සාහිත්‍යය හා සමාජය

සාහිත්‍යය, සමාජ සංස්‌කරණයට වහල් වන්නකි. වහල් කොට ගත හැක්‌කකි. කෙළින්ම සමාජයෙහි දුෂ්ට ස්‌ථාන ගැන කිපී ඒ දුෂ්ට ස්‌ථාන හෙළි කරනු පිණිස ලියන ලද පොතින් පතින් මෙන් සමාජ තතු ද සමාජයෙහි වෙසෙන ඒ ඒ පන්තිවල ජනයාගේ සිතුම් පැතුම් ද ඔවුනොවුන්ගේ අයිතිකම් ගැටෙන සැටි ද ඒ ගැටීමෙන් එක්‌ පක්‍ෂයක්‌ පිරිහෙන සැටි ද පීඩා විඳින සැටි ද දැක්‌වෙන සේ ලියන ලද පොත පත ද එක සේ සමාජ සංස්‌කරණය සඳහා වහල් කොට ගත හැකිය. පළමු වන අදහසෙහි පිහිටා ලියනු ලබන පොත් ප්‍රයෝජනවත් වනුයේ සමාජයෙහි හෝ යම්කිසි බලසම්පන්න පක්‍ෂයක හෝ ප්‍රකට දොස්‌ මහත් කොට පෙන්නීමෙන් පොදු ජනකාය තුළ සංවේගයක්‌ හට ගන්වනු පිණිසය. ප්‍රංශයේ මහා විප්ලවය ඇති කරන ලද්දේ එවැනි පොත පත සම්පාදනය කළවුන් විසිනි.

සාහිත්යික රචනයන්, එනම් ගද්‍ය, පද්‍ය කාව්‍යයන් පහළ කරවන්නේ ඒ ඒ කාලයෙහි රටක ඇති වන පරිසරය විසිනි යි කියනු ලැබේ. මෙය සම්පූර්ණ ඇත්ත නොවේ. ඇත්තෙන් පැත්තක්‌ පමණි. තමන්ට අභිමත පරිදි සමාජය හෝ දේශපාලන ලෝකය හෝ හරිගස්‌සා ගැනීමට වහල් වන ගද්‍ය පද්‍ය කාව්‍යයන් නැතැයි කෙනෙකු කී විට සමහර ග්‍රන්ථකාරයෝ අර ඇත්තෙන් පැත්තැ යි කියවුණ මතයට මුවහ වෙති. එවැනි ග්‍රන්ථයන් නැතැයි කියමින් පැරැණි හෝ වර්තමාන හෝ ගද්‍ය පද්‍ය කාව්‍යයන්ට බැණ වදින්නෝ ද අර ඇත්තෙන් පැත්ත වහල් කොට ගනිති. පළමුවැන්නෝ අර ඇත්තෙන් පැත්ත වහල් කොට ගනිති. පළමුවැන්නෝ, තමන්ගේ අඩුපාඩු, පරිසරය පිට හෝ පොත පත කියවන පොදු ජනයා පිට හෝ පැටවීමට වෑයම් කරන්නෝ ය. දෙවැන්නෝ තමන් පතන සමාජය හෝ ඒ සමාජයට හිත දේශපාලන පරිසරය හෝ තනා ගැනීමට උසස්‌ ගද්‍ය පද්‍ය කාව්‍යයන් වහල් කොට ගැනීමට තරම් මුහුකුරා ගිය විචාර බුද්ධිය නැත්තෝ ය.

සාහිත්‍යය, සමාජ සංස්‌කරණයට වහල් වන්නකි. වහල් කොට ගත හැක්‌කකි. කෙළින්ම සමාජයෙහි දුෂ්ට ස්‌ථාන ගැන කිපී ඒ දුෂ්ට ස්‌ථාන හෙළි කරනු පිණිස ලියන ලද පොතින් පතින් මෙන් සමාජ තතු ද සමාජයෙහි වෙසෙන ඒ ඒ පන්තිවල ජනයාගේ සිතුම් පැතුම් ද ඔවුනොවුන්ගේ අයිතිකම් ගැටෙන සැටි ද ඒ ගැටීමෙන් එක්‌ පක්‍ෂයක්‌ පිරිහෙන සැටි ද පීඩා විඳින සැටි ද දැක්‌වෙන සේ ලියන ලද පොත පත ද එක සේ සමාජ සංස්‌කරණය සඳහා වහල් කොට ගත හැකිය. පළමු වන අදහසෙහි පිහිටා ලියනු ලබන පොත් ප්‍රයෝජනවත් වනුයේ සමාජයෙහි හෝ යම්කිසි බලසම්පන්න පක්‍ෂයක හෝ ප්‍රකට දොස්‌ මහත් කොට පෙන්නීමෙන් පොදු ජනකාය තුළ සංවේගයක්‌ හට ගන්වනු පිණිසය. ප්‍රංශයේ මහා විප්ලවය ඇති කරන ලද්දේ එවැනි පොත පත සම්පාදනය කළවුන් විසිනි.

