ජී.එස්‌.පී ප්ලස්‌ අහෝසිවීමෙන් රට මයිනස්‌ නොවීමට...

මෑත කාලය තුළ ශ්‍රී ලංකාවට ජී.එස්‌.පී. ප්ලස්‌a සහනය ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් අප රට ගැන වාර්තා නිකුත් කළ අවස්‌ථාවන්හිදී අප සාකච්ඡා කළේ එම බදු සහනය ලැබීමේ අවිනිශ්චිත තත්ත්වය සහ එය අහිමි වීමට ඇති අවධානම පිළිබඳවයි. එහෙත් දැන් එකී අවිනිශ්චිතතාවන් හෝ අවදානම් පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමේ තේරුමක්‌ නැත. එනම් දැන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය තවදුරටත් දීර්ඝ නොකිරීමට තීරණය කර හමාරය. එනම් ලබන මස (අගෝස්‌තු) 15 දිනෙන් පසු අපගේ භාණ්‌ඩ සඳහා ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලැබෙන්නේ නැත. ඒ නිසා දැන් අපට සාකච්ඡා කිරීමට සිදුව තිබෙන්නේ ජී. එස්‌. පී. ප්ලස්‌ නොමැති වාතාවරණයකට මුහුණ දීමේ අභියෝගය පිළිබඳවයි. අප කැමති වුවත් නැතත් දැන් එම අභියෝගයට මුහුණදීමට අපට සිදුව තිබේ.

ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය රටට අහිමිවීම පිළිබඳව අපට අවශ්‍ය නම් රජයට චෝදනා කළ හැකිය. මෙය රජයේ වරදින් සිදුවූ දෙයකැයි දොස්‌ නැගීමටද පුළුවන. ඇතැම් අය මේ දෙය කරමින්ද සිටී. ඒ අය යම් ආකාරයකින් මේ සහනය රටට අහිමි කිරීමට දායක වූ අයද විය හැකිය. මෙහිදී රජයේ ස්‌ථාවරයේ රජය සිටිනා අතරේ යුරෝපා සංගමයේ තීරණය එම සංගමය විසින් ගෙන ඇත. අවසානයේ සිදුව තිබෙන්නේ 2010 අගෝස්‌තු 15 වැනිදා සිට අපට ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය නොමැති වාතාවරණයකට මුහුණ දීමට සිදුවීමයි.

මෙවැනි ප්‍රතිඵලයක්‌ උදාවීමේ වගකීම පිළිබඳ අපට ඕනෑ තරම් සංවාද කළ හැකි නමුත් දැන් වඩාත් වැදගත් වන්නේ මෙම අභියෝගයට මුහුණ දී ජයගත හැකි මං පිළිබඳ සොයා බැලීමය.

මෙම බදු සහනය නිසා අපට තීරු බදු රහිතව යම් යම් භාණ්‌ඩ යුරෝපීය රටවලට අපනයනය කිරීමට අවස්‌ථාව ලැබිණි. මේ නිසා අපට අඩු තරගකාරිත්වයකට මුහුණ දෙමින් බදු රහිත මිලකට අපේ භාණ්‌ඩ යුරෝපා වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට අවකාශ සැලසිණි. එහෙත් දැන් ඉදිරියේදී සිදුවන්නේ එම බදු සහනය නොමැතිව සාපේක්‍ෂව ඉහළ මිලකට අපේ භාණ්‌ඩ යුරෝපා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපට සිදුවීමයි. මෙය අපගේ භාණ්‌ඩ සඳහා පවතින යුරෝපා වෙළෙඳපොළ අහිමිවීමක්‌ නොවුවත්, අපට අපගේ භාණ්‌ඩ යුරෝපා වෙළෙඳපොළ තුළ අලෙවි කර ගැනීමේදී ඉහළ තරගකාරිත්වයකට මුහුණ දීමට සිදුවීමකි. මේ තරඟයට අපට මුහුණදිය හැකිද? අපට එසේ කළ නොහැකි වනු ඇතිද? මේ අභියෝගයට මුහුණදීම සඳහා අප තුළ ඇති සූදානම කුමක්‌ද? මේවාට අප පිළිතුරු සොයාගත යුතුව ඇත.

මේ ගැන ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටින්නේ රජය ශ්‍රී ලංකා මහ බැංකුව සහ යුරෝපා සංගමයට භාණ්‌ඩ අපනයනය කරන බොහෝමයක්‌ ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ද මේ වන විටත් මෙම අවධානමට මුහුණදීමට හැකි වන ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මහ බැංකුව පවසන පරිදි මෙවැනි ක්‍රියාමාර්ග කිහිපයක්‌ පහතින් දක්‌වා ඇත.

