අපේ ඉතිහාසයේ මාර්ටින් වික්‍රමසිංහට හිමි තැන

ඉකුත් සියවසේ තුන් අඩක්‌ ගෙවුණු තැන, මාර්ටින් වික්‍රමසිංහට අසූපස්‌වැනි විය පිරුණි. 1975 වසරේදී යෙදුණු හෙළයේ මහගත්කරුගේ අසූපස්‌වැනි ජයන්තියද, ශ්‍රී ලාංකීය සමාජයට මහත් අසිරිමත් අවස්‌ථාවක්‌ වූ බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. සීමාසහිත තිසර ප්‍රකාශකයින් විසින්, ඒ නිමිතිකොටගෙන මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල මහා ප්‍රඥයා (Martin Wikramasinghe The Sage of Koggala) යන හිසින් ලිපි එකතුවක්‌ පළ කෙරිණි. මෙම කෘතියෙහි තෙතැන සඳහන් කර ඇති එකී ලේඛන සමුච්චයට, දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ද විසින් ලියන ලද සාරගර්භ වූද, මහා ලේඛකයාගේ ජීවන තොරතුරු අනාවරණය කෙරෙන්නාවූ ද, ලේඛන රැසක්‌ ඇතුළුව තිබුණි.

ඔහු ධරමාන කාලයේ ප්‍රකාශිත අවසාන ග්‍රන්ථය වූයේ, ඉංගිරිසි බසින් ලියන ලද Sinhala Language and Culture යන කෘතියයි. ඒ වසරේදී අනෙක්‌ ග්‍රන්ථයක්‌ ඔහු අතින් නොලියවුණද, ඔහුගේ ගලිවරායණයේ අලුත් මුද්‍රණයක්‌ පළ වූ බව පෙනෙයි. ඊට අමතරව, "පුණ්‍ය ෙච්තනාව හා අගම භක්‌තිය" (ඥdනාර්ථ ප්‍රදීපය), "වී ගොවිතැන නිසා උපන් සිංහල සහ්‍යත්වය - නව ගොවි යුගයක උදාව" (පලදාවර්ධන කමිටු හා ගොවි කාරක සභා සාමාජිකයන් සඳහා අත්පොතක්‌) "සකුවටත් ඉංගිරිසියටත් වහල් වූ සිංහ උගත්ත් (කලා පුවත් - ගාල්ල සාහිත්‍ය උත්සව විහේෂ සංග්‍රහය), "සිංහල සංස්‌කෘතිය" (දිනමිණ වෙසක්‌ කලාපය), යන ලිපිද ඔහු නමින් පළව ඇති බැව් මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය දක්‌වයි.

සිය පියාණන් අසූවැනි වියට එළඹුණු අවස්‌ථාවේදී ඔහු පිළිබඳ සමරු සටහන් ලියන රූපා දියණිය කියා සිටියේ, "තාත්තා සිතින් තවමත් ප්‍රබලය, කයින් දුබලය" කියාය. එහිලා ඇය මෙසේද පැවසුවාය.

"1971 දී පමණ ඔහුගේ පෙනීම දුර්වල වන්නට වූ විට, ඔහු එය දුටුවේ තමාට සිදු වන මහා විපතක්‌ ලෙසය. ඔහුගේ ඇස්‌ නොපෙනී යාමට ඉඩ ඇතැයි වැටහුණු විට එය ඔරොත්තු දිය නොහැකි පහරක්‌ ලෙස දැනිණ. ස්‌වල්ප කාලයක්‌ ඒ ගැන සසල වූ සිත් ඇතිව ලතැවුණු තාත්තා, දස හැවිරිදි වියෙහිදී තම පියා මැරුණු විට අසරණ නොවූ ලෙසම, අසූදෙවැනි වියෙහි දී තම නෙත් අඳුරු වූ විටද අසරණ නොවීය. නොයෙක්‌ පරීක්‌ෂණවලින් පසුව ඔහු අම්මාත් සමග මොස්‌කව් බලා පිටත් වූයේ, අභීතව ශල්‍යකර්මයකට මුහුණ දීමටය. තුන් මසෙකින් තාත්තා පෙරළා පැමිණියේ, සම්පූර්ණ සුවය ලබා නොවේ. පෙනීම ක්‍රමයෙන් ප්‍රබල වෙතියි යන බලාපොරොත්තුව ඇතිවය. එම බලාපොරොත්තුව ඉටු විය. ශල්‍යකර්මය ලැබූ ඇසෙහි පෙනීම දැන් ක්‍රමයෙන් පැහැදිලි වේ. 1972 න් පසුව ඔහු අලුත් පොත් හතරක්‌ම පළකොට ඇත. අනික්‌ ඇසේද ශල්‍යකර්මයක්‌ කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි."