සොරකම් කිරීම වරදකියි පිළිගන්නාක්‌ මෙන් වහල් වෙළෙ¹ම ද වරදකි යි පිළිගැනීම පහසු ය. ඈත අතීතයෙහි කෙසේ වෙතත් මධ්‍ය යුගයෙහි ද වහල් වෙළෙ¹ම වරදකැයි සලකන ලදී. එවැනි කලක සමාජයෙහි එක්‌ පක්‍ෂයක්‌, තමන්ගේ ලාභය සලකා වහල් වෙළෙ¹ම නොහරින කල ඊට පිළියම වූයේ කුමක්‌ ද? වහලුන් විඳින දුක්‌ පීඩා ද වහල් වෙළෙඳුන්ගේ දුෂ්ටකම් ද අතිශයෝක්‌තියට නගා කීමෙන් මහජනයා ප්‍රකෝප කිරීම ය. ඔවුන් තුළ සංවේගයක්‌ ඇති කිරීම ය.

මෙකල නම් කවර රටක වුවද සමාජයෙහි, පෙන්විය හැකි එවැනි දුෂ්ට ස්‌ථාන සුලභ නොවේ. ප්‍රකට දුෂ්ටකම් ලෙස පිළිගැනෙන එවැනි අපරාධ මෙකල කරන්නේ ගමක නගරයක අහුමුළුවල වෙසෙන නරක මිනිසුන් ටික දෙනකුන් විසිනි. ඔවුන් මැŽමට නීතිය වහල් කොට ගත හැකිය.

මෙකල බටහිර පමණක්‌ නොව පෙරදිග වුව ද සමාජයෙහි දුෂ්ට ස්‌ථාන ලෙස පෙන්විය හැකි වැරදි, කුලධර්ම, ගුණධර්ම විනිශ්චය කරන්නාක්‌ මෙන් විනිශ්චය කළ හැකි වැරදි නොවේ. සමාජ පරිණාමය, ආගම, සිරිත් විරිත්, ආර්ථික ක්‍රමය යනාදීන් නිසා අවුලෙන් අවුලට ගිය වැරදිය. මේ සුදය, මේ කළුවය, යි වෙන් කොට පෙනෙන්නාක්‌ මෙන් මෙකල සමාජයෙහි පවතින බොහෝ දුෂ්ට ස්‌ථාන නිශ්චය කොට පෙන්විය හැකි නොවේ. එසේ පෙන්නනු ලබන ඇතැම් දුෂ්ට ස්‌ථාන නිසා පීඩා විඳින්නන්ගේ වරදින් ම ඇති වූහ යි අන්‍යයන් ඔප්පු කරන බැවිනි. එහෙයින් මෙකල සමාජ සංස්‌කරණය සඳහා වඩාත් ප්‍රයෝජනය වනුයේ පක්‍ෂ භජනය කරන දෙතුන් පක්‍ෂයක්‌ දැඩිව ගත් මතවල පිහිටා කරන ඝෝෂාව නොවේ. සමාජ ජීවිතයත් පරිසරයත් අපක්‍ෂාවාදීව විභාග කොට දැක්‌වෙන සාහිත්යික රචනයෝ වෙති.