* යුදමය වාතාවරණය අවසන්වීමත් සමග ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය සහ ආයෝජක විශ්වාසය සැලකිය යුතු අන්දමින් වර්ධනය වීම.

* සාර්ව ආර්ථික මූලධර්ම සියල්ලක්‌ම පාහේ ස්‌ථායී වීම සහ වර්ධනය වීම. විශේෂයෙන්

- උද්ධමනය අඩු මට්‌ටමකට පවත්වා ගැනීම තුළින් යෙදවුම් පිරිවැය මත ඇති පීඩනය සැලකිය යුතු අන්දමින් අඩු කිරීම.

- පොලී අනුපාතිකයන් අඩු මට්‌ටමක පවත්වාගෙන යැම මගින් ණය පිරිවැය සැලකිය යුතු අන්දමින් අඩු කිරීම.

- විදේශ සංචිත ඓතිහාසික ලෙස ඉහළ මට්‌ටමක්‌ දක්‌වා වැඩි කරගැනීම තුළින් ශ්‍රී ලාංකික ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීම,

- ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතය ස්‌ථායීව පවත්වා ගැනීම මගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ප්‍රරෝකථනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම.

* ශ්‍රී ලාංකීය ව්‍යාපාරයන්ට, සිය මූල්‍ය අවශ්‍යතාවන් සඳහා අඩුපිරිවැයක්‌ සහිතව ණය ගැනීමට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ හා ණය වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීමට හැකි පරිසරයක්‌ නිර්මාණය කිරීම

* දේශපාලන ස්‌ථාවරයත්වය ළඟා කර ගැනීම තුළින් තවදුරටත් විශ්වාසනීයත්වය වර්ධනය කිරීම හා ප්‍රතිපත්ති පිළිබඳව ඇති අවිනිශ්චිතතාවන් අඩු කිරීම

* ප්‍රතිරක්‌ෂණ ආයතන විසින් ශ්‍රී ලංකාව වැඩි යුද අවදානමක්‌ ඇති රටක්‌ ලෙස ලැයිස්‌තුගත කිරීමෙන් ඉවත් කර ගැනීම

* අපනයන ආයතනවල අභ්‍යන්තර ක්‍රියාවලීන් සහ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම තුළින් සැලකිය යුතු ලෙස ඵලදායිතාව වර්ධනය කිරීම

මේ අනුව අපට පැහැදිළිs වන්නේ වෙළෙඳපොළ විවිධාංගීකරණය (නව වෙළෙඳපොළවල් සොයා ගැනීම), ඵලදායිතාව වර්ධනය කර ගැනීම, පිරිවැය අඩුකර ගැනීම නව තාක්‌ෂණය භාවිතය සහ නිෂ්පාදන ගුණාත්මය වර්ධනය වැනි සෘජු කියාමාර්ග ගන්නා අතරම මෙම අභියෝගයට මුහුණදීම සඳහා වන දිගු කාලීන සැලසුම් ගත වීමක්‌ද අවශ්‍ය වන බවයි. ඒ නිසා මේ අභියෝගයට මුහුණදීම සඳහා රජය ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම යුරෝපා සංගමයේ රටවලට අදාළ භාණ්‌ඩ ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය යටතේ යෑවූ අපනයන කරුවන් සහ එකී කර්මාන්ත විසින්ද ගනු ලබන ක්‍රියාමාර්ග දෙස අපි බලා සිටිමු.

ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය අහෝසි වූ විට සිදුවන්නේ අපේ භාණ්‌ඩ යුරෝපා රටවලට අපනයනය කිරීමේදී තීරුබදු ගෙවීමට අපට සිදුවීමයි. එවිට තීරු බදු සහිතව සාපේක්‍ෂව වැඩි මිලකට අපේ භාණ්‌ඩ යුරෝපා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපට සිදු වෙයි. බදු සහිතව තීරණය වන්නේ වැඩි මිලක්‌ නිසා යුරෝපා වෙළෙඳපොළ තුළ අපට ඉහළ තරගකාරිත්වයකට මුහුණදීමට ද සිදුවෙයි. මිල ගැනුම්කරුවන්ගේ ඉල්ලුමට බලපාන නිසා මෙකී භාණ්‌ඩ සඳහා ඉල්ලුම අඩුවීමටද පුළුවන.

