හෙළයේ මහා ගත්කරුගේ විදු ඇස

අධිරාජ්‍යවාදී බලවේගයන්ට නතුව ජාතික අනන්‍යතාව, දේශීයත්වය අහිමිව අයාලේ යමින් සිටි ජාතියක්‌, ජාත්‍යාලයෙන් ඔද වැඩී දේශීය චින්තනයක්‌ සතු ජාතියක්‌ ලෙස ගොඩ නැගීමට උරදුන් සාහිත්‍යධරයන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. 20 වැනි සියවසේ ඇරඹි ඒ මෙහෙවර ඔහු නොයෙකුත් මංපෙත් ඔස්‌සේ විහිදුවීය. සාහිත්‍යය, ඉතිහාසය, බුදුසමය, විද්‍යාව වැනි ඉසව් ඔස්‌සේ සාමාජීය පෙළගැස්‌මකට දොරගුළු විවර කිරීමකට ඔහු සමත් වූවායෑයි කිවහොත් නිවැරදිය. ඉන් නොනැවතුන ඔහු විදු ඇසකින් ලොව බැලීමට ගත් උත්සාහයද අගය කළ යුතුය. දකුණු ලක කොග්ගල නම් සුන්දර ගම්මානයේ උපත ලද මේ අව්‍යාජ ගැමියා ස්‌වෝත්සාහයෙන්ම ලබාගත් දැනුම ක්‌ෂේත්‍ර රාශියක්‌ පුරා විහිද පතුරවන්නට සමත් කමක්‌ දැක්‌වීය.

ඔහු විසින් රචනා කරන ලද බොහෝ ග්‍රන්ථ, ලිපි සාහිත්‍ය, ඉතිහාසය, බුදුසමය, දර්ශනය මත පදනම් වුවද විද්‍යාව කෙරෙහිද දක්‌වන ලද්දේ මහත් අභිරුචියකි. 1916 තරම් ඈත කාලයක ශ්‍රී ලාංකිකයන් අතර එතරම් විද්‍යාත්මක ප්‍රබෝධයක්‌ නොතිබුණ සමයක එම්. ඩබ්ලිව් නම් අන්වර්ථ නාමයකින් ඔහු දිනමිණ පුවත් පතේ පළකළ "වෘක්‌ෂලතා හා සත්වයෝ" යන ලිපි පෙළ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක කරුණු අරභයා ලියන ලද පළමු ලිපි පෙළ ලෙස ඉතිහාසගතවේ. මේ ලිපි පෙළ පුරාම ඔහු තමන් විසින් අධ්‍යයනය කරන ලද කරුණු එකළ සමාජයේ පැවති අදහස්‌, විද්‍යාත්මකව තහවුරු කරන ලද කරුණු සහ බුදු සමය ඉතා මැනවින් සංයෝජනය කරමින් අර්ථවත් ලිපි පෙළක්‌ ලෙස එකල සමාජයට තිළිණ කරන්නට සමත් විය.

විද්‍යාත්මක කරුණු පිළිබඳ වූ පිපාසය නිතැතින්ම ඔහුට ලැබෙන්නට ඇත්තේ ඔහු ජීවත් වූ මනරම් කොග්ගල ග්‍රාමයෙන් වන්නට ඇතැයි සිතීම යුක්‌ති සහගතය. කුඩා කල සිටම ගවේෂණාත්මක චරිතයකට උරුමකම් කී එතුමන්, ඒ ආශාව තවදුරටත් වඩා වර්ධනය කරගන්නා ලද්දේ පොත් පත් පරිශීලනයෙනි. විද්‍යාත්මක කරුණු අධ්‍යානයේදී ඔහු වඩා වැඩි ප්‍රියතාවක්‌ දක්‌වා තිබුණේ ජීවයේ විකාශය හෙවත් පරිණාමවාදයටය. "පරිණාමවාදය" යන වදන සිංහලයට හඳුන්වා දුන් එතුමන්, "පරිණාමධර්මය" නම් ලිපි පෙළක්‌ තුළින් ද පරිණාමවාදය සමාජගත කිරීමට පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළේය. පරිණාමවාදය පිළිබඳව ඔහු තුළවූ ගැඹුරු අවබෝධය ඔහු විසින් 1934 දී රචනා කරන ලද "සත්ත්ව සන්තතිය" කෘතියෙන් මනාව පිළිබිඹු වේ. , පුරා විද්‍යාව,ජීව විද්‍යාව,පුරා ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යා හා විවිධ ආගමික මතවාද වැනි එකිනෙකට බොහෝ වෙනස්‌කම් දක්‌වන්නාවූ විෂය ධාරාවන් කිහිපයක්‌ මනාලෙස හසුරවමින් පරිණාමවාදය පිළිබඳ එකළ සිංහලෙන් ලිsයවුන හොඳම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් සිය විදග්ධභාවය හේ මැනවින් නිරූපණය කළේය.

