වික්‍රමසිංහ පුරාවිද්‍යා දෘෂ්ටිය

මාර්ටින් වික්‍රමසිංහ පුරාවිද්‍යාඥයෙක්‌a නොවේ. එහෙත් ඔහුගේ සමාජ චින්තනය විවිධ විෂය ඔස්‌සේ පැතිරුණු හෙයින් පුරාවිද්‍යා විෂය ක්‌ෂේත්‍රයේ ද ඔහුගේ දෘෂ්ටිය යොමුවිය.

පුරාවස්‌තු පිළිබඳ ඇල්ම උපදවා සති, මාස ගණන් ඒවා පිරික්‌සුමට බදුන්කොට, අත පත ගා ඒවාට අලුත් අර්ථකතන දෙන්නට යත්න දැරූ බවක්‌ පෙනේ. පුරා විද්‍යාඥයන්ගේ හා කලා විචාරකයන්ගේ මතවාදවලට වඩා හාත්පසින්ම වෙනස්‌ වූ මත ඉදිරිපත් කළේය. ඒ මත අපට එක විටම බැහැර කළද නොහැකිය. මන්දයත් සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනය, සෙල්ලිපි සැසඳීම, හා පුරාවස්‌තුවල අන්තර්ගත දෑ මැනවින් අධ්‍යයනය කොට කිසිවකුට බිඳ දමන්නට නොහැකි අන්දමට තම දෘෂ්ටිය හෙළි කළේය.

ඔහු විසින් ලියන ලද, පුරාණ සිංහල ස්‌ත්‍රීන්ගේ ඇඳුම්, විචාර ලිපි, ඇත්ත යුත්ත, රසවාදය හා බෞද්ධ කාව්‍ය කළුනික සෙවීම, ASPECTS OF SINHALESE CULTURE BUDDHISM AND ART හා සිංහල නාටකය හා සඳ කිඳුරුව, නිවන් මුහුණුවර හා බමුණු දිට්‌ටිය නමැති ග්‍රන්ථවලින් සඳකඩපහණ, අනුරපුර සමාධි බුදුරුව, වාමන (බහිරව) රූප "සීගිරි සිතුවම්" ආශ්‍රයෙන් සිංහල ලකුණ මතු කිරීමට යත්න දරා ඇති බව පෙනේ. යට කීS පුරාවස්‌තුවලට නව අර්ථකථන දෙන අතරතුර සමස්‌තාර්ථය වූයේ සිංහල ලකුණ මතු කිරීමයි. සඳකඩපහණ කෙරෙහි නෙත් යොමු කරන වික්‍රමසිංහ එච්. සී. පී. බෙල්, සෙනරත් පරණවිතාන, වින්සටන් ද ස්‌මිත්, ඡේ. පී. පුගල්, බෙන්ජමින්, රෝලන්ඩ්, විනී විතාරණ, බද්දේගම විමලවංශ ආදීන් හෙළි කළ මතවාද වලට වඩා වෙනත් මතයන් හෙළි කළේය. පැරැණි ශිල්පියා සඳකඩපහණට අන්තර්ගත කොට ඇති සංකේත සරදමේ සංකේත ලෙස කියාපායි. අනුරපුර අවදියේ හින්දු බලපෑම් නිසා හින්දු සංකේත විහාරාරාමවලට පිවිසෙන සැදැහැවතුන් ලවා පෑගවීමට අදහස්‌ කළ බවයි වික්‍රමසිංහ මතය වන්නේ.

හින්දු බලපෑම්වල කූට ප්‍රාප්තිය වශයෙන් සලකන්නේ 12 වැනි සියවසේ පොළොන්නරු යුගයයි. මේ අවදිය වන විට සඳකඩපහණින් ගවයා ඉවත් වේ. හින්දු ධර්මයේ ප්‍රධාන සංකේතය වන ගවයා එයින් ඉවත් කරන්නේ පයට පෑගවීමෙන් එයට අගෞරවයක්‌ වන හෙයිනි. හින්දු දහමේ කූට ප්‍රාප්තිමය වකවානුව ලෙස පොළොන්නරු අවදිය සඳහන් කළ ද අනුරාධපුර සමය වන විට හින්දු සමයේ යම් යම් බලපෑම් තිබිණි. එබැවින් හින්දු දහමට ඇල්මක්‌ නොදක්‌වන ලද අය එහි සංකේත සඳකඩපහණට ආරෝපණය කොට බෞද්ධයන්ගේ සරදමට එම සංකේත පාත්‍ර වූ බවයි වික්‍රමසිංහගේ මතය වන්නේ.

