක්‌ ලෙස සනිටුහන් කරමිනි. පන්දුවාරයකට ප්‍රතිවාදී කණ්‌ඩායම් ලබා ඇත්තේ ලකුණු 4.18 ක ප්‍රමාණයකි. මෙය ජාත්‍යන්තර තලයේ ඉහළම දස්‌කමකි. ආරම්භක පන්දුවාරයේදී බොහෝ දුරට කඩුල්ලක්‌ දවා ගැනීමේ හැකියාව වාස්‌ සතුව ඇත. ඔහු ඒ බව ක්‍රියාවෙන් නොයෙක්‌ වර ඔප්පු කර තිබේ. වාස්‌ගේ ඉහත ක්‍රිකට්‌ පැටිකිරිය එසේවුවද වර්තමානයේ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද විශ්මිත රංඟනයක ඔහු යෙදෙමින් සිටියි.

එහෙත් ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව සිටි වාස්‌ට ජාත්‍යන්තර මෙගාස්‌ටාර්ලා සුපර්ස්‌ටාලා තරග වදින ඉන්දියනු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලැබුණු අවස්‌ථාවේ හොඳින් වැඩ පෙන්නුවේය. එතැනින් නොනැවතුණු ඔහු දැන් එංගලන්තයේ ක්‍රියාත්මක ෆේ‍රන්ඩ්ස්‌ ප්‍රොවිඩන්ට්‌ 20-20 තරගාවලියේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වී ඇත. එහිදී නොදැම්ප්ටන්ෂයර් කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු සහ ආරම්භක පන්දු යවන්නා ලෙසද කටයුතු කරන වාස්‌ ඉකුත් ජුනි මාසයේ එංගලන්තයේ ක්‍රියාත්මක සියලුම ක්‍රිකට්‌ තරගාවලි අතරින් හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩකයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. 36 වැනි වියේ පසුවන වාස්‌ එංගලන්තයේ දැන් ක්‍රියාත්මක ෆේ‍රන්ඩ් ප්‍රොවිඩන්ට්‌ 20-20 තරගාවලියේ තරග 11 කදී අර්ධ ශතක 4ක්‌ සමග ලකුණු 303 ක්‌ රැස්‌ කර ගෙන තිබේ. එහි සාමාන්‍ය 30.30 ක්‌ වන අතර ප්‍රහාරාත්මක වේගය 128.93 ක්‌ වේ. ඔහු ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 73 ක්‌ ලෙස සටහන් වෙයි. එම තරගාවලියේ පන්දු යවන්නන් අතර තෙවැනි ස්‌ථානයේ පසුවන වාස්‌ සහභාගි වූ තරග 11 දී කඩුලු 19 ක්‌ දවා ඇත. එහි සාමාන්‍ය 12.63 ක්‌ ලෙස සටහන් වෙයි. වාස්‌ගේa රැකියාවට අදාළ විභාගයෙන් ඔහු දැන් එංගලන්තයේදී ගෞරව උපාධියක්‌ ලබා තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේදී ඔහුට නිසි තැන ලබාදීම කළ හැක්‌කේ වත්මන් ක්‍රිකට්‌ තේරීම් කමිටුවටය. ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා හරි දේ හරියට කරන බව පවසයි. ඒ සඳහා කවුරු හෝ බලපෑම් කළහොත් ඉල්ලා අස්‌වන බවද මාධ්‍ය හමුවේ පැවසීය. එසේනම් අරවින්ද මාධ්‍යට කියූ පරිදි ඉදිරි ලෝක කුසලාන සඳහා සුදුස්‌සාට සුදුසු තැන ලබා දීමට කාලය දැන් එළැඹ තිබේ.

සුදුස්‌සාගේ තැන නුසුදුස්‌සෙකුට හිමි කරවන බලපෑම් වේ නම් කොන්ද කෙළින් තබා ක්‍රියාත්මක වීමේ හැකියාව අරවින්දට තිබේ යෑයි සිතමු. එංගලන්තයේ දැන් ක්‍රියාත්මක අදාළ පන්දුවාර 20-20 තරගාවලිය ලොව ක්‍රිකට්‌ මෙගාස්‌ටාර්ලා සහභගි වන බව අරවින්ද දන්නවා ඇතැයි ද අපි විශ්වාස කරමු. ඔවුන් අතරෙහි වඩා දීප්තිමත් තරුව ශ්‍රී ලංකාවේ වාස්‌ය.


අසේල විතාන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.