බවතරණය තහනම් කිරීම

බවතරණය වූ කලී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අවසන් කෘතිය වේ" 83 වැනි වියෙහි දී ඔහු එය ලියුවේ ය" 1973 දී පළවූ මුල් මුද්‍රණයට හැඳින්වීමක්‌ ලියමින් ඔහු සඳහන් කළේ තරුණ වියෙහි දී සිතේ මතු වූ අදහසක්‌ අනුව එය ලියූ බවයි" ඊට නිමිත්ත වූයේ පශ්චාත් කාලීන අශෝක යුගයේ සිට බුදුන් වහන්සේ විසින්ම බැහැර කළ හින්දු - සකු - බමුණු - අද්භූත - අලංකාර වාදයේ අඳුරු ස්‌වාභාවයේ ගිලී පැවැති සිදුහත් බුදු සිරිත ඉන් ගලවා ගැනීමේ අපේක්‍ෂාවයි"

බවතරණය මුල් මුද්‍රණයෙන් හාර මසකට පසු බෞද්ධ ලෝකයාගේ ගෞරවය දිනාගත් විද්‍යාලංකාර පිරිවෙනේ යක්‌කඩුවේ ප්‍රඥdරාම හා විෙද්‍යාදය පිරිවෙනේ පල්ලේවෙල සද්ධාතිස්‌ස යන නාහිමිවරුන්ගේ නායකත්වය යටතේ බවතරණයට එරෙහිව මහා උද්ඝෝෂණයක්‌ දියත් කෙරිණි" බවතරණය බුදුන්වහන්සේට කළ නිගාවකැයි පවසමින් ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන, ශ්‍රීමත් සිරිල් ද සොයිසා වැනි ගිහි බෞද්ධ නායකයෝ ද පරම විඥනාර්ථ බෞද්ධ සමාගම හා කොළඹ තරුණ බෞද්ධ සංගමය වැනි සංවිධාන ද මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වූහ." එනමුදු සියලුම බෞද්ධයෝ මේ මතයට එකඟ නොවූහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ වෛද්‍ය ගුණදාස අමරසේකර වැනි ප්‍රවීන සාහිත්‍යධරයන් එකසේ ප්‍රබලව තර්ක කළේ බුදුන්වහන්සේට නිගා දෙන කිසිදු සටහනක්‌ බවතරණයේ නොමැති බවය. එපමණක්‌ නොව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනෙහි අධිපති පූජ්‍ය අකුරටියේ අමරවංශ හිමියන් සහ විද්‍යාලංකාර සරසවියේ බෞද්ධ දර්ශන අංශයේ ප්‍රධානී පූජ්‍ය මොරටුවේ ශාසනරතන නාහිමියන් වැනි හිමිවරුන් පොත පිළිබඳ තම සහයෝගය ප්‍රසිද්ධව පළ කරනු දක්‌න්නට ලැබිණි. කෙසේ වුවද බවතරණයට සහ එහි කතුවරයාණන්ට එරෙහිව ගොඩනැඟුණු විරෝධය විසින් පොතට පක්‍ෂ වූ සියලු හඬ යටපත් කරනු ලැබිණි. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ සභාපතීත්වයෙන් 1974 මාර්තු මස රැස්‌වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ විධායක සමිතිය රජය විසින් බවතරණය තහනම් කළ යුතු බවටත් එසේ නොකළ හොත් රජයට විරුද්ධව දිවයින පුරා උද්ඝෝෂණ හා රැස්‌වීම් පවත්වන බවටත් තීරණය කළේය.

මේ අතරතුර අස්‌ගිරි මහා නාහිමියන් විසින් අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරණායක මැතිනිය වෙත පවතින තත්ත්වය සැල කිරීමෙන් පසු සංස්‌කෘතික අමාත්‍යංශය විසින් කරුණු සොයා බලා වාර්තා කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක්‌ පත්කරන ලදී.

බවතරණයට එරෙහිව තවත් බොහෝ පාර්ශ්ව එක්‌ වෙද්දී 1974 වසර පුරා එහි උත්සන්න බවක්‌ විද්‍යමාන විය. ඒ සමගම රජයට විරුද්ධ දේශපාලන පක්‍ෂ පිරිස්‌ රජය අපහසුතාවට පත් කිරීමේ දේශපාලන ක්‍රීඩාවක ද නියෑළුණහ. බවතරණ විරෝධී උද්ඝෝෂකයන්ගේ බලපෑම් හේතුවෙන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවතරණය තහනම් කරන ලෙස කැබිනට්‌ මණ්‌ඩලයට සහ අගමැතිනියට බලපෑම් කරන්නට වූහ.