යුරෝපා වෙළෙඳපොළ තුළ ඉහළ තරගකාරිත්වයකට මුහුණ දීමට සිදුවීමට අමතරව ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහන යටතේ යුරෝපා රටවලට භාණ්‌ඩ අපනයනය කළ කර්මාන්තවලට සිදුවන්නේ කුමක්‌ද? ඒවායේ සේවය කරන සේවක පිරිසට සිදුවන්නේ කුමක්‌ද? ජී. එස්‌. පී. ප්ලස්‌ බදු අහිමිවීම යනු අපේ භාණ්‌ඩ සඳහා යුරෝපා වෙළෙඳපොළ අහිමිවීමක්‌ නොවූවත් අපේ භාණ්‌ඩවල අලෙවිය අඩුවුවහොත් එම අපනයන කර්මාන්තවලට අහිතකර තත්ත්වයක්‌ උදා වෙයි. එය එම කර්මාන්තවල සේවා නියුක්‌තිකයන්ගේ රැකියා පිළිබඳවද අවිනිශ්චිත තත්ත්වයක්‌ ඇති කරයි. මේ නිසා මෙම තීරු බදු සහනය අපට නොලැබීම අනිවාර්යයෙන්ම අවාසිදායක තත්ත්වයක්‌ බවට කිසිම සැකයක්‌ නැත. එසේම මේ තුළින් අප බොහෝ ආර්ථික ප්‍රතිලාභ ලබාගෙන ඇති බවද ඇත්තය.

තත්ත්වය මෙසේ වුවත් මෙහි තවත් පැත්තක්‌ද තිබේ. ඒ පිළිබඳවද අප අවධානය යොමු කිරීම වැදගත්ය. එනම් ඨීඡ+ යනු අෙන්‍යන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්නොවන ඒකපාර්ශ්වීය නිදහස්‌ වෙළෙඳ ගිවිසුමකි. මෙම තීරු බදු සහනයෙන් අප බොහෝ ආර්ථික වාසි අත්කර ගෙන තිබුණත් මෙම සහනය රටකට අඛණ්‌ඩව සදාකාලිකවම ලැබෙන සහන වැඩපිළිවෙළක්‌ ද නොවේ. ඒ නිසා මේ සහනය කවදා හෝ අහිමිවී යැමද වැළැක්‌විය නොහැක. මේ ගැන 2007 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මෙසේ සඳහන් කරයි.

"අෙන්‍යන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්නොවන මෙවැනි ගිවිසුම් තවදුරටත් නොකඩවා පැවතීම, යහපාලනය මානව හිමිකම් හා පාරිසරික මෙන්ම කම්කරු ප්‍රමිතීන්වල සාර්ථකත්වය තහවුරු කිරීම සහ ක්‍රියාවට නැංවීම පමණක්‌ මත ර¹ නොපවතින අතර, ඒ සඳහා යුරෝපා සංගමයේ රටවල සමාජ, දේශපාලන හා වෙළෙඳ ප්‍රතිපත්ති මගින්ද බලපෑමක්‌ ඇතිකරන නිසා වරණීය සහනාධාර අඛණ්‌ඩව ලැබීම පිළිබඳව අවදානමක්‌ ඇත."

මේ අනුව පැහැදිලි වන්නේ මෙම ඨීඡ + බදු සහනය ලබා දීමේදී බලපාන කිසියම් දේශපාලනයක්‌ද පවතින බවයි. අවසාන තීරණය ඇත්තේ ඔවුන් අතේය. ඒ තීරණය දැන් ඔවුන් ගෙන ඇත.

ශ්‍රී ලංකාවට ඨීඡ + තීරු බදු සහනය හිමි වූයේ 2005 වසරේදීය. එය අප වෙත ලැබීම සඳහා ඒ කාලයේදී අප මුහුණදී සිටි සුනාමි ව්‍යසනයද ප්‍රබල හේතුවක්‌ විය. මේ සහනය 2008 වසරේදී අවසන්වීමෙන් පසු එය තවත් වසර තුනකට දීර්ඝ කර ගැනීම සඳහා අප ඉල්ලුම් කරන ලදී. මේ සියලු ප්‍රශ්න ඇති වූයේ ඉන් පසුවය. තාවකාලිකව මේ බදු සහනය ඒ අවස්‌ථාවේ දී දීර්ඝ කරනු ලැබුවේද අප රට පිළිබඳ විමර්ශනයකට යටත්වය. මේ ගැන එවකට ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා වරෙක මේ ලියුම්කරුට කීවේ මෙවන් අදහසකි.

"දිගටම අපේ රජයේ ස්‌ථාවරය වූයේ යුරෝපා කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අප යටත් වන්නේ නෑ කියන එකයි. විදේශීය ආණ්‌ඩුවක්‌ විසින් සිදුකරන විමර්ශනයකට යටත්වීම අභිමානයක්‌ තිබෙන නිදහස්‌ හා ස්‌වෛරී රාජ්‍යයකට නොගැලපීම මෙයට හේතුවයි."