පුරාවස්‌තු සම්බන්ධයෙන් වික්‍රමසිංහගේ දෘෂ්ටිය යොමු වූ තැනකි අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි සමාධි බුදුරුව. මේ බුදුරුව කෙරෙහි වික්‍රමසිංහගේ සිත තදින්ම ඇදී ගිය බවට නිවන් මුහුණුවර හා බමුණු දිට්‌ටිය, බණ කථා සාහිත්‍යය, සිංහල විචාර මඟ, කළුනික සෙවීම, නවකතාංග හා විරාගය, විචාර ලිපි, සිංහල නාටකය හා සඳකිදුරුව ආදී ග්‍රන්ථ හොඳම සාධකයෝය. මේ බුදුරුව වික්‍රමසිංහ අත පත ගා 1. අදීන ලක්‍ෂණ, 2. ශ්‍රද්ධාව 3. ආත්මික ගුණ 4. පහන් සංවේග 5. උත්තර මානව ලක්‍ෂණ ආදිය මතු කිරීමට පැරැණි ශිල්පියා යත්න දරා ඇති ආකාරය යට සඳහන් ග්‍රන්ථවලින් කියාපායි. බුදු සමය නොදත් ශූර ප්‍රතිමාකාරයකුට වූව භික්‍ෂූන්ගේ උපදෙස්‌ අනුව සාර්ථක ලෙස හිටිපිළිමයක්‌ නෙළිය හැකිය යනුවෙන් සඳහන් කරන වික්‍රමසිංහ බුද්ධ චරිතයත්, බුදු දහමත්, සමාධියක්‌ ගැන හොඳ වැටහීමත් නැති ප්‍රතිමාකාරයා කොතරම් ශූරයකු වූවද උසස්‌ සමාධි පිළිමයක්‌ නෙළන්නට සමත් නොවේයෑයි වික්‍රමසිංහ පවසයි. නිවන් මුහුණුවර හා බමුණු දිට්‌ටිය, 6 පිටුව) උත්තම ගණයෙහි ගැනෙන සමාධි ප්‍රතිමාවක්‌ නෙළන්නට ආවේශය ලබන්නේ බුදු සමයෙන් හික්‌මවනු ලැබූ ශ්‍රේෂ්ඨ ප්‍රතිමාකාරයකුට පමණ යෑයි ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

"සමාධි බුදුරුව පිළිබඳ වික්‍රමසිංහ මෙසේ කරුණු දක්‌වයි. මේ සමාධි පිළිමය ශ්‍රේෂ්ඨ නිර්මාණයක්‌ ලෙස සැලකෙන්නේ එහි නෙත් සඟලත් තොල් සඟලටත් නඟන ලද අධ්‍යාත්ම ගුණ නිසාය. සමාධිය අධ්‍යාත්මයෙහි අංග යකි. මනෝභාවයකි. සමාධියට සම වැදුණු යෝගීහූගේ කයද, ඇඟිලිතුඩක්‌ වැදුණු කෙනෙහි ලෙලදී ගීතයක්‌ නඟන වීණා තතක්‌ සේ සැදෙයි. මේ ගල් පිළිමයෙහි බඳ සමාධි තලය ඇසින් ගත හැකි සේ සෑදුණු යෝගීහුගේ, කය සැණකින් අපට සිහිකරවයි." (කළුනික සෙවීම 39 පිටුව)

අදීන ලක්‍ෂණ, ශ්‍රද්ධාව, ආත්මික ගුණ, පහන්සංවේග හා උත්තර මානව ලක්‍ෂණ හඟවන ශ්‍රේෂ්ඨ බුදුරුව ආවරණයකින් වැසීමට මාර්ටින් වික්‍රමසිංහ එකඟ නොවේ. ඒ බව ඔහු මෙසේ සඳහන් කරයි.

"මමත්වය නැසූ එවැනි උතුමකුට ගෙයක්‌ නැත. නෑයෙක්‌ නැත. වස්‌තුවක්‌ නැත. වැසි සුළං අව්ව හා සොර සතුරු පීඩා පිළිබඳ හැඟීමක්‌ නැත. මුළු ලෝ වැසියා ඔවුන්ගේ නෑයාය. මුළු ලොව ඔවුන්ගේ නිවාසයය. එවැන්නකු හඳුන්වනු පිණිස පැරැණි ශ්‍රේෂ්ඨතම ප්‍රතිමාකාරයන් විසින් නිපදවන ලද බුදුරුව පිළිම ගෙයක තැන්පත් කිරීම බුදුසමයට පටහැනි වූවකි. බෝ ගස සෙවණෙහි වන සමාධි පිළිමය බුදුසමය හා බුදු සිරිතෙහි උත්තමාංගයක්‌ද හකුලා දක්‌වන්නකි." (බණ කථා සාහිත්‍යය, 189, 190 පිටු)

වික්‍රමසිංහ පවසන අන්දමට බුදුපිළිමයට ආවරණයක්‌ අවශ්‍ය වූයේ නම් එය ඉටුවන්නේ පැරැණි ශිල්පියා අතිනි. පැරැණි ශිල්පියාද මමත්වය නැසූ බුදුවරයකුට ආවරණයක්‌ අවශ්‍ය නැති බව පොළොන්නරුවේ ගල්විහාරය, අනුරාධපුර සමාධි බුදුරුව, අවුකන හිටි පිළිමය, මාළිගාවිල හිටිපිළිමය ආදී පිළිමවලින් මනාව පැහැදිලි වේ.