කතුවරයා බුදුනු චරිතයට නිගරු කළේ යෑයි පවසමින් හදිසි රෙගුලාසි යටතේ ඔහු අත්අඩංගුවට ගෙන සිපිරි ගෙයි දමන මෙන් අගනුවර එක්‌සත් බෞද්ධ බල මණ්‌ඩලය ද රජයට බල කළේය. කොළඹ නගරසභා විවාදයක දී එ.ජා.ප. නගර සභිකයකු සඳහන් කළේ මාර්ටින් වික්‍රමසිංහ බුදුන් වහන්සේට එරෙහිව මෙසේ ලියා ඇත්තේ ඔහුගේ රුසියන් සංචාරයේදී වොඩ්කා බීමෙන් පසුව විය හැකි බවය.

එතැනින් නොනැවතුනු එම සභිකයා රුසියන් සංචාරයකදී අසූ විය පසු කළ කතුවර ජීවිත කතාවට තවත් පිටුවක්‌ එක්‌ කරමින් ඔහු බෞද්ධ භික්‍ෂුවක වී උපසම්පදා ලබාගැනීමෙන් අනතුරුව ගිහි ජීවිතයට ආගමනය කළ බවත් පැවසීය. බවතරණය මේ රටේ බෞද්ධාගම විනාශ කිරීමේ මාක්‌ස්‌වාදී පාපිෂ්ඨ තැතක්‌ බවට සමහරු පැවසූහ. මේ සියල්ල පැවසෙද්දී මේ වියත් ප්‍රඥයා බෞද්ධ දර්ශනයට අනුව උපේක්‍ෂා සහගතව මුනිවත රකිමින් දැඩි නිහඬ බවක්‌ පළ කළේය.

මෙම කාල සීමාව පුරාවට මම අගමැතිනිය යටතේ පැවති ආරක්‍ෂක හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ඡේHෂ්ඨ සහකාර ලේකම් වශයෙන් කටයුතු කළෙමි. අමාත්‍යංශයේ ආරක්‍ෂක අංශ ප්‍රධානී ලෙස ආරක්‍ෂක හා විදේශ කටයුතු ලේකම්ට වගකීම මගේ රාජකාරිය විය. එවක ක්‍රියාත්මක වූ ආරක්‍ෂක පනත යටතේ විටින් විට පනවන හදිසි රෙගුලාසි පිළිබඳ සියලුම කටයුතු මගේ වගකීම් භාරය යටතට පත්විය. පොතක්‌ තහනම් කිරීම අරභයා කිසිදු සාමාන්‍ය නීතියක්‌ නීති පොතේ නොතිබූ හෙයින් (එය අදත් එසේම යෑයි සිතමි) එසේ කළ හැකිව තිබුණේ හදිසි රෙගුලාසි යටතේ නිකුත් කරනු ලබන නියෝගයකින් පමණි.

මෙසේ උද්ඝෝෂණ පැවැත්වෙද්දී එක්‌ දිනක එවක ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ඩබ්ලිව්. ටී. ජයසිංහ මහතා මා කැඳවා බවතරණය තහනම් කිරීමට බොහෝ බලපෑම් රජයට එල්ල වී ඇති නිසා එවැනි තීරණයක්‌ ගතහොත් පැනවීමට අවශ්‍ය වන නියෝග අගමැතිනියගේ අත්සන සඳහා සූදානම් කර තබන මෙන් දැන්වීය. එය අසා බෙහෙවින් චකිතයට පත්වූ මම එම ක්‍රියා මාර්ගය ඥනාන්විත දැයි ඇසුවෙමි. මෙම ක්‍රියාමාර්ගය අනුචිත බව තමා දැනටමත් පෙන්වා දී ඇති නමුදු රජයට ඇති එකම විකල්පය නම් ඊට සූදානම්ව සිටීම මැනවයි ඔහු පිළිතුරු දුනි. තහනම් කරන්ට සූදානම් වන මේ පොත ඔහු හෝ මා විසින් කියවා නොතිබුණ හෙයින් තහනම් කිරීමට තරම් දෙයක්‌ එහි ඇත්දැයි පොත කියවා බලා ඔහු මගින් අගමැතිනිය වෙත නිර්දේශයක්‌ ඉදිරිපත් කිරීමට සුළු කාලයක්‌ ලබා දෙන ලෙස මම ඉල්ලීමි.

අපගේ ඉමහත් ගෞරවයට පාත්‍රව සිටි වියත් ලේඛකයා හා නවකතාකරු විසින් බුදුන් වහන්සේගේ ජීවිතය අළලා ලියා තිබුණු නවකතාවක්‌ මහජන ආරක්‍ෂක පනත යටතේ මහජන ආරක්‍ෂාවට පටහැනි බව දක්‌වා තහනම් කිරීම අනුවණ කමක්‌ පමණක්‌ නොව රජය සමච්චලයට පත් කළ හැකි වන ක්‍රියාවන් සේ මට වැටහුණි. එසේ හෙයින් කාලය නොඉක්‌මවා වහා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය විය. පොත කියවීමෙන් පසු මගේ අදහස්‌ පසුදින උදැසන ඔහුගේ මේසය මත තබන බවට මම ලේකම්වරයාට පොරොන්දු වූයෙමි.

