වීරයා

මුත්තයියා මුරලිදරන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමු ගැනීම අද සිදු වන්නේය. එම විශ්‍රාම ගැනීම සිදුවන මේ මොහොතේදී ඔහුගේ වයස අවුරුදු 37 කි. තවත් දිගු කලක්‌ ක්‍රීඩා කිරීමට හැකියාව සහ ජවය තිබියදීත් මේ තරුණයා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිටියෙන් සමු ගැනීම පිළිබඳව මේ රටේ ක්‍රිකට්‌ ලෝලීන් තුළ කිසිදු ප්‍රසාදයක්‌ නැත. මේ වූ කලී ස්‌වකීය මරණ මංචකයේදීත් ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුවකට අත්සන් කළ හැකි නම් එය සිදුකර මරණයෙන් පසු ඊළඟට උපදින ලෝකයේදී (බොහෝ විට අපායේදී) මැච් එක ගැසීමට කැමති ක්‍රීඩකයන් සිටින යුගයකි. ක්‍රිකට්‌ යනු සල්ලි අච්චු ගසන මැෂිමකි. මුරලිදරන් මේ මැෂිම තුළ තමන්ට හිමි කොටස ඉවත් කරගෙන ඇත. ආලෝකයේ වේගයට අඩුවෙන් වුවත් ශබ්දයේ වේගයට වැඩියෙන් පන්දු යෑවූ මුරලිදරන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිටියෙන් ඉවත් වීමෙන් හට ගන්නා හිස්‌තැන පිරවීමට මේ රටේ ක්‍රිකට්‌ බලධාරීන්ට බෙහෙවින් වැර වෑයම් කිරීමට සිදුවනු ඇත. මුරලිදරන් විශ්‍රාම ගැනීමේ තීරණය ඇසීමෙන් මේ රටේ ක්‍රිකට්‌ ලෝලීන් ලක්‍ෂ ගණනක්‌ මහත්සේ කනගාටුවට පත්වනවා ඇත. එහෙත් මුරලිදරන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය ඉදිරියේදී හේබා ගිය ඇතැම් විජිතවාදීන් මේ අවස්‌ථාවේදී මහත් සේ සතුටට පත් වනවා ඇත. ඔහු සුද්දන්ගේ විකට්‌ කුඩු කළේය. මෙහිදී කුඩු වූයේ විකට්‌ පමණක්‌ නොවේ. සුද්දන්ගේ මානසික බලකොටු ද මේ කුඩු වීමත් සමග ඉරිතලා ගියේය.

හම කලු වීම, දක්‍ෂයකු වීම, ශ්‍රී ලාංකිකයකු වීම යන කාරණා නිසා ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේදී වැඩිම පලිගැනීමකට ලක්‌වූ ක්‍රිකට්‌ ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන් බව අපි විශ්වාස කරමු. ඔහුගේ පන්දු යෑවීමේ විලාසිතාවට විරුද්ධව ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ ක්‍රීඩා තීරකයන් ගෙන ගිය විරෝධතා ව්‍යාපාරය යට නිරන්තරයෙන්ම සැඟව තිබුණේ කුහකකමය. දැනට දිරාපත් වෙමින් තිබෙන යටත් විජිතවාදී ලෝකයෙන් නිදහස්‌ වූ තරුණයන් ක්‍රිකට්‌ වැනි ක්‍ෂේත්‍රයක ජය කෙහෙළි නංවනු දැකීමට මහ රැජිනගේ සපත්තු කුට්‌ටම තවමත් කරේ තබාගෙන සිටින රටවල් කැමති නැත. මේ නිසා ශ්‍රී ලංකාව ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවල ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ගැන විශේෂ අවධානයකින් කටයුතු කිරීමට "සුද්දන්ගේ ක්‍රිකට්‌ බෝඩ් එක" විශේෂ උනන්දුවකින් කටයුතු කරති. ඇත්තෙන්ම මෙවැනි ක්‍රිකට්‌ බෝඩ් එකක්‌ මිහිපිට නැත. මෙය වර්ගවාදී සහ වර්ණභේදවාදී බටහිර බලවේග විසින් මනෝමය වශයෙන් අටවා ගන්නා ලද ක්‍රිකට්‌ මණ්‌ඩලයකි. මේ පිරිස මුරලිදරන්ගේ පන්දු මෙහෙයුම නීති විරෝධී අව්‍යක්‌ත පන්දු දමා ගැසීමක්‌ බව සහතික කර ගැනීමට විවිධ පරීක්‍ෂණ පැවැත් වූහ. තුන්වන ලෝකයේ සිට මධ්‍යම පාන්තික රටක තත්ත්වයට පා තබමින් සිටින රටකින් ආ තරුණයකු ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ඉහළම දස්‌කම් දක්‌වන අවස්‌ථාවකදී ලෝකයෙන් වැඩි පිරිසක්‌ එකතු වී ඔහු වළ දැමීමට සූදානම් වන්නේ නම් එය ස්‌ථිර වශයෙන්ම පහත්ම මට්‌ටමේ කුහකකමක්‌ වන්නේය. මුරලිට විරුද්ධව පැවැති ජාත්‍යන්තර ප්‍රතිගාමී සංග්‍රාමයේදී අර්ජුන රණතුංග ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. රණතුංගගේ නිර්භීතකමට ප්‍රණාමය පුද කිරීම සඳහා මෙය සුදුසු අවස්‌ථාවක්‌ බව අපගේ හැඟීම ය. මේ රටේ හැම තැනකටම හොඳ නායකයන් අවශ්‍යය. මෙකී හොඳ තුළ කොන්ද පණ තිබීමද තිබිය යුතුය. යුද්ධයේදී වේවා දේශපාලනයේදී වේවා ක්‍රීඩාවේදී වේවා මෙය පොදුය.

ඊයේ පැවැති සිය අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී මුරලිදරන් විසින් දවාලන ලද කඩුළු සංඛ්‍යාව නිසා ඔහු විශ්‍රාම ගැනීම ගැන මහත් දුකක්‌ මේ රටේ ජනතාව තුළ හටගත් බව අපි විශ්වාස කරමු. මේ රටේ ජාතික සමගිය පිළිබඳ හොඳම සාධකය මුරලිය. මුරලිදරන් වෙනුවෙන් අත්පොළසන් දුන් වැඩි දෙනා සිංහලයෝය. මුරලි අපට වීරයෙකි. ඔහු අපේ රටට ඉමහත් ගෞරවයක්‌ ගෙන දුන්නේය. ඔහුගේ භූමිකාව ටෙස්‌ට්‌ පිටියෙන් වියෑකී යැම දවස පුරා ලෝකයට ශක්‌තිය සහ ආලෝකය සපයන සූර්යයා සවස්‌ කාලයේදී බැස ගොස්‌ ඝන අන්ධකාරයට ආරාධනා කිරීමට සමාන ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.