ප්‍රංශයෙහිත්, එංගලන්තයෙහිත් සමහර පැරැණි කුල දහම් හා සමාජ දහම් වෙනස්‌ වූයේ ඒ කුල දහම් වැරදි ය. සමාජ දහම් වැරදි ය යි කියමින් ඝෝෂා කළවුන් නිසා නොවේ. සමාජ තතුත් මිනිසුන්ගේ ජීවිතයන් විභාග කොට දැක්‌වූ නවකතාකාරයන් ද කවීන් ද නිසා ය. රුසියාව සමාජ වාදයට සකස්‌ කරනු සඳහා මහජනයාගේ සිත් බෙහෙවින් සකස්‌ කළේ ගොගොල්ගේ කාලයෙහි පටන් එහි පහළ වූ නවකථාකාරයන් ද කවීන් ද විසිනි. රුසියාවෙහි වර්තමාන විප්ලවයට මඟ පෑදූවන් ගෙන් එකකු ලෙස සමහරුන් සලකන්නේ මැක්‌සිම් ගෝර්කි නමැති ග්‍රන්ථකාරයා ය. රුසියාවේ සමාජ විප්ලවයට මඟ පාදනු සඳහා ඔහු කළේ කුමක්‌ද? ඔහු ඇසුරු කළ පීඩිත ජනයාගේ තතු මහත් කොට නිරූපණය කිරීමයි. ඔහු නිරූපණය කළ ජීවන චරිත ගතානුගතික සමාජ සිරිත් නොසලකා සාහසික ලෙස ජීවත් වන්නෝ වූහ.

යම්කිසි දේශපාලන විප්ලවයකට නම් ඝෝෂාව ඉතා ප්‍රයෝජනවත් ය. සමාජ ප්‍රතිසංස්‌කරණයට නම් ඝෝෂාවට වඩා ස්‌ථිර ඵල ලබා දෙන්නේ සමාජ තතු නිරූපණය කරන ග්‍රන්ථකාරයන් විසිනි. සමාජයෙහි දෝෂස්‌ථානත් ඒ දෝෂස්‌ථානවලට හේතු වන කරුණුත් ඇති සැටියෙන් හෙළි කෙරෙන ග්‍රන්ථයන් ගෙන් ලැබිය හැකි ප්‍රයෝජනය දේශපාලන මතභේදවල එල්බ ගෙන කෑමුර ගසන්නෝ බොහෝ විට නොදකිති. අර්ථ ක්‍රමය විපර්යාස කිරීමෙන් බොහෝ සමාජ දෝෂ නැති කළ හැකිය.

සමාජ සංස්‌කරණයට වුවමනා වහල වර්තමාන පොතින් පතින් පමණක්‌ නොව ඇතැම් විට ඉතා පැරැණි පොතින් පතින් වුව ද ලැබිය හැකිය. එහෙත් එයින් ප්‍රයෝජන ගැනීමට විචාර බුද්ධියත් දුරදක්‌නා නුවණත් වුවමනා ය. ඒ දෙකින් තොර වූවෝ පැරැණි පොත පත දුෂ්ට සමාජ ක්‍රමයන්ටත් ආණ්‌ඩු ක්‍රමයන්ටත් අනුබල දෙන අදහසින් ලියන ලදැයි ලරිභව කරමින් ඒ පොත් බැහැර කරති.

පැරැණි ගොවියකුගේ ජීවිතය විවිධාකාරයෙන් විස්‌තර කෙරෙන කථාවක්‌ පූජාවලියෙහි දක්‌නා ලැබේ. ගොවියකු ගොවිතැන සඳහා දරණ පරිශ්‍රමයත්, එයින් ඔහු ලබන අල්ප ප්‍රයෝජනයත්, ඔහු ශ්‍රම ශක්‌තියෙන් උපයන දෙයින් වැඩි කොටස ඉඩම් හිමියන්ට හා ආණ්‌ඩුවට යන සැටිත්, රටට උවදුරු පැමිණි විට ඔහු යුද්ධ සේවයට බැඳී කළ යුතු කාරියත්, අවසානයෙහි මහලු වූ කල හිඟමනෙන් ජීවත් වන සැටිත් විවිධ ලෙස වර්ණනා කෙරෙන ඒ කථාව මෙකල කියවන කවර උගතකු තුළ වුව ද ඇතිවන්නේ සංවේගයකි. එහෙත් ඒ කථාව ලියවී තිබෙන්නේ ගොවියාගේ ඒ දුඃත භයංකර ජීවිතය නිසා උපන් අනුකම්පාවකින් වත්, ගොවියකු එවැනි භයංකර ජීවිතයකට භාජන කොට ඇහැත් කනත් පියාගත් ආණ්‌ඩුවට හා සමාජයට දොස්‌ නඟන අදහසකින් වත් නොවේ. සසර කලකිරවන අදහසිනි. එවැනි අදහසකින් ලියවුණත් ඒ කථාව සමාජයෙහි දුෂ්ට ස්‌ථාන හෙළිකිරීමෙන් ප්‍රතිසංස්‌කරණයක්‌ ඇති කිරීමට වහල් කොට ගත හැකිය.