අදීන කලා ආරක්‌ අනුqව යමින් නිර්මිත "වාමන" හෙවත් බහිරව රූ කම් කෙරෙහිද වික්‍රමසිංහ ස්‌වකීය චින්තාව නැඹුරුකොට ඇති අයුරු "කළුනික සෙවීම" සිංහල නාටකය හා සඳකිඳුරුව ASPECTS OF SINHALESE CULTRE යන ග්‍රන්ථවලිනුත් ලිපි ලේඛනවලිනුත් පැහැදිලි වේ. මාර්ටින් වික්‍රමසිංහ මේ වාමන රූකම් මගින් පැරැණි ලංකාවේ නාටක තිබුණු බවට අදහස්‌ දක්‌වයි. මොහු ඒ සඳහා උපයෝගී කොට ගන්නේ ලෝවාමහාපායෙහි ඇති ගල් කණු හිස්‌වල ඇති රූකම්ය. (සිංහල නාටකය හා සඳකිඳුරුව, 1 පිටුව)

නාටක බුදු සමයට අකැප අංගයක්‌ නොවේ. ලංකාව හැරුණු විට බුරුමය හා සියම වැනි ථෙරවාදී රටවලත් දසරත ජාතකය ආශ්‍රයෙන් නාටක රඟදැක්‌වූයේ යයි ඊ. ආර්. සරච්චන්ද්‍ර පවසයි. (THE FOLK DRAMA OF CEYLON SELOND EDITION 1966 THE DEPT OF CULTURALAFFAIRS P.19) මේ බහිරව රූකම් ආශ්‍රයෙන් පැරැණි ජනතාවගේ ජීවිතය පිළිබඳව ද මාර්ටින් වික්‍රමසිංහ විවරණයක්‌ කරයි. ජීවිතයට විඳින්නට සිදු වූ පුද්ගල හා සමාජ අනුභූති ආශ්‍රයෙන් ප්‍රශ්න හා ගැටලු සියල්ලටම ඉතාම සංයමයෙන් යුතුව ඔවුන් මුහුණදුන් ආකාරය නිරූපණය කරන්නේ යෑයි වික්‍රමසිංහ සඳහන් කරයි. (ශ්‍රී සෝරත සාහිත්‍යය, 127 පිටුව)

වික්‍රමසිංහගේ අවධානයට බඳුන් වූ තවත් පුරාවස්‌තුවකි සීගිරි සිතුවම්. සීගිරි සිතුවම් සම්බන්ධයෙන් කලා විචාරකයන් හෙළිකළ මතවාද සියල්ල බැහැර කරන වික්‍රමසිංහ සීගිරි සිතුවම් කාමෝත්සවයක්‌ නිමිතිකර ගෙන නිර්මිත ඒවායයි නව මතයක්‌ ඉදිරිපත් කරයි. (පුරාණ සිංහල ස්‌ත්‍රීන්ගේ ඇඳුම් 60 පිටුව)

විහාරය වැඳීමට යන කාන්තාවන් අතරමඟදී යට කී ලෙස මල් අතින් ගැනීම සිරිතක්‌ නොවේ. තවත් රූපයකින් ප්‍රකට වන්නේ අතින් ගත් මල් මිටක්‌ ඇති විස්‌මයට පත් කාන්තාවකි. තවත් රූපයකින් වමතින් නෙළුම් මල් තුනක්‌ද දකුණු අතින් මාපටැඟිල්ලෙනුත්, දබරැඟිල්ලෙනුත් මලක්‌ද ගෙන සිටියි. තවත් රූපයක්‌ කියන්නේ දසරුවතෙක්‌ එස වූ එක්‌ අතකින් මලක්‌ ගත් ස්‌ත්‍රියකගේ විලාසයයි. (6 චිත්‍රය) තවත් කාන්තාවක්‌ මල් මාලයක්‌ අතින් ගත් බලාපොරොත්තු කඩ වූ ලීලාවකින් සිටියි. යට කී කරුණු සලකාගෙනය, සීගිරි සිතුවම් විහාරය වැඳීමට යන කාන්තාවන් මෙන් සැලකීම දුෂ්කර යෑයි කීයේ. වික්‍රමසිංහ ස්‌ව මතය සමර්ථනය කිරීමට සද්ධර්ම රත්නාවලියේ විශාඛා වස්‌තුව ද උපයෝගි කොට ගනියි. විශාඛාවෝ මනාලිය පළඳනාවෙන් සැරහී ගෙන විහාරයට යන්නේ, අතර මඟදී විහාරය ආසන්න කලට තමන් දෑසේම ඇතුන් පස්‌ දෙනකුට බල ඇති තෙල්ල බණවාලා, හෙම්බල තෙල්ල, ගුරුවහන්සේ ළඟට යන කලට කෙළිපානට යන විද්දත්දුන්සේ හිස පටන් පිටිපත්ල දක්‌වා සිටින ආභරණ ලාගෙන යැම අප වැන්නවුනට තරම් නොවෙයි. සම්මත කෙළෝය. (සද්ධර්මරත්නාවලිය, විශාඛා වස්‌තුව, 249 පිටුව)

