ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැකි නවතම ඩෙබිට්‌ කාඩ්පතක්‌ මහජන බැංකුව හඳුන්වාදෙයි

අමිල අබේරත්න

ජාතික ආර්ථිකය හා මෙරට ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා සුවිසල් මෙහෙවරක්‌ ඉටු කරමින් වසර 50 කට ආසන්න කාලයක්‌ පොදු ජනතාවගේ විශ්වාසය දිනූ මහජන බැංකුව විසින් ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැකි නවතම ඩෙබිඩ් කාඩ්පතක්‌ ඉකුත්දා හඳුන්වා දෙනු ලැබීය. දවසේ පැය 24 පුරාවට මෙන්ම වර්ෂයේ සෑම දවසකම පාහේ මෙම කාඩ්පත ඉදිරිපත් කර භාණ්‌ඩ මිලදී ගැනීම හා මුදල් ආපසු ලබා ගැනීම ඇතුළු ගනුදෙනු කිරීමේ හැකියාව පවතී.

මහජන බැංකු මූලස්‌ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි පී. වී. පතිරණ මහතා -

මෙම හර කාඩ්පත (ඩෙබිට්‌ කාඩ්පත) හඳුන්වාදීම ජාතික ආර්ථිකයේ දියුණුවට ඉවහල් වෙනවා. අප මෙය හඳුන්වා දීමෙන් බලාපොරොත්තු වන්නේ ද එම දෙයයි. ලාභ ලැබීම පමණක්‌ අපගේ අරමුණ වන්නේ නෑ. මෙම කාඩ්පත භාවිත කිරීම මගින් ගැමි ආර්ථිකයද විශාල ලෙස දියුණු කළ හැකි වෙනවා. උදාහරණයක්‌ ලෙස ගමේ සිටින ගොවියෙකුට පොහොර වැනි දෙයක්‌ මිලදී ගැනීමකදී මුදල් රැගෙන යැමට අවශ්‍ය වන්නේ නෑ. මේ තුළින් ග්‍රාමීය ජනතාව බොහෝ දෙනෙක්‌ පුරුදු වී සිටින මුදල් තමන් ළඟම තබා ගැනීම මග හැරෙනවා.

උතුර - නැගෙනහිර ජනතාවට මුදල් ළඟ තබා ගැනීම ප්‍රශ්නයක්‌ වේ නම් ඊට ද මෙය පිළිතුරක්‌ වෙනවා.

නාගරික ජනතාව හර කාඩ්පත් (ඩෙබිට්‌ කාඩ්පත්) පාවිච්චි කිරීමට පුරුදු වී සිටියත් ගැමි ජනතාව තවමත් එතරම් මෙම කාඩ්පත් පාවිච්චි කිරීමට පුරුදු වී නැහැ.

අපගේ ප්‍රධාන අරමුණ මෙම හර (ඩෙබිට්‌ කාඩ්පත) ග්‍රාමීය ජනතාව තුළ හැකිතාක්‌ ප්‍රචලිත කිරීම ඒ තුළින් ග්‍රාමීය ජනතාවගේ ගනුදෙනු කිරීම වැඩි වන අතර ගැමි ආර්ථිකය ද දියුණුවක්‌ ලබනවා.

මීට අමතරව මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කාඩ්පත මගින් පිටරටකදී වුවත් මුදල් ආපසු ලබා ගැනීමට හැකි වීමයි.

ඩෙබිට්‌ කාඩ්පත භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා හා විවිධ ගාස්‌තු ගෙවීම ඇතුළු කාර්යයන් රාශියක්‌ සඳහා භාවිතා කළ හැකි වෙනවා.

මහජන බැංකුව පිළිබඳව පවසනවා නම් මහජන බැංකුව ශ්‍රී ලංකාවේ පැරැණිතම රාජ්‍ය බැංකුවකි. මේ වනවිට අප සතුව 671 ක ශාඛා ජාලයක්‌ තිබෙනවා. මිලියන 12 ක ගනුදෙනුකරුවන් පිරිසක්‌ ද සිටිනවා. වැඩිම ගනුදෙනුකරුවන් පිරිසක්‌ ද ඇත්තේ ද දිනකට වැඩිම මුදල් ගනුදෙනු ප්‍රමාණයක්‌ සිදු වන්නේ ද මහජන බැංකුව මගිනි. අප ATM යන්ත්‍ර 307 ක්‌ දිවයින පුරා විවෘත කර තිබෙනවා. මේ අවුරුද්ද අවසාන වනවිට ATM යන්ත්‍ර 350 ක ඉලක්‌කයක්‌ කරා යැමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව මාන්කුලම්, කිලිනොච්චි, පරන්තන් යන ප්‍රදේශවලත් ශාඛා විවෘත කර තිබෙන අතර උතුරු නැගෙනහිර ශාඛා 20 ක්‌ හා සේවා මධ්‍යස්‌ථාන 14 ක්‌ විවෘත කර තිබෙනවා.

එහිදී අදහස්‌ දැක්‌වූ නියෝජ්‍ය තොරතුරු තාක්‍ෂණ ප්‍රධානී සෝහිත වීරසේකර මහතා -

"මෙම හර කාඩ්පත මගින් ගනුදෙනුවක්‌ කළ පසුව විනාඩි 30 ක්‌ ඇතුළත ගිණුම අලුත් කරනු ලබනවා. ටෙලර් කාඩ්පත මගින් ගනුදෙනු කළ හැකි ප්‍රමාණය මොබිටෙල් ජාලය හරහා SMS පණිවිඩයක්‌ මගින් දැනුම් දීමේ පහසුකම ද අප දැනට පවත්වාගෙන යනවා. ඉදිරියේදී මෙම පහසුකම තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා."

මහජන බැංකුවේ අලෙවි හා මහජන කටයුතු ප්‍රධානී දීපාල් අබේසේකර මහතා සිය අදහස්‌ දක්‌වමින් රාජ්‍ය ආයතන කෙරේ මහජනතාව තුළ ඇති ආකල්ප වෙනස්‌ කිරීමට අද මහජන බැංකුව සමත් වී ඇති බවත්, දිනෙන් දින ශක්‌තිමත් වෙමින් ජනතා ප්‍රසාදය රැක ගනිමින් ඉදිරියටම යන මහජන බැංකුව, රාජ්‍ය ආයතනයන්ට ආදර්ශයක්‌ සපයන බවද ප්‍රකාශ කළේය.

මෙම ක්‍රෙඩිට්‌ කාඩ්පත් දැනට කොළඹ, ගම්පහ, කළුතර දිස්‌ත්‍රික්‌කවල ක්‍රියාත්මක කෙරෙන අතර, ක්‍රමයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මහජන බැංකුවේ ඡෑඔ කාඩ්පත් ගනුදෙනුකරුවන් ලක්‍ෂ 15 ක පමණ පිරිසක්‌ සිටින අතර, මේ අයට ද ඉදිරියේදී ක්‍රමානුකූලව ඩෙබිට්‌ කාඩ්පත් හඳුන්වාදීම සිදු කෙරේ. මෙම ඩෙබිට්‌ කාඩ්පත් හිමියන්ට ATM යන්ත්‍ර මගින් මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම් ඇත.

මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම් හා කේන්ද්‍රීය බැංකු කටයුතු) එච්. එස්‌. ධර්මසිරි, අලෙවි හා මහජන කටයුතු ප්‍රධානී දීපාල් අබේසේකර, නියෝaජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ජී. ජී. සී. ආරියරත්න සහකාර සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) ආර්. එම්. එස්‌. බී. රත්නායක යන මහත්වරුන් ද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.