එහෙත්, ඒ ශල්‍යකර්මය කරන්ට ඉඩ නොලැබුණි.

1975 - 1976 අවුරුදුවලදී වැඩි වශයෙන්ම නිවසේ විවේකීව ගත කරනු දක්‌නා ලදී. තමා මුණ ගැහෙන්ට පැමිණි ලේඛන මිතුරන්ට සහ සෙසු ඥdති ගණයාට ඔහු නිතර කියා සිටියේ, තමාට කළ හැකි වූ එකම කාරිය වූ පොතක්‌ කියවන්ටද දැන් ඉඩක්‌ නොමැති බවය.

අනවරතයෙන් අවදිව පැවති ක්‍රියාකාරී මනසකින් පොතපත කියවූ, පොතපත ලියූ, ලෝකය දෙස බැලූ, ජීවිතයත් ලෝකයක්‌ විමසූ මාර්ටින් වික්‍රමසිංහ නමැති මහගත්කරුට, තම ජීවිතයේ විඩාව ඔහුට මඳින් මඳ දැනෙන්ට විය ඔහුගේ සෞඛ්‍ය බිඳෙන් බිඳ පිරිහෙමින් පැවැත්තේය. එතෙකුදු වුවත්, 1976 වසරේද ඔහු විසින් ලියන ලද ලිපි කිහිපයක්‌ පුවත්පත් සඟරාවල පළ විණි. "අනුරාධපුර සංස්‌කෘතියට බමුණු වෙස්‌ පිවිසීම" සමරු කලාපය - අනුරාධපුර මහජන පුස්‌තකාලය සඳහා ඉදි කෙරුණු නව ගොඩනැගිල්ල විවෘත වීම නිමිති කොටගෙන පළ වූ ප්‍රකාශනය), "කර්ම වාදය" (බුදුසරණ), "බුදු දහමින් පෝෂණය වූ සිංහල සංස්‌කෘතිය" (බුදු සරණ), "වීර්ය පාරමිතාව" (බුදු සරණ) යන ලිපි කිහිපය, ඒ අතර විය.

කලින් වසරේදී ලියා අවසන් කළ Sinhala Language and Culture පොත පළ වීමෙන් පසුව, සිංහල භාෂා සාහිත්‍යයෙන් අනන්‍යතාව හා ඊට හිමි නිදහස්‌ රීතිය පිළිබඳ වරින් වර ලියන ලද ලිපි එකතු කොට, සිංහලෙන් ද පොතක්‌ පළ කිරීමේ කාර්යයෙහි ඔහු යෙදී සිටියේය. එම ලිපි එකතුව මුද්‍රණයට යෑවීම සඳහා පිටපත් කිරීමේ කාර්යය ඔහු විසින් පවරන ලද්දේ දයාපාල ජයනෙත්ති වෙතය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ අවසාන කාලයේ දී පුවත්පත් සඟරා ආදියට ලියූ ලිපිය. එම ලිපි සැලකිල්ලෙන් යුතුව කියවා සකස්‌ කළ ඔහු, ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය වෙනුවෙන් පොත නම් කොට, එය මුද්‍රණය සඳහා ද සූදානම්ව තැබීය. ඒ අතර උපන්දාසිට කෘතියේ දෙවැනි කොටස වන මහලු විය පිළිබඳ මතක සටහන් ලියන්ටද, කරුණු ගොනු කරමින් සිටියේය. එහෙත් එම පොත ලියන්ට වුව, ඔහුට අවස්‌ථාවක්‌ ලැබුණේ නැත.

ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය යනුවෙන් සකස්‌ කරන ලද ග්‍රන්ථය සඳහා ඔහු විසින් සංඥdපනයක්‌ ලියන ලද්දේ 1976 මැයි මාසයේදීය. එම සංඥdපනයද, එකී කෘතියේ දහඅටවැනියට දැක්‌වුණු "අනුකාරක යුගයේ අවසානය" නමැති කෙටි ලේඛනයද ඔහු විසින් ලියන ලද අවසාන නිබන්ධ සේ සැලකිය හැක්‌කේය.

මාර්ටින් වික්‍රමසිංහ හදිසියේ රෝගාතුර වූයේ, එම පොත මුද්‍රණයට යෑවීම සඳහා සූදානම් කොට තිබියදීය. ඒ, 1976 ජුලි මාසයේදීය. ඔහුගේ අසනීප තත්ත්වය සුළු කලක්‌ නොවෙනස්‌ව පැවතියේය.

ජුලි 23 වැනි දින එළඹුණි. එදින සිය නාවල නිවසේදී ජීවිතයත් ලෝකයත් දෙස තියුණු බැල්මෙන් බැලූ මහා ලේඛකයාගේ දෙනෙත සදහටම පියවුණේය.

මහා ගත්කරුගේ අභාවය ශ්‍රී ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත හැටියට වාර්තා විණි. මාර්ටින් වික්‍රමසිංහ අවසන් හුස්‌ම හෙළුE ජුලි 23 වැනි දිනය, සිකුරාදා දිනයක්‌ විය. පසු දින ලංකාදීප පුවත්පත් සිය මුල් පිටුවෙහි ප්‍රධාන පුවත හැටියට එපුවත් වාර්තා කළ අතර, ඊට පසු දින ශ්‍රී ලංකාදීපයද එම පුවත ප්‍රධාන පුවත හැටියටම පළ කෙළේය. ලේක්‌හවුසියේ පුවත්පත්වල ද එය පළ වූයේ ප්‍රධාන පුවත හැටියටය. මහා ලේඛකයාගේ අභාවය වාර්තා කළ ශ්‍රී ලංකාදීපය, "ඔහු සිංහල විශ්වකොෂයක්‌ බවට පත්ව සිsටියේ වනැ "යි සඳහන් කළේය. සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය විශේෂ ප්‍රකාශයක්‌ නිකුත් කරමින්, "මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අභාවය රටටත් අපේ සංස්‌කෘතියටත් පාඩුවකැයි ද, අපේ ඉතිහාසයේ මහා සාහිත්‍යධරයන්ගේ පරපුරෙහි සදාකාලික හා ගෞරවනීය ස්‌ථානය එතුමාට හිමි වනු නොඅනුමානය" යි ද කියා සිටියාය.

25 වැනි ඉරුදින නාවල නිවසින් පිටත් වුණු අවමංගල රිය පෙරහැර, එදිනම සවස කොග්ගලට ළඟා විය. පසු දින එනම් 26 වැනි සඳු¹ හවස කොග්ගල දී අතිවිශාල මහා ජනකායක්‌ ද ප්‍රභූ පිරිසක්‌ ද මධ්‍යයෙහි මහා ලේඛකයාගේ ආදාහන උත්සවය සිදු කෙරිණි.

දහඅටවැනි සියවසේ වසර දහයක්‌ පුරාද, ඉකුත් විසිවැනි සියවසෙහි වසර හැත්තෑහයක්‌ පුරාද මාර්ටින් වික්‍රමසිංහගේ පිය සටහන් ශ්‍රී ලංකා ධරණි තලය මත රැඳී තිබුණු වග අපගේ ඉතිහාසයට එකතු කරමින්, ඔහුගේ අවසානය එසේ සිදු විය.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.