සීගිරි සිතුවම් පිළිබඳ වික්‍රමසිංහ අදහස අනුව මොවුන් විහාරය වඳින්නට යන කතුන් නම් අර විශාඛාවන්සේ සියලු ආභරණ බැහැරකොට ඉතා චාම් අන්දමට සැරැසී යා යුතු බවයි. එහෙත් සීගිරි කාන්තාවෝ රතු සළු හැඳ මුදුන්කොට බැන්දා වූ කොණ්‌ඩා මලින් හා කොළින්ද සරසා ගනිති. මෙය වූ කලී විහාරස්‌ථානයකට යන කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නොව මන්දෝත්සවයකට සැරහුණු කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් වෙයි යනුවෙන් වික්‍රමසිංහ දක්‌වයි." (පුරාණ සිංහල ස්‌ත්‍රීන්ගේ ඇඳුම්, 96 පිටුව) හැම සීගිරි සිතුවමකම පශ්චාත් භාගයෙහි අවකාශයෙහි රතු සලකුණක්‌ දක්‌නට ලැබේ. මේ රතු සලකුණ කුමක්‌ සඳහා දැයි නිශ්චය කළ නොහැකිය. යනුවෙන් සඳහන් කරන වික්‍රමසිංහ රතු සලකුණ කාමිනිය හඟවන්නක්‌ යයි අනුමාන කරයි. බෞද්ධ සම්ප්‍රදාය අනුව විහාරයට සුදු වතින් සැරසීයැම සිරිතයි. අපේ පැරැණි සාහිත්‍යය ග්‍රන්ථවල සඳහන් අන්දමට රතු සළු ඇන්දේ කාමෝත්සවවලටය. ඒ අනුව සීගිරි සිතුවම්වල රතු සළු තම මතය තහවුරු කිරීමට වික්‍රමසිංහ සාධකයක්‌ කර ගනී.

වික්‍රමසිංහ 8 වැනි සීගිරි චිත්‍රය ගුරුකොට ගෙන සීගිරි කාන්තාවන් "පැන් මාලය" අනුව දිය කෙළියට යන කතුන් යයි තවදුරටත් සනාථ කරයි. කව්සිළුමිණේ 513 වැනි කවියෙන් දියකෙළියේදී දිය ගැසීමට අත් යන්ත්‍රයක්‌ භාවිත කළ බව හෙළිවෙයි.

පියා මුහුටත් යතුරු - ගෝතා පියක පියවුරු

තනක ළයෙව් පුළුපුදුන් - නරනිඳු

බිසෙව් මඟ ලේ

(කව්සිළුමිණ, 513 කවිය)

අතින් හෝ යන්ත්‍රයකින් දිය ගැසීම සූ සෑට කලාවන්ගෙන් එකක්‌ යෑයි වික්‍රමසිංහ මුනිදාස කුමාරතුංගගේ කාව්‍යශේඛර විවරණයද පිහිට කොටගෙන පෙන්වා දෙයි. තවදුරටත් සාධක ගෙනහැර පාන වික්‍රමසිංහ දියකෙළි සඳහා පුරඟනන් යන්ත්‍රයක්‌ භාවිත කළ බව කුමාරදාසගේ ජානකීහරණයෙන් ද පැහැදිලි කරයි.(ජානකීහරණය, ෂෂෂ, 56)

මේ කරුණු අනුව සීගිරි සිතුවම් පිදුරංගල විහාරය වඳින්න යන ළඳුන්වත්, දෙවඟනන්වත් නොව දිය කෙළියට යන ලියන්ය යන්න සාහිත්‍යගත තොරතුරුත්, සීගිරි සිතුවම් අධ්‍යයනය කිරීමෙනුත් ලත් කලා ඥානය අනුව වික්‍රමසිංහ නව මතයක්‌ ඉදිරිපත් කිරීමට යත්න දරා ඇති බව පෙනේ.

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.