පැරැණි රාජාණ්‌ඩුවත්, රදල බලයත් බමුණු බලයත් ඒ තුන් බලය නිසා උපන් සමාජ ක්‍රමයත් තහවුරු කරනු පිණිස කාව්‍ය රචනා කළ එකෙකි යි සමහරු කාලිදාසට දොස්‌ නගති. එහෙත් ඔහුගේ කාව්‍යයන්හි වුවද එකල සමාජයෙහි දුෂ්ට ස්‌ථාන හෙළි කෙරෙන තැන් හිඟ නොවේ. කාලිදාස බමුණු සමයටත්, වෛදික ගුරුන්ටත් බෙහෙවින් ගරු කළ කවියෙකි. එහෙත් ඔහු අවස්‌ථාව ලත් විට වෛදික ගුරුන්ගේත් රාජාණ්‌ඩුවෙහිත් සදොස්‌ තැන් හෙළි කිරීමටත් ඒ තැන් අවඥාවට පාත්‍ර කිරීමටත් ප්‍රමාද නොවීය. කාලිදාස තම සකුන්තලා නාටකයෙහිදී ආණ්‌ඩුවෙහිත්, බමුණු ගුරුන්ගේත් කුහකකම, කවියකු ලෙස හෙළි කරන්නේ මෙලෙසිනි.

"රන් මුදුව සහිත මිනිහා මුරකාරයකු විසින් නගරයේ පොලිස්‌ නායකයා වෙත පමුණුවනු ලැබේ.

මිනිහා - මම දැල් බිලිකටු ආදිය ද ගෙන මසුන් බැඳීමෙන් පවුල රකින්නෙක්‌මි.

පොලිස්‌ නායකයා - හරිම ශුද්ධ ආජීවයක්‌ නොවැ.

මිනිහා - "හාමුදුරුවනේ එහෙම කියන්න එපා. යමකු සහජයෙන් ලත් රක්‍ෂා, නින්දාවට භාජන වන නමුදු හළ යුතු නොවේ. මුදු ගුණ ඇති අනුකම්පාවෙන් යුතු, වේදය උගත් බ්‍රාහ්මණයා බිලි පූජා පිණිස තිරිසනුන් මැරීමෙහි දී දරුණයෙක්‌ වෙයි."

එකල සමාජයටත් බමුණු ගුරුන්ටත් බැණ වැදීමෙන් හෝ දොස්‌ නැගීමෙන් හෝ නොලැබිය හැකි ඵලයක්‌ කාලිදාසගේ මේ උපහාසාලාපයෙන් ලැබිය හැකිය. පුරුද්ද නිසා කෙනකුට තමා දැඩිව ගත් මතයෙහි වරද නොපෙනේ. නො හැඟේ. තර්කය ද ඔහුට වහල් වන්නේ තමා දැඩිව ගත් ඒ මතය දැඩි කරණු පිණිස ය. එවැනි වැරදි මතයක්‌ බිඳ හෙළිය හැකි හොඳම උපාය වනාහි ඒ වැරදි මතය දැඩිව ගත්තහුගේ මනැස ඔහුගේ ඇතුළු චරිතය දෙසට යොමු කරවීමයි. එනම්, අනුන්ට තමා පෙනෙන සැටි ඇත්ත දැයි දැන ගනු පිණිස තමාගේ මනැස තමා බලනු පිණිස යෙදවීමයි. සාහිත්‍යය මේ සඳහා වහල් කොට ගත හැකිය .මනුෂ්‍ය චරිතය සකස්‌ කිරීමටත් සමාජ ප්‍රතිසංස්‌කරණයටත් බැණුමත් තර්කයත් යන දෙකටම වඩා හොඳ විවිධ ගද්‍ය පද්‍ය කාව්‍ය සම්පාදනයයි. එයින් ඵල ලැබිය හැක්‌කේ සෙමෙනි. ඉක්‌මනින් ඵල ලැබීමෙහි ආශාවෙන් මඬනා ලද්දවුන් වුව ද ඒ විධියෙන් ප්‍රයෝජන ගත යුතුය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "බණකතා සාහිත්‍යය" ග්‍රන්ථයෙන් (1956) උපුටා ගැනිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.