එදින සවස ගෙදර යන අතරමග පිටකොටුවේ එම්. ඩී. ගුනසේන සමාගම වෙත ගොස්‌ පොතේ පිටපතක්‌ මිලට ගතිමි. කාර්යාලයේ වෙහෙසකාරී දිනක සේවයෙන් පසු මෙවැනි පොතක්‌ කියවා නිම කිරීම පහසු නොවන බව මම දැන සිටියෙමි. බවතරණය යනු මේ ලේඛකයා විසින් රචිත ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, වැනි තවත් පොතක්‌ නොවේ. එසේ වුවද මම පොරොන්දුවක්‌ දුන් හෙයින් ඒ අසීරු ඉලක්‌කය මා විසින් ජයගත යුතු විය.

රාත්‍රී කෑම කලින්ම ගෙන මගේ ඕනෑකමින්ම මා මත පවරා ගත් බැරෑරුම් වගකීම බිරියට පැහැදිළි කොට භාරගත් කාර්යය හැකි ඉක්‌මණින් පටන් ගතිමි. පොත කියවන අතරවාරයේ (කෝපි කෝප්පයක්‌ බී වුවද) මගේ දෙනෙත් විඩාවට පත් කළ නිදිබර ගතියෙන් මට පසක්‌ වූයේ කතාවේ ඇති ගැඹුර විය. එහි විවේචකයන් පළ කළ ආකාරයේ ගති ලක්‍ෂණයන් නොවීය.

නිදිබර ගතියෙන් මිදීමට බැරිම තැන මම පොතේ ඉතිරිය කියවීම පසුදින අලුයමට කල් තැබුවෙමි. එසේ කියවා අවසානයේදී හිරු උදාව මෙන් මට පැහැදිලිව වැටහුනේ තහනමට හේතු කාරණා කිසිවක්‌ බවතරණයේ නොමැති බවයි. අප කොතෙකුත් කියවන ආකාරයේ තවත් නවකතාවක්‌ නොවන බවත් කෙටියෙන් ම කියතොත් බවතරණය යනු බුදුන් වහන්සේගේ ජීවිත කතාව අවිදු බවෙන් බැහැර කිරීමේ ප්‍රයත්නයක්‌ බවත් මට වැටහුණි. පොතේ අඩක්‌ම සිද්ධාර්ථ කුමරුගේ ජීවිතය පිළිබඳව ලියෑවී තිබුණි. පොත තහනම් කරන්න යෑයි මොර දෙන කී දෙනෙක්‌ නම් බවතරණය මුලුමනින් කියවූයේ දැයි යන සැකය මසිතට නැගුණි. එසේම පොත තහනම් කිරීම තුළින් පාඨක අවධානය වඩාත් එයට යොමුවන බව ද මට හැඟුණි. මගේ අදහස මම ඉතා පරිස්‌සමෙන් ලියාගෙන කොටුවේ සෙනෙට්‌ චතුරශ්‍රයේ පිහිටි මගේ කාර්යාලයට වෙනදාටත් වඩා කළින් ගියෙමි. මගේ ඉල්ලීම මත යතුරු ලියන්නා ද කළින්ම පැමිණ සිටි හෙයින් එය නිසි පරිදි සකස්‌ කොට ලේකම්තුමා කාර්යාලයට පැමිණි විගස කියවීමට හැකි වන පරිදි ඔහුගේ මේසය මත තැබීමි. මාගේ නිර්දේශය පිළිගෙන බවතරණය තහනම් කිරීමේ අදහස අතහැරීමේ හෝ එසේ තහනම් කොට ඉතිහාස ගත වන වරදක්‌ කිරීමේ හෝ වගකීම ඉහළ බළධාරීන් අත තබා මා පවරා ගත් කාර්යභාර්ය ඉටු කිරීමෙන් ලද සැනසුම් සුසුමකින් සිත සැහැල්ලු කර ගතිමි.

මා ඉදිරිපත් කළ කරුණු ඉතා කල්පනාකාරීව කියවා මා ඉටු කළ මෙහෙය අගයමින් පොත තහනම් කිරීම අනවශ්‍ය බවට අගමැතිනිය තීන්දු කළ ප්‍රීතිමත් පුවත ලේකම්තුමා විසින් මට එදින සවස්‌වරුවේ දන්වන ලදී. එලෙස බවතරණය තහනම් නොවීය. එසේම පොතට ඇතිවූ උද්ඝෝෂණයේ උණුසුම ද මඳින් මද අඩුවී නැත්තටම නැති විය.

(මෙම ලිපිය මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ 120 වන ජන්ම දිනය සිහිපත් කිරීම සඳහා 2010 මැයි මස 29 වැනි දින දී අයිලන්ඩ් පත්‍රයට සිරිමාවෝ බණ්‌ඩාරණායක අගමැතිනිය අවධියේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුර දැරූ එරික්‌ ඡේ. ද සිල්වා මහතා විසින් ලියන ලද්දකි.)

අනුවාදය - රීටා හේමපාල
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.