මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතාවලින් හෙළිවන බෞද්ධ චින්තනය

කෙටි කතාව යනු කුමක්‌ද යන්න නොදැන සිටි සමයක එහි අරුත අපට පැහැදිලි කර දුන්නේ මාර්ටින් වික්‍රමසිංහයි. කුමාරතුංග මුනිදාස, ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන, හේමපාල මුනිදාස වැනි අය කෙටිකතා නිර්මාණය කළද එම කෙටි කතා කතාවට පමණක්‌ සීමා විය. එහි අවවාද අනුශාසනා ගැබ්වී තිබිණි. එහෙත් කෙටි කතාවකින් අවවාද හා අනුශාසනා දීම නොව සිදුවිය යුත්තේ ගැඹුරු ජිවන දර්ශනයක්‌ මතුවිය යුතු යෑයි වික්‍රමසිංහ හෙළි කළේය. සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශාල කාර්ය භාරයක්‌ ඉටු කළ කෙටි කතාව සිංහල පාඨක ලෝකයාට හඳුන්වාදීමේ ගෞරවය නියත වශයෙන්ම සිදුවිය යුත්තේ වික්‍රමසිංහටය. පෙර අපර දෙදිග කෙටි කතා කියවා එයින් ලත් පරිචය, ප්‍රාගුණ්‍ය හේතුකොට ගෙන හා සිංහල ජාතක කතා කියවා ලත් දැනුම් සම්භාරය මත කෙටි කතාව මෙසේ විය යුතු යෑයි ඔහු පෙන්වා දුන්නේය. කෙටි කතාව බටහිරින් ණයට ගත් දෙයක්‌ යෑයි මහාචාර්ය ඊ. ආර්. සරච්චන්ද්‍ර, මහාචාර්ය විමල් දිසානායක යන අය පවසද්දී එය එසේ නොව අපෙන් බටහිරට ගොස්‌ පසුව එය කලාත්මක ස්‌වරූපයක්‌ ලෙස හැඩගැසුණාය යනුවෙන් අර්ථ විග්‍රහයක්‌ කළේත් වික්‍රමසිංහයි. සිංහල ජාතක පොත මැනවින් පරිශීලනය කොට එම කතා සුගැඹුරෙන් යුතුව විමර්ශනය කොට හොඳ කෙටි කතාකරුවන්ට සිංහල ජාතික පොතෙන් ලබත හැකි ආභාසය ඉමහත් බව ඔහු පෙන්වා දුන්නේය.

විවිධ ක්‍ෂේත්‍රවලින් ලත් අනුභූති ආශ්‍රයෙන් වික්‍රමසිංහ කෙටිකතා පන්සියක්‌ පමණ ලියා ඇති අතර එම කෙටි කතා එකතු කොට වෙළුම් 2 කින් යුත් කෙටි කතා 108 ක්‌ එයට අන්තර්ගත කොට ඇත. මේ කෙටි කතා සියල්ලම විශ්ලේෂණය කිරීම අපහසු හෙයින් බෞද්ධ චින්තනය පමණක්‌ මතුවන කෙටි කතා මේ මගින් විමර්ශනයට භාජන කැරිණි.

"හිස්‌ කබල" බෞද්ධ චින්තනය මතුවන එක්‌ කතාවකි. හිස්‌ කබලෙහි අන්තර්ගත අනුලා ස්‌වකීය රූ සපුවෙන් අතිශය ආඩම්බරයට පත් කාන්තාවකි. රුව පිළිබඳ නිතරම ඇල්ම උපදවා එය වඩාත් ප්‍රබල තලයකට ගෙන ප්‍රභාමත් කිරීමට වෙහෙස වුණු කාන්තාවකි. බෞද්ධ යථාර්ථය යනු කුමක්‌ද නොදැන ගිය ගමනකදී අනුලා අතරමං වේ. රූ සපුව කෙමෙන් දුබලවී, කෙස්‌ පැසී ඇඟ රැළි වැටී අර රූප සෝභාව පහවී යැමේ ස්‌වභාවය තේරුම් ගන්නට තරම් විඥනයක්‌ ඇය කෙරෙහි නොතිබීම පිළිබඳ වික්‍රමසිංහ ඇයට අනුකම්පා කරයි. අනුලා ලෝකෝත්තර සුවයට වඩා ඇල්ම කෙළේ ලෞකික සුවයටය. ජිවිතය සදාකාලිකය. එය වෙනස්‌ නොවන්නේය යන මතයේ රැඳී මායාකාරී ලෝකයක දිවි ගෙව්වාය. ලෝකයේ යමෙක්‌ ඉපදුනහොත් මිය යනවාය, යමක්‌ ඇති වුවහොත් විනාශ වෙනවාය යන නියතය නැත්නම් ධර්මතාව

ගැන ඇයට අවබෝධයක්‌ නොවීය. වෙසක්‌ පෝයදා වෛද්‍ය සිසුන්ගේ හිස්‌කබලකට බියවූ ඇය තමන්ගේ රුවැති රූපයටත් අත් වන්නේ මේ ඉරණම නොවේද යන්න ඇය පසක්‌ කර ගත්තාය. "මං අද සිල් ගත්තා..." යනුවෙන් පවතින්නට තරම් අනුලා ජීවිතය පිළිබඳව සැහැල්ලුවෙන් සිතන්නටත් අප මේ කරන සියලු දේ නිසරුය යන හැඟීමට පැමිණීම හේතු කොටගෙන ස්‌වකීය මුතුපට විකුණා මුදල් කර අරමුදලේ භාණ්‌ඩාගාරික වෙත යවන ලෙස ලියුමක්‌ද ලියා තම ස්‌වාමියාට බාර දුන්නාය. ඇයගේ මේ වෙනස්‌ වීම ස්‌වාමියාට ද ප්‍රහේළිකාවක්‌ විය."හිස්‌ කබල" කෙටි කතාවෙන් නිරූපිත ජීවිත දර්ශනය සුගැඹුරුය. බොහෝ දේ මෙනෙහි කරන්නට අපට අවකාශ ලබා දෙන්නේය.

වික්‍රමසිංහගේ "උපාසකම්මා" කෙටි කතාවද මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතා හෙළි කරන්නකි. උපාසකම්මා හැම පෝයකටම සිල් ගත්තත් ඇයගේ මසුරු සිත පහව ගියේ නැත. ආශාවන් පොදි බැඳගෙන ජීවත් වූවා විනා සසරින් එතෙර වන්නට මාර්ගය පාදා ගත්තේ නැත. ඇයගේ සීලය නමට පමණක්‌ සීමා විය. "... අම්මා කළේ හැම පෝයටම සිල් ගත්ත එක විතරයි. පසළොස්‌වකටත්, අමාවකටත්, මාසේ පෝයටත් වරද්දන්නෙ නැතිව සිල් ගත්තා. කරගත් පින එච්චර තමයි. සිල් අරගෙන පිළිකුල් භාවනාව කළා. පන්සලට එක දානෙ වේලක්‌ දෙන්න වියදම් කළේ නැහැ" (මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව, 1 වැනි වෙළුම, කෙටි කතා 195 පිටුව) උපාසකම්මාගේ ලේලියගේ මේ වදන් අනුව ගැමි ගතියට සිල් ගත්තත් ඇයගේ කුම්මැහිකම ජීවිතයෙන් පහව ගියේ නැත. පෙට්‌ටගමක්‌ පුරවා නානා වර්ගයේ කම්බා අප්‍රමාණව තිබුණත් ඒ එකක්‌වත් ඇය පරිහරණය කළේ නැත. ඇය ඇඳ සිටියේ ඉරීගිය කඩ මාල්ලකි. පැදුරු ආණේ රටා දැමූ පැදුරු කොතරම් තිබුණත් ඇය එක පැදුරක්‌වත් පරිහරණය කළේ නැත. පැදුරු කඩමාල්ලක ගුලිවී නිදා ගැනීම ඇයගේ සිරිතයි. ජීවිතයේ අවසාන භාගයේ දිවි ගෙවන උපාසකම්මා ලෙඩ ඇඳේ සිටියදී ලේලිය විසින් ගසක පොල් කැඩවූ අවස්‌ථාවේදී පොල් ගෙඩි බිමට වැටෙන ශබ්දයන් ගෙඩි ප්‍රමාණය හැට පහක්‌ විතර තියෙන්න ඕනෑය යන හැඟීම මත ආශාව තුනී නොකළ ආකාරය මෙයින් හෙළි නොවන්නේද.

"අඳුර නමැති කළු රෙදි පොරවාගත්, කවුළුව අසල වූ දෙල් ගස නොකා නොබී නොඇඳ දළ ලොබින් වස්‌තු රැස්‌ කළ උපාසකම්මාගේ ගෙය අත පත ගාගෙන යැමට එබිකම්පාන මහත් කයක්‌ ඇති සොරකු වැන්නද (197 පිටුව) උපාසකම්මාගේ මසුරු සිතට ඇයගේ නිවෙස අසල තිබුණු දෙල් ගසද සරදම් කරන ආකාරය නොවේද මෙයින් හඟවන්නේ. උපාසකම්මා දැඩි මසුරුකමෙන් පොදි බැඳ ගත්තත් ඇයගේ චරිතය පිළිබඳ හොඳ අවබෝධයක්‌ දෙල්ගසට තිබුණු ආකාරය සංකේතවත් කරන්නේ කෙටි කතා කලාවේ එක්‌ අදියරකට පිවිසෙමිණි.

සමාජයේ දෙබිඩි චරිත බොහෝවිට දක්‌නට ලැබේ. නිවෙසට එක චරිතයකුත් බාහිරව තවත් චරිතයකුත් ඇති අය සමාජයේ එමටය. ඒ දෙස බැලූ දෘෂ්ටිය යොමු කළ වික්‍රමසිංහ "අටපිරිකර" කෙටි කතාවෙන් කියා පෑවේත් මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතාවයි.

අටපිරිකරක්‌ පන්සලට පූජා කළ යුතුය. එහෙත් එය තුට්‌ටු දෙකට ගන්නටත් අවශ්‍යය. අටපිරිකර කතාවේ ගබන්රාළගේ චරිතයත් උපාසකම්මාගේ චරිතයත් අතර ඇත්තේ සමතාවකි. සමාජයේ බොහෝ අය පින් කරන්නේ ලෝකමානය උදෙසාය. ලෝකයට පෙන්වන්නට යත්න දරන්නේ තෘෂ්ණාව තුනී කළ දන්දෙන සැදැහැවතකු ලෙසය. එහෙත් යටි සිතෙහි පවතින්නේ තණ්‌හාවයි. තණ්‌හාව පොදි බැඳගෙන ගමන් ගන්නා අයට කරන සමච්චලයක්‌ නොවේද "අටපිරිකර" කෙටි කතාව.

ගතානුගතික ආකල්ප මත දහම කරට ගත්තත් යථාර්ථය නිසි ලෙස අවබෝධ කොට පින් දහම් කරන්නට තරම් විඥනයක්‌, ශ්‍රද්ධාවක්‌ ගබන්රාළ කෙරෙහි නොවීය. මෙයින් ප්‍රතීත වන්නේ යථාවාදී තතාකාරී අයුරින් දහමට නැඹුරු නොවීමේ ස්‌වභාවයයි.

අද්‍යතන සමාජයේ ඇතැම් භික්‍ෂූන් ධර්මය සෙසු අයට දේශනා කළත් ඒ ධර්ම තමන් සමීපයේ නොමැති බව කියා පාන්නකි "මැටි කළය" කෙටි කතාව.

මහානාග හාමුදුරුවන් බුද්ධ ශ්‍රාවකයකු වශයෙන් ලෝකයේ පවත්නා අනිත්‍යතා ධර්මය ලොවට කියා පෑවත් තමන්ට ඒ ධර්මයේ නියෑළෙන්නට හැකිද? එම ධර්මතාව මහානාග හාමුදුරුවන්ට තිබේද? ලෝකයේ යමක්‌ ඇතිවුවහොත් නැති වන්නේය. යමකු මේ ලොවට බිහිවූයේ නම් මිය යන්නේය. මෙයයි බුදු දහම අපට කියා දෙන්නේ. මේ අනිත්‍යතා ධර්මය සම්බන්ධයෙන් මහානාග හාමුදුරුවන් සෙස්‌සන්ට ධර්මය දේශනා කරයි. එහෙත් ධර්මය උන්වහන්සේ කෙරෙහි නොවූහ. ස්‌වකීය පන්සලේ ඇබිත්තයා ළිඳෙන් වතුර ගන්නට ගොස්‌ මැටි කළය අත්වැරදීමකින් බිඳුණි. මේ සිද්ධියට ඇබිත්තයාට තුවාල වන තරම් පහරදී අවසානයේ ඇබිත්තයා නතර වූයේ රෝහලෙනි. මේ සිද්ධියයි "මැටි කළයට" වස්‌තු විෂය වූයේ.

"කෙස්‌ වැටිය" හා "තරුණ භික්‍ෂුව" නමැති කෙටිකතා ද්වයෙන් වික්‍රමසිංහ කියා පාන්නට යත්න දරා ඇත්තේ වැඩිහිටියන්ගේ බල කිරීම මත මහණ වන්නට යොමු කිරීමය. අද්‍යතන සමාජයේ පුංචි දරුවන් මහණ කරන්නට පෙළඹෙන්නේ දරුවන්ට මහණකමට සිත ඇදී යැම හේතුකොට නොවෙයි. එක්‌කො ආර්ථික අඟහිඟකම් මත හෝ පවුලේ පිරිමි දරුවන් බහුල වීම මතය. බොහෝවිට බලපාන්නේ මේ දෙකරුණයි. පැවිදි දිවියට පිවිසිය යුත්තේ ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙනය. එසේ නොවුණහොත් වයස මුහුකුරා යත්ම යම් යම් ආශාවන් මත පැවිදි දිවියෙන් සමුගන්නා ආකාරය එමටය. මෙය කාලත්‍රයේදීම සිදුවන්නකි. "කෙස්‌ වැටිය" කෙටි කතාවේ නාග සෝමත් "තරුණ භික්‍ෂුව" කෙටි කතාවේ නාගානන්දත් යන සාමණේර භික්‍ෂූන් දෙදෙනාම පැවිදි දිවියෙන් සමුගන්නට හේතු වූයේත් අවබෝධයෙන් තොරව වැඩිහිටියන්ගේ බල කිරීම මත පැවිදි දිවියට පිවිසීම නිසාය.

කෙස්‌ වැටියේ අන්තර්ගත නාගසෝම සාමණේර නම ධර්මය දේශනා කිරීමේ ශූරයෙකි. බණ අහන්නට පැමිණි මල්ලිකා නමැති තරුණිය කෙරෙහි පිළිබඳ සිතක්‌ නාගසෝම හිමිට ඇතිවිය. එකට පාසල් ගිය එකට පන්තියේ සිටි මල්ලිකා කෙරෙහි සිත් බැඳගත් නාගසෝම හිමියන්ගේ මහණ දම් කෙමෙන් පිරිහී ඇය කෙරෙහි ආශාවක්‌ ඇතිවී, ඇයට ලොල්වී ඇය විවාහ කර ගන්නට තරම් සිතක්‌ පහළ විය. "... ආශා කරන දෙය නොලැබීම නිසා ඇතිවන දුකින් ඔහුගේ සිත මීට පෙර තවනු නොලැබීය. ඉන්ද්‍රියන් කෝප කරනු ලැබූ අවස්‌ථාවක මල්ලිකා දැන හැඳින ගැනීමෙන් චණ්‌ඩ මාරුතයට හසුවුණු ජලාසයක්‌ සේ ඔහුගේ සිත චංචල විය" (431 පිටුව) නාගසෝම මෙවන් තත්ත්වයකට පත්වූයේ ජීවිතය කලකිරීමෙන් ලත් අත්දැකීම් මත නොවූ නිසාය. "අර හීරළුවා වෙන්න ඇති" (434 පිටුව) යන වදන් මල්ලිකාගේ මුවට වික්‍රමසිංහ නැඟුවේ ගිහි ජීවිතයේ දුක්‌ ප්‍රවාහයෙන් නාගසෝම අත්දැකීම් නොලත් නිසාය.

ලෝක ස්‌වභාවය ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කොට ගත් පුද්ගලයා කෙරෙහි දෙබිඩි චරිතයක්‌ නොමැත. ප්‍රතිපත්තිගරුකව තමන් කෙරෙහි පවත්නා ආශාව තුනීකොට සසරින් කෙසේ හෝ නික්‌ම නිවනට ළඟා වන්නට යත්න දරයි. එසේ නොමැතිව වංචනික ධර්ම මත දිවි පෙවෙත ගෙන යැමෙන් විනාශයට පත් වන්නේ පුද්ගලයාමය. මේ ධර්මතාවයි වික්‍රමසිංහ මේ කෙටි කතාවලින් උද්භාවනය කළේ.

බෞද්ධ චින්තනය හඟවන තවත් කෙටි කතා වික්‍රමසිංහ විසින් ලියන ලදී. මුදියන්සෙ මාමා, මරණය, බබාගේ වෙසක්‌ පහන, කෙඳිරි ගෑ මළකඳ, ධාතු කෝලාහලය, රන් පිළිමය, වහල්ලු, කනත්ත, සිල්වතා, උපාසකයා ආදී කෙටි කතා වලින් හුවා දැක්‌ වූයේත් බෞද්ධ යථාර්ථයයි.

නූතන කෙටි කතා ක්‍ෂේත්‍රය අවරෝහණ කරා යන අවධියක කෙටිකතාකරුවාගේ කාරිය කුමක්‌ද? කෙටි කතාවකින් දවනිත විය යුත්තේ කිනම් අරුතක්‌ද යන්න සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද කෙටි කතා සමුදාය පරිශීලනයෙන් මැනවින් අවබෝධ කොට ගත හැකිය.

අද කෙටිකතාකරණයට පිවිසෙන අය පෙර අපර දෙදිග කෙටිකතාකරුවන්ගේ (සම්භාව්‍ය ගණයට ගැනෙන) කෙටි කතා පරිශීලනය නොකිරීම බලවත් ඌනතාවක්‌ යෑයි සිතමි. ලියෝතොලොස්‌තෝයිගේ "පොත් කෑල්ල" නමැති කෙටි කතාව ඉතාම සුළු සිද්ධියක්‌ පාදක කොටගෙන රචිත කෙටි කතාවකි. එම සිද්ධිය පුද්ගලයකුගේ මරණය පවා සිදුකරන්නට තරම් සමත් විය.

මාර්ටින් වික්‍රමසිංහ විවිධ විෂයයන්හි පෙළහැර පෑවා සේ කෙටිකතා ක්‍ෂේත්‍රයේත් පෙළහැර පෑවේය. ජී. බී. සේනානායක හොඳ ගණයට ගැනෙන කෙටි කතාකරුවෙක්‌ බවට පත් කළේත් වික්‍රමසිංහයන්ය. සිළුමිණ කර්තෘ පදවියේ සිටි සමයේ සේනානායක කෙටිකතා ලියාගෙන මාර්ටින් වික්‍රමසිංහට ගෙනත් දුන් අවස්‌ථාවේදී ඒවා කපා කොට සකස්‌ කොට සිළුමිණේ පළ කිරීමෙන් සිදුකළ මෙහෙය සෙසු කතුවරුන්ටද පරමාදර්ශී සිද්ධියකි. වික්‍රමසිංහ කෙටි කතා විඥනය අදටත් වඩා ඵලදායි වන්නේ හෙට දවසටය යනුවෙන් සඳහන් කරන්නේත් ඒ නිසාය.

ශාස්‌ත්‍රපති පණ්‌ඩිත
අරම ධම්මතිලක නාහිමි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.