ශ්‍රී ලංකා රජය එකඟ නොවුවද යුරෝපා සංගමය අදාළ විමර්ශනය සිදුකර අතුරු වාර්තාවක්‌ සහ අවසන් වාර්තාවක්‌ද නිකු=ත් කළ බව අපි දනිමු. ඒ දෙකම ශ්‍රී ලංකාවට අහිතකර ඒවා විය. ඒ නිසා එකී වාර්තාවලින් මුලසිටම අපට ලැබුණු සංඥව වූයේ බොහෝ දුරට මේ සහනය අප වෙත ලබාදීම අත්හිටුවනු ඇති බවයි ඒ නිසාම අප මුල සිටම කියා සිටියේ ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලබා ගැනීමට උත්සාහ කිරීම හොඳ දෙයක්‌ වූවත් අප විසින් ජී. එස්‌. පී. ප්ලස්‌ නොමැති වාතාවරණයකටද මුහුණදීමට අවශ්‍ය පෙර සූදානම ඇතිකර ගත යුතු බවයි.

අවසන් වශයෙන් මේ බදු සහනය අප වෙත ලබාදීම අහිමි කිරීමේ වගකීම පිළිබඳවද යමක්‌ සටහන් කළ යුතුමය. විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා 2010 ජුලි 01 වැනිදා "දිවයින" පුවත්පතට සපයා තිබූ ලිපියක වූ පහත සඳහන වෙත ඔබගේ අවධානය යොමු කරන්න.

"2007 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක්‌ යුරෝපා කොමිසමේ බාහිර සබඳතා පිළිබඳ කොමසාරිස්‌වරිය මුණගැසිණි. ඇගේ හමුවීමට ජාත්‍යන්තර වෙළෙඳ ඇමැතිවරයා ලෙසද බ්‍රසල්ස්‌ නුවර සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා සහ වෙළෙඳ කටයුතු අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසක්‌ද සහභාගි වූහ. මේ රැස්‌වීමේදී යුරෝපා කොමිසමේ බාහිර කටයුතු පිළිබඳ කොමසාරිස්‌වරිය අපට මෙසේ කියා සිටියාය.

"යුද්ධයෙන් ඔබේ රටේ ප්‍රශ්න කිසිවක්‌ විසඳන්න බැහැ. අප මේ කාරණය ඔබට දිගින් දිගටම කිව්වා. එහෙත් ඔබ අප කියන දේ ගාණකට ගත්තේ නැහැ. නමුත් දැන් අප අතේ බලගතු අවියක්‌ තිබෙනවා. අපි ඒ අවිය ඔබට විරුද්ධව පාවිච්චි කිරීමට පසුබට වෙන්නේ නැහැ."

යුද්ධය පිළිබඳ යුරෝපා කොමිසම අපට දුන් උපදෙස්‌ නොපිළිපැදීම පිළිබඳව එම කොමිසම දැඩි ලෙස උරණවී සිටින බව ඇය අපට පැහැදිලිව පෙන්වා දුන්නා."

මේ තුළින් අපට පැහැදිලිවන්නේ යුද්ධයට නොගොස්‌ කොටි සමග ඊනියා සාම වැඩපිළිවෙළකට ගියේ නම් අප වෙත තවදුරටත් ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලැබෙනු ඇති බවද? එහෙත් රජය යුරෝපා සංගමයේ උපදෙස්‌ පිළිනොපැද මේ රටේ ජනතාව රුදුරු ප්‍රභාකරන්ගේ තිස්‌ වසරක අඳුරු ශාපයෙන් ගලවා ගත්තේය. ඒ නිසා ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය අපට එරෙහි අවියක්‌ කර ගැනීමට යුරෝපා සංගමය තීරණය කළා විය හැකිය. එනම් අප කෙතරම් සම්මුඛ පරීක්‍ෂණයකට හොඳින් පෙර සූදානම්ව ඊට සාර්ථකව මුහුණ දුන්නත්, සම්මුඛ පරීක්‍ෂණ මණ්‌ඩලයේ අයට අවශ්‍යවී ඇත්තේ අපව අසමත් කිරීමට නම් එහිදී අපට කළ හැක්‌කේ කුමක්‌ද? කළ හැකි දෙයක්‌ නැත. එසේම යුද ජයග්‍රහණයෙන් රටට උදාවී ඇති ඉමහත් ප්‍රතිලාභ වලට සාපේක්‍ෂව ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය අහිමිවීමෙන් අපට වන අවාසිය ඉතාමත් නොවැදගත් මට්‌ටමේ එකකි. මේ රටේ බහුතර ජනයාද යුද ජයග්‍රහණයට පක්‍ෂව ඒ පැත්තේ සිට ගන්නා බවට ද කිසිම සැකයක්‌ නැත. එසේ නම් ජී. එස්‌. පී. ප්ලස්‌ නොමැති වාතාවරණයකට මුහුණදීමේ අභියෝගයටත් රටක්‌ වශයෙන් අපි මුහුණ දෙමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.