පරිණාමවාදය පිළිබඳ ඔහු දැක්‌වූ මහත් අභිරුචිය ඔහු විසින් රචනා කරන ලද "මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය" ග්‍රන්ථයේ එන "පරිණාමවාදය වනාහී අද්භූත කථාවක්‌ මෙන් සිත්ගන්නා විද්‍යාත්මක දර්ශනයකි. ලෝකයත්, සත්ත්ව වර්ගයාත් ගැන යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට අප හික්‌මවන්නකි පරිණාමවාදය" යන කියමනෙන් පැහැදිලි වේ. ඒ මතුද නොව සිංහල සාහිත්‍යයේ අග්‍රගන්‍ය නවකථා මාලාවක්‌ වන " ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය" යන කථා තේමාවන් තුන පුරාම යටින් දිවෙනුයේ පරිණාමවාදයේ එන ස්‌වභාවික වරණය යන කරුණ බව එය හොඳින් අධ්‍යයනය කරන අයකුට වැටහෙන කරුණකි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව පුරා ස්‌වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ජාති භාෂා නොතකමින් නවෝදයක අරුණාලෝකයක්‌ මෙන් රට මුZළුල්ලේම විසිරී පැතිරී ගියේය. එහිදී විද්‍යාව ස්‌වභාෂාවෙන් ඉගැන්වීමේදී ඇතිවූ ප්‍රධානතම ගැටලුව වූයේ බෙහෝ තාක්‍ෂණික යෙදුම් සඳහා සුදුසු සිංහල වදන් නොතිබීමය. ස්‌වභාෂාවෙන් විද්‍යා විෂයයන් සමාජගත කිරීමට නම් පවතිනා මතු නොව අනාගත අවශ්‍යතාද සපුරාලිය හැකි වදන් සොයාගැනීම ඉතා වැදගත් වූ අතර එවැනි වටිනා අර්ථවත් වදන් රාශියක්‌ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ස්‌වකීය භාෂා ඥනයෙන් දැයට දායාද කරන්නට සමත් විය. ඔහු විසින් විද්‍යාව පාදක කර රචනා කළ ග්‍රන්ථ, ලිපි තුළින් එවැනි නව වදන් හැකි තාක්‌ එකතු කළ අතර ඔහු සෑම විටම තැත් කළේ එදිනෙදා ජීවිතයේ ව්‍යවහාර කරන වදන් තුළින් විද්‍යාත්මක වචන වලට අරුත් දීමටය. එය අධ්‍යයනයේ යෙදෙන්නකුට උපකාරී වන්නේ එවැනි වදන් තමන්ට හුරුපුරුදු ඒවා වීමය. සංස්‌කෘත බස පදනම් කරගනිමින් නව වදන් සිංහලට එකතු කිරීම එතුමන් ප්‍රතික්‌ෂේප කළ අතර 1972 වසරේ සිළුමිණ පුවත්පතට ලියූ "මුල් සිඳගත් අපේ උගත්තු" නම් ලිපියෙන් එවන් ප්‍රයත්නයන් තදබල ලෙස විවේචනය කර තිබිණ.

රටක්‌ සතු වටිනාම සම්පත අන් කවරක්‌වත් නොව ඒ රටේ ළමා පරපුර බව මැනවින් වටහාගත් අතලොස්‌සක්‌ වූ දූරදර්ශී බුද්ධිමතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ද වන්නේය. එහෙයින්ම ඔහු,

"කුරුමිණි සත්තු" "කුරු කුහුඹු සත්තු" "වෙස්‌ මාරු කරන සත්තු" "මුහුදු වෙරළ" "සත්ත්ව ලෝකය" "විද්‍යා විනෝද කථා" වැනි ළමා ග්‍රන්ථ සම්පාදනය කරමින් එවක සිටි ළමා පරපුර තුළ විද්‍යා ප්‍රබෝධයක්‌ ඇති කොට අනාගතයේ අභියෝග භාර ගැනීමට සමත් පිරිසක්‌ ඇති කිරීමට දරන ලද ප්‍රයත්නය සැබවින්ම ප්‍රශංසා කටයුතුය. ගැඹුරු දාර්ශනික පදනමක්‌ ඇති ග්‍රන්ථ, ලිපි ලිවීමට දැක්‌වූ සමර්ථතාවෙන් රට තුළ කීර්තියක්‌ උපදවාගෙන සිටි එතුමන්, මේ ළමා පොත් තුළින් ළමුන් අමතා ඇත්තේ ඉතා සුඛනම්‍ය, කියවීමට ප්‍රිය උපදවන භාෂා ශෛලියකිනි. එදිනෙදා දිවියේදී තමා අවට පරිසරයේ මුණගැසෙන ශාක, සතුන් ගැන මනා දැනුමක්‌ මේ ග්‍රන්ථ පරිහරණයෙන් අද දවස ළමයකුට වුව ලැබිය හැක.

මනාකොට වූ භාවිතාවෙන්ම බහුශ්‍රැත භාවයට පත් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් බුදු සමය, සාහිත්‍යය හා නවීන විද්‍යාව ගැන කරන ලද ග්‍රන්ථ, ලිපි ආදිය බොහෝ වන අතර මේ කරුණු එක්‌තැන් කරමින් රචිත මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය (1974), පරිණාමවාදය හා බෞද්ධ විඥණය (1974) හා සිංහල ලකුණ (1947) වැනි ග්‍රන්ථ මෙන්ම ආගම හා නවීන විද්‍යාව (1945), බුදු සමය හා විද්‍යාව (1948) හා විද්‍යාව, බුදු සමය හා සාහිත්‍යය (1966) වැනි ලිපි තුළින් ඒ ඒ විෂයයේ වෙන් වෙන්ව ලබාගත් ප්‍රාගුණ්‍යයත් එම කරුණු අර්ථවත් ලෙස මුසුකොට පාඨකයාගේ ප්‍රඥව වර්ධනය කිරීමට දක්‌වන ලද සමත් කමත් පැසසිය යුතුමය. යම් කරුණක්‌ හුදෙක්‌ සමාජයේ වූ පමණින් පිළිනොගෙන විචාර බුද්ධිය, ප්‍රඥව මෙහෙයවා එය යුක්‌තියුක්‌ත නම් පිළිගැනීමට ඔහු සෑම විටම පාඨකයා පෙළඹවීය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා කිසිකලෙකත් බුදු දහම හා නවීන විද්‍යාව සන්සන්දනය කිරීමට තැත් නොකළේය. ඒ බව ඔහු ලියූ "සිංහල ලකුණ" ග්‍රන්ථයේ එන, "මා මේ ලියන්නේ ආගම හා විද්‍යාව යන දෙක තුලනාත්මකව පරීක්‍ෂණයකට භාජනය කරනු පිණිස නොව ඒ දෙකින් කවරක්‌ වූQවද නගා අනෙක හෙළනු පිණිස ඒ දෙක සැසඳීම වැරදිය යන බව නගනු පිණිසය" යන කියමනෙන් පැහැදිළිවේ. තවද එකළ සමාජයේ වූ අදහස්‌ පිළිබඳ ඔහු දැක්‌වූ විවේචන එම කරුණු පහත් කොට සැලකීමක්‌ නොව සමාජයට, යමක්‌ විචාර බුද්ධියෙන් සිතීමට හුරු කිරීමට දරන ලද උත්සාහයක්‌ බව අන්තවාදීව නොසිතන ඕනෑම අයකුට වැටහේ. මෙවැනි යථාවබෝධයකින් යුතු සාහිත්‍යධරයන් මෙන්ම විද්‍යාව හැදැරූ අයද අප සමාජයේ එදා මෙන්ම අදද ඉතා විරලය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විද්‍යාවේ ඇති වැදගත්කම වටහාගත් බුද්ධිමතෙකි. විද්‍යාවේ දියුණුව රටේ ප්‍රගමණය ඇති කරන බව පෙන්වාදුන් ප්‍රාඥයෙකි. කාලයට හැඩ ගැසෙමින් කාලයත් සමග ඉදිරියට යා යුතු බව අවබෝධකරගත් වියතෙකි. විද්‍යාව අරභයා මතු නොව ඔහු කල සෑම නිර්මාණයකින්ම පාඨකයා ආනන්දයෙන් ප්‍රඥව කරා රැගෙන යැමට සමර්ථ වූයේය. මේ නයින් බැලූකළ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් "හෙළයේ මහා ගත්කරු" ලෙස නොව "විචාර බුද්ධියකින් යුතු හෙළයේ මහා ප්‍රාඥයා" යෑයි කීම අතිශෝක්‌තියක්‌ නොවන බව ඕනෑම අයකුට වටහා ගත හැක.

එම්. ආර්. ඩී. මධුරංග තිලකසිරි,
සිව්වන වසර, භෞතික විද්